The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බැංකු නිලධාරියාගේ මරණය (කෙටි කතාවකි) | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

May 2, 2026 • 6:44 AM

බැංකු නිලධාරියාගේ මරණය (කෙටි කතාවකි) | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “අද.” ලොකු අයියා කීවේය. ඔහු සිටියේ ජනේලයට එහා පැත්තෙන් සිටගෙන යකඩ ග්‍රිල් එකෙහි මොනරාගේ බෙල්ල හරියෙන් හා පිල් හරියෙන් අල්ලා ගෙන එල්ලී ගෙනය. ඔහුගේ මුහුණ අඳුරින් වැසී තිබිණි. පසුබිමෙහි අහස එළිය වැටෙමින් ඇත. ඒ පැත්තෙන් උදෑසන සිසිල් සුළඟක් හැමීය. මම හැරී රන්දි දෙස බැලුවෙමි. ඇය අවදි වෙමින් සිටියාය. මම කිසිවක් නො කීවෙමි.
  • වෙනත් එක එක ගෘප්වල සුබ උදෑසනක්, ගුඩ් මෝනිං, මල් පොකුරු, ධනාත්මක චින්තන, නිව්ස් ඇලට් ආදිය උඩට පැමිණ ඇත.
  • ලොකු අයියා සමග හුවමාරු කර ගත් වොයිස් නෝට් කිසිවක් එහි දැන් නැති බව මම නිරීක්ෂණය කළෙමි.
  • ලොකු අයියා කියා කෙනෙකු සිටියේ නැති බව ලොකු අයියා ද කීවේය.
අකුරු ප්‍රමාණය (Font Size):


“ඔව්, අද,” කියා සිතුවෙමි. ලොකු අයියා නො පෙනී ගියේය. රන්දි ඇඳෙහි වාඩි වී කොණ්ඩය හිස් මුදුනට කර බැඳ ගත්තාය. අනතුරුව හැරී ඇඳෙන් බිමට දෙපා තබා කනප්පුව උඩ තිබූ ජංගම දුරකථනය ගෙන වෙලාව බැලුවාය.

“කීය ද?” මම ඇසීමි.

“පහයි කාලයි. ඔයාට ඕනැ නම් තව ටිකක් නිදා ගන්න.” ඇය පය බිම ගා සෙරෙප්පු සොයමින් කීවාය.

“ජොගිං යන්න ඕනැ. කාලෙකින් ගියෙ නැහැනෙ.”

 

lady washroom
ඇය නිදන කාමරයෙන් පිට වී නාන කාමරය දෙසට ගියාය. මම ජංගම දුරකථනය ගෙන වට්සැප් බැලුවෙමි. ලොකු අයියාගෙන් අලුත් පණිවුඩ නැත. ලොකු අයියාගේ නම බොහෝ පහළට ගොස් විය හැකිය. වෙනත් එක එක ගෘප්වල සුබ උදෑසනක්, ගුඩ් මෝනිං, මල් පොකුරු, ධනාත්මක චින්තන, නිව්ස් ඇලට් ආදිය උඩට පැමිණ ඇත.

“ඊයෙ රෑ ලොකු අයියා එක්ක වට්සැප් කළා ගොඩක් වෙලා.” මම ලූනු සුද්ද කරන ගමන් කීවෙමි.

“ඔයාට හොඳට නින්ද ගිහින් හිටියෙ.” රන්දි කීවාය.

ලොකු අයියා සමග හුවමාරු කර ගත් වොයිස් නෝට් කිසිවක් එහි දැන් නැති බව මම නිරීක්ෂණය කළෙමි. පැය ගණනක් මා කියූ දේ හා ඔහු දැක්වූ ප්‍රතිචාර. ඒවාට කුමක් වී ද?

“ලොකු අයියෙක් නැහැ අමිල. අපි මේක විසඳ ගනිමු.” රන්දි මගේ හිස අත ගාමින් කියයි.

ඇත්තය. ලොකු අයියා කියා කෙනෙකු සිටියේ නැති බව ලොකු අයියා ද කීවේය. මා ලොකු අයියා ගැන රන්දිට කීවේ ඇයි?

“අද හවස චැනල් එක. සයිකියැට්‍රිස්ට් පොඩි බෙහෙත් ටිකක් දෙයි. ඒක හොඳයි ඔයාගෙ මානසික සහනයට. ඒවා සාමාන්‍ය දේවල්.” රන්දි කියයි.

“ඔව්. එහෙම කරමු.” මම කීවෙමි. එහෙත්, අද. දිනය අදය.

