The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මරණය වේදනාකාරී අත්දැකීමක් ද? | හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

T

The Leader Desk

May 8, 2026 • 3:55 AM

මරණය වේදනාකාරී අත්දැකීමක් ද? | හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මරණ වේදනාව යනු අප කිසිවකු අත්විඳීමට තබා ඇසීමට පවා රුචිකත්වයක් දක්වන මාතෘකාවක් නොවේ. එහෙත්, ජීවත් වන සෑම කෙනෙකුගේම සිත් තුළ පවතින ‘තනටෝස්’ (Thanatos) හෙවත් මරණය කෙරෙහි ඇති ස්වාභාවික ආකර්ෂණය හෝ බිය මුසු කුතුහලය නිසා බොහෝ දෙනෙක් මේ පිළිබඳව විමසිලිමත් වෙති.
  • හදිසි හෘදය ඇනහිටීමකදී (Cardiac Arrest) මියයන පුද්ගලයන්ගේ ඇස්වල කළු ඉංගිරියාව වේගයෙන් කරකැවීම වැනි ලක්ෂණ බාහිරින් බලන්නෙකුට දැඩි මරණ වේදනාවක සංකේතයක් ලෙස පෙනෙයි.
  • මරණාසන්න මොහොතේ මොළයට ඔක්සිජන් ලැබීම නැවතුණු විට, මොළයේ කඳ (Brainstem) තවමත් සුළු වශයෙන් ක්‍රියාත්මක වීම නිසා මෙවැනි ඇගොනික් (Agonic) මස්පිඬු චලනයන් හෝ ශ්වසනයේ වෙනස්කම් ඇති විය හැකි ය.
  • මරණ වේදනාව යනු මරණය සිදුවන මොහොතේම අනිවාර්යයෙන්ම ඇති වන කිසියම් සුවිශේෂී හෝ අද්භූත තත්ත්වයක් නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

විශේෂයෙන්ම මරණාසන්න රෝගීන් සහ ඔවුන්ගේ ඥාතීන් තුළ මරණයේදී දැනෙන වේදනාව පිළිබඳව නොයෙක් ගැටලු පවතී. හදිසි හෘදය ඇනහිටීමකදී (Cardiac Arrest) මියයන පුද්ගලයන්ගේ ඇස්වල කළු ඉංගිරියාව වේගයෙන් කරකැවීම වැනි ලක්ෂණ බාහිරින් බලන්නෙකුට දැඩි මරණ වේදනාවක සංකේතයක් ලෙස පෙනෙයි. එනිසාම ඒ සම්බන්ධයෙන් සමහරු අප වෙතින් ද ප්‍රශ්න කරති. නමුත් විද්‍යාත්මක විග්‍රහයට අනුව එය වේදනාවට වඩා ශරීරයේ ස්වයංක්‍රීය ස්නායුක ප්‍රතිචාරයකි. මරණාසන්න මොහොතේ මොළයට ඔක්සිජන් ලැබීම නැවතුණු විට, මොළයේ කඳ (Brainstem) තවමත් සුළු වශයෙන් ක්‍රියාත්මක වීම නිසා මෙවැනි ඇගොනික් (Agonic) මස්පිඬු චලනයන් හෝ ශ්වසනයේ වෙනස්කම් ඇති විය හැකි ය.

cancer pation
මරණ වේදනාව යනු මරණය සිදුවන මොහොතේම අනිවාර්යයෙන්ම ඇති වන කිසියම් සුවිශේෂී හෝ අද්භූත තත්ත්වයක් නොවේ. නමුත් විවිධ ආගමික සාහිත්‍යයන් සහ ජන විශ්වාස මුල් කොට එම මතය ලොව පුරා සමාජගත වී තිබේ. විද්‍යාත්මකව විමසන විට මරණයකදී දැනෙන වේදනාව හෙවත් මරණාසන්න වේදනාව තීරණය වන්නේ මරණයට හේතු වන සාධකය මත ය. උදාහරණයක් ලෙස, පිළිකා වැනි දීර්ඝකාලීන රෝගයකදී රෝගියා අත්විඳින්නේ මරණයේ වේදනාව නොව, එම රෝගයේ රෝග ලක්ෂණයක් ලෙස මරණාසන්න මොහොත තෙක් පවතින වේදනාවයි.

