The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සංස්කෘතීන් වනසා රටවල් බිලිගැනීමේ ඛේදවාචකය | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

T

The Leader Desk

May 10, 2026 • 6:26 AM

සංස්කෘතීන් වනසා රටවල් බිලිගැනීමේ ඛේදවාචකය | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලොව විවිධ රටවල් සඳහා ගෝලීය වශයෙන් විවිධ අගැයුම් ලැබී තිබේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් හිමිව ඇති අගැයුමේ මූලික පදනම ‘සංස්කෘතිය’ නම් වන සාධකයයි.
  • නිදසුනක් ලෙස, ඇමෙරිකාව නවීන තාක්ෂණයෙන් සහ ධනයෙන් පෝෂිත වුවද, ඉරානය (පැරණි පර්සියාව) සතු වසර දහස් ගණනක ලිඛිත ඉතිහාසය සහ ගැඹුරු දර්ශනය ලොව පුරා අගැයුමට ලක්වන්නකි.
  • බලවත් ජාතීන් තවත් ජාතියක් යටපත් කිරීමට උත්සාහ කිරීමේදී ප්‍රමුඛව ම එම ජාතියේ සංස්කෘතික මූලයන් විනාශ කිරීමට පෙළඹෙන්නේ, සංස්කෘතිය බිඳවැටුණු ජාතියක් ආත්ම අභිමානයක් නොමැති, නිරායාසයෙන් ම මෙල්ල කළ හැකි දුර්වල ඒකකයක් බවට පත්වන බැවිනි.
  • මෙහිදී ඉකුත් අප්‍රේල් 07 වන දා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුළු ඉරාන ශිෂ්ටාචාරය ම එක් රැයකින් වනසා දමන බවට කළ තර්ජනය ද අප සිහිපත් කළ යුතු ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ලොව කවර සමාජයක වුව සංස්කෘතිය යනු නූතනයේ පැවසෙන අන්දමට බාහිරින් එළි දැක්වෙන ප්‍රදර්ශන භාණ්ඩයක් නොවේ; එය යම් ජනතාවකගේ සාමූහික මනෝභාවය සහ ජීවන දර්ශනය නිරූපණය කරන කැඩපතකි. එය අස්පර්ශනීය සහ භෞතික යන උරුමයන් දෙකෙහි මනා සුසංයෝගයකින් සමන්විත වේ. ජාතියක හදවත බඳු වූ ඇදහීම්, සිරිත් විරිත්, ආකල්ප සහ භාෂාව අස්පර්ශනීය