විශේෂයෙන්ම කාර්මික ධනවාදය නිසා කර්මාන්තශාලාවල ශ්‍රමය වැගිර වූ ඉතා පුළුල් කම්කරු පංතියක් නිර්මාණය විණි. ඒ මුල් අවධියේදී ධනේශ්වර ක්‍රමය ඉතාමත්ම දුෂ්ට ආකාරයෙන් එම කම්කරුවන්ගේ ශ්‍රම සූරාකෑමෙහි නියැලුණේය. මේ නිසා කම්කරුවන්ට ඔවුන්ගේ වෘත්තීයමය අයිතිවාසිකම් තිබුණේ නැත. ඇත්තෙන්ම වෘත්තීය අයිතිවාසිකම් පමණක් නොව මානුෂික අයිතිවාසිකම් පවා තිබුණේ නැත. දවසකට පැය පහළොවකටත් වඩා කම්කරුවන්ගෙන් වැඩ ගන්නට ධනපති පංතිය කටයුතු කළේය. කම්කරුවන්ට ප්‍රමාණවත් වැටුපක් අතිකාල දීමනා හෝ විශ්‍රාම වැටුපක් ගෙවුවේ ද නැත. සරලවම කිව්වොත් ධනපති පංතියට අවශ්‍ය ආකාරයට කම්කරු පංතියේ ශ්‍රමය සූරාකන්නට එවකට ධනේෂ්වර ක්‍රමය කටයුතු කළේය. ලෝකයේ දියුණු කාර්මික රටවල මේ තත්ත්වයට එරෙහිව කම්කරු සටන් අරගල ඇතිවුණේය.

1886 දී ඇමෙරිකාවේ චිකාගෝහි දී හටගත් කම්කරු අරගලය එම අරගල රැල්ලේ සුවිශේෂතම එකකි. විරෝධතාව සිදුකෙරුණේ පැය අටේ වැඩ දිනයක් ඉල්ලාය. කම්කරුවෝ මහා දැවැන්ත පෙළපාලියක් සංවිධානය කරද්දී ආණ්ඩුව සිය පොලිසි හා හමුදා යාන්ත්‍රණය යොදා ඊට වෙඩිප්‍රහාරයක් එල්ල කළේය. එම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ කම්කරුවන්ගේ ශරීරවලින් රුධිරය වැගිරෙන්නට වූ අතර සෙසු සහෝදර කම්කරුවන් විසින් තුවාල සහිත ශරීර තමන් ගෙනගිය සුදු කොඩිවලින් ඔතනු ලැබීය. කම්කරු සටනේ සුදු කොඩිය රත් පැහැයට හැරුණේ එදා ඒ කම්කරුවන්ගේ ශරීරවලින් ගැලූ රුධිරයෙන්ය. එදා මෙදාතුර කම්කරු පංතික ධජය රක්ත වර්ණයෙන් බබලන්නේය. මැයි 1 වැනිදා කම්කරු දිනය බවට පත්වුණේ එවක් පටන්ය. කම්කරු අයිතීන් වෙනුවෙන් කම්කරු පංතික ජනයා ලේ හැලූ දිනය ලෙසින් ලෝක කම්කරු පංතිය විසින් මැයි දිනය සමරනු ලබන්නේ එහෙයිනි.
සමසමාජ කොමියුනිස්ට් දායකත්වය..
ලංකාවේ මැයි දින සැමරුම් ආරම්භවන්නේ නිදහසටත් පෙර සිටය. ලංකා සමසමාජ පක්ෂය හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඊට දායක කාරක වූයේය. ඒවා සංවිධානය කෙරුණේ කම්කරුවන්ගේ පෙළපාලි, උද්ඝෝෂණ, සටන් පාඨ මුල්කරගෙනය. එය හුදෙක් කම්කරු ඉල්ලීම් දිනාගැනීමම අයිතීන් තහවුරු කරගැනීමම ඒකාරම්මණය කරගත් එකක් නොව අනාගතයේදී කම්කරු රාජ්‍යක් බිහිකිරීම දක්වා පුළුල්ව පැතිරුණු එකක් විණ. සමාජවාදී විප්ලවය යනු කම්කරු පංතියේ පුරෝගාමීත්වයෙන් ඇතිවන එකක් වන අතර ඉන් පසුව බිහිවන රාජ්‍ය කම්කරු පංතියේ රාජ්‍යක් වීම ඊට හේතුවයි. එය බිහිවන්නේ කම්කරු පංතියේ සන්ධානයකිනි. මේ නිසා පැරැණි වමේ පක්ෂ මැයි දිනය සැමරුවේ සමාජවාදී සමාජ ක්‍රමයක අරුණළු අපේක්ෂාවෙනි. එහෙත් වාමාංශික ව්‍යාපාරය මේ රට තුළ දී ගමන් කළේ ක්‍රමානුකූලව ප්‍රතිසංස්කරණවාදයකටය.
