The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

‘පච මදිවට හොරු’ පොරොන්දමෙන් එ.ජා.ප- ස.ජ.බ කසාදයක්?

T

The Leader Desk

May 2, 2026 • 4:20 AM

‘පච මදිවට හොරු’ පොරොන්දමෙන් එ.ජා.ප- ස.ජ.බ කසාදයක්?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමගි ජනබලවේගය හා එහි මව් පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය අතර දේශපාලන දීගය නුදුරේම සිදුවනු ඇතිදැයි දෙපාර්ශ්වයේම ආධාරකරුවෝ දැන් බලා සිටිති.
  • මෙම පසුබිමෙහි සමගි ජන බලවේගය මැයි දිනයට යෙදූ ‘පච මදිවට හොරු’ පාඨය වර්ථමානයට ඉතාම උචිත බවත් මෙම පාඨය ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා ඇතුළත් පළාත් පාලන ආයතන මගින් ක්‍රියාවට නැංවීම ඉතාම සුදුසු බවත් හිටපු ජනාධිපතිවරයා එහි දක්වා තිබිණ.
  • තවද එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකට ගමනක් යාම සඳහා සාකච්ඡා කිරීමට පත් කළ කමිටුවේ වැඩකටයුතු ද ඉදිරියට ගෙන යන ලෙසත් සිහිපත් කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට අදාළ ලිපිය යොමු කර ඇත.
  • ඊට හේතුව ලෙස දැක්වූයේ ද පොහොය දිනයකදී මැයි රැලිය නොපැවැත්වීමට රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා එජාප නායකයා ලෙසින් දුන් උපදේශයකි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊට අලුත්ම නිමිත්ත වී ඇත්තේ ලෝක කම්කරු දිනය වෙනුවෙන් සමගි ජන බලවේගය මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ සංවිධානය කළ මැයි දින රැලිය සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කිරීමය.

හිටපු ජනාධිපතිවරයා සමගි ජන බලවේගය මැයි දිනය සඳහා යොදාගත් ‘පච මදිවට හොරු’ තේමා පාඨය අගය කරමින් එය ගමට ගෙන යන වැඩපිළිවෙලක් සඳහා ද එහි උපදෙස් දී තිබීම මේ උද්‍යෝගයට හේතුවී තිබේ.

වර්ථමාන රජයේ නියම ස්වරූපය පෙන්වමින් හොරකම්, වංචා, දූෂණ, තර්ජන ගර්ජන මනාව ඔප්පු කළ කාලපරිච්ඡේදයක් ලෙස පසුගිය වර සැලකිය හැකි බවත් ගල් අඟුරු වංචාව, මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් ලක්ෂ 25ක මංකොල්ලය ඒ අතරින් මෑත කාලයේ සිදුවූ මහා පරිමාණ හොරකම් බව සුබ පැතුම් පණිවුඩයේ සඳහන් විය.

WhatsApp Image 2026 05 01 at 12.46.32
මෙම පසුබිමෙහි සමගි ජන බලවේගය මැයි දිනයට යෙදූ ‘පච මදිවට හොරු’ පාඨය වර්ථමානයට ඉතාම උචිත බවත් මෙම පාඨය ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා ඇතුළත් පළාත් පාලන ආයතන මගින් ක්‍රියාවට නැංවීම ඉතාම සුදුසු බවත් හිටපු ජනාධිපතිවරයා එහි දක්වා තිබිණ. තවද එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකට ගමනක් යාම සඳහා සාකච්ඡා කිරීමට පත් කළ කමිටුවේ වැඩකටයුතු ද ඉදිරියට ගෙන යන ලෙසත් සිහිපත් කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට අදාළ ලිපිය යොමු කර ඇත.

ranjith
එක්සත් ජාතික පක්ෂය සමගි ජනබලවේග මැයි රැලියට සහභාගී වීම මුලදී ප්‍රතික්ෂේප කළේය. ඊට හේතුව ලෙස දැක්වූයේ ද පොහොය දිනයකදී මැයි රැලිය නොපැවැත්වීමට රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා එජාප නායකයා ලෙසින් දුන් උපදේශයකි. රනිල් වික්‍රමසිංහගේ සුබ පැතුම් පණිවිඩයේ ද නැවතත් රණසිංහ ප්‍රේමදාස චරිතය සඳහන් කර තිබිණ. ඒ මෙසේය.

