The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

භාණ්ඩාගාර නිලධාරියාගේ මරණයට වගකිව යුත්තේ කවුද? | සුනිල් කන්නන්ගර

T

The Leader Desk

May 3, 2026 • 5:43 AM

භාණ්ඩාගාර නිලධාරියාගේ මරණයට වගකිව යුත්තේ කවුද?  | සුනිල් කන්නන්ගර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහා භාණ්ඩාගාරයේ සිදු වූ ඩොලර් මිලියන 2.5ක ගෙවීම් වංචාව පිළිබඳව වැඩ තහනමට ලක්ව සිටි විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුගේ හදිසි අස්වාභාවික මරණය මුළුමහත් රාජ්‍ය සේවයම කලඹවන සිද්ධියක් බවට පත්වී ඇත.
  • ඔහු පිළිබඳව හොඳින් දන්නා අයට අනුව ඔහු නිහඬ, අවංක, සාධාරණ ලෙස ක්‍රියා කළ රාජ්‍ය නිලධාරියෙකි.
  • ඔහු ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කළ බව පැවසුණ ද පසුගිය දිනවල ඔවුන්ගේ නම් සමාජ මාධ්‍යයේවත් පළවී තිබෙනු දක්නට නොලැබුණි.
  • නැතිනම් වෙහෙස මහන්සි වී අවංකව රාජකාරි කළ තමන්ව අසාධාරණ ලෙස වැඩ තහනමකට ලක් කළේය යන කලකිරීම නිසා ඔහු පීඩාවට පත්වී තිබුණාද?
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම ඩොලර් මිලියන 2.5ක වංචනික ගෙවීම පිළිබඳව මුලින්ම තොරතුරු දැනගත්තේ මෙම අභිරහස් මරණයට මුහුණ දුන් නිලධාරියා බවත්, ඔහු මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල සිදු කළ නිලධාරියා බවටත් වන කතාන්දර මේ වන විට සමාජ මාධ්‍යයේ පැතිරෙමින් තිබේ.

කෙසේ වුවද මෙම නිලධාරියා පිළිබඳව සානුකම්පිත අදහස් පළ කිරීම් රැසක් ද සමාජ මාධ්‍යයේ පළවෙමින් තිබේ. ඔහු පිළිබඳව හොඳින් දන්නා අයට අනුව ඔහු නිහඬ, අවංක, සාධාරණ ලෙස ක්‍රියා කළ රාජ්‍ය නිලධාරියෙකි. ඔහු ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කළ බව පැවසුණ ද පසුගිය දිනවල ඔවුන්ගේ නම් සමාජ මාධ්‍යයේවත් පළවී තිබෙනු දක්නට නොලැබුණි.

4yv56565

මෙම වංචනික ගෙවීම පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුමගේ වගවීම පොදුවේ ප්‍රශ්න කරමින් තිබෙනු පසුගිය දිනවල දක්නට ලැබුණි. එසේ නොමැතිව මෙම ගනුදෙනුව සිදු වූ භාණ්ඩාගාරයේ ඒ ඒ අංශවල සේවය කළ තනි තනි නිලධාරීන් මෙම ගනුදෙනුව පිළිබඳව පොදුවේ සැකයකට ලක්වී තිබුණේ නැත. එම නිසාම සියදිවි නසා ගැනීමට තරම් අවශ්‍ය මානසික පීඩනයක් ලැබෙන අන්දමේ චෝදනාවකට මෙම නිලධාරියා ලක්වී තිබීමක් නිරීක්ෂණය වුණේ ද නැත. එම නිසාම මෙම නිලධාරියාට සමාජයෙන් බලවත් පීඩනයක් එල්ල වී නොතිබුණත් ඔහුගේ හෘද සාක්ෂියෙන් පීඩනයක් එල්ල වී තිබුණේද? නැතිනම් වෙහෙස මහන්සි වී අවංකව රාජකාරි කළ තමන්ව අසාධාරණ ලෙස වැඩ තහනමකට ලක් කළේය යන කලකිරීම නිසා ඔහු පීඩාවට පත්වී තිබුණාද? එසේත් නැතිනම් මෙම වංචනික ක්‍රියාවේ වගකීම පැවරී ඇති ලොක්කෙකු බේරාගැනීමට මෙම නිලධාරියාට වගකීම භාරගන්නා ලෙසට දැඩි බලපෑමක් එල්ල කර තිබුණාද?

