ආහාර මෙන්ම ඖෂධ ද හිඟයෙන් ගිලන්ව සිටි සමාජයක් තෙල් පෝලිම්වල සිටියේ යක්ෂාවේෂයෙනි. එකම ඇඳුමෙන් තෙල් පෝලිම්වල සිටීම නිසාම ඔවුන්ට සිදුවුණේ දින තුන හතරකට වරක් ශරීරය පිරිසිදු කරගැනීමටය. මේ පෝලිම් කෙතරම් පද්ධතිගත වීදැයි කිවහොත් රුපියල් පනහේ සිට දෙතුන්සීය දක්වා වැසිකිලි කැසිකිලි සැපයෙන කුඩා ආර්ථික ද ඒ වටා නිර්මාණය විය. යන්නේ කොහේද කරන්නේ කුමක්ද කියා නිනව්වක් නැතිව සිටි ඇතැම් මිනිසුන් පෝලිම්වල සිය රථවාහන ගාල් කරගෙන සිටියේ සේවා මුර ක්‍රමයටය. මහජන කෝපය උතුරන තැනට ආවේ මේ පෝලිම්වල සිටි ජනයා සයින් පීඩිතව හදින් ගිලන්ව මියෑදෙන්නට පටන්ගත් කල්හිය.
පසුගිය මාර්තු මාසය ආරම්භයේත් මේ පැරැණි පෝලිම් හොල්මන දිවයිනේ තැනින් තැන මතුවිය. ආණ්ඩුව පැවසූ ආකාරයට නම් වැඩේ පටන්ගත්තේ උතුරු නැගෙනහිරිනි. එහෙත් ආණ්ඩුව කිව්වේ 2022 මෙන් දැන් රටේ ඩොලර් හිඟයක් නැති බැවින් තෙල් නැව් සඳහා මුදල් ගෙවන්නට නොහැකියාවක් නැති බවයි. මෙසේ ඉන්ධන පෝලිම් නිර්මාණය වීමේ එකම හේතුව බිය මිස අනෙකක් නොවන බවයි.

බොරු බය නිසා ඉන්ධන මහා පරිමාණයෙන් රැස්කිරීමට ඇතැමුන් පියවර ගෙන ඇති බව කී ඛනිජ තෙල් සංස්ථා සභාපතිවරයා ඒ අවස්ථාවේ කරුණු පැහැදිලි කළේ පෙට්‍රල් දවස් 37කටත් ඩීසල් දවස් 35කටත් සුපර් ඩීසල් දවස් 71කටත් ගුවන් යානා ඉන්ධන දවස් 41කටත් ප්‍රමාණවත් පරිදි ඇති බවයි. පසුගිය වසර පුරාම අපට ඉන්ධන ලැබී ඇත්තේ ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව හා කොරියාව යන රටවලින් යැයි ද තවත් මාසයක් යනතෙක් ඉන්ධන සංචිත ප්‍රමාණවත් යැයි ද සංස්ථා සභාපතිවරයා මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසීය. එහෙත් සිදුවූයේ කුමක්ද? දින කීපයක් යද්දී එසේ කී තෙල් සංචිත අවසන්වීමය. ආණ්ඩුව එය අර්ථකතනය කළේ පැනික් බයින් හෙවත් පිස්සුවෙන් කළ මිලදීගැනීමක් හැටියටය.
ඉන්ධන මිල ගැන ජනපති මැයි දිනයේ දුන් සංඥාව..
එහෙත් ඊයේ(1) ජාතික ජනබලවේගයේ කොළඹ මැයි දින රැලිය ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් තෙල් සම්බන්ධයෙන් මතුවූයේ රතු එළියකි. බලශක්ති ක්ෂේත්‍රයේ යම් අර්බුදකාරී තත්ත්වයක් මතුවී ඇති බවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දැමීමට සිදුවනු ඇති බවත් ඔහු කීය.

“බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුදයක් මතුවෙලා තිබෙනවා. ඉන්ධන මිල විශාල ලෙස ඉහළ යමින් තිබෙනවා. අදත් ඩීසල් ලීටරයක් 382ක් වෙනවා. ආණ්ඩුව විකුණන හැම තෙල් ලීටරයකම රුපියල් 100ක සහනාධාරයක් දෙනවා තෙල් සංස්ථාවටයි, අනිත් සමාගම්වලටයි. අදත් ඔබලා ෂෙඩ් එකෙන් ගන්න ඩීසල් ලීටරයක් 482ක් වෙනවා. හැබැයි ගහන්නේ 382කට. රුපියල් 100ක් දෙනවා ආණ්ඩුවෙන්. ජනතාව බලාගන්න ආණ්ඩුවක්. තාමත් තෙල් මිල ඉහළ යමින් තිබෙනවා. අපි රුපියල් කෝටි 6000ක් වෙන් කරලා මෙරට ජනතාවට අවශ්‍ය වන ඉන්ධන සහනාධාරය ලබා දෙන්න. වැඩ කරන ජනතාවගේ ආණ්ඩු එහෙමයි.”
“හැබැයි තවත් මිල ඉහළ යනවා. තවත් කුඩා ප්‍රමාණයන්වල ඉන්ධන මිල ඉහළ දාන්න වෙයි. උපරිම ලෙස සහනාධාර දෙන්න කටයුතු කරනවා. බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුදයක් තියෙනවා. ගල්අඟුරු මිල ඉහළ ගොස් තිබෙනවා. ඉන්ධන මිල ඉහළ ගොස් තිබෙනවා. ජලාශවල ජලය යම් ප්‍රමාණයක අඩුවෙලා තියෙනවා. ඒ නිසා යම් මිල ඉහළ දැමීමක් සිදු කිරීමට සිදුවෙලා තියෙනවා. විදුලි පාරිභෝගිකයන්ගේ සියයට 96කට කිසිදු මිල වැඩිවීමකින් තොරව සහානාධාරයක් ලබා දෙන්න අපි තීරණයක් අරන් තිබෙනවා. අපි රුපියල් කෝටි 1500ක් ඒ වෙනුවෙන් වැය කරන්න තීරණය කරලා තියෙනවා.”
ජනාධිපතිවරයා මේ පවසන සහනාධාරය පිළිබඳ තීන්දුව ගැනුණේ 2026 මාර්තු 30 පැවැති කැබිනට් රැස්වීමේදීය. මැදපෙරදිග කලාපයේ ඇති වී ඇති යුධමය තත්ත්වය හේතුවෙන් සිදු වන බාහිර කම්පන මඟින් මහජනතාවගේ එදිනෙදා ජීවිතයට මෙන්ම සමස්ත ආර්ථිකයට ඇති වන බලපෑම විධිමත්ව කළමනාකරණය කර ගැනීම පිණිස රජය මෙම ක්‍රියාමාර්ගය ගත් බව ඊට අදාළ කැබිනට් පත්‍රිකාවේ දැක්විණි.
මහජනතාව වැඩි වශයෙන් භාවිත කරනු ලබන ඔක්ටේන් පෙට්‍රල් සහ පොදු ප්‍රවාහනය සඳහා භාවිත කරනු ලබන ඔටෝ ඩීසල් මිල ගණන් ඉහළ යාම පාලනය කිරීම සඳහා රජයේ මැදිහත්වීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, 2026-03-22 දින සිට 92 ඔක්ටේන් පෙට්‍රල් හා ඔටෝ ඩීසල්වල ප්‍රකාශිත විකුණුම් මිලට වඩා ආනයනික මිල වැඩි නම්, 92 ඔක්ටේන් කාණ්ඩයේ ඉන්ධන ලීටරයක් සඳහා රුපියල් 20/-ක් දක්වා සහ ඔටෝ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 100/-ක් දක්වා ඉන්ධන ආනයනික සැපයුම්කරුවන් වෙත ගෙවීම මඟින් ඉන්ධන මිල ඉහළ යාම පාලනය කරමින් මහජනතාව වෙත සහන සැලසීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවේ ඒ අනුවය.

එහෙත් ඒ වනවිටත් වරායට බාන තෙල්වල මුදල පැවැතියේ ඊට පෙර (අවසන් වරට ගොඩ බෑ) තෙල් තොගයට වඩා වැඩි මිලටය. එහි අර්ථය නම් කැබිනට් තීන්දුව ලැබීමට පෙර සිටම රජය රුපියල් 100ක් ඩීසල් වෙනුවෙන් හා රුපියල් 20ක් පෙට්‍රල් වෙනුවෙන් ප්‍රතිපූර්ණය කර තිබීමය. ඒ අනුව අලුතින් එන මිල වැඩි තෙල් තොග සමඟ තවත් වටයකින් මිල ඉහළයෑමේ අවදානම එසමයේද තිබිණ. මාර්තු 30 පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීහු මේ ගැන ඇසූහ. මේ එවිට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස ඊට දුන් පිළිතුරය.