වර්තමානයේ සහනකාරක සත්කාර (Palliative Care) මඟින් මෙවැනි වේදනා පාලනය කිරීමට වෛද්‍ය විද්‍යාවට හැකියාව ඇත. හදිසි අනතුරකදී දැඩි වේදනාවක් දැනීමට පෙර පුද්ගලයා නිර්වින්දනයට හා සිහිසුන් වීමට හැකි අතර, නින්දේදී සිදුවන ස්වාභාවික මරණවලදී පුද්ගලයාට කිසිදු වේදනාවක් නොදැනීමට ඇති ඉඩකඩ වැඩිය. නමුත් මෙම නිර්වින්දනය හා සිහිසුන් වීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අතර එය සරල නිදසුනකට අනුව කිවහොත් සෑම නිවසකම ඇති ට්‍රිප් ස්විච්චිය එක සේ ක්‍රියාත්මක නොවන්නාක් මෙනි. ඒ අනුව, මරණාසන්න වේදනාව යනු සැමට එක හා සමානව පොදු වූ අත්දැකීමක් නොවන බව පැහැදිලි ය.

 

dead body

ජීව විද්‍යාත්මකව බලන කල, මරණාසන්න මොහොතේදී ශරීරය විසින්ම වේදනාව අවම කිරීමට අවශ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන් ක්‍රියාත්මක කරනු ලබයි. මරණාසන්න වන විට ශරීරයේ ඔක්සිජන් මට්ටම අඩුවීම සහ කාබන් ඩයොක්සයිඩ් මට්ටම ඉහළ යාම නිසා පුද්ගලයා ක්‍රමයෙන් සිහියෙන් තොර (Unconscious) තත්ත්වයට පත් වේ. එවිට වේදනාව දැනීමේ හැකියාව ඉතා අවම වේ. එසේම, මෑතකාලීන පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ මරණාසන්න මොහොතේදී මොළය මඟින් ‘එන්ඩොර්ෆින්’ (Endorphins) වැනි ස්වාභාවික වේදනා නාශක හෝමෝන විශාල වශයෙන් මුදාහරින බවයි. එන්ඩොර්ෆින් යනු ලිංගික ක්‍රියාවකදී සුරතාන්තයේදී ක්‍රියාත්මක වන හෝමෝනය ද වෙයි.ඒ අනුව එය තෘප්ති ජනක හෝමෝනයකි. එමෙන්ම ඔපියොයිඩ් (Opioids) වලට සමාන ක්‍රියාකාරිත්වයක් ඇති මෙම රසායනිකයන් මඟින් වේදනාව සමනය කර, සන්සුන් හෝ ප්‍රීතිමත් (Euphoria) තත්ත්වයක් ඇති කිරීමට උත්සාහ කරයි. අද වන විට ලොව පුරා ප්‍රචලිත මරණාසන්න අත්දැකීම් (Near-Death Experience) ලෙස මැවී පෙනෙනුයේ මෙම හැඟීම් ආවේග දාමය මිස පරලොවක අසිරිය නොවේ.