මෙම වංචාව නිලධාරීන්ගේ නොසැලකිල්ල මතම සිදු වූ එකක් බවත්, අමාත්‍යාංශයේ ඉහළ බලවතා මේ ගැන හාංකවිසියක්වත් දන්නේ නැති බවටත් වන ප්‍රචාරයක් ආණ්ඩු හිතවාදීන් පසුගිය දිනවල ගෙන ගියේ ඉහත පරිදි නිලධාරීන්ගේ ඇඟේ මෙම වංචාව ගසා බේරීමටද? යන සාධාරණ සැකයන් විසඳා ගත යුතුව තිබේ. මේ අන්දමින් දිනෙන් දින අභිරහස් සහ පැහැදිලි හේතූන් පෙන්විය නොහැකි සිද්ධීන් මතු වන නිසාම මෙම ගනුදෙනුව පිළිබඳව නිසි පරිපාටිවලට අනුව රාජකාරිමය පසු කටයුතු සිදුවන්නේද යන්නත්, ප්‍රස්තුත ගනුදෙනුව නිසි පටිපාටි අනුව අදාළ පියවර සම්පූර්ණ කර සිදු කළ එකක්ද යන්නත් විමසා බැලීම අත්‍යවශ්‍යයෙන්ම සිදු කළ යුතුව තිබේ.

Cover2 13
දැනට දැනගන්නට ඇති අන්දමට ඕස්ට්‍රේලියානු රාජ්‍ය ආයතනයකට ගෙවීමට තිබුණු ණය මුදලක වාරික මුදල් ගෙවීමට ගොස් එම මුදල ඕස්ට්‍රේලියානු රාජ්‍ය ආයතනය ලෙස ව්‍යාජව ඇඟවූ පාර්ශ්වයක ගිණුමකට ගෙවීමට ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරය කටයුතු කර ඇත. රාජ්‍ය ණය ආපසු ගෙවීමේ කාර්යය කලින් ශ්‍රී ලංකා මහ බැංකුව භාරයේ තිබී දැන් මහා භාණ්ඩාගාරයට පැවරී තිබේ. මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය මෙම ණය ආපසු ගෙවීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කර ඇත.

රාජ්‍ය මුදල් පාලනයේදී මුදල් ගෙවීම පිළිබඳව කටයුතු කිරීමේදී අනුගමනය කළ යුතු ප්‍රධාන පියවර හතරකි. ඒ බලය දීම, අනුමත කිරීම, සහතික කිරීම හා ගෙවීම යන පියවර හතරයි. රාජ්‍ය අරමුදලෙන් මුදල් ගෙවීම පිළිබඳ අවසාන වගකීම පැවරෙන්නේ මුදල් වැය කරන රාජ්‍ය ආයතනය භාර ප්‍රධාන ගණන් දීමේ නිලධාරියාට ය. මහා භාණ්ඩාගාරයට අදාළ ගෙවීම්වල අවසාන වගකීම ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාටයි. ඒ අනුව ඉහත සඳහන් ගෙවීම් පියවර හතර සඳහා සුදුසු නිලධාරීන්ට එකී කාර්යයන් පවරා ඔවුන්ගේ ක්‍රියාවන් සමීපව අධීක්ෂණය කිරීම භාණ්ඩාගාර ලේකම්ගේ වගකීමයි. සාමාන්‍යයෙන් ගෙවීමකට අදාළ බලය දීම සිදු කරන්නේ අදාළ ගණන් දීමේ නිලධාරියායි. එබැවින් මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාරයෙන් කරනු ලබන ඉහත ණය ආපසු ගෙවීම සඳහා ද බලය දෙන්නට ඇත්තේ මුදල් ලේකම්වරයායි.