 

man joging
“ඔයා ජොගිං ගිහින් එනකොට මං ගිහින් තියෙයි. ඇවිත් බත් කන්න. චූන් පාන් ගන්න එපා.”

“ඔව්. දැන් එක පඩියයිනෙ.”

“එහෙම එකක් නෙමෙයි මං කිව්වෙ. ඔයාට ආපහු රස්සාව ලැබෙයි. ඒක ඔයාගෙ වරදක් නෙමෙයිනෙ. ඔයා හොරකමක් කළේ නැහැ. ඒක අත්වැරැද්දක්.”


එහෙත්, ලොකු අයියා.

සාක්ෂි ඉතිරි කළ නොහැකි බව ලොකු අයියා කියයි. “දැන් වැඩේ පත්තු වෙලා තියෙන්නෙ.”

“ඉතින් මං මොකක් ද කරන්න ඕනැ ලොකු අයියෙ?”

“ඒක මගෙන් අහන්න ඕනැ ප්‍රශ්නයක් නෙමෙයි. අපි ප්‍රතිඥාවක් දීලා තියෙනවා.”

 

man lies face down bed cash his hands covering his face despair show emotional toll financial struggles recession 538213 90255

මම බොහෝ ඈත අතීතයේදී ඒ ප්‍රතිඥාව දුන්නෙමි. ළංව සිටියදී මෙන්ම දුරස්ථව සිටියදී ද මම ප්‍රතිඥාව රැක්කෙමි. අපි වැලි මීයන් වෙමු. ව්‍යාපාරයේ කැඳවුම ලැබෙන තෙක් අප සිටින්නේ වැලි යට සැඟවීය. මම බැංකුවේ මුදල් නෝට්ටු අතර සැඟවී සිටියෙමි. කැඳවීම ලැබිණි.

එය අත්වැරැද්දකැයි මම කීවෙමි. එය හැම අතින්ම අත්වැරැද්දකි. විශාල පාඩුවකි. එහෙත් අත්වැරැද්දකි. අධිකරණය ද එය පිළිගත්තේය. මට ඇප ලැබිණි.

අත්වැරැද්දකි. එහෙත්, ලොකු අයියා.

“අත්වැරැද්දක් තමයි. එහෙමම තමයි වෙන්න ඕනැ.” ලොකු අයියා කියයි. “අපි එතනින් ඒ කතාව ඉවර කරන්නට ඕනැ. ඒක නැවත වෙනස් කරන්නට බැරි විදියට සදහටම අවසන් කරන්නට ඕනැ. මිනිස්සු වෙනස් වෙනවා. කතාව වෙනස් වෙන්න බැහැ.”

“මට තේරෙනවා, ලොකු අයියෙ.” මම කියමි. “අපි අතර අවබෝධයක් තියෙනවා. අපට වගකීමක් තියෙනවා.”

“ඔව්, ඉතිහාසය අපට කතා කරනවා. අපි ඉතිහාසය වෙනුවෙන් අපේ වගකීම ඉටු කරනවා. අපේ වගකීම ඉතිහාසය සමග සම්බන්ධ වෙන්නෙ පුංචිම පුංචි අඩි පාරකින් වෙන්න පුළුවන්. ඒ වුණත්, ඒක වගකීමක්. ඉතිහාසය තුළ මම කියන පුද්ගලයා වැදගත් නැහැ. මම අයින් වෙන්නට ඕනැ වෙලාවල් තියෙනවා.”

අද මම.

“හෙට මම වෙන්න පුළුවන්.” ලොකු අයියා කියයි. “ව්‍යාපාරය එහෙමයි. ප්‍රතිඥාව මතක ද? අපි නැතත්, ව්‍යාපාරය තිබිය යුතුයි.”

ලොකු අයියා කියන දේ මට හොඳින් වැටහේ. මා ඉතිහාසයේ ගලනයෙන් ඉවත් විය යුතුය. ඉතිහාසය ගලා යා යුතුය. මා නැවතිය යුතුය.

රන්දි, නෙත්මි, අම්මා, තාත්තා, අයියා, නංගිලා, නෑයන්, යහළුවන්.

thief

එක අතකට මේ වන විට මට ඉතිරි වී සිටින්නේ කීයෙන් කී දෙනා ද? මාධ්‍යවල, සමාජ මාධ්‍යවල වාර්තා වුණේ මා හොරෙකු කියාය. මා සොරකු නො වන බව මා දන්නා අය දනිති. එහෙත්, මා ව්‍යාපාරයේ සිටි අයෙකු නිසා, පෞද්ගලිකව මා නො කරන සොරකමක් වුව ව්‍යාපාරය වෙනුවෙන් මා කරන්නට ඇතැයි සිතන අය සිටින බව පෙනේ. මගේ යහළුවන් සිතන්නේ මා අවංක අයෙකු කියාය. අවංකකම නිසාම මා ව්‍යාපාරය වෙනුවෙන් සොරකම කරන්නට ඇතැයි ඔවුහු සිතනවා විය හැකිය.

