ඉරානීය සංස්කෘතිය හා සමග වෙළි පවතින්නකි.
ඉස්ලාමය එරට මූලික ආගම බවට පත් වන්නට කලිනුත් ඊට පසුවත් ආගමික සුළුතරයන් එහි ජීවත් වූ අතර ආගමික බහුතරය කෙරෙන් ඔවුන්ට කිසිදු සීමාවක් පැනවී නැත. ඉතිහාසවේදින් පවසන අන්දමට අනෙකුත් ආගම් සහ ඇදහීම් ක්‍රමවලට ඉරානයේ සෑම විටෙකම නිසි ගෞරවය දෙනු ලැබ තිබේ. ප්‍රාග් ඉස්ලාමීය යුගයේ පටන්ම ක්‍රිස්තු ලබ්ධිකයෝ ද ඉරානයේ නිදහසේ ජීවත් වෙමින් සිටිති. ඉරනීය ක්‍රිස්තු ලබ්ධිකයින් පිළිබඳ ඉතිහාසය මේ සම්බාධයෙන් සාක්ෂි දරයි. ඉරානය තුළ ඔරුමියෙන්හි නිමල මරියා දේවස්ථානය, ඉස්ෆහාන්හි වැන්ක් දේවස්ථානය, මාකුහි ශාන්ත තදෙවුස් වැනි පෞරාණික ක්‍රිස්තියානි දේවස්ථාන රැසක් පවතී. ඉරානයේ පැරැණිතම ක්‍රිස්තියානි දේවස්ථානය වන නිමල මරියා දේවස්ථානය ලොව පැරණිතම දේවස්ථාන අතුරින් එකක් වශයෙන් ද සැලකෙයි. ජේසුස් වහන්සේගේ උපත සිදු වූ බෙත්ලෙහෙමහි එනම්, පලස්තීනයේ පිහිටි බෙත්ලෙහෙමේ දේවස්ථානයට පමණක් දෙවැනි වඩාත්ම ප්‍රකට ක්‍රිස්තියානි දේවස්ථානය නිමල මරියා දේවස්ථානය බැව් සැළකේ.

ඉරානයේ පිහිටි අනෙකුත් ප්‍රසිද්ධ ක්‍රිස්තියානි දේවස්ථාන අතුරින් ඉස්ෆහාන් හි ජොල්ෆා ප්‍රදේශයේ පිහිටි වෑන්ක් දේවස්ථානය ද වේ. මෙම දේවස්ථානය කෙරෙන් ඉරාන ගෘහ නිර්මාණ ශිල්පයේ බෙහෙවින් සිත් ඇදගන්නා සුළු මුහුණුවර කිහිපයක් විද්‍යමාන වේ. දේවස්ථානවල ඇති චිත්‍ර කුසලතා පූර්ණ ඉරාන සිත්තරුන්ගේ රසය විදහා දක්වයි. වෑන්ක් දේවස්ථානයේ බිත්ති කෙරෙන් යමෙකුට කාල යාත්‍රාව පිළිබඳ යම් ඉවක් ද ඇති කර ගත හැකිය. දේවස්ථාන කෞතුකාගාරයේ බිත්ති සහ එහි ගොඩනැගිලි සෆාවිද් වකවානුව තුළ කැපී පෙණුන ඉරාන ගෘහ නිර්මාණ ශිල්පයේ සංකේතයක් වශයෙන් නැගී සිටින්නකි.
ක්‍රි. ව 6 වැනි සහ 9 වැනි සියවසේ අතර යුගයකට උරුමකම් කියන ශුද්ධ වූ තදෙයුස් දේවස්ථානය පිහිටා ඇත්තේ බටහිර දිග අසර්බයිජාන පළාතෙහිය. මෙම දේවස්ථානය ගොඩ නගනු ලැබ ඇත්තේ ජේසුස් වහන්සේගේ අපෝස්තුළුවරයෙකූ වන ශාන්ත තද්දෙයුස් විසින් බැව් වාර්තා වේ. සෑම වසරක් පාසාම ක්‍රිස්තු ලබ්ධිකයෝ විශාල පිරිසක් මෙම දේවස්ථානය වන්දනා කිරීමට යති.
ශිෂ්ටාචාරයේ තොටිල්ල හා නිමල මරියා දේවස්ථානය..