අනුමත කරන නිලධාරියා බොහෝ විට අදාළ වියදම දරන කාර්යය සත්‍ය වශයෙන්ම සිදු වී ඇති බවටත්, එම සිදු වී ඇති කාර්යය නියමිත ගිවිසුම් ආදියට අනුව සිදුව ඇති බවත්, අදාළ ගෙවීමත් ඊට අනුකූල බවටත් වගකිව යුතු ය. සහතික කරන නිලධාරියා නියමිත බලය දී ඇති බවත්, කාර්යය නිසි ලෙස ඉටුවී ඇති බවටත්, එය සාධාරණ ගෙවීමක් බවටත් සහතික වෙයි. ගෙවන තැනැත්තා නිවැරදිව ගෙවිය යුතු අයට ගෙවන බවට වගබලා ගත යුතු වේ. ගෙවීම ලබන්නාගේ අනන්‍යතාව පරීක්ෂා කිරීම, ලදුපත තහවුරු කර ගැනීම, නියමිත පරිදි ගිණුම්ගත කිරීම ආදිය ද මීටම අයත් කාර්යයන්ය. මෙහි දී මෙම කාර්යයන් එකක්වත් වගකීම් සහගතව ඉටු කර ඇති බවක් පෙනෙන්නට නැත.

 

81fd3e2e520723880d28d423d2bc5513bfe7d4df
රජයේ මහා භාණ්ඩාගාරය සමස්ත රටේම රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳව උපදෙස් ලබා දෙන හා මග පෙන්වීම පැවරී ඇති ආයතනයයි. එය අයත් වන්නේ පාර්ලිමේන්තුව වෙත රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳව වගකීමට බැඳී සිටින මුදල් ඇමතිවරයාටයි. මුදල් ඇමතිවරයා ලෙස පත්විය හැක්කේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හෝ ජනාධිපතිවරයාට පමණක් නිසා මූල්‍ය කළමනාකරණය, පරිපාලනය ආදී විෂයානුබද්ධ දැනුමක් හා පරිචයක් ඇති අයෙකු ඔවුන් අතර සැමවිටකම සිටිතැයි අපේක්ෂා කළ නොහැක. මේ නිසාම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කළ යුත්තේ බුද්ධියෙන් ද, විෂයානුබද්ධ දැනුමෙන් ද, පළපුරුද්දෙන් ද, කුසලතාවයෙන් ද, පාලන කෞශල්‍යයෙන් ද අනූන දක්ෂතම නිලධාරියෙකි.

මෑත කාලීනව එම ධුරයට පත්ව සිටි පී. බී. ජයසුන්දර, ආචාර්ය සමරතුංග, මහින්ද සිරිවර්ධන වැනි අය අර්බුදකාරී තත්ත්වයන් කළමනාකරණය කරගෙන රාජ්‍ය මූල්‍ය පාලනය සඳහා ආණ්ඩුවටත් රජයටත් මග පෙන්විය හැකි මට්ටමේ ප්‍රවීණයෝ වූහ. වර්තමාන මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා උගතෙකු බව සැබෑ වුවත්, පාලන කෞශල්‍යය, පළපුරුද්ද, තීරණ ගැනීම හා අර්බුද කළමනාකරණයෙහි හිරු අභියස කදෝපැණියෙකු බඳු අයෙකු බව පැහැදිලි ය. මෙම සිද්ධිය හැකර්වරුන්ගේ ක්‍රියාවක් ලෙස හැඳින්වීමත්, ඒ ගැන පාර්ලිමේන්තුවට දැනුම් නොදුන්නේ සිද්ධිය ප්‍රසිද්ධ වුණොත් හැකර් කළ අය සැඟවෙන්නට ඉඩ තිබූ නිසා බවටත් මාධ්‍යයට දුන් බොළඳ පිළිතුරෙන්ම ඔහුගේ බුද්ධිය පිළිබඳව සැක උපදී.