සිතනවා පමණක් නොවේ. වෙනදා මා සමග කතා බහ කරන අය ද දැන් කතා බහ කරන්නේ අඩුවෙනි. කාර්යාලයේ අය නම්, ඔවුන් ද මෙයට පැටලෙනු ඇතැයි බිය වී ඇතුවා විය හැකිය.

“අමිල, හොඳින් නේද මචං. අපි උඹ ගැන දන්නවා. උඹට සාධාරණයක් වෙයි. සැලෙන්න එපා මචං. ෆෝනුත් ටැප් කරල කියනවා. එහෙනම් පරිස්සමෙන් ඉඳපන්. හම්බ වෙමු, ඕකේ.”

“අපට වරදක් නැහැ තමයි. ඒ වුණාට, කවුරු ද දන්නෙ හිමිජ්ජා වගේ හිටියට මොන ජාතියෙ අයියලා ද කියලා. ඔය කට්ටිය ව්‍යාපාරෙ වෙනුවෙන් මරාගෙන මැරෙන්න වුණත් ගිවිසගෙනලු ඉන්නෙ. ඈත් වෙලා ඉන්න තරමට හොඳයි.”

“හොරු සල්ලි එළියට පෙන්නන්නෙ නැහැනෙ. ඔය සාමාන්‍ය මිනිස්සු වගේ හිටියට සල්ලි හංගා ගෙන ඇති.”

“අපට දුක අර ගෑනියි, මුගෙ අම්මල තාත්තලායි ගැන. ඒ මිනිස්සු සාධාරණෙන් ජීවත් වුණ අහිංසකයො. මූත් ඉන්නෙ නම් එහෙම තමයි. අම්මෝ, ඒ වුණාට කොහොම ද දීල තියෙන ගේම!”

මා පිළිබඳ විශ්වාසය අත් නො හළේ රන්දි පමණි. නෙත්මි තවම පොඩි ළමයෙකි. ඇය පාසල් නො යන්නේ උසස් පෙළ විභාගය ළඟ නිසාම නොවිය හැකිය. ඇය ශිෂ්‍ය නායිකාවකි. නො යන්නේ ලැජ්ජාව නිසා විය හැකිය.

“තාත්තා දැන් කොහේ ද ඉන්නෙ කියලා ටීචර් ඇහුවා.”

මා රිමාන්ඩ් භාරයේ සිටියේ සති දෙකකි. සති දෙකක් වුව, එය අවුරුදු දෙකක් තරම් දිග කාලයකි. එතරම් තදබද, අවිනීත, අවිචාරවත් කෲර සමාජයක අවුරුදු ගණනක් සිරගත වී ඉන්නට සිදු වනවාට වඩා මැරෙන එකත් සැපතකි. එය තීරණය කරන්නේ මා නොවේ. ව්‍යාපාරයයි.

remand man

“අඩෝ බැංකු හොරා, අපි වගේ මංකොල්ල කාපන් බං. ඇතුළෙ ඉඳන් තමන්ට රස්සාව දුන්න ආයතනෙටම ඔහොම කැත ගේම් දෙන්නෙ නැතුව. උඹල තමයි රට කන උගත්තු. ඔය ඇති නෑව. දැන් පල.” මට හිර ගෙදර සිහි වේ.

ජොගිං අඳින කලිසමෙන් කපුරු බෝල සුවඳ හැමීය. මම අත් දිග ජර්සියක් ඇඳ ගත්තෙමි. කැප් තොප්පිය ද, වෙනදා නො දාන අව් කන්නාඩි ද දමා ගතිමි. පිට්ටනියේදී හඳුනන අය හමු වේ. හායි, ගුඩ් මෝනිං කියාගෙන මාරු වුව ද, වෙන එවුන් නතර වී ඔය අරයනෙ කියා කතා විය හැකිය. කරන්නට දෙයක් නැත. දිනය අදය. ලොකු අයියා පිට්ටනියට ඔබ්බේ පාළු ඉදි කිරීම් වැඩ බිමේදී මා හමු වනු ඇත.

ඉක්මනින් පිට වෙමි. අධි සංවේදී වන්නට වෙලාව නො ගත යුතුය. කොහෙත්ම සංවේදී නො විය යුතුය.