ඉරාන ශිෂ්ටාචාරයේ තොටිල්ල වශයෙන් සහ පුරා විද්‍යාත්මක හා ඓතිහාසික සිහිවටන පරාසයකින් හෙබි ඔරුමියේහි පිහිටා ඇති නිමල මරියා දේවස්ථානය ලොව වඩාත්ම පැරණි දේවස්ථාන අතුරින් එකක් ලෙස සැලකේ. ජේසුස් වහන්සේ ගේ නික්මීමෙන් සුළු කලක් ගත වූ විට මෙම දේවස්ථානය මේ නගරය තුළ ඉදි කෙරෙනු බැව් කියැවේ. ඇසිරියානු බසින් මෙම දේවස්ථානය හැඳින්වෙන්නේ ශුද්ධ වූ කන්‍යාතුමිය යන අරුත දෙන ‘මර්ට් මාරියම්’ යන යෙදුමෙනි.
ඉතිහාසවේදීහු ඇතැමෙක් මෙම දේවස්ථානය පලස්තීනයේ බෙත්ලෙහෙම් දේවස්ථානය ට පසු දෙවන පැරණිතම දේවස්ථානය ලෙස සලකති. සමචතුරස්‍රාකාර හැඩයෙන් ඇති දේවස්ථාන ගොඩනැගිල්ල බෙහෙවින් සිත් ඇදගන්නා සුළු සරල එකක් ය. දේවස්ථානයේ ඝනකම් අත්තිවාරම් ගලින් හා හුණු බදාම වලින් සාදනු ලැබ තිබේ. දේවස්ථානයේ ඇතුළු ගෙය යාඥා ශාලාවක්, අල්තාරයක්, කාමර කිහිපයක්, සහ වාහල්කඩ කිහිපයකින් සමන්විත වේ. අතීතයේ දී මෙන් නොයෙක් වර්ගවල සුවද කාරක සහ කැළෑ ශාක දේවස්ථානයේ ඇතුළත අලංකාරය සදහා යොදා ගෙන ඇත. දේවස්ථානය තුළ ප්‍රතිමා හෝ සාන්තුවරයෙන් ගේ චිත්‍ර දක්නට නොමැත. මන්ද යත් පෙරදිග දේව සභාවල සාමාජිකයින් ඒවා භාවිතය පිළිබඳ විශ්වාස නොකරන බැවිනි.
ක්‍රි. ව 642 දී මෙම දේවස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණි චීන ජාතික කුමරියක් එහි ප්‍රතිසංස්කරණය සදහා සම්මාදම් වි ඇත. එයින් පසු ඇගේ නම දේවස්ථාන බිත්තියේ රදවන ලද ගල් පුවරුවක කොටනු ලැබ තිබේ. සුප්‍රකට ඉතාලි ජාතික සංචාරක මාර්කෝ පොලෝ නිමල මරියා දේවස්ථානය දැක බලා ගැනීමට පැමිණි තවත් අයෙකු වන අතර ඔහුගේ ගමන් වාර්තා වල ද දේවස්ථානය පිළිබඳ ව සඳහන් කරනු ලැබ තිබේ. 1903 දී විශිෂ්ට ඇමරිකානු ප්‍රාචීන භාෂා ශාස්ත්‍රවේදි ඒබ්‍රහම් ජැක්සන් මෙම දේවස්ථානය දැක බලා ගැනීමට පැමිණ එය ඡායාරූපයකට ද නගා ඇත.
සමහරක් විස්තර අනුව මෙම දේවස්ථානය අතීතයේ දී රමණීය ගෙවත්තකින් හෙබි වූ අතර මල්වල සුවදින් අවට වාතය පුබුදු කෙරිණි. පෙරදිග දේව සභාවෙහි නායකයා වශයෙන් මාර්පොලොස් පත් කෙරුණු උත්සවය 1918 අප්‍රේල් 15 වැනි දා ඇසිරියානු ජ්‍යෙෂ්ඨ දේවධර්මවාදීන් සහ වියතුන් විශාල පිරිසක ගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබ ඇත්තේ මෙම දේවස්ථානය තුළ ය. 1874 දී අභාවප්‍රාප්ත වූ ගැවිලන් දිස්ත්‍රික්කයේ හිටපු රාජගුරු ප්‍රසාදි මර්යුහානා වැනි සුප්‍රකට පුද්ගලයින් රැසක් ම දේවස්ථානයේ දෙපස වාහල්කඩ තුළ මිහිදන් කරනු ලැබ තිබේ.
