මට ඒක වැරදුණානේ. එදා මං නැගිට්ටෙත් පරක්කු වෙලා. නෝනා කියන කොටයි මතක් වුණේ මැයි දිනේ කියලා.
ඒ මොකෝ?
මැයි දිනෙයි, වෙසක් එකයි පැටළිලා තිබුණේ
රැස්වීම් පටන් ගත්තෙ හවස් වෙලානෙ. වැඩ කරන පංතියෙ අය යන්න එපායැ.

මොන පිස්සුද අයිසෙ… මං ආණ්ඩුවේ ලිපිකාරයෙක් නෙ. අපි අයිති වෙන්නෙ වැඩ නොකරන පංතියටනේ. ඔය පෙළපාලි යන හුඟ දෙනෙක් ඒ පංතියෙ තමයි
මහත්තයා, හැම එකම විහිළුවට ගන්නවනෙ
ඔහේ ගියාද පෙළපාලි?
නැතුව මං කම්කරු පන්තියෙනෙ
කොහොමද මැයි දිනේ සරුද?
කන්ඩ බොන්ඩ හම්බ වුණාද? කීයක් ලැබුණද? පන්දාහක්? තුන් දාහක්…
අපොයි මේ පාර සංග්‍රහ නෑ, අන්තිමයි.
ඒ කාලේ කසිප්පු පැකට්වලටම, වෙනම ලොරියක් ආවනේ
කොහොමද රැස්වීම්.. සෙනඟ හිටියද?
මේ පාර මාර වැඩක් වුණානෙ මහත්තයා රැස්වීම් හැම එකෙක්ම වගේ ජනාධිපති කෙනෙක් හිටියනෙ.

එහෙම වෙන්ඩ බෑනේ. ජනාධිපති ගියෙ නුවරඑළියෙ මැයි දිනේටනේ.
ඒ ඉන්න ජනාධිපතිනෙ. එක රැස්වීමක වෙන්ඩ ජනාධිපති… තව රැස්වීමක ඊළඟ ජනාධිපති… තවත් රැස්වීමක කවද හරි ජනාධිපති
සටන් පාඨ එහෙම කොහොමද?
මේ සැරේ ඒ තරම් පණ නෑ. ගිරිය කඩාගෙන කියපු කට්ටිය. දැන් බලයට ඇවිල්ලනෙ. ඒ නිසා දියව් දියව් ගනිව් ගනිව් අපිට ඔනේ ආණ්ඩුවක් වගේ සටන් පාඨ තිබුණෙ නෑ
විපක්ෂය?

ඒ ගොල්ලො කිව්ව, අපිත් හොරු මුණුත් හොරු තොපිට බැරි නං අපිට දියව්… වගේ සටන් පාඨ
ඔව්… විපක්ෂය කියන්නෙ, ඒ ගොල්ලන්ට වගේ, මේ ගොල්ලන්ට අත්දැකීම් නෑ කියලනෙ. අහු නොවී හොරුකම් කරන්ඩ පළපුරුද්ද ඔනේ.
තව කේස් එකක් වුණානේ මහත්තයා, කතා මැද්දෙ මිනිස්සු නැගිටලා යන්න ගත්තනෙ.
අයියෝ, ඒ මොකද? ඉස්සර අපේ තාත්තලා කියනවා, එන්.එම්. කොල්විල්, පිලිප් වගේ අය කතා කරනව අහන්ඩ මිනිස්සු රැස් කකා හිටියා කියලා. මෙදා මොකද වුණේ.
පරණ තැටියම කරකවන කොට, එපා වෙනවනෙ.
ඉස්සර අපි මැයි දිනේට ගෝල්ෆේස් යන්නෙ. ඉන්ඩියන් ආටිස්ලා එන නිසා, උදේ ඉන්දියාවට විරුද්ධව සටන් පාඨ කියපු අයම, හවසට හින්දි සින්දු අහලා, අත්පුඩි ගහනවා.
මං අහගෙන මිනිස්සු කතා වෙනවා, ලබන අවුරුද්දෙ ආපහු ඒ වගේ සංදර්ශන තියෙයි කියලා.
ඒ කොහොමද? මේ ආණ්ඩුව කැමති නෑ ඒ වගේ නාඩගම්වලට
ලබන අවුරුද්දෙ මැයි දිනේට ගෙන්නන්න යන්නෙ, තලපති විජේලු.

ෂාරුක් ඛාන්ට වෙච්ච දේ නිසා, විජේ ගෝල්ෆෆේස් එන එකක් නෑ
නෑ නෑ එයා එන්නෙ කච්චතිව් දූපතේ තියෙන මැයි දිනේට
කවුද එයාට එන්න කියන්නෙ.. ආණ්ඩුවෙන්ද? විපක්ෂනේද?
නෑ… ඩොක්ටර් අර්චුනා
පයිත්තියන්!
(සටහන | කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com
(උපුටා ගැනීම lankalokaya.lk )