“අතීතය ගැනවත්, අනාගතය ගැනවත් කල්පනා කරන්න එපා.” ලොකු අයියා කියයි. “මේ මොහොත ගැන කල්පනා කරන්න.”

මම ඒ මොහොතේ එය කළෙමි. මේ මොහොතේ මෙය කරන්නට සිදු වී ඇත. මා නැවතිය යුතුය. ව්‍යාපාරය පැවතිය යුතුය. ඉතිහාසය ඉදිරියට යා යුතුය.

නෙත්මි තවමත් නිදි ඇත. ඒ ගැන කල්පනා නො කළ යුතුය. දුරකථනයේ ලොකු අයියා සමග සංවාදය නැත. එය ඔහුම මකා දැමුවා විය හැකිය. නැතිනම් මට මකා දමන්නට සිදු වේ. එහි එල්ඒ යනුවෙන් සේව් කරනා ලද අංකයක් ද නැත. මට මකා දමන්නට කිසිවක් නො තිබිණි. නෝ ඩිජිටල් ෆුට් ප්‍රින්ට් යයි මට සිතිණි. ඇත්තටම කිසිවක් නැති ද? ඒ සියල්ල රන්දි කියන සේ මගේ හිතලු ද?

ජොගිංවලට දමන සපත්තුවල දූලි හා මකුළු දැල් ද බැඳී ඇත. ඇතුළත පිරික්සා බැලුවෙමි. සර්පයකු සිට දෂ්ට කළත් මොක ද? මා යන්නේ ආපසු එන්නට නොවේ. එහෙත්, සර්ප දෂ්ටන සුව කළ හැකිය. මගේ ගමන අඩාල විය හැකිය. මා ජොගිං යන නිසා රන්දි සතුටින් වැඩට යනු ඇත.

පිට්ටනියේ වාමාවර්තව රවුම් දහයක් යා යුතුය. හැමෝම යන්නේ එහෙමය. මට රවුම් ගණන මතක නැත. ලොකු අයියා අසල අත්හැර දමන ලද වැඩබිමේ ගොඩනැගිල්ලේ සිට මා නිරීක්ෂණය කරනවා විය යුතුය. මේ පස්වැනි රවුම ද? නැතිනම් මා පස්වැනි රවුම අවසන් කළා ද?

මේ වගේ අවසන් සිතිවිලිවලියයි. ලොකු අයියා. ඔහු කවුරු ද? ව්‍යාපාරය කුමක් ද? ව්‍යාපාරය මා ලවා සොරකම කෙරෙව්වා ද? නැතිනම්, එය අත් වැරැද්දක් ද? මා සිය දිවි නසා ගත යුතුම ද? මා නිදහස් වනු ඇත. නැතිනම්, අත්වැරැද්දට, නොසැලකිල්ලට, චේතනාවෙන් තොර වරදකට ලිහිල් හෝ බරපතළ හෝ දඬුවමක් ලැබෙනු ඇත. කාලය ගෙවෙනු ඇත. මා ආපසු එනු ඇත. නෙත්මි. ඒ ගැන කල්පනා නො කළ යුතුය. රන්දි. මේ සිතිවිලි අත්හළ යුතුය. ලොකු අයියේ, මට ඔබේ උදව් අවශ්‍යය. මම එන්නෙමි. දැන් රවුම් කීය ද?

 

Sri Lankan man commits suicide during video call with girlfriend 3

වංචාවට සම්බන්ධ බැංකු නිලධාරියා සියදිවි නසා ගෙන යැයි මාධ්‍ය වාර්තා කරනු ඇත. මගේ මරණය හා ව්‍යාපාරය ගැන ඕපාදූප ගොසිප්පුවන් විසින් වාර්තා කරනු ඇත. ඔවුන් මා සොරකු කරනු ඇත. ඉතින් මට මොක ද? මා නැත. මා නැතත්…

මා නැති නම්, මා හෝ මගේ දේ කියා දෙයක් ද නැත. ඒවා කල්පනා නො කළ යුතුය. මම කම්බි වැට පැන ඇවිද යමි. ඔහු කම්බි වැට පැන කැලය පැත්තට යනවා දුටුවා යැයි කිසිවකු සාක්ෂි දෙනු ඇත. එහෙත්, ඒ සියල්ල අවසන් වූ පසුවය.

 

The Bankers death 768x1376

Ajith parakum J
(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
Creative Content Consultants

ajithperakum@gmail.com


(මෙම ලිපිය praja.lk හි පලවූවකි)
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...