කොමෙයින් චතුරස්‍රය හා ඉස්ෆහාන්හි වෑන්ක් දේවස්ථානය..

ඉස්ෆහාන් හි ජොල්ෆා ප්‍රදේශයේ හි පිහිටා ඇති වෑන්ක් දේවස්ථානය ඉරානයේ වඩාත්ම ප්‍රකට දේවස්ථාන අතරින් දෙවැන්නයි. ඉස්ෆහාන් වසර 400 කට පෙර සෆාවිද් රජ පෙළපතෙහි අගනුවර වශයෙන් පැවතියේය. මෙම නගරය තුළ ලොව දර්ශනීයතම ඓතිහාසික ගොඩනැගිලි සමුච්චයකින් සමන්විත කලින් නග්ෂ් - ඒ- ජහාන් චතුරස්‍රය යනුවෙන් හැඳින්වුණු ඉමාම් කොමෙයින් චතුරස්‍රය පිහිටා ඇත.
ගෘහ නිර්මාණ ශිල්ප සංලක්ෂණයෙන් අද්විතීය ඉමාම් කොමෙයිනි චතුරස්‍රය සහ අවට භූමි භාගයන් ලොව වැදගත් සංස්කෘතික උරුමයන් ලෙස සැලකේ. කෙසේ වෙතත් කලාත්මක හා ගෘහ නිර්මාණ ශිල්පයේ අගය සලකා බලන කල වෑන්ක් දේවස්ථානය ඉස්ෆහාන් හි අනෙකුත් ඓතිහාසික ගොඩනැගිලි අතර සුවිශේෂී තැනක් හොබවයි. නගරය මැදින් ගලායන සයන්දේහ් රූද් ගංගාව නග්ෂ් - ඒ - ජහාන් චතුරශ්‍රයේ ඓතිහාසික භූමි සහ වෑන්ක් දේවස්ථානය පිහිටි දිස්ත්‍රික්කයෙන් වෙන් කරයි.
ජෝල්ෆා දිස්ත්‍රික්කයේ පැරණි දේවස්ථාන රැසක් දක්නා ලද ද ඒවා අතුරින් වඩාත්ම ප්‍රසිද්ධ වන්නේ වෑන්ක් දේවස්ථානයයි. දේවස්ථානය වටා පැරණි ශාක දක්නට ලැබෙන අතර මිදුල දිගට ගඩොල් අල්ලා හැඩ කරනු ලැබ තිබේ. දේවස්ථානය ඉදි කෙරෙනු ලැබ ඇත්තේ කවර වකවානුවක දැයි නිශ්චිත සඳහනක් දක්නට නොවේ. කෙසේ වෙතත් මෙය ඉස්ෆහාන්හි පැරණිතම දේවස්ථාන අතුරින් එකක් බවට සාක්ෂි දරයි.
මෙම දේවස්ථානය 1605 ප්‍රතිසංස්කරණය කරනු ලැබ තිබේ. අද වෑන්ක් දේවස්ථානය පිහිටා ඇති බිම්කඩ මතම කලකට ඉහත අනාහිතා නම් පන්සල පිහිටි බැව් සමහරක් ඉතිහාසවේදීන් ගේ මතයයි. ක්‍රිස්තියානි ලබ්ධිකයින් ඊට ‘ගැලවුම් කාරයා’ යන අරුත ඇති ‘අමිනා ජෙර්ගිජ්’ යන නම යෙදූහ.
අබ්බාස් ඊ සෆවි ෂාහ්වරයා ජොල්ෆාහි ආමේනියානුවරුන්ගේ පරිත්‍යාග යොදා ගෙන මෙම දේවස්ථානය ප්‍රතිසංස්කරණය කළේය. ඉස්ෆහාන් කරා යෙරේවාන්හි පිහිටි තවත් දේවස්ථානයකින් ගඩොල් ගෙන එන බව ද එක් තැනක සඳහන් වේ. දේවස්ථානයේ ඇති ශිලා ලේඛනයකින් කියවෙන පරිදි එහි ආදී කර්තුවරයා කාජෙහ් අවෙදීන් නමැත්තා ය. වෑන්ක් දේවස්ථානය තුළ ශිලා ලේඛන රැසක් දක්නා ලැබේ. මෙම ශිලා ලේඛන විවිධ ඓතිහාසික වකවානු තුළ විශිෂ්ට මිනිසුන්ගේ අණින් තනා සවි කරනු ලැබ ඇත.