එනම් එය සිය විප්ලවීය ගමන් මාර්ගය හැරදා පාර්ලිමේන්තුවාදය තෝරාගනිමින් ධනේශ්වර ප්‍රතිසංස්කරණවාදය වැළඳගත්තේය. ඒ සමඟම මැයි දිනයේ අරමුණ ද වෙනස් වුණේය. එතැන් පටන් ඔව්හු මැයි දින සැමරුම සංවිධානය කළේ සිය පාර්ලිමේන්තු ජයග්‍රහණය සඳහා ය. එපරිද්දෙන් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණවාදය ඔස්සේ ගමන් කළ පැරැණි වමේ කූඨප්‍රාප්තිය වූයේ සන්ධාන දේශපාලනය වැළඳ ගැනීම යි. එනම් සමසමාජ කොමියුනිස්ට් පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධාන දේශපාලනයට ඇතුලු වුණේය. මේ සමඟම මැයි දිනයේ අරුත සම්පූර්ණයෙන්ම වෙනස් විය.
මැයි දිනය කම්කරුවන්ගේ ඉල්ලීම් දිනාගැනීම සඳහා සංවිධානය වන දිනයක් වෙනුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා වමේ පක්ෂ එක්ව ආණ්ඩු පිහිටුවීම සඳහා උද්ඝෝෂණය කරන පෙලපාලි යන රැලි පවත්වන දිනයක් බවට පරිවර්තනය විය. ඔවුන් පිහිටු වූ සන්ධාන ආණ්ඩුවල ධනේශ්වර වැඩපිළිවෙල සාක්ෂාත් කරගැනීම සඳහා කම්කරු පංතියේ සහයෝගය ලබාගන්නා දිනයක් බවට පත්කරගන්නට පැරැණි වාමාංශික පක්ෂ උත්සාහ කළේය. ඒ උත්සාහය තුළ මැයි දිනයේ භාවිතාර්ථය මුළුමනින්ම විකෘතියක් බවට පත්විය. මැයි දිනය ධනපති පංතියේ ප්‍රචාරකවාදී දිනයක් බවට පත්කරදෙන්නට කටයුතු කිරීම සම්බන්ධයෙන් පැරැණි වමේ පක්ෂ සීයට සීයක්ම වගකිවයුතුය යන තර්කය මතුවූයේ ඒ අනුවය.
සිරිකොතෙන් බුරියානි..

ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය ද අද තිබෙන්නේ ඉතාම දුර්වල අඩියකය. ඇතැමුන් පවසන ආකාරයට ඊට හේතු වී තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩු බලය ලබාගැනීම සමඟ ඔවුන්ගේ පෙරමුණු බලඇණිය වූ වෘත්තිය සමිති වසා දැමීමය. සැබැවින්ම ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ බිඳවැටීම ආරම්භවන්නේ 1980 වැඩ වර්ජනයේ පරාජයත් සමඟ අමිහිරි මතක සටහන් ගොන්නක් ඉතිරි කරමිනි. මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරය සීසීකඩව ගියේ 1977 දී බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අනුගමනය කළ මර්දනකාරී ප්‍රතිපත්තියත් සමඟය. මෙරට අපට දකින්නට ලැබුණු අවසන් ඒකාබද්ධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය වූයේ අසූවේ වැඩ වර්ජනයයි. එයින් කම්කරු පංතිය සම්පූර්ණයෙන්ම පරාජයට පත්වුණේය. කඩාවැටුණු වෘත්තීය සමිති ව්‍යාපාරය යළි හිස ඔසවන්නේ 90 දශකයේදීය.
ඉන්පසුව 1994 දී චන්ද්‍රිකා ආණ්ඩුව බලයට පත්වන්නේ මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරයේ විශාල බරතැබීමක් ද සමඟින්ය. ලංකාවේ සභාග දේශපාලනයට ගිය වාමාංශික පක්ෂවල වෘත්තීය සමිති නායකයන් සමඟ එක් වූ වෘත්තීය සමිති නායකයෝ ද එහිදී සභාග දේශපාලනයට ගමන්කළහ. ඒ අනුව මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරය පසුගිය කාලය පුරාවට කටයුතු කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු බිහිකිරීමට හා එහි බලය රැකගැනීමටය. 1977 දී බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 1994 දක්වා රට පාලනය කළ කාලය පුරා ලංකාවේ ප්‍රබලම වෘත්තීය සමිතියක් බවට පත්වන්නට ජාතික සේවක සංගමයට හැකිවුණි. ඒ එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිතියක් හැටියටය. ධනපති පක්ෂයක් මේ රටේ ප්‍රබලම වෘත්තීය සමිතිය ගොඩනැගනීමට තරම් මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරයේ පිරිහීම දරුණු විය. පිටකෝට්ටේ එජාප පක්ෂ මූලස්ථානයෙන් මැයි දින සැමරුමට බුරියානි දන්සලක් සංවිධානය වෙන්නේ එහි තාර්කික අන්තය හැටියටය.
