The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අනුර-මෝදි ආදර කතාවේ මැදට පනින දුෂ්ටයා..! | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය

T

The Leader Desk

May 9, 2026 • 3:43 PM

අනුර-මෝදි ආදර කතාවේ මැදට පනින දුෂ්ටයා..! | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘ලංකාවේ සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් ඉන්දියාව සිය අප්‍රසාදය පළකිරීම ගැන අපි ස්තුතිවන්ත වන්නෙමු.
  • 1983 ජූලි 26 එවක ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධිට යවපු කේබල් පණිවුඩයය.
  • තමිල්නාඩුවේ පොලිසියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, බුද්ධි අංශ භාරව සිටි මොහාන් දාස් ලංකාවේ දමිළ සන්නද්ධ කල්ලිවලින් හොඳම කල්ලිය ප්‍රභාකරන්ගේ කල්ලිය බවත්, ඒ කල්ලි අතරින් හොඳම කල්ලි නායකයා ප්‍රභාකරන් බවත් දැනුම් දුන් නිසාය.
  • සහ ප්‍රභාකරන් 1985 පෙබරවාරි තමිල්නාඩුවේදී...
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකාවේ දමිළයන් කෲර ලෙස ඝාතනය කිරීම, වධ හිංසාවට ලක්කිරීම අපව නොසන්සුන් කර තිබේ. කරුණාකර මේ ම්ලේච්ඡ ප්‍රහාරවලින් දමිළයන් බේරාගැනීමට සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්න. ඔබතුමියට හැකි නම් මේ ප්‍රශ්නය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේදී ඉදිරිපත් කරන්න. අප බෙහෙවින් කෘතඥ වන්නෙමු…

මේ, තමිල්නාඩු මහ ඇමැති එම්.ජී.ආර්. 1983 ජූලි 26 එවක ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධිට යවපු කේබල් පණිවුඩයය. ඉන්දිරා ගාන්ධි ලංකාවේ දමිළ ප්‍රශ්නය සියතට ගන්නත්, ලංකාවේ දමිළ සන්නද්ධ කල්ලිවලට උදව් කරන්නත් තීරණය කළේ මේ කේබල් පණිවුඩයෙන් පසුවය.

Indira MGR
එම්.ජී.ආර්. ලංකාවේ වතුකරයේ උපත ලබපු අයෙකි. පසුව ඔහු ඉන්දියාවට ගොස් ඉන්දියාවේ හැදී වැඩී තමිල්නාඩුවේ ජනප්‍රියතම නළුවෙක් විය. ඔහුගේ මේ ශ්‍රී ලාංකික සම්භවය ලංකාවේ දමිළ ප්‍රශ්නය කෙරෙහි ඔහුගේ අවධානය යොමුකරන්න පසුබිම සැකසුණි.

මේ කාලයේ ලංකාවේ උතුරු-නැගෙනහිර දමිළ ජනතාවගේ දුක කියන්න උතුරු-නැගෙනහිර ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට සම්බන්ධ තරුණ කල්ලි තමිල්නාඩුවට වන්දනාවේ ගියත් එම්.ජී.ආර්.ගේ හිත ගත්තේ ප්‍රභාකරන්ය.

ප්‍රභාකරන් එම්.ජී.ආර්.ගේ හිත ගත්තේ නිකම්ම නොවේ. තමිල්නාඩුවේ පොලිසියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, බුද්ධි අංශ භාරව සිටි මොහාන් දාස් ලංකාවේ දමිළ සන්නද්ධ කල්ලිවලින් හොඳම කල්ලිය ප්‍රභාකරන්ගේ කල්ලිය බවත්, ඒ කල්ලි අතරින් හොඳම කල්ලි නායකයා ප්‍රභාකරන් බවත් දැනුම් දුන් නිසාය. මොහාන් දාස් ඒ ඔත්තුව එම්.ජී.ආර්.ට දුන්නේ ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව දැනුවත්වය.