 

1578573598370
එමෙන්ම මෙම වැරදි ගෙවීමට අදාළව දැනට හෙළිදරව් වී ඇති කරුණු අනුව භාණ්ඩාගාරයේ ලේකම්වරයාගේ අධීක්ෂණයේ තරම කොතරම්දැයි හෙළි වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කළ කරුණුවලට අනුව ඕස්ට්‍රේලියානු රජයේ ඊමේල් ජාලයේ ඩොමේන් නාමය වෙනස් කර ව්‍යාජ ඊමේල් එවීමේ උත්සාහයක් ගැන භාණ්ඩාගාරයේ සයිබර් උපදේශක සමාගම් අනතුරු ඇඟවීම් කර තිබිණි. එම අනතුරු ඇඟවීම්වලින් පසුව මෙම ගෙවීම සිදු වී ඇති බව වැඩිදුරටත් CID නිලධාරීන් මහේස්ත්‍රාත්වරයාට වාර්තා කළ බව මාධ්‍ය වාර්තාවලින් හෙළි කෙරිණි. මෙම අනතුරු ඇඟවීම් ලැබෙන්නට ඇත්තේ මුදල් අමාත්‍යාංශයටයි. ඒ පිළිබඳව නිසි දැනුවත් කිරීමක් අමාත්‍යාංශය තුළ කිරීමේ වගකීම ඇත්තේ ලේකම්වරයාටයි. ඒ අර්ථයෙන් බැලූ කල මෙයත් පාස්කු ප්‍රහාරය හා සමානය. ඒ අනතුරු ඇඟවීම ලැබී තිබියදීත් සිද්ධිය වළක්වා ගත නොහැකි වීම නිසාය.

භාණ්ඩාගාරයේ ණය වාරික ගෙවීම් කිරීමේදී නියමිත ණය ගිවිසුම්වල ණය වාරික ආපසු ගෙවිය යුතු බැංකු ගිණුම් විස්තර ඇතුළත්ය. අතරමැදදී එම බැංකු ගිණුම් විස්තරවලට වෙනස් ගිණුමකට මුදල් බැර කිරීමට ඉල්ලන විට ඉල්ලීමේ නිරවද්‍යතාව තහවුරු කරගෙන අදාළ ගිවිසුම නිසි ලෙස සංශෝධනය කරගත යුතුව තිබුණි. මෙම ක්‍රමවේද නිසි ලෙස අනුගමනය කළා නම් මෙම වංචනික ගෙවීමට ඉඩ නොලැබේ. දැනට ඇති ප්‍රශ්නය මෙම ව්‍යාජ ඊමේල් ඉල්ලීම අනුව ගෙවීම් කිරීමට භාණ්ඩාගාර ලේකම්වරයා අනුමැතිය දී ඇත්ද යන්නයි. දැනගන්නට ලැබෙන අන්දමට මෙම ව්‍යාජ බැංකු ගිණුමට වාර දහයක් මුදල් බැර කර ඇත. මෙම වාර දහයම මුදල් බැර කර තවත් මාස කිහිපයක් යනතුරු නියමිත ආයතනයට එම මුදල් බැර වී නැති බවවත් දැනගැනීමට භාණ්ඩාගාරය අසමත් වී ඇත. ඉන් පෙනෙන්නේ කිසිම සැලකිල්ලකින් මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය මූල්‍ය පාලනය සිදු නොවන බව ය. අපගේ ජනවහරට අනුව කිවහොත් එය “ගඟේ මුහුදේ දැමීමකි”.