විශේෂයෙන්ම වාමාංශික පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධානගත වීම තුළ එම වාමාංශික පක්ෂවල වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෝ සිය වමේ පක්ෂය අතහැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් එක්සත් ජාතික පක්ෂයටත් සම්බන්ධ වූහ. වාමාංශික වෘත්තීය සමිති දියාරුවන්නේ එහෙයිනි. පසුගිය කාලයේ ආණ්ඩුවල ජනතාවිරෝධී කම්කරුවිරෝධී පියවරවලට වෘත්තීය සමිති ව්‍යාපාරය සහයෝගය දෙන ආකාරය අපට දකින්නට ලැබුණේ ද ඒ පසුබිමේය. වර්තමානය වනවිට මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරයෙන් කොටසක් ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුවට හිතවාදී ව්‍යාපාරයක් හැටියටය. ආණ්ඩුවිරෝධී දේශපාලනයක් අනුගමනය කරන්නේ ඇතැම් වෘත්තීය සමිති පමණය. ලංකාව තුළ ඒකාබද්ධ වෘත්තීය සමිති ව්‍යාපාරයක් අදටත් දකින්නට ලැබෙන්නේ නැත. එනම් ධනේශ්වර ක්‍රමයට එරෙහිව සටන් කරන්නට නම් එම වෘත්තීය සමිතිවල ඒකාබද්ධතාවයක් තිබිය යුතුය. මෑතකාලීනව ගත්තත් ඒ තත්ත්වයේ වෙනසක් නැත.
පෞද්ගලික විශ්‍රාම වැටුප් පනතට එරෙහිව කටුනායක ඇඟලුම් කර්මාන්තශාලාවල වෘත්තීය සමිති ගෙනගිය අරගලය වුවත් හුදෙකලා අරගලයකි. ඊට අනෙකුත් වෘත්තීය සමිතිවලින් ප්‍රබල සහයෝගයක් ලැබුණේ නැත. ප්ලාස්ටික් එළවළු කූඩ ප්‍රශ්නයේ දී ඊට විරුද්ධව නැගීසිටියෝ එළවළු ගොවීහු හා සුළු වෙළෙන්ඳෝ ය. එය ක්‍රියාත්මක වුණේ වෘත්තීය සමිති වපසරියෙන් බැහැරව ජනතා උද්ඝෝෂණයක් පරිද්දෙනි. ඒවා හුදෙකලා සටන්ය. ඉන්පසුව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය වැටුප් හා වෙනත් ඉල්ලීම් මුල්කරගෙන ගෙනගිය සටන ද හුදෙකලා සටනකි. ඒවාට වෙනත් වෘත්තීය සමිති සෘජුව සහයෝගය දුන්නේ නැත. සහයෝගය දුන්නේ වාචිකවය. එනිසා අපට පෙනෙන හැටියට නම් ලංකාවේ වෘත්තීය සමිතිවල කිසියම් ක්‍රියාකාරිත්වයක් ඇතත් එය පවතින්නේ හුදෙකලාවය. ඒවා එක් එක් වෘත්තීය ක්‍ෂේත්‍රවල හටගන්නා ක්‍රියාකාරිත්වයකට ලඝු වේ.
ලංකාවේ වෘත්තිය සමිති කෙලින් බව පෙනෙන්නේ විරුද්ධ දේශපාලන පක්ෂවල පිරිහීම නිසාය. විපක්ෂයේ කඩාවැටීමට සාපේක්ෂව වෘත්තීය සමිති ව්‍යාපාරය සාධනීය මැදිහත්වීම් කරයි. කනගාටුවට කරුණ වන්නේ ඒ කිසිවක් සකල වෘත්තීය සමිති ව්‍යාපාරය එක්සත් කිරීමේ ගමන්මගකට නොපිවිසීමය. ලංකාවේ මැයි දින ඉතිහාසයේ අද සැමරෙන්නේ 99 වැනි මැයි දින සැමරුමයි. ඒ අනුව 2027 දී ලංකාව මැයි දින ඉතිහාසයේ ශත සංවත්සරය සමරයි. එවැනි පසුබිමක ලංකාවේ වමේ ව්‍යාපාරය මෙන්ම වෘත්තිය සමිති ව්‍යාපාරය මුහුණ දී සිටින ඛේදය තීරණාත්මක දේශපාලන ප්‍රශ්නයකි.

විශේෂයෙන්ම දශක ගණනක් තිස්සේ විරුද්ධ පක්ෂ දේශපාලනයක නියැලෙමින් අධිරාජ්‍යවිරෝධී සටන් පාඨ අත ගත් ජනතා විමුක්ති පෙරමුණ බලයට පැමිණ ආණ්ඩු කරද්දී ඔවුන්ගේ දෘෂ්ටිමය පීලි පැනීම සලකුණු කරන මොහොතක් බවට අද දිනය පත්ව තිබේ. කාල් මාක්ස් එංගල්ස් කී පරිද්දෙන්ම සකල දේශවාසී නිර්ධනයින්ගේ එක්වීම උදෙසා ජවිපෙ රතු මැයි රැලිය පැවැත්වීමට ඔවුන්ට පෙර සේ හැකියාව තිබේද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රය දිග හරින අතරේ අද දිනයේදී ඔවුන් ඉදිරිපත් කරන මැයි දින යෝජනාවලිය කුමක්ද? එය වෙනම සාකච්ඡා කළ යුතු පුළුල් තේමාවකි.
(සටහන | ගිම්හාන් ද සිල්වා)