“ අප්‍රේල් 1 වැනිදා මිල වැඩිකිරීම් කරන්නේ නෑ. යළිත් ඉන්ධන මිල සලකාබැලීම සිදුවන්නේ මැයි 1 වැනිදා. අප්‍රේල් 30 තමයි මිල ගණන් ප්‍රකාශයට පත්කරන්නේ. දැන් මේ පවතින තත්ත්වය තුළ ඒ දක්වා මිල වෙනස් කිරීමක් නොකර යන්න පුළුවන්. නමුත් මම කියන්නේ මේ තත්ත්ව වෙනස්වෙනවා. ලෝක වෙළෙඳපොලේ බොර තෙල් හා පිරිපහදු තෙල් අසීමිතව ඉහළ නැන්වුනොත් අපි කාටවත් අද කියන්න බෑ මාර්තු මාසෙ 31 වැනිදා බැරල් එකක් මිල ඩොලර් 150 -180 දක්වා ඉහළ යන්න ඉඩ තිබුණොත් මොකද්ද වෙන්නෙ කියන එක. නමුත් දැන් අපි තෙල් ඇනවුම් කරල තියෙනවා. ලැබෙමින් පවතිනවා. මේ සියල්ල එක්ක අප්‍රේල් මාසෙ යළිත් තෙල් වැඩි නොකිරීමට තමයි අපේ බලාපොරොත්තුව. ”
ජවිපෙ තෙල් බදු තර්කය..
ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මේ කියන්නේ මාර්තු 30 වැනිදා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස කී කතාවේම සිහිකැඳවීමක් බව පැහැදිලිය. එහෙත් විපක්ෂයේ කණ්ඩායම් මේ මිල සංශෝධනවලදී ආණ්ඩුවට දමාගසන්නට භාවිත කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ ලෙසින් කටයුතු කරද්දී තෙල් මිල ගැන එදා පැවැති තර්කනයයි. ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා 2018.7.11 පැලවත්ත පක්ෂ මූලස්ථාන මාධ්‍ය හමුවකදී තෙල් මිල ගැන කළ ප්‍රශ්න කිරීම ඊට නිදසුනක් සේ දැක්විය හැකිය.
“පෙට්‍රල් ලීටරයක් වරායෙන් ගොඩ බාන විට මිල වන්නේ රුපියල් 78.43යි. ආණ්ඩුවේ මුළු බදු ප්‍රමාණය රුපියල් 60.63ක් වෙනවා එකතුව රුපියල් 139.06ක් වෙන අතර පෙට්‍රල් ලීටරය විකුණන්නේ රුපියල් 145ටයි. රුපියල් 5.94ක අමතර ලාභයකුත් ආණ්ඩුව ලබාගන්නවා. ඩීසල් ලීටරයක් වරායට ගොඩබාන විට මිල රුපියල් 83.70යි. ආණ්ඩුවේ බදු රුපියල් 32.14යි. සම්පූර්ණ මිල රුපියල් 115.84 ක් වෙන අතර වර්තමානයේ ඩීසල් ලීටරයක මිල රුපියල් 118ක් වෙනවා. ඩීසල් ලීටරකින් ආණ්ඩුව රුපියල් 2.16ක තවත් අමතර ලාභයක් ලබාගන්නවා. මෙවර මිල වැඩිකිරීම වෙනුවෙන් ආණ්ඩුව ජනතාවට කියන්නේ තෙල් සංස්ථාවේ පාඩුව පියවගන්න මිල වැඩිකළා කියලයි. නමුත් පාරිභෝගිකයින් ෂෙඩ්වලින් නිකං තෙල් ගහන්නේ නැහැ. ණයට තෙල් ගහන්නේ නැහැ. ආණ්ඩුවේ පව් කරගහන්න වෙලා තිබෙන්නේ ජනතාවටයි.”
කෙසේ වුවද ඉන්ධන පරිභෝජනය අවම කිරීම අරමුණු කරගෙන කිව්.ආර් කේතය යටතේ කෝටා ක්‍රමයකට අනුව ඉන්ධන ලබා දීමට රජය කටයුතු කළේ මාර්තු 15 වැනිදා සිටය. ඒ, මැදපෙරදිග ඇති වී තිබෙන යුදමය තත්ත්වය හමුවේ ඉදිරියේදී ඉන්ධන සැපයුම අඩුවීමක් සිදුවුවහොත් ඒ සඳහා පිළියමක් වශයෙනි. ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටි සමයේ ඉන්ධන නිකුත් කළ ආකාරයට කිව්.ආර් කේතයක් මගින් ඉන්ධන ලබා දීම මෙහිදී සිදු වූ අතර සතියක් ගතවෙද්දී (මාර්තු 21 වැනිදා සිට) එම කෝටාව වැඩිකිරීමට තෙල් සංස්ථාව තීන්දුවක් ගත්තේය.
ඒ අනුව සතියේ ඉන්ධන කෝටාව සඳහා පාරිභෝගිකයන්ට ගෙවීමට සිදුවන මුදල ආසන්න වශයෙන් මෙසේය.

යතුරුපැදියක් සඳහා ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටර් 8කට රුපියල් 3184.00 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් සඳහා 3640.00කි. ත්‍රීරෝද රථයක් සදහා ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටර 20කට රුපියල් 7960.00 ක් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටර 20කට රුපියල් 9100.00 ක්ද වැය වන අතර සුදු ඩීසල් නම් එහි අගය රුපියල් 7640.00 ක් ද සුපර් ඩීසල් නම් රුපියල් 8860.00 ක් ද වේ.
ප්‍රසම්පාදනයෙන් පිට මිලදීගැනීම්..
එසේ වුවද නැව්ගත කිරීම් අවලංගු වීම, රක්ෂණ ආවරණ සීමා වීම සහ සැපයුම්කරුවන්ගේ අනුරූප අකමැත්ත ආදී හේතු නිසා බලශක්තියේ අමුද්‍රව්‍ය අඛණ්ඩ සැපයුම පවත්වා ගැනීම ආණ්ඩුවට අභියෝගයක් වූ බව ඇත්ත කතාවය. මාස තුනක කාලයක් සඳහා සම්මත ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලින් පිටත ක්‍රියා කරමින් ඉන්ධන, එල්.පී ගෑස් සහ ගල් අඟුරු මිලදී ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා හිටපු බලශක්ති ඇමැති කුමාර ජයකොඩි මාර්තු 17 වැනිදා කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කළේ ඒ අනුවය. මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති භූ-දේශපාලනික නොසන්සුන්තාව හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළෙඳපොළ දැඩි අස්ථාවරතාවකට පත්ව ඇති බවත් ආනයනික ඉන්ධන, එල්පී ගෑස් සහ ගල් අඟුරු මත සම්පූර්ණයෙන්ම රඳා පවතින ශ්‍රී ලංකාවට මෙම තත්ත්වය සෘජුවම බලපා ඇති බලශක්ති සැපයුමට අවදානමක් මතුව ඇති බවත් එම කැබිනට් පත්‍රිකාවේ සඳහන් විය.

මෙසේ සමස්ත කතාව බලද්දී බලශක්තිය සම්බන්ධයෙන් වූ චිත්‍රය ඒ තරම් රෝස පැහැ නැති බව පැහැදිලිය. ජනාධිපති අනුර කුමාර දිසානායකට පෙර මේ ගැන දැනෙන භාෂාවෙන් පසුගියදා කීවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයකු වූ සුසන්ත සිල්වාය. වර්තමානයේදී මෙරට තුළ ෂෙල් සන්නාමය යටතේ ඉන්ධන අලෙවියේ නිරත RM Parks සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂකවරයා ද ඔහුය. කළමනාකාර අධ්‍යක්ෂකවරයා මේ අදහස් පළ කළේ ඩේලි FT පුවත්පත, ACCCN සහ ICCSL එක්ව සංවිධානය කළ මැදපෙරදිග අර්බුදයෙන් ශ්‍රී ලංකාවට ලබා ගත හැකි අවස්ථා පිළිබඳ අන්තර්ජාල වෙබිනාර් වැඩසටහනකදීය.
ජනපතිගේ කතාව දැනෙන භාෂාවෙන් කී RM Parks අධ්‍යක්ෂ..