ඒ සමඟම මුදල් අමාත්‍යවරයා ද වන අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා “මහජන මුදල් සාංඝීක දේපළක් මෙන් සුරකින” බවට දුන් ප්‍රතිඥාව ද මෙහි දී අපට සිහිපත් වේ. අන් කවර වරදකට වගකීම නොගත්තත්, තමා යටතේ ඇති භාණ්ඩාගාරයේ රාජ්‍ය මූල්‍ය පාලනයේ හෙළිදරව් වුණු නොසැලකිලිමත් භාවයේ වගකීම ජනාධිපතිවරයා විසින් පත් කරන ලද භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම විසින් අනිවාර්යයෙන්ම ගත යුතුව තිබේ.

 

Harshana Suriyapperuma 2හර්ෂණ සූරියප්පෙරුම
මෙම වංචාව ගැන දැනගැනීමෙන් පසුවද එය සඟවා ගෙන ක්‍රියා කළා විනා නිල වශයෙන් දැන්විය යුතු පාර්ශ්වයන්වත් දැනුවත් කිරීමට භාණ්ඩාගාර ලේකම්වරයා ක්‍රියා කර නැත. මුදල් අමාත්‍යාංශයේ ද ලේකම්වරයා තමන් බැවින් ඔහු ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා ලෙස මුදල් අමාත්‍යවරයාට මෙම බව දැන්වීම අනිවාර්යය. මෙම අන්දමේ හානියක්, පාඩුවක්, අලාභයක් රජයට සිදු වූ පසු වගකීම නිශ්චය කිරීම පිණිසත්, හේතු දැනගැනීම පිණිසත් මුදල් රෙගුලාසි 104 (1) ප්‍රකාරව වහාම පරීක්ෂණ ආරම්භ කළ යුතුය. එම පරීක්ෂණයෙන් වගකීම නිශ්චය කළ යුත්තේ මුදල් රෙගුලාසි 156 (1) ප්‍රකාරවයි. ඒ අනුව නිසි අධිකාරි බලය නොමැතිව, මූල්‍ය රෙගුලාසි, වෙනත් රෙගුලාසි හෝ උපදෙස් පිළිනොපැද, ප්‍රමාණවත් සැලකිල්ලක් නොදක්වමින් හෝ වංචනිකව හෝ කටයුතු කිරීම හෝ කටයුතු කිරීමට ඉඩ හැරීම නිසා යම් පාඩුවක් රජයට සිදු කළහොත් එසේ කළ අය එම පාඩුවට පෞද්ගලිකව වගකිව යුතු බව දැක්වේ. මෙම පරීක්ෂණය වගකිව යුත්තන්ට එරෙහි විනය ක්‍රියාමාර්ගයක් නොවේ. වංචාවක් සිදුව ඇත්නම් පොලිසියට පැමිණිලි කිරීමත්, වගකිව යුත්තන්ට එරෙහි විනය ක්‍රියාමාර්ග වෙනමත් ආරම්භ කළ යුතුය. විනය ක්‍රියාමාර්ග ඇරඹෙන්නේ මූලික විමර්ශනයකින් පසුවය.

රජයේ නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීම ද ආයතන ප්‍රධානීන් හට හිතුමතේ කළ හැක්කක් නොවේ. මූලික විමර්ශනයකින් තොරව රජයේ නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට ඇති අවස්ථා ඉතාමත් සීමිතය. ආයතන සංග්‍රහයට අනුව සාමාන්‍යයෙන් රජයේ නිලධාරියෙකුගේ වැඩ තහනම් කළ යුත්තේ මූලික විමර්ශනයකින් පසුවය. මූලික විමර්ශනයක් නැතිව වැඩ තහනම් කළ හැක්කේ නිලධාරියෙකුට එරෙහිව රාජ්‍ය බලධරයෙකු කරන ලද පැමිණිල්ලක් මත සාපරාධී අපරාධයකට නඩු පවරා ඇති විටක, නිලධාරියා රජයේ සේවයේ සිටීම මූලික විමර්ශනයක් පැවැත්වීමට බාධාවක් වන විට හෝ රජයේ යම් විෂමාචාරයකට එරෙහිව ලැබී ඇති මුල් තොරතුරෙන්ම අදාළ වරදක් ප්‍රමාණවත් ලෙස තහවුරු වී ඇති විටක පමණකි.