ජේසුස් වහන්සේගේ භූමදාන මංගල්‍යය මූර්තිමත් කරන සිතුවමක් ඉරාන සිත්තරුන්ගේ අතින් මනහර ලෙස සිතුවමට නගා ඇත. දේවස්ථාන කෞතුකාගාරයේ විවිධ ඓතිහාසික ලිපි ලේඛන, සහ භාණ්ඩ දැක ගත හැකිය. කෞතුකාගාරයේ තබා ඇති භාණ්ඩ බොහොමයක් යුරෝපයේ සංචාරයේ නිරත වුණු ක්‍රිස්තියානි සහ ආර්මේනියානු වෙළෙන්දන් විසින් දේවස්ථානය ට තෑගි කරන ලද ඒවාය. ආර්මේනියානු බසින් ලියවුනු අත්පිටපත් මෙන්ම සෆාවිද් රජවරුන් ගේ අණ පනත්, ලිපි කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත. වෑන්ක් දේවස්ථානය තුළ මුද්‍රණාලයක් ද, පොත් ගුලක් ද දක්නට ලැබේ.
සාන්ත සාන්ත තදෙයුස් හා වීර මරණය..

ඉරානය තුළ පිහිටි නැරඹීමට තරම් අගනා අනෙකුත් දේවස්ථාන අතට බටහිර දිග අසර්බයිජානයේ බසර්ගාන් දේශ සීමාව අතර පිහිටි සාන්ත තදෙයුස් දේවස්ථානය වෙයි. මෙම දේවස්ථානය ක්‍රි.ව 6 වැනි සහ 9 වැනි සියවස් අතර කාලයේ ගොඩනගන ලද බැව් ඉතිහාසවේදිහු විශ්වාස කරති.
1319 දී සිදු වූ භූමි කම්පාවකින් මෙම දේවස්ථානය ට හානි සිදු විය. සාන්ත තදෙයුස් දේවස්ථානය ජේසුස් වහන්සේගේ අපෝස්තුළුවරයකු විසින් ගොඩනගන ලද බැව් සමහරක් ඉතිහාසවේදීහු කියති. සමහරක් සඳහන් අනුව ක්‍රි.ව 40 දී තදෙයුස් කිතු දහම ප්‍රචාරය කරනු වස් එම ප්‍රදේශයට ආවේය. එවකට සිටි රජතුමාගේ දියණිය ක්‍රිස්තු ලබ්ධියට හරවා ගැනීමට ඔහුට හැකි විය. මේ නිසා තදෙයුස් හා රජතුමාගේ දියණිය වූ සන්දෙක්ත් ද වීර මරණය ට පත් කරන ලදී. සන්දෙක්ත් කුමරිය ගේ සොහොන පිහිටා ඇත්තේ ද එම දේවස්ථානය තුළම ය.
වසරක් පාසා සිය ගණනක් ක්‍රිස්තියානි වන්දනාකරුවෝ දේවස්ථානයත්, තදෙයුස්ගේ සහ කුමරිය ගේ සොහොන් කොතුත් නරඹන්න ට එක්රොක් වෙති. ඉරානය තුළ ක්‍රිස්තියානි දේවස්ථාන පැවැත්ම, දිගුකාලීන ආගමික විවිධත්වයක් සහ සංස්කෘතික අන්තර්ක්‍රියාවක් පිළිබඳ සම්ප්‍රදායකයක් නිරූපණය කරයි. මෙම ඓතිහාසික ස්ථාන ආගමික වන්දනාස්ථාන ලෙස පමණක් නොව, ඉරානයේ සම්පූර්ණ ගෘහ නිර්මාණ, කලාත්මක හා ආත්මීය උරුමයේ දිගුකාලීන සංකේත ලෙසද පවතී.

(සටහන | සාමා ශිෆානි)
කොළඹ ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානය




