The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සාම පාගමනේ 'ආලෝකා'ගේ ආලෝකය සියලු අසරණ සතුන් වෙත පතුරුවමු | වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ

T

The Leader Desk

May 3, 2026 • 6:24 AM

සාම පාගමනේ 'ආලෝකා'ගේ ආලෝකය සියලු අසරණ සතුන් වෙත පතුරුවමු | වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වියට්නාමයේ පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ විදේශීය බෞද්ධ ස්වාමීන් වහන්සේ පිරිසක් විසින් පසුගිය දිනවල අපේ රටේ සිදු කරන ලද සාම පාගමන, ජාති ආගම් භේදයකින් තොරව ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ගේ හදවත්වලට සමීප වී ඇති බව දක්නට ලැබෙයි.
  • ගමන අතරමඟ අනතුරට ලක් වුවද, රෝගී වුවද ඒ සියල්ල නොතකා ගමන අවසන් වන තුරුම ස්වාමීන් වහන්සේ සමඟ ගමන් කර ඇත.
  • ඉන්පසු පසුගිය වසර අවසානයේ එම ස්වාමීන් වහන්සේ ඇමෙරිකාවේ සිදු කළ සැතපුම් 2300ක පාද චාරිකාවට ද ආලෝකා එක් විය.
  •   අනාදිමත් කලක සිට මිනිසාගේ ළඟම හිතවත් සත්වයා සුනඛයා බව නොරහසකි.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙහිදී සැමගේම සුවිශේෂී අවධානය ඔවුන් සමඟ ගමන් ගන්නා “ආලෝකා” සුනඛයා වෙත යොමු වන බව නොරහසකි. මේ ආලෝකා ඉන්දියාවේ කොල්කටා නුවර සිටි වීදි සුනඛයෙකි. පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඉන්දියාවේ මෙම පාගමන සිදු කරන විට අතරමඟදී මෙම සුනඛයා ද උන්වහන්සේ සමඟ පාගමනට එක්ව තිබේ. ගමන අතරමඟ අනතුරට ලක් වුවද, රෝගී වුවද ඒ සියල්ල නොතකා ගමන අවසන් වන තුරුම ස්වාමීන් වහන්සේ සමඟ ගමන් කර ඇත.

alokaixh8u

පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ද සාම පාගමන අවසානයේ තමන්ට අතරමඟදී එක් වූ මෙම සගයා ද සමඟින් තමන් වෙසෙන ඇමෙරිකාවට ගොස් තිබේ. ඉන්පසු පසුගිය වසර අවසානයේ එම ස්වාමීන් වහන්සේ ඇමෙරිකාවේ සිදු කළ සැතපුම් 2300ක පාද චාරිකාවට ද ආලෝකා එක් විය. එහිදී මෙම සත්වයා ලෝක අවධානයට යොමු විය. ඒ අනුව ශ්‍රී ලංකාවේ පාද චාරිකාව සඳහා ස්වාමීන් වහන්සේ වඩින විට මුළු රටේම අවධානය යොමු වූයේ, උන්වහන්සේ සමඟ ප්‍රථම වරට ගුවන් යානයක අසුනක වාඩි වී අපේ රටට පැමිණි “ආලෝකා” වෙතයි. සාම පාගමනේදී ආලෝකා වෙත අප රටේ විශාල පිරිසකගේ අතිමහත් ආදරයක් මෙන්ම ගෞරවයක් ද හිමි විය.

VIER PFOTEN 2023 10 19 00154 3801x2534 3662x2534 1920x1329

 

අනාදිමත් කලක සිට මිනිසාගේ ළඟම හිතවත් සත්වයා සුනඛයා බව නොරහසකි. එමෙන්ම සුනඛයා යනු තමන්ගේ අවශ්‍යතා තම මිනිස් ස්වාමියා ලවා ඉටු කරගන්නා එකම සත්වයාය. ඔවුන්ට නොහැකි වී ඇත්තේ කතා කිරීමට පමණි. පෙර සඳහන් කළ පරිදිම ආලෝකා යනු ඉන්දියාවේ වීදි සුනඛයෙකි. අපේ රටේ ද නිවාසවල සහ වීදිවල මේ ආකාරයේ හීලෑ සුනඛයන් විශාල ප්‍රමාණයක් සිටිති. නමුත් නිවාසවල ඇති කරන සුනඛයන්ට හැර වීදි සුනඛයන් කෙරෙහි මිනිසුන්ගේ ආදරය හා කරුණාව ලැබෙන්නේ ඉතා අඩුවෙනි. බොහෝ විට ඔවුන් නොසලකා හැරෙනවා පමණක් නොව, අකල් මරණ දක්වා වන නොයෙකුත් දුක් පීඩා මිනිසුන් අතින් ඔවුන්ට උදා වෙයි.

සුනඛයන් පමණක් නොව, මේ ලෝකයේ වෙසෙන සතුන් දෙස හොඳින් නිරීක්ෂණය කර බලන්න. ඒ සෑම සත්වයකුටම යම්කිසි ආකාරයකට සිතීමට හැකි බවත්, හැඟීම් දැනීම් පවතින බවත් ඔබට පෙනෙනු ඇත. ගොඩබිම සතුන්ට පමණක් නොව, ජලජ ජීවීන්ට ද එය පොදුය. මුහුදේදී මිනිසාට උදව් කරන ඩොල්ෆින් මත්ස්‍යයන් පිළිබඳව සොයා බලන්න. මීට වසර කිහිපයකට පෙර මාගේ හිතවතකු ඔහු ඇති කරන මාළුන් සහිත පොකුණක් අසලට මා කැඳවාගෙන ගොස්, එම මාළුන්ට ඔහු තබා ඇති නම් කියා ආමන්ත්‍රණය කරන විට, එම මාළුන් අධිවේගයෙන් පිහිනා ඔහු සිටින ස්ථානයට රැස් වී උඩ පනිමින් ඔහුට ආදරය දක්වන අයුරු පෙන්වා දුන්නේය. කුරුල්ලන් ඇතුළු ලෝකයේ සැරිසරන සියලුම සතුන් මේ ආකාරයේ හැඟීම් දැනීම් සහිත ජීවීන්ය. එකම වෙනස ඔවුන්ට අප සමඟ වචනවලින් අදහස් හුවමාරු කර ගැනීමට නොහැකි වීම පමණි.

 

360 F 617262392 JDB2UOsxlxauf1evq7Ljye86HAZuHu98

එබැවින් අප ජීවත් වන ලෝකය තුළ මිනිසා ද ඇතුළුව සියලු සතුන්ට සමානව ජීවත් වීමේ අයිතිය තිබේ. මිනිසකු තවත් මිනිසකුට හිංසා කිරීම වැළැක්වීම සඳහා මිනිසුන් විසින් සම්මත කර පනවා ගත් නීති රීති පවතී. එමෙන්ම පරිසරය පාලනය කරන ඉහළ බුද්ධියක් ඇති “මිනිසා” විසින් මේ සියලු සත්ව විශේෂ ආරක්ෂා කිරීමටත්, අපට මෙන්ම සතුන්ට ඇති අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමටත් කටයුතු කළ යුතුව තිබේ. මේ ලෝකයේ සමතුලිතතාව රැකෙන්නේ මිනිසා, ගහකොළ සහ සතා සීපාවා යන ජෛවමය සංයුතිය නිසාවෙනි.

මෙම ලෝකය මිනිසාට පමණක් නොව සතුන්ට ද එක සේ අයිති බව මුලින්ම ලෝකයට ප්‍රකාශ කළේ බුදුදහමෙනි. දැන් එම සත්‍යය ආගම් භේදයකින් තොරව ලෝකයේ වෙනත් බොහෝ රටවල් ද පිළිගනිති. බොහෝ රටවල් සතුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නීති පනවා තිබේ. ඒ මඟින් සතුන්ට ඇති ජීවත් වීමේ අයිතිය මෙන්ම ලෝකයට ඔවුන්ගෙන් ඇති අයිතිවාසිකම් ද තහවුරු කර ඇත.

 

Regan Russell All animals need protection
අපේ රටේ ද සතුන් පිළිබඳව පවතින නීතිය වසර 119කට වඩා පැරණිය. 1907 අංක 13 දරන පනතින් සත්ව හිංසාව වළක්වා තිබේ. ඉංග්‍රීසි ජාතිකයන් අප රට පාලනය කළ සමයේ පැනවූ එම නීතියට අනුව සත්වයකු ඝාතනය කළහොත් නියම කරන දඩය රුපියල් 100කි. ඒ කාලයේ රුපියල් සියයක් යනු ඉඩම් අක්කර කිහිපයක් මිලදී ගැනීමට තරම් ප්‍රමාණවත් මුදලකි. අවාසනාවකට මෙන් මේ දක්වා එම පනත යාවත්කාලීන නොවීම නිසා තවමත් එහි දඩය රුපියල් 100 ලෙසම සඳහන් වෙයි.

මේ හේතුව නිසාම, දැනට නොදන්නා කරුණක් මත අතරමඟ නතර වී ඇති සත්ව සුබසාධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවෙන් සම්මත කොට සතුන්ගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමට අවිහිංසාවාදී සියලු දෙනා ඉදිරිපත් වීමට සුදුසුම කාලය මෙයයි. මෙම පනත් කෙටුම්පත තුළ සතුන්ගේ සුබසාධනය සඳහා සුවිශේෂී වූ ප්‍රතිපාදන අඩංගු වී තිබේ. කෙටුම්පතේ අරමුණ ලෙස දක්වා ඇත්තේ සතුන් කෙරෙහි කරුණාව, දයාව සහ නිසි සැලකිල්ල දැක්වීමත්, සතුන්ගේ ආරක්ෂාව, සුබසාධනය සහ යහපැවැත්ම සුරක්ෂිත කිරීමත්, සතුන් කෲරත්වයට ලක්වීමෙන් ආරක්ෂා කිරීමත්ය. මෙම අරමුණු ඉටු කර ගැනීම උදෙසා වන සියලු ප්‍රතිපාදන මෙහි අඩංගුය.

aloka the peace dog 4 010625 75e59be8943747b1bdde8dc2a53dec83

 

එබැවින් සත්ව සුබසාධනය සඳහා වන ක්‍රියාකාරී සමාජ කණ්ඩායම් සහ ආගමික අවිහිංසාවාදී සංගම් පෙරමුණ ගෙන, ආලෝකාගේ ’ආලෝකය” සියලු සතුන් වෙත ලබා දීමටත්, සාම පාගමනේ අරමුණ වූ “සාමය” සතුන් වෙත ද ළඟා කර දීමටත් කටයුතු කළ යුතුය. පාගමනට එක් වූ සහ ආශීර්වාද කළ සියලු දෙනා එක්ව රජය සමඟ සාකච්ඡා කොට, දැනට කෙටුම්පත් කර කැබිනට් අනුමැතිය පවා ලබා ඇති සත්ව සුබසාධන පනත් කෙටුම්පත, රටේ මනුෂ්‍ය පරිභෝජනය සඳහා වන සත්ව නිෂ්පාදන ක්‍රියාවලියට බලපෑමක් වන්නේ නම් ඒ සඳහා අවශ්‍ය ව්‍යතිරේක සහ සංශෝධන සහිතව වහාම පාර්ලිමේන්තුවේ සම්මත කර නීතියක් බවට පත් කිරීමට පියවර ගත යුතුය. ඒ මඟින් සාම පාගමනේ සැබෑ අරමුණ ඉටු කර ගැනීමටත්, මෙම පාද චාරිකාව සදා අනුස්මරණය කිරීමටත් අවස්ථාව සැලසෙනු ඇත.

| වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ

උපුටා ගැනීම - vinivida.lk

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සාම පාගමනේ 'ආලෝකා'ගේ ආලෝකය සියලු අසරණ සතුන් වෙත පතුරුවමු | වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ | The Leader