‘වර්ෂ 1977 සිට ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස යන මහත්වරුන්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක කළ සංවර්ධන වැඩසටහන් සියල්ල මේ වනවිට ඇණ හිට පවතී. අද නව රැකියා බිහි වන්නේ නැත. කර්මාන්ත, සංචාරක, ඉදිකිරීම් ඇතුළු සියලු ක්ෂේත්‍ර කඩාවැටී අවසානය.’

කෙසේ වෙතත් මෙම දේශපාලන දීගය ගැන පාක්ෂිකයන් අතරේ කිසියම් විශ්වාසයක් මතුවූයේ අදාළ සුබපැතුම අරභයා විපක්ෂ නායකවරයා මැයි රැලියේ පළ කළ අදහස් නිසාය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහිදී පැවසුවේ සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විටත් එක්වී හමාර බවය.

සමගි ජන බලවේගයේ මැයි දින රැලිය සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුබ පැතුම් පණිවිඩයක් යොමු කර ඇති බව කී විපක්ෂ නායකයා ඒ සඳහා තම ස්තූතිය පළ කළේය.

කෙසේ වෙතත් සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව ගමනක් යාම සඳහා කමිටුවක් පත් කළ යුතු බවට රනිල් වික්‍රමසිංහ මහතා එහි සඳහන් කර ඇති නමුත් පක්ෂ දෙක මේ වන විට එක්ව ඇති බැවින් එවැනි කමිටු අවශ්‍ය නොවන බවද ඔහු සඳහන් කළේය. අදාළ කමිටු තුළ සිටින ඇතැම් පුද්ගලයින් මෙම එක්වීම කඩාකප්පල්කාරී කිරීමට කටයුතු කරන බවට විපක්ෂ නායකවරයා චෝදනා කළේය. එසේ වුවද ඔවුන්ගේ එම කුමන්ත්‍රණකාරී ක්‍රියාපිළිවෙතට ඉඩ තැබීමට මින් පසු කටයුතු නොකරන බවත් ඔහු කීය.

සමගි ජන බලවේග මැයි දින රැලියේදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙසේ ද කීය.

“අපි එක් වී අවසන්: කුමන්ත්‍රණකරුවන්ට ඉඩ නෑ” : විපක්ෂ නායක කියයි

 



“අද මේ දුර්දාන්ත ජනතා විමුක්ති පෙරමුණු රජය ආයතන සියල්ලක්ම විනාශ කරලා, අධ්‍යාපනය විනාශ කළා. කන්ටේනර් පන්නලා වරායේ ආරක්ෂාවට ගැහුවා. බාල ගල්අඟුරු ගෙනාවා. අදටත් ඒ පිළිබඳව නිසි වගකීමක් කවුරුත් අරගෙන නෑ. අපේ රටේ සම්පත් ඩොලර් ලක්ෂ 25ක් හොරාකාලා තියෙනවා. කවුරුත් ඒක ගැන වගකීමක් බාරගෙන නෑ. මේක වැඩබැරි ආණ්ඩුවක් කියන එක තවත් අමුතුවෙන් ඔප්පු කරන්නට ඕනේ නෑ. මේ ආණ්ඩුව කිව්වේ හොරු අල්ලනවා කියලා. හැබැයි හොරු අල්ලනවායි කියපු ආණ්ඩුව අද අලුතින් හොරු නිර්මාණය කරනවා. මතක තියාගන්න සමගි ජන බලවේගයේ අපේ සන්ධානය නොසිටින්න අදටත් පාසල් ළමයි අසභ්‍ය වීඩියෝ බලනවා. අදටත් වරායෙන් කන්ටේනර් පන්නනවා. අදටත් විදුලිබල ඇමති ඒ පුටුවේ ඉඳගෙන බාල ගල්අඟුරු ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනවා. අදටත් භාණ්ඩාගාරයෙන් බිලියන ගණන් හොරකම් කරනවා.