භාණ්ඩාගාරයේ මෙම සිද්ධියේදී රාජ්‍ය නිලධාරීන් පස් දෙනෙකුගේ වැඩ තහනම් කළේ මෙම පටිපාටිය අනුව යැයි මුදල් ලේකම්වරයාට වගකීමෙන් ප්‍රකාශ කළ නොහැක. මෙම සිද්ධිය පිළිබඳව මහජනතාව දැනගත්තේ ඒ ගැන නීතිඥ සංවිධානයක් කථානායකවරයාට පැමිණිලි කිරීම ප්‍රසිද්ධ වීමෙනි. ඒ සමගම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට එරෙහිව දේශපාලන ක්ෂේත්‍රයෙන් බලවත් විරෝධයක් මතුවී ජනගත විය. තමන් වෙත එල්ල වන එම විරෝධයෙන් ගැලවීමේ උපක්‍රමයක් ලෙස දඩි බිඩි ගා නිලධාරීන් කිහිප දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට මුදල් ලේකම්වරයා ක්‍රියා කළා මිස, මේ පිළිබඳව ගත යුතු පරිපාලන ක්‍රමවේද අනුව ක්‍රියා කළ බවක් නොපෙනේ. එහි ප්‍රතිඵලය වුණේ එක් නිලධාරියෙකුගේ දිවි අහිමි වීමයි. කවර හෝ හේතුවක් මත රාජ්‍ය නිලධාරියෙකුට රාජකාරීමය හේතුවක් මුල් කොට දිවි නසා ගැනීමට සිදුවීම සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම දෙදරවන්නකි.

 

remove inquiry from credit report
මෙම නිලධාරීන් සේවයේ සිටීම පරීක්ෂණවලට බාධාවක් නම් ඔවුන් අනිවාර්ය නිවාඩු ගැන්විය හැකිව තිබුණි. මෙම දිවි අහිමි වූ නිලධාරියා ද මේ ගැන කෙරෙන පොලිස් පරීක්ෂණවලට සහය දුන් නිලධාරියෙකු බව කියවේ. ඔවුන්ගේ සේවයේ සිටීම පොලිස් විමර්ශනවලට බාධාවක් වුණා නම් CID ය කරන්නේ ඔවුන්ව අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමයි. එහෙත් ඔවුන් සේවයේ සිටීම එසේ බාධාවක් නොවූ බව පැහැදිලි වන්නේ CID ය ඔවුන්ට එරෙහි විදේශගතවීම් තහනමක් පමණක් අධිකරණයෙන් ලබා ගැනීමෙනි. පොලිස් විමර්ශනවලට බාධාවක් නොකළ නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීම නිසි පරිපාටි මග හැර කළේ ඇයි යන්නට මුදල් ලේකම්වරයා සෘජුවම වගකිව යුතු ය. ඒ අනුව දිවි අහිමි වූ නිලධාරියාගේ මරණය ගැන සිය හෘද සාක්ෂියෙන් ගැලවීමට මුදල් ලේකම්ට කෙසේ වත් නොහැකි වනු නියතය.

අවසාන වශයෙන් කිව යුත්තේ දේශපාලන හයියෙන් වගකිව යුතු තනතුරුවලට පත්වී සමස්ත රාජ්‍ය පාලනයම අවුල් කිරීම පමණක් නොව, රාජ්‍ය නිලධාරීන්ගේ ජීවිත ද අනතුරේ දමමින් කරන මෙම විගඩම නතර විය යුතු බවය. “බැරි සිල් නොගනින් අබරෝ” කියා ගැමියන් කියන්නේ මෙන්න මේවාටය.

sunil kannangara(සටහන | සුනිල් කන්නන්ගර)
කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
skannangara1959@gmail.com

(vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...