xfgsdd| එම්.ජී.ආර්. සහ ප්‍රභාකරන් 1985 පෙබරවාරි තමිල්නාඩුවේදී...
මේ කාලයේ ඉන්දීය මධ්‍යම ආණ්ඩුව වූ ඉන්දිරා ගාන්ධිගේ කොංග්‍රස් පක්ෂ ආණ්ඩුව සිටියේ ලංකාව සමග අමනාපයෙන්ය. එයට හේතුව ජේ.ආර්.ගේ ආණ්ඩුවේ ඇමෙරිකානු හිතවාදයයි. ඉන්දිරා ගාන්ධි එවක බලසම්පන්නව සිටි සෝවියට් දේශ හිතවාදිනියකි. ජේ.ආර්.ගේ ආණ්ඩුවට පාඩමක් උගන්වන්න ඇය තමිල්නාඩු මහඇමැති එම්.ජී.ආර්.ව පාවිච්චි කොට උතුරේ දමිළ කැරැලිකරුවන්ට තමිල්නාඩුවේ රැකවරණ ලබාදුන්නාය. ප්‍රභාකරන් නම්වූ කොටි නායකයාට කිරි දී හැදුවේ එම්.ජී.ආර්.ය. මේ නිසාම ඉන්දීය මාධ්‍ය එම්.ජී.ආර්.ව හැඳින්වූයේ ප්‍රභාකරන්ගේ ගෝඩ් ෆාදර් ලෙසය.

ජේ.ආර්. ලංකාවේ බලයට ආවේ 1977දීය. එම්.ජී.ආර්. ජේ.ආර්.ගේ දෛවයත්, යූ.ඇන්.පී.යේ දෛවයත් වෙනස් කළේය. එපමණක් නොව ඔහු ලංකාවේම දෛවය වෙනස් කළේය.

හරියටම වසර 40කට ආසන්නව අද තමිල්නාඩුවේ යළිත් ජනප්‍රියතම නළුවෙක් මහඇමැති ධුරයට පත්ව සිටී. ඒ, විජේය.

fdry
විජේටත් එම්.ජී.ආර්.ට වගේම ලංකාවට සම්බන්ධයක් තිබේ. විජේගේ බිරිය ලංකාවේ උතුරේ ඉපිද එහි පාසල් ගොස් හැදී වැඩුණු තරුණියකි. ඇය සිය මවුපියන් සමග ලංකාව අත්හැර ලන්ඩනය බලා යන්නේ උතුරේ යුද්ධය නිසාය. විජේට ඇයව හමුවන්නේ ලන්ඩනයේදීය.

ඇයගේ ශ්‍රී ලාංකික සම්භවය විජේට ලංකාවේ දමිළ ප්‍රශ්නය ගැන අවධානය යොමුකරන්න ප්‍රබල හේතුවක් විය. යුද්ධයේ තීරණාත්මක අවස්ථාව වූ වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රහාරයට පෙර විජේ දිනක උපවාසයක් අරඹමින් වහාම ලංකා හමුදාවත්, එල්.ටී.ටී.ඊ. සංවිධානයත් අතර සටන් විරාමයකට මැදිහත් වී සිවිල් ජනතාව බේරාගන්න යැයි එවක බලයේ සිටි මන්මෝහන් සිං ආණ්ඩුවට ඉල්ලීමක් කළේය.

‘ඊළාම් දෙමළ ජනතාවට නිදහස උදාවේවා. මෙම ආයාචනය මගේ රසිකයන්ට පමණක් සීමා නොවේ. එය දෙමළ අනන්‍යතාවයේ සාරය තමන් තුළ දරා සිටින ඕනෑම කෙනකුට කරන අවංක ආයාචනයකි. අපි කොටි පැටවුන්…’

මේ, ඔහුගේ ආයාචනයය.

විජේගේ දේශපාලන ආගමනය පළමු වරට සනිටුහන් කළේ 2008 ලංකාවේ දමිළ ජනතාව වෙනුවෙන් ඔහු දියත් කරපු උපවාසය සහ ඔහුගේ මෙම ප්‍රකාශයෙන්ය. ඔහු ඔහුගේ චිත්‍රපටයක් රූගත කරන්න ලංකාවට ආවේද අහම්බයක් ලෙස නොවේ. ලංකාවේ දමිළ ජනතාව සහ ලොව පුරා විසිරී සිටින ලාංකික දමිළ ඩයස්පෝරාවට තමිල්නාඩුව තුළ කළ හැකි දේශපාලන බලපෑම හොඳින් ග්‍රහණය කරගෙනය.

මෙය මීට කලින් ග්‍රහණය කරගත්තේ එම්.ජී.ආර්. සහ දමිළ සිනමාවේ ජනප්‍රිය තිරපිටපත් රචකයකු වූ කරුණානිධිය. මේ දෙදෙනාම මියයෑමෙන් පසු ලංකාවේ දමිළ ප්‍රශ්නය තමිල්නාඩු දේශපාලන වේදිකාවේ තීරණාත්මක සටන් පාඨයක් නොවීය. ප්‍රභාකරන්ගේ මරණය සහ එල්.ටී.ටී.ඊ.යේ විනාශයද එයට බලපෑවේය.

xfgdgdfg
විජේ සිය දේශපාලන ආගමනය ප්‍රකාශයට පත්කොට නිවීගිය දමිළ ඊළාම් ගිනිසිළුව යළි පත්තු කළේය. ඔහු දේශපාලනයට ඇවිත් සහභාගි වූ දේශපාලන රැස්වීම් කිහිපයක ප්‍රභාකරන්ගේ මතක සටහන් අවදි කළේය.

