The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මැදපෙරදිග යුද්ධය ලංකාවේ ගොවි බිමට: යූරියාවලට අතිරේක වැය බරක්..

T

The Leader Desk

May 6, 2026 • 12:14 PM

මැදපෙරදිග යුද්ධය ලංකාවේ ගොවි බිමට: යූරියාවලට අතිරේක වැය බරක්..

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොහොර ආනයනය මත රඳා පවතින ආසියානු හා අප්‍රිකානු රටවල් මැදපෙරදිග ගැටුමේ අතුරු ප්‍රතිපලයක් හැටියට අස්වැන්න බිඳවැටීමේ අවදානමකට මුහුණ පා සිටින බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පැවසුවේ මාර්තු දෙවැනි සතියේය.
  • යුරියා සහ ඇමෝනියා වැනි නයිට්‍රජන් පොහොර අපනයන ද දැඩි ලෙස සීමා වී ඇති බවත් එය ආසියාව, අප්‍රිකාව සහ අනෙකුත් ප්‍රදේශවල කෘෂිකාර්මික නිෂ්පාදනයට පැහැදිලි තර්ජනයක් බවත් එහි සඳහන් විය.
  • ඒ අනුව ඇමෙරිකා ඊශ්‍රායල ඉරාන ගැටුම ලොව පුරා ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව අවදානමේ හෙලා ඇතැයි එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය චෝදනා කළේය.
  • මෙය විශේෂයෙන් අප්‍රිකාව, ආසියාව සහ ආනයන මත පදනම් වූ රටවලට බලපාන බැවින් මේ නිසා සැපයුම් දාම ස්ථාවර කිරීමට වහාම ක්‍රියාමාර්ග අවශ්‍ය වන බව එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය  අවධාරණය කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

එම සංවිධානය මේ බව කීවේ ඉහළ වියදම හා පොහොර හිඟයට මුහුණදීමෙන් එම රටවල් මෙම අවදානමට ලක්ව ඇතැයි ‘2026 මැදපෙරදිග ගැටුමෙන් ඇති වන ගෝලීය කෘෂි හා ආහාර පද්ධතිවල බලපෑම්’ මැයෙන් වූ සිය නවතම වාර්තාව එළිදක්වමිනි.

cd8875en
යුරියා සහ ඇමෝනියා වැනි නයිට්‍රජන් පොහොර අපනයන ද දැඩි ලෙස සීමා වී ඇති බවත් එය ආසියාව, අප්‍රිකාව සහ අනෙකුත් ප්‍රදේශවල කෘෂිකාර්මික නිෂ්පාදනයට පැහැදිලි තර්ජනයක් බවත් එහි සඳහන් විය. ඒ අනුව ඇමෙරිකා ඊශ්‍රායල ඉරාන ගැටුම ලොව පුරා ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව අවදානමේ හෙලා ඇතැයි එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය චෝදනා කළේය. ඉරානය සහ මැදපෙරදිග ප්‍රදේශයේ ගැටුම ගෝලීය බලශක්ති, පොහොර සහ කෘෂි-ආහාර පද්ධති සඳහා අවදානම වර්ධනය කර ඇතැයි ද හෝර්මුස් සමුද්‍ර සන්ධිය බාධාවන්ට ලක්වීමෙන් තෙල්, වායු සහ පොහොර සඳහා අත්‍යවශ්‍ය මාර්ග අවහිරවී ලෝකය පුරා ශක්ති හා කෘෂිකාර්මික වියදම් ඉහළ ගොස් ඇතැයි ද එම වාර්තාවේ දැක්වේ.

මෙය විශේෂයෙන් අප්‍රිකාව, ආසියාව සහ ආනයන මත පදනම් වූ රටවලට බලපාන බැවින් මේ නිසා සැපයුම් දාම ස්ථාවර කිරීමට වහාම ක්‍රියාමාර්ග අවශ්‍ය වන බව එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය  අවධාරණය කළේය. එහෙත් මේ වාර්තාව ලංකාවට තදබල ලෙස සන්නිවේදනය වුණේ නැත. ඊට හේතුවූයේ ඒ වනවිට පොහොර මිල සම්බන්ධයෙන් ගැටලුවක් නොවුණු නිසාය. එහෙත් මේ වනවිට පොහොර වැඩි මිලට මිලදී ගැනීමට රජයට සිදුව ඇති බව කැබිනට් මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

යූරියා මිටියට 4000ක අතිරේක වැය බරක්..

yuriax9u94
ඒ අනුව යූරියා පොහොර මිල ඉහළ යාම නිසා ගොවීන්ට පොහොර සැපයීමේදී එක මිටියක් වෙනුවෙන් රුපියල් 4000කට වැඩි මුදලක් ප්‍රතිපූර්ණය කිරීමට රජයට සිදුව තිබේ. ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් ගොවීන්ට රුපියල් 10 200ට ලබාදෙන කිලෝ පනහේ මිටියක් රුපියල් 14 500 හා 14 700 අතර මිලට පෞද්ගලික අංශයෙන් මිලට ගැනීමට සිදුව ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස පැවසුවේ නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

මේ අතර රුපියල් 30 000 බැගින් වී වගාවට දෙන පොහොර සහනාධාරය මැයි 4 වැනිදා වනවිට ගොවීන් 68 000කට ලබා දී තිබුණේ යැයි ද තවත් ගොවීන් 13 000ක් ඊට ඉල්ලුම් කර ඇතැයි ද ඇමැතිවරයා කීය. 2026 වර්ෂයේ වී හා වෙනත් බෝග සඳහා අවශ්‍ය යූරියා මෙට්‍රික්ටොන් 20,000ක් ප්‍රසම්පාදනය කිරීම සම්බන්ධයෙන් වූ කැබිනට් තීන්දුව මුල් කරගෙන මාධ්‍යවේදීහු මෙම ප්‍රශ්න ඉදිරිපත් කළහ.

2026/2027 මහ කන්නය සඳහා අවශ්‍ය යූරියා පොහොර තොග සංචිත සූදානම් කිරීමට හැකි වන පරිදි ඍජු පොහොර ලෙස සහ එළවළු හා අනෙකුත් බෝග වගා සඳහා මිශ්‍ර පොහොර නිෂ්පාදනයට යූරියා මෙට්‍රික්ටොන් 20,000ක් ප්‍රසම්පාදනය කිරීමට ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් සැලසුම් කර ඇත. ඒ අනුව, ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් යූරියා මෙට්‍රික්ටොන් 20,000ක් මිල දී ගැනීම පිණිස ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ තිබිණි.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හා ඇමැතිවරයා ඊට දුන් පිළිතුරු මෙසේය.

 



යූරියා මෙට්‍රික් ටොන් 48 000ක් ගොවිජන සේවා මධ්‍යස්ථානවලට..

ප්‍රශ්නය :
නිසි වෙලාවට පොහොර නෑ කියල ගොවීන්ගෙන් චෝදනාවක් තියෙනවා. ඉදිරි කන්නයේ පොහොර ලබාදෙන්න රජයට හැකියාවක් තියෙනවද?


පිළිතුර :
2026 යල කන්නයේ පොහොර සම්බන්ධයෙන් ගත්තම දැනට ටීඑස්පී හා එම්ඕපී පොහොර යල කන්නයට ප්‍රශ්නයක් වෙලා නෑ. රාජ්‍ය පොහොර සමාගමින් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 12 00ක් පෞද්ගලික පොහොර සමාගම් හරහා මෙටි්‍රක් ටොන් 36 299කුත් ලෙස යල කන්නයේ වී වගාවට වෙන්කරගෙන ගොවිජන සේවා මධ්‍යස්ථානවලට සැපයුවා. දැනට ගොවිජන මධ්‍යස්ථානවලින් මෙටි්‍රක් ටොන් 36 700ක් ඇනවුම් කර තිබෙනවා. ඒ අනුව දල වශයෙන් මෙටි්‍රක් ටොන් 48 000ක් විතර රජය හා පෞද්ගලික සමාගම්වලින් ලබාදීමට වෙන්කරගෙන තිබුණා. එයින් 36 700ක් තමයි දැනට වගා කරන ගොවීන්ගෙන් ඇනවුම් හැටියට ලැබිල තියෙන්නේ.