ජනාධිපතිවරයා කියනවා රට විනාශ කරන්න චෞර වළල්ලක් නිර්මාණය වෙලාලු. රට විනාශ කරන කාර්ටෙල් එකක් නිර්මාණය වෙලාලු හැබැයි ඔක්කොටම වැඩිය භයංකාරයි පැලවත්තේ පච වළල්ල. පැලවත්තේ පච වළල්ල තමයි අලුත් හොරුන්ව නිර්මාණය කරන්නේ. රටට අවශ්‍ය ජනතාවට විසඳුම්. ජනතාව මුහුණ දෙන ගැටලුවලට උත්තර. අපේ රටේ ගොවි, ධීවර, කම්කරු, ග්‍රාමීය, නාගරික, වතු ප්‍රජාව දුගී දුප්පත් ජනතාව අද අන්ත අසරණභාවයට පත්වෙලා. කාන්තා පරපුර, තරුණ පරපුර, ළමා පරපුර, ළදරු පරපුර අද අන්ත අසරණභාවයට පත්වෙලා. අද මැද පන්තියට, වෘත්තියවේදීන්ට, වෘත්තිකයින්ට අද තමන්ගේ ප්‍රශ්නයට විසඳුමක් නැහැ.

 

gal aguru 260307

සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය අනිත් විපක්ෂත් සමග එකතු වෙලා අපි බොරු සහතික තිබුණු කථානායකව සති කිහිපයක් තුළ ගෙදර යැව්වා. ඒ විතරක් නෙමෙයි බාල ගල්අඟරු අපේ රටේ ලක්විජය බලාගාරයට යොමු කරපු ඇමතිවරයාවත් ගෙදර යැව්වා, ලේකම්වත් ගෙදර යැව්වා. විවිධ කණ්ඩායම් ඉන්නවා රජයේ කොන්ත්‍රාත් කරමින ආණ්ඩු වෙනුවෙන් විපක්ෂය ගැන එක එක කතා කියනවා. ඵළ ඇති රුකටයි ගල් ගහන්නේ. පැහැදිලිව මම කියන්න කැමති රට ගොඩනගන එකම බලවේගය සමගි ජන බලවේගයයි. සමගි ජන සන්ධානයයි. අපි මේ රටේ ප්‍රගතිශීලී සියලුම දෙනාත් සමග අත්වැල් බැඳගෙන ජනතා විමුක්ති පෙරමුණු පාලනය තුළ කඩා වැටුණු අපේ මේ දේශය ගොඩගන්නවා ගොඩගන්නවාමයි.

අපි ඉතාමත්ම සතුටු වෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද අපේ මේ මැයි රැලියට සුබ පැතුම් පණිවිඩයක් එකතු කළා. ඒකට අපි ස්තූතිවත්ත වෙනවා.

එතුමා යෝජනා කරලා තියෙනවා. එකට වැඩ කරන්න කමිටුවක් අවශ්‍යයි කියලා. මම මේ අවස්ථාවේ කියන්න කැමතියි දැන් කමිටු අවශ්‍ය නෑ. දැන් දෙගොල්ලේ එකතු වෙලා හමාරයි. අපි එකට වැඩ කරන්නේ මොකද සමහර විට ඔය කමිටුවල මේ එකතුවීම වළක්වන්නට ඇතුල් වන බොහොම සුළු කොට්ඨාසයක් ඉන්නවා. ඒ අයගේ බලාපොරොත්තුව අපේ මේ එකතුව කඩාකප්පල් කරන්නයි. අපි ඒ කඩාකප්පල්කාරී කුමන්ත්‍රණකාරීන්ට ඉඩ තබන්නේ නෑ. අපි අනිවාර්යයෙන්ම එකට එකතු වෙලා තමයි ඉදිරියට යන්නේ. මම කියන්න කැමතියි අනුර කුමාර දිසානායක මැතිතුමාට අභියෝගයක් ඉදිරිපත් කරන්න කැමතියි පුළුවන්නම් පළාත් සභා ඡන්දය දැන්ම තියන්න. මේක ප්‍රකාශයක් නෙමෙයි අභියෝගයක්. ජනාධිපතිතුමෝ ලබන වසරේ මැයි රැලිය තියන්නේ අපේ මහ ඇමතිවරුත් සමගයි කියන එක මම ප්‍රකාශ කරන්න කැමතියි.”


“රට පුරා රැලි සොරකම් කළ ධනයෙන්” : අජිත් පී පෙරේරා


පක්ෂ දෙක අතර එකතුව මැයි දින රැලියේදී ප්‍රධාන තේමාවක් ද විය. ආණ්ඩුවේ දූෂණ හිතෛශී ගමන පරාජය කිරීමට නම් දෙපාර්ශ්වය එකතුවීම අත්‍යවශ්‍ය යැයි එහිදී කතික අදහස් පළ විය. ගල් අඟුරු ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ නිතර ප්‍රශ්න කළ සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරාගේ කතාව ද ඉලක්කගත වූයේ එදෙසටය.

සොරකම් කළ ධනයෙන් රට පුරා ජනරැලි පැවැත්වූ පමණින් මහජන හදවත දිනාගත නොහැකි යැයි ද දූෂණවිරෝධී ජනවරමකින් බලය ගත් ජාතික ජනබලවේග ආණ්ඩුවට අද එම පදනම අහිමි වී ඇතැයි ද ඔහු එහිදී කීය.

රට දැන් පාලනය කරන්නේ ජනතා ඡන්දයෙන් තේරීපත් වූ අනුර කුමාර දිසානායක නොවන්නේ යැයි ද දූෂිතයන් ආරක්ෂා කරන අනුර කුමාර දිසානායක කෙනෙක් යැයි ද මන්ත්‍රීවරයා පැවැසීය.

විශ්වාසභංගය හමුවේ ද කුමාර ජයකොඩි බලශක්ති ඇමැති ධුරයෙන් ඉල්ලා අස්නොවුණේ ජනාධිපතිවරයා තම මිතුරාට ලබාදුන් ධෛර්ය නිසා යැයි චෝදනා කළ හෙතෙම ඔහු ඉල්ලා අස්වුණේ ගල් අඟුරු ගනුදෙනුව සම්බන්ධයෙන් ජනගත වූ හඬපටය නිසා යැයි කීවේය.

ජාතික ජනබලවේග ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසුව ධම්මික පෙරේරා අමුතු විදියට සෑම ටෙන්ඩරයක්ම දිනාගනිමින් ඇතැයි ද මන්ත්‍රීවරයා කීවේය.

එහිදී අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා මෙසේද කීය

kumara jayakodi 250916

“මම පුණ්‍යකුමාරට කිව්වා පාර්ලිමේන්තුවේදි වරද පිළිගෙන වගකීම බාරගෙන තනතුරෙන් අස්වෙන්න කියලා. ඒත් එහෙම කළේ නෑ. රූකඩ 153ක් ගල් අඟුරු වංචාව හරියි කියල ඡන්දෙ දුන්නා. ඒ නිසා අදත් මේ රටේ බලශක්ති සුරක්ෂිතතාව අනතුරේ දාගෙන මිනිස්සු බදු ගෙවනවා. පුණ්‍යකුමාරට මචං අස්වෙන්න එපා කිව්වේ අනුර කුමාර. මොකද චන්ද්‍රිකාගෙ ආණ්ඩුව කාලේ අනුර කුමාර ජනාධිපතිවරයා කෘෂිකර්ම ඇමැති කාලේ පොහොර මිලදීගැනීමේ ටෙන්ඩරයේ කළමනාකරු පුණ්‍යකුමාර. ඒ ගනුදෙනුවට අදාළව අද ඔහුට කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනුවෙලා තියෙනවා. සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදය තුළ අධිචෝදනා ලැබූවෙක් ආණ්ඩුවක ඇමැති තනතුර දරන්නේ නෑ. අස්වෙලා යනවා. ඒත් පුණ්‍යකුමාරටවත් ඔහුගේ කණ්ඩායමටවත් ලැජ්ජාවක් තිබුණේ නෑ. අන්තිමේදී ඔහු අස්වුණේ අර හඬපටය නිසා. ඉතින් දැන් මේ ආණ්ඩුවත් මහජන ධනය සූරාකන ව්‍යාපෘතිය ආරම්භ කරල ඉවරයි. මේ දූෂණයට පක්ෂපාත ආණ්ඩුව පරාජයට පත්කරන්න අපි එකතුවෙනවද නැද්ද කියල තීරණය කළ යුතුයි. මේ රටේ දූෂණවිරෝධී ආණ්ඩුවක් ගොඩනගන්න ප්‍රතිපත්තිමය ආදර්ශය දීලා තිබෙන්නේ එක නායකයායි. ඒ සජිත් ප්‍රේමදාස මහතා පමණයි”