“අද වෙනකොට රටේ තියෙන්නේ නිවැරදි ඉන්ධන මිලක් නෙවෙයි. අප්‍රේල් දෙවැනි දා වෙනකොට ඩීසල් බැරලයකට තිබුණේ ඩොලර් 292ක මිලකට මම කවදාවත් ඒ වගේ මිල ඉහළ යෑමක් දැකල නැහැ. ඒ අතරම මේ කාලයේදී ඉඳන් බැරලයක් සඳහා වන ප්‍රීමියම් අගය වෙනදාට තියෙන්නේ ඩොලර් 5ක සීමාවේ. එය ඩොලර් 60 දක්වා ඉහළ ගියා. ඒ කියන්නේ ඩීසල් බැරලයක් ඩොලර් 350ක අගයක් ගන්නවා. අද වෙනකොට ඩීසල් ලීටරයකින් සිද්දවෙන පාඩුව රුපියල් 280කට වැඩියි. ඒ කියන්නේ ඩීසල් ලීටරයකට නිවැරැදි මිල දැන් තියෙන මිලට තවත් 280ක් එකතු වෙන්න ඕනෑ”
ඒ අනුව මෙම ගැටලුවේ ඇත්ත පැහැදිලිවම ජනතාවට පෙන්නුම් කිරීම අත්‍යවශ්‍ය වන බවත් එසේ නොවුනහොත් දැනට රටේ ඉන්ධන අලෙවියේ නිරත සමාගම් හතරට සිංගප්පූරු වෙළඳපොලේ ඉන්ධන පැවතියත් ඒවා ආනයනය කර ගැනීමේ හැකියාව නැතිවන බවත් කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
“ටොන් 40,000කට ඉන්ධන නැවක් කලින් තිබුණේ ඩොලර් මිලියන 27ත් 30ත් අතර මුදලකට. ඒත් දැන් එය ඩොලර් මිලියන 70කට ගිහින්. ඒ නිසා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු අනෙකුත් සමාගම් මේ වනවිට අසීරු තත්ත්වයක පසුවෙන්නේ. ඉන්ධන සඳහා ඇත්ත මිල ජනතාවට ප්‍රකාශ කළ යුතුයි. ඒ මිලට තමන්ගේ වාහනයට කර්මාන්තවලට ඉන්ධන ගන්න පුළුවන් කෙනා ඉන්ධන ගනීවි එහෙම බැරි කෙනා එය නවත්වාවි.”

සුසන්ත සිල්වා මෙහිදී අවධාරණය කළේ ආණ්ඩුව මගින් ලබාදෙන ඉන්ධන සහනාධාරය ද ගැටළුවට පිළිතුරු නොවන බවයි. ඔහු මෙහිදී ඉතා බරපතල අවධාරණයක් කළේය. මැද පෙරදිග යුධ ගැටුම් නිසා රට තුළ පවතින ඉන්ධන අර්බුදය වැනි අවස්ථාවක් නැවත මතු නොවීමට නම් කඩිනමින්ම රටෙහි ඉන්ධන සුරක්ෂිතතාවක් ඇති කිරීම සඳහා සූදානම්වීම අත්‍යවශ්‍ය බවයි. ඒ සඳහා දැනට භාවිතයට නොගෙන ඇති ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව ඇති තෙල් ටැංකි ඉක්මනින්ම භාවිතයට ගැනීම සිදුකළ යුතුව ඇති බවත් හම්බන්තොට වරාය තුළ එවැනි පහසුකම් ස්ථාපිත කළ යුතුව ඇති බවත් ඔහු පෙන්වාදුන්නේය. එහෙත් පසුගිය කාලසීමාව පුරාම එම කටයුතු සිදු නොවීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවත් ඔහු අවධාරණය කළේය.

මැද පෙරදිග යුද ගැටුම් තත්ත්වය අවස්ථාවක් කරගනිමින් මෙම පහසුකම් අලුත් වැඩියා කිරීමට යොමු වීම වැදගත් බව ඔහු තදින් අවධාරණය කළේය. ඒ අනුව ආණ්ඩුවේ ඉන්ධන සහනාධාර ක්‍රමය මෙන්ම බලශක්ති පිළිවෙත පෞද්ගලික අංශයේ දැඩි විවේචනයට ලක්ව ඇති බව පැහැදිලිය. අනෙක් අතට ආණ්ඩුවෙන් දුන්නත් ඒ සහනාධාරයට වැයවන්නේද මහජන බදු මුදල්ම බැවින් එහි අර්ථයම ප්‍රශ්නාර්ථයකි. කෙසේ වෙතත් මෙහි නුදුරු ප්‍රතිඵලය වනු ඇත්තේ නැවත වටයකින් ඉන්ධන මිල ඉහළ දැමීමය. එය පතිත වන්නේ ද විදුලි හා ගෑස් මිල ඉහළ යාමේ බරින් පීඩා විඳින මහජනයාගේ දෙවුර මතය.
(සටහන | ගිම්හාන් ද සිල්වා)




