පක්ෂය හරහා තමිල්නාඩු දේශපාලනයට පිවිසීම මේ දිනවල කලාපීය දේශපාලනයේ උණුසුම්ම මාතෘකාවකි.
බොහෝ දෙනා මෙය හඳුන්වන්නේ තමිල්නාඩු දේශපාලනයේ සිදුවූ “භූමිකම්පාවක්” ලෙසිනි.
එහෙත්, මෙම දේශපාලන පෙරළිය ශ්‍රී ලංකාවට කෙසේ බලපානු ඇත්ද? ඉන්දියාව තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් රාජ්‍යතාන්ත්‍රික දූත සේවාවන්හි නියතු හිටපු මහ කොමසාරිස්වරයකු වන ආචාර්ය වී.කේ. වල්සන් මහතා (Valsan Vethody – Former Ambassador) විසින් රචිත ලිපියක් ඇසුරින් සකස් කළ මෙම විශේෂාංගය, එම සංකීර්ණ දේශපාලන යථාර්ථය පිළිබඳව ගැඹුරු කියවීමක් ඉදිරිපත් කරයි.
එක රටක් ඇතුලේ ඉන්දියාවන් කිහිපයක්
සාමාන්‍ය ජනතාව ඉන්දියාව දකින්නේ එකම රටක් ලෙස වුවද, රාජ්‍යතාන්ත්‍රික ඇසකින් බලන විට එහි “ඉන්දියාවන්” කිහිපයක්ම ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවට බලපාන ප්‍රධාන ස්ථර හතරක් මෙහිදී හඳුනාගත හැක.
ව්‍යවස්ථාපිත ඉන්දියාව (Constitutional India):
මෙය නවදිල්ලියේ මධ්‍යම රජයයි. ඔවුන් තීරණ ගන්නේ හැඟීම්වලට වඩා, දිගුකාලීන ජාතික සහ උපායමාර්ගික අවශ්‍යතා මත පදනම්වය.
දේශපාලනික ඉන්දියාව (Political India):
තමිල්නාඩුව නියෝජනය කරන්නේ මෙම ස්ථරයයි. මෙහිදී හැඟීම්, භාෂාව, අනන්‍යතාවය සහ ඓතිහාසික මතකයන් දේශපාලන මෙවලම් ලෙස දැඩිව භාවිතා වේ.
ගැඹුරු රාජ්‍යය (Deep State):
ඉන්දියාවේ ආරක්ෂක, බුද්ධි සහ විදේශ ප්‍රතිපත්ති යාන්ත්‍රණය මීට අයත් වේ. ආණ්ඩු පෙරළුණද මොවුන්ගේ ප්‍රතිපත්ති වෙනස් නොවේ. ශ්‍රී ලංකාව පිළිබඳව අවසන් සහ තීරණාත්මක තක්සේරුව (කලාපීය ආරක්ෂාව සහ සමුද්‍රීය බලය පිළිබඳව) කරන්නේ මොවුන්ය.

ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාව:
මොවුන් ඉන්දියාවෙන් පිටත සිටියද, තමිල්නාඩුවේ දේශපාලන සහ මාධ්‍ය හැසිරවීමට දැවැන්ත බලපෑමක් කරයි. හැඟීම්බර ගැටලු තීව්‍ර කරන්නේ මෙම කණ්ඩායමයි.
ශ්‍රී ලංකාව අතීතයේ සිටම සිදු කළ ප්‍රධානතම අත්වැරැද්ද වන්නේ මේ ස්ථරයන් එකිනෙක පටලවා ගැනීමයි. තමිල්නාඩුවේ දේශපාලනඥයෙකුගේ වේදිකා කතාවක් නවදිල්ලියේ නිල ස්ථාවරය යැයි සිතා කලබල වීම හෝ එය සම්පූර්ණයෙන්ම නොසලකා හැරීම යන දෙකම බරපතල වැරදි වේ.
විජේගේ වටා ඇති හැඟීම්

DMK හෝ AIADMK වැනි දශක ගණනාවක් පැරණි, පවුල්වාදී සහ සංවිධානාත්මක පක්ෂවලට වඩා විජේගේ පක්ෂය මුළුමනින්ම වෙනස්ය. එය පදනම් වී ඇත්තේ පැරණි දේශපාලන ක්‍රමය ගැන කලකිරුණු, වෙනසක් අපේක්ෂා කරන තරුණ පරපුරේ හැඟීම් සහ නොඉවසිලිමත්කම මතය.
විජේගේ පක්ෂය සම්පූර්ණයෙන්ම “නායකයා කේන්ද්‍ර කරගත්” එකක් බැවින්, එහි යම් තීරණාත්මක බවක් මෙන්ම ක්ෂණික අස්ථාවරත්වයක්ද දක්නට ලැබිය හැක.
මෙහිදී ශ්‍රී ලංකාව තේරුම් ගත යුතු වැදගත්ම කරුණ නම්, විජේගේ දේශපාලන පැවැත්ම රඳා පවතින්නේ “මහජන හැඟීම්” (Public sentiment) මත බවයි. එබැවින්, ඉදිරියේදී සිදුවන ධීවර ගැටලුවකදී හෝ මානව හිමිකම් සම්බන්ධ චෝදනාවකදී, විජේට මධ්‍යස්ථව කතා කිරීමට ඇති ඉඩකඩ ඉතා අල්පය. ඔහුට තම ජනප්‍රියත්වය රැකගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ඉතා තියුණු සහ ප්‍රකෝපකාරී ප්‍රකාශ නිකුත් කිරීමට සිදුවනු ඇත.
රට පටලන කතා ප්‍රතිපත්ති ද ?

විජේ ඇතුළු තමිල්නාඩුව කොතරම් හයියෙන් කෑගැසුවද, ශ්‍රී ලංකාව අවබෝධ කරගත යුත්තේ “කතාබහ හෙවත් වාගාලාප යනු ප්‍රතිපත්ති නොවන බවයි.” තමිල්නාඩුව නිහඬ කිරීමට ශ්‍රී ලංකාවට නොහැකිය. එසේ කිරීමට උත්සාහ කිරීමද අනුවණකමකි. ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික ඉලක්කය විය යුත්තේ, තමිල්නාඩුවේ එම ඝෝෂාවන් නවදිල්ලියේ ප්‍රතිපත්තිමය තීරණවලට බලපෑම් කිරීම වැළැක්වීමයි.
මේ සඳහා හොඳම උදාහරණය ධීවර ගැටලුවයි. තමිල්නාඩු ධීවරයින් අත්අඩංගුවට ගැනීමේදී එය දේශපාලන වාසියක් කරගැනීමට ඩයස්පෝරාව සහ තමිල්නාඩු දේශපාලඥයින් සැමවිටම උත්සාහ කරති. එබැවින්, ශ්‍රී ලංකාව තම ස්වෛරීභාවය සහ මුහුදු සීමාව ආරක්ෂා කරන අතරම, නාවික හමුදාවේ මෙහෙයුම් අහඹු දේශපාලන ප්‍රකෝප කිරීමක් (Political provocation) බවට පත් නොවන ලෙස ඉතා සංයමයෙන් යුතුව කළමනාකරණය කළ යුතුය.
සක්‍රීය සංස්කෘතික පාලමක් හදමු
දශක ගණනාවක් තිස්සේ තමිල්නාඩුව තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිර්මාණය වී ඇත්තේ ඩයස්පෝරාව සහ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන විසින් ගොඩනැගූ “අර්ධ-සත්‍ය” (Half-truths) සහ හැඟීම්බර කථාවන්ය. උතුරු-නැගෙනහිර පළාත්වල යුද්ධයෙන් පසු සිදුවූ සංවර්ධනය හෝ එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය ස්වභාවය ගැන තමිල්නාඩුව කිසිවක් දන්නේ නැත.
මෙය වෙනස් කිරීම සඳහා ශ්‍රී ලංකාව තමිල්නාඩු සිවිල් සමාජය, දෙමළ භාෂා මාධ්‍ය සහ ශාස්ත්‍රීය ආයතන සමඟ සක්‍රීයව සබඳතා ගොඩනඟා ගත යුතුය. ආගම, භාෂාව සහ සම්ප්‍රදායන් මත පදනම් වූ සංස්කෘතික රාජ්‍යතාන්ත්‍රිකභාවය (Cultural Diplomacy) හරහා දේශපාලඥයින්ට පහසුවෙන් බිඳ දැමිය නොහැකි ශක්තිමත් පාලමක් දෙරට අතර නිර්මාණය කළ හැකිය.
එසේම, උතුර සහ තමිල්නාඩුව අතර වෙළඳ සහ සංචාරක කලාප ඇති කිරීම හරහා “කළමනාකරණය කළ යුතු ගැටලුවක්” වෙනුවට “ගනුදෙනු කළ යුතු ආර්ථික හවුල්කරුවෙකු” ලෙස ශ්‍රී ලංකාව තමිල්නාඩුව හමුවේ ස්ථානගත විය යුතුය.
කලබල නොවී යථාර්ථය කියවීම වටී

විජේ ප්‍රමුඛ නව තමිල්නාඩුවක් යනු ශ්‍රී ලංකාවට එරෙහි නව යුද ප්‍රකාශ කිරීමක් නොවේ. එයින් පෙන්නුම් කරන්නේ, දේශීය හැඟීම් සහ ඩයස්පෝරා මතවාදයන්ගෙන් දැඩිව මෙහෙයවනු ලබන, වඩාත් නොඉවසිලිමත් සහ ඝෝෂාකාරී දේශපාලන පරිසරයක් ඉන්දියාවේ දකුණුදිග මුහුණතේ නිර්මාණය වී ඇති බව පමණි.
හිටපු තානාපති වල්සන් මහතා අවධාරණය කරන පරිදි, රාජ්‍යතාන්ත්‍රිකභාවය යනු හුදෙක් සිදුවීම්වලට කලබල වී ප්‍රතික්‍රියා දැක්වීම (Re-acting) නොව, එම වෙනස්කම් නිවැරදිව අර්ථකථනය කිරීමයි. තමිල්නාඩුව වෙනස් වී ඇත, එහෙත් සමස්ත ඉන්දියාවේ ප්‍රතිපත්ති එසේ වෙනස් වී නැත.
එබැවින්, ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය විය යුත්තේ ක්ෂණිකව කලබල වී ප්‍රකාශ නිකුත් කිරීම හෝ යටත් වීම නොව, ඉහළ ආත්ම විශ්වාසයකින්, පැහැදිලිකමකින් සහ සියල්ලටම වඩා දැඩි සංයමයකින් යුතුව කටයුතු කිරීමයි.
[මූලාශ්‍ර : Vijay, Tamil Nadu, and Sri Lanka: Noise, Power, and Diplomatic Discipline ( Valsan Vethody – Former Ambassador) ]
සටහන | චමිඳු නිසල් ද සිල්වා
උපුටා ගැනීම - lankalokaya.lk