‘ඒ අතරම අපි අපේ පෙකණිවැල ඥාතීන් ලෙස සලකන ඊළාම් – දෙමළ ජනතාව ඔවුන් ශ්‍රී ලංකාවේ සිටියත් ලෝකයේ වෙනත් ඕනෑම තැනක සිටියත් ඔවුන්ට මවකගේ ආදරය ලබාදුන් නායකයකු අහිමි වීමෙන් පසු දුක් විඳිනවා. ඔවුන් වෙනුවෙන් හඬක් නගා ඔවුන්ගේ පැත්තේ සිටීම අපගේ යුතුකමක් යැයි ඔබ සිතන්නේ නැද්ද? ඊළාම් දමිළ ජනතාවගේ ජීවිත සහ සිහින අපගේ ධීවරයන්ගේ ජීවිත තරම්ම වැදගත්. අපගේ ධීවරයන්ගේ දුක් වේදනා දෙස බලා දිගු ප්‍රකාශයක් ලියා පසුව නිහඬ වීම එය අපේ නොව මෙම ව්‍යාජ ඩී.එම්.කේ. රජයේ හැසිරීමයි…’

මේ විජේ තමිල්නාඩු දේශපාලන රැස්වීමක කළ ප්‍රසිද්ධ ප්‍රකාශයකි. ඔහු ප්‍රභාකරන්ව සම කළේ ලාංකික දමිළ ජනතාවට ආදරය දුන් මවක් ලෙසය.

අනුර කුමාර ජනාධිපති වූ පසු ඔහු කච්චතිව් දූපත යළි ඉන්දියාවට පවරාගත යුතු යැයි ඉන්දියාවේ මෝදි ආණ්ඩුවට බලකළේ අනුර ඇතුළු ආණ්ඩුව තැතිගන්වමිනි.

විජේගේ එම ප්‍රකාශයත් සමග අනුර කච්චතිව් දූපතට ගොස් කච්චතිව් ලංකාවට අයත් දූපතක් යැයි ප්‍රකාශයට පත්කළේය. කච්චතිව් දූපතට ගිය ලංකාවේ පළමු රාජ්‍ය නායකයා අනුරය. කච්චතිව් දූපත ලංකාවට හිමි කරගත් හිටපු අගමැතිනි බණ්ඩාරනායක මැතිනියවත් කවදාවත් කච්චතිව් දූපතට ගිහින් නැත.

අනුරගේ කච්චතිව් ගමන ගැන ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ මතය වූයේ දේශපාලනයට ආගන්තුක විජේගේ ප්‍රකාශයකට ලංකාවේ ආණ්ඩුව මේ තරම් කලබල විය යුතු නැති බවය.

ඒත් අද ඒ ආගන්තුකයා ඉන්දියාවේ මහඇමැති වී සිටී. විජේ සහ මෝදි අතර සම්බන්ධයට වඩා අනුර සහ මෝදි අතර සම්බන්ධය බලසම්පන්නය. ඒ බලසම්පන්න සමීප සබඳතාවට විජේ සුළි කුණාටුවක් වේද කියන්න දන්නේ නැත.

xfdrry
කරුණානිධි මහ ඇමැතිව සිටියදී ලංකාවේ යුද්ධය නතරකොට සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරන්න මැදිහත් වෙන්න යැයි ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට කියද්දී ලංකාවේ මහින්දවාදින් කරුණානිධිව සමච්චලයට ලක් කළේය. හැබැයි ඔහු කෙසේ හෝ ඉන්දීය මධ්‍යම රජයට බලපෑම් කොට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ලංකාවට එරෙහි යෝජනාවට පක්ෂ වීමට ඉන්දියාව එකඟ කරගෙන මහින්දගේ ආණ්ඩුව දණගැස්වීය.

විජේ කච්චතිව් පවරාගන්න කියන විට අනුරවාදීන් විජයගේ නළු පෙනුම උපහාසයට ලක්කරමින් විකට කතා ලියනු ලැබීය. දැන් විජේ මහඇමැති වී සිටී.

‘විජේ ලංකාවේ දමිළ ජනතාව වෙනුවෙන් එම්.ජී.ආර්.ට අඳියිද…?’

තවම හරියට කියන්න බැරිය.

(සටහන | උපුල් ජෝශප් ප්‍රනාන්දු)
Creative Content Consultant

උපුටා ගැනීම - mawratanews

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...