රුපියල් 10 200ට දෙනවා පනහෙ මිටියක්. මේ අනුව ගත්තාම දැනට අම්පාර දිස්ත්‍රික්කයේ වගා ඉලක්කය හෙක්ටයාර 60553ක්. දැනට 52 164ක් මූලික බිම් සකස්කිරීමක් හෝ වපුරන ලද පැල සිටුවන ලද භූමි ප්‍රමාණයක් විදියට වාර්තා වෙනවා. ත්‍රිකුණාමලයේ ඉලක්කය 37 368ක් එයින් 34204ක් භූමිය සකස් කරලා. මඩකලපුවේ දී මේ අගයන් දෙක හෙක්ටයාර් 38 228ක් හා 38 043ක්. වව්නියාවේ 10 283ක් 8462ක්. මුලතිව් 13 682ක් හා 11 708ක්. සූදානම් කිලිනොච්චිය 12 523ක් වූ භූමිය 100%ක්ම සූදානම්. ඒ අනුව අම්පාර, මඩකලපුව, කිලිනොච්චි, මුලතිව් කියන දිස්ත්‍රික්කවල මේ වනවිට වැඩි ප්‍රමාණයක් බිම් සකස් කරලා තියෙන්නේ. ඊට අමතරව මහනුවර මාතලේ කළුතර පුත්තලම කොළඹ පැත්තට එද්දී යල කන්නයේ ඉතුරු කොටස් වගාකරන්න පටන්ගෙන තිබෙනවා. ඒ කොටසට යම් මදි පාඩුවක් වී ඇති බව නිරීක්ෂණය වුණා. ඒ අනුව තව මෙට්‍රික් ටොන් 15 000ක් අවශ්‍ය බවට ගණන් බලා තිබෙනවා.

මේ සැරේ වගාවේ යම් අඩුවකුත් නිරීක්ෂණය වෙනවා. ඒ නිසා යල කන්නයේ ඉතිරි කොටසට මෙට්‍රික් ටොන් 15 000ක් ප්‍රමාණවත් වේ යැයි ගණන් බලා තිබෙනවා. පෞද්ගලික සමාගමකින් අප්‍රේල් මුල මෙට්‍රික් ටොන්  25 000ක යූරියා නැවක් ආවා. මෙයින් ටොන් 7900ක් ගොවිජන සේවා මධ්‍යස්ථානවලට අරගත්තා. සාමාන්‍යයෙන් කලින් ගෙනාපු පොහොරවලට වඩා මෙවර පොහොර මිල වැඩියි. කිලෝ පනහෙ මිටියක් රුපියල් 14 500ක් හා 14 700 අතර විතර මිලක් වෙනවා. ගොවිජන සේවා මධ්‍යස්ථානවලට මේවා අරගෙන ගොවීන්ට දෙන්නේ රුපියල් 10 200 ගානේ. මේ වැඩි මිල රජයෙන් ප්‍රතිපූර්ණය කරනවා. ඒ නිසා කලින් මිලටම ගොවියාට පොහොර මිලදී ගන්න පුළුවන්. මැයි 2 තවත් මෙට්‍රික් ටොන් 25000ක නැවක් ආවා පෞද්ගලික අංශයෙන්. එයින් තව මෙට්‍රික් ටොන් 7000ක් 8000ක් වගේ ගන්න බලාපොරොත්තු වෙනවා. මේකෙත් මිල වැඩිවේවි.

වී සහනාධාරය ගොවීන් 68 000කට දීලා..