ඉරාන් වික්‍රමරත්න හා හර්ෂ ද සිල්වා..

සමගි ජනබලවේගය හා එක්සත් ජාතික පක්ෂය අතර සන්ධානය ගොඩනැගීමට එරෙහිව කුමන්ත්‍රණ දියත් වන බවට විපක්ෂ නායකවරයා චෝදනා කරද්දී ඉරාන් වික්‍රමරත්න හා හර්ෂ ද සිල්වා ගැන පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී අදහස් පළ විය. ඒ, සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගයේ ලේකම් ආනන්ද පාලිතගෙනි. එහිදී ඉරාන් වික්‍රමරත්න හා හර්ෂ ද සිල්වා ඔහු විසින් හඳුන්වනු ලැබුවේ දක්ෂයන් හිඟකමින් පෙළෙන ආණ්ඩුවට මේ අදූෂිත පුද්ගලයන් දෙදෙනාගේ වටිනාකම තේරෙන බවය.

 

iran wick

ක්‍රිකට් ක්‍රීඩාව දූෂණයෙන් මුදාගැනීමේදී ඉරාන් වික්‍රමරත්න ඊට ඉතා සුදුසු බව කී හෙතෙම හිටපු මන්ත්‍රී වික්‍රමරත්න සමගි ජනබලවේගයේ තනතුරුවලින් ඉවත් වී ක්‍රිකට් වගකීම බාරගැනීම නිවැරැදි තීන්දුවක් බවත් කීය. ඉරාන් වික්‍රමරත්න දූෂිතයකු යැයි චෝදනා කළ ජනාධිපතිවරයාම අද ඔහු පිරිසිදු මිනිසකු බව පිළිගෙන ඇතැයි ද එයින් නොකියා කියන්නේ ක්‍රිකට් නිවැරැදි තැනට ගෙනයන්නට ආණ්ඩුවේ කෙනෙකු නැති බව යැයි ද ආනන්ද පාලිත කීවේය.

එහිදී ඔහු මෙසේ ද කීය.

“ඉරාන් වික්‍රමරත්න මහතා පක්ෂයෙන් ඉවත් වෙලා නෑ. ක්‍රිකට් සුද්ද කරන්න ඉරාන් මැතිතුමා වගේම මුදල් කමිටුවේ හර්ෂ මැතිතුමා ඉන්න එක වැදගත්. හර්ෂ ද සිල්වා මුදල් කාරක සභාවේ ඉන්න නිසා නේද හොරකම් එළියට එන්නේ? අනුර කුමාර ක්‍රිකට් ගැන වගේම ඉරාන් ගැන කිව්වෙත් බොරු බව මැයි දිනයේ ඔප්පු කළා. ඒක සමගි ජනබලවේගයට දුන් ක්‍රෙඩිට් එකක්”


(සටහන | ගිම්හාන් ද සිල්වා)


සබැඳි පුවතක් :

එජාප නායක රනිල්, සජබ මැයි රැලියට සුභාශිංසනය පළකරයි 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...