විද්‍යාත්මක නිරීක්ෂණවලට අනුව, මරණය සිදුවන මොහොතේ හෝ ඊට තත්පර කිහිපයකට පෙර මොළයේ මතකය සහ හැඟීම් හා සම්බන්ධ ප්‍රදේශවල අධික ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කරයි. බුදු දහමේ ද මෙය හෝ මීට සමාන තත්ත්වයක් විස්තර කෙරේ. මෙය නින්දේදී සිහින දකින අක්ෂි චලන වේග (REM – Rapid Eye Movement) තත්ත්වයට සමාන වන අතර, මරණයෙන් බේරුණු පුද්ගලයන් පවසන “තම ජීවිතය චිත්‍රපටයක් මෙන් ඇස් ඉදිරියේ මැවී පෙනීම” (Life Recall) වැනි අත්දැකීම්වලට මෙය හේතු විය හැකි ය. එබැවින්, බාහිරින් බලන්නෙකුට මරණය වේදනාකාරී ලෙස පෙනුණද, බොහෝ විට එය මොළය විසින් අවසන් මොහොත දක්වාම වේදනාව පාලනය කරමින් පුද්ගලයා ශාන්ත අත්දැකීමක් වෙත යොමු කරන ක්‍රියාවලියකි. ඒ අනුව කිව හැක්කේ, මරණාසන්න වේදනාව හෙවත් මරණ වේදනාව යනු අනිවාර්ය පීඩාවකට වඩා අදාළ පුද්ගලයා තුළ ඒ මොහොතේ පවතින සෞඛ්‍ය තත්ත්වය සහ මොළයේ ක්‍රියාකාරිත්වය මත තීරණය වන සාපේක්ෂ සංසිද්ධියක් බවයි.

mn

නමුත් මේ සම්බන්ධයෙන් කිව යුතු තවත් වැදගත් කරුණක් තිබේ. විද්‍යාවේදී අප බොහෝ විට කරුණු සලකා බලන්නේ ‘නිරීක්ෂණය’ (Observation) සහ ‘අත්හදා බැලීම’ (Experimentation) මතයි. මරණ වේදනාව සම්බන්ධයෙන් ඇති ගැටලුව වන්නේ එහි ඇති පුද්ගල නිශ්‍රිත අත්දැකීම (Subjective Experience) විද්‍යාත්මකව මැනිය නොහැකි වීමයි. විද්‍යාත්මක ක්‍රමවේදයකදී දත්තයක් නිශ්චිතව තහවුරු කිරීමට නම්, එම අත්දැකීම විඳින පුද්ගලයා විසින් එය විස්තර කළ යුතු ය. නමුත් මරණය යනු ආපසු හැරවිය නොහැකි (Irreversible) ක්‍රියාවලියකි. එබැවින්, එම වේදනාව උපරිමයෙන් අත්විඳින පුද්ගලයාට එය විස්තර කිරීමට ජීවත්ව සිටින්නන් අතරට පැමිණිය නොහැක. එබැවින් අප සතු දත්ත සියල්ල මියයන පුද්ගලයාගේ බාහිර ලක්ෂණ, මුහුණේ ඉරියව්, ශරීරයේ රසායනික වෙනස්කම් මත පදනම් වූ බාහිර අනුමාන සාධක පමණි.

 

mn1
එමෙන්ම මියයන මොහොතේ මොළයේ සිදුවන විද්‍යුත් තරංග ක්‍රියාකාරිත්වය හෝ ආසන්න මරණ අත්දැකීම් (Near-Death Experiences) යන්න විද්‍යාත්මක සීමාවෙන් පරිබාහිර පාරමනෝ විද්‍යාව (Parapsychology) නම් විෂය පථයක් තුළට ගොනු කොට ඇත්තේ මරණය අද්දරට ගොස් නැවත පැමිණි පුද්ගලයන් පවසන කරුණු පවා පූර්ණ මරණ අත්දැකීම් ලෙස ගත නොහැකි නිසා ය. මන්ද ඔවුන් අත්විඳ ඇත්තේ මරණයට ආසන්න සංසිද්ධියක් මිස, මරණය නමැති අවසානය නොවන බැවිනි. ඒ අනුව කිව හැක්කේ “මරණය යනු වේදනාකාරී තත්ත්වයක් ද?” යන පැනයට අනුමාන පිළිතුරක් මිස නිශ්චිත පිළිතුරක් ලබා දිය නොහැකි බවකි.

Namal Wijesinghe Prof
(සටහන | වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ)
හෘදවේද විශේෂඥ
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය

namalw@gmail.com

උපුටා ගැනීම -  vinivida.lk

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...