Farmers 1200px 22 10 31 1000x600
මැයි 4 වෙද්දි රුපියල් 30 000 බැගින් වී වගාවට දෙන පොහොර සහනාධාරය ගොවීන් 68 000කට දීලා තියෙනවා. තවත් ඉල්ලුම් කරල තියෙනවා 13 000ක්. රුපියල් මිලියන 13 000ක් මේකට ඇස්තමේන්තු කරල තියෙනවා. දැනට රුපියල් මිලියන 1734ක් මැයි 4 වැනිදා වනවිට අපි ගොවීන්ට ලබා දී තිබෙනවා. මිලියන 329ක් අදත් දුන්නා. වගා බිම් සකස් කරන ප්‍රමාණය අනුව දෙන්නේ. කලින් මූලික බිම් සැකැස්ම කළාම 15 000කත් වැපිරුවාම 10 000ක් වශයෙන් කොටස් දෙකකට කලින් දුන්නේ. දැන් මූලික බිම් සකස් කරලා ගොවිජන සේවා නිලධාරීන් හරහා අපට දැනුම් දුන්නම රුපියල් 30 000ම නිදහස් කරනවා.

ප්‍රශ්නය :
යල කන්නයේ යූරියා පොහොර අවශ්‍යතාව එක්ලක්ෂ විසිපන්දාහක්. ඒ මදිකම නිසාද ජාතික පොහොර ලේකම් කාර්යාලය පුද්ගලික අංශයෙන් පොහොර විකුණන්න සූදානම් වෙන්නේ?


පිළිතුර :
අවශ්‍ය කරන පොහොර ප්‍රමාණ සියල්ලම රජයේ පොහොර සමාගම්වලින් ගෙන්නනවා කියල එකක් නෑ. පෞද්ගලික අංශයෙන් ගෙනාවත් ඒ අයත් ලෝකයේ මිල අඩු තැන් බලල ගෙන්වන්නේ.

ප්‍රශ්නය :
පුද්ගලික අංශයෙන් මේ දවස්වල අළෙවිකිරීමක් වෙන්නේ නෑ. ඒ තොග අළෙවිකරන්නෙත් ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන හරහා. නමුත් ජාතික පොහොර කාර්යාලය සැලසුම් කර තිබෙනවා නේද ඉදිරියේදී පෞද්ගලික අංශයටත් පොහොර ගෙන්වලා විකුණන්න?

පිළිතුර :

පුද්ගලික අංශයෙන් ගෙන්වන පොහොර සියල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානවලට මිලදී ගන්නේ නෑ. උදාහරණයකට මෙටි්‍රක් ටොන් 25 000 නැවෙන් ගත්තේ මෙට්‍රික් ටොන් 7900ක් විතරයි. තව අවශ්‍යත් 8000ක් වගේ.

එක්සත් ජාතීන්ගෙන් ඩිජිටල් වවුචර්: අක්කර බාගෙට රුපියල් 23 625ක්..
 

පොහොර සම්බන්ධයෙන් රජය එවැනි මැදිහත්වීමක් කරද්දී ජාත්‍යන්තර පරිමාණයෙන් ද ගොවීන්ට අතහිත දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ. දිත්වා සුළි කුණාටුවෙන් වගාබිම් හානියට පත් වූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඩා පරිමාණ වී ගොවීන්ට සහාය වීම සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ඉලක්කගත ගොවීන් පිරිසකට ඩිජිටල් පොහොර වවුචර පිරිනැමීමට ගත් තීරණය එවැන්නකි.

 

26 69f1b439992e1
ඉදිරි යල කන්නය නියමිත වේලාවට ආරම්භ කර නිෂ්පාදන කටයුතු යථා තත්ත්වයට පත් කර ගැනීමට සහාය වීම මෙම පොහොර සහනාධාර වැඩසටහනේ අරමුණ බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසයි. ඒ අනුව 2025/26 මහ කන්නයේදී සුළි කුණාටුව හේතුවෙන් වගාබිම් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් හානියට පත් වීම නිසා පීඩාවට පත් කුඩා පරිමාණ වී ගොවීන් 3489 දෙනෙකුට ඇමෙරිකානු ඩොලර් 300 000ක වටිනාකමකින් යුත් වවුචර මෙමගින් පිරිනැමේ.

ඉලක්කගත කණ්ඩායමේ කාන්තා ගොවීන් 1686 දෙනෙකු සිටින අතර ගොවිජනසේවා මධ්‍යස්ථාන හරහා අත්‍යවශ්‍ය පොහොර මිල දී ගැනීම සඳහා මෙම විද්‍යුත් වවුචර ලබා දෙනු ඇත.  අක්කර 0.5ක් දක්වා වගා කරන ගොවීන්ට ඇමෙරිකානු ඩොලර් 75ක (දල වශයෙන් රුපියල් 23625ක) වටිනාකමින් යුත් වවුචර හිමි වේ. එසේම අක්කර 0.5කට වඩා වැඩි සහ අක්කර 1ක් දක්වා වගා කරන ගොවීන්ට ඇමෙරිකානු ඩොලර් 90ක (දලවශයෙන් රුපියල් 28 350ක) වවුචර ලබා දෙනු ඇත.

මෙම වවුචර භාවිත කර යූරියා, ට්‍රිපල් සුපර් ෆොස්ෆෙට්(ටීඑස්පී) සහ මියුරියේට් ඔෆ් පොටෑෂ් (එම්ඕපී) පොහොර වර්ග ලබාගත හැකිය. දිත්වා සුළි කුණාටුවේ බලපෑම්වලින් යථා තත්ත්වයට පත්වෙමින් සිටින ගොවීන්ට සහාය වීම සඳහා ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ශ්‍රී ලංකා රජය අතර පවතින ශක්තිමත් සහයෝගිතාව මෙම වැඩසටහන හරහා පෙන්නුම් කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග පැවැසීය. යල කන්නයට පෙර අත්‍යවශ්‍ය පොහොර සඳහා කාලෝචිත ප්‍රවේශයක් ක්‍රියාත්මක කිරීම හරහා පීඩාවට පත් ගොවීන්ට ඔවුන්ගේ වී නිෂ්පාදනය යථා තත්ත්වයට පත් කර ගැනීමට සහාය හිමිවන බවත් අනුරාධපුරයේ කුඩා පරිමාණ ගොවි ප්‍රජාවන්ගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීමට ද මෙය මහෝපකාරී වන බවත් ඔහු කීය.

අවදානමට ලක් වූ ගොවීන් සඳහා කාලෝචිත කෘෂිකාර්මික ප්‍රතිසාධන සහායේ වැදගත්කම අවධාරණය කරමින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධාන නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් පැවසුවේ මෙවැන්නකි.

“මෙම පොහොර වවුචර වැඩසටහන හරහා ගොවීන්ට ඉක්මනින් තම වගා කටයුතු වෙත යළි යොමු වීමට සහාය වීම අපගේ අරමුණයි. ඊට අමතරව ඔවුන්ගේ නිෂ්පාදන ශක්‍යතාව ශක්තිමත් කිරීමට සහ දේශීය ආහාර සුරක්ෂිතතාවට දායක වීමට ද ත් අපි අපේක්ෂා කරනවා. ශ්‍රී ලංකාව තුළ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් මාර්ගගත ඩිජිටල් පොහොර වවුචර වැඩසටහනක් ක්‍රියාත්මක කරන පළමු අවස්ථාව මෙයයි. ගොවීන්ට කාලෝචිත සහ නම්‍යශීලී සහායක් ලැබෙන බව සහතික කිරීම සඳහා අපගේ හදිසි ප්‍රතිචාර මෙවලම් පුළුල් කිරීමක් මෙයින් සලකුණු කරනවා”

පොහොර සහනාධාරයට සමගාමීවල සෑම ප්‍රතිලාභියෙකුටම වී වගාවේ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් පිළිබඳ තාක්ෂණික අත්පොතක් ද නොමිලේ ලබා දෙන අතර නිෂ්පාදනයේ ප්‍රධාන අදියර පිළිබඳ ප්‍රායෝගික මාර්ගෝපදේශ සැපයීම මෙහි අරමුණ බව එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.

(සටහන | ගිම්හාන් ද සිල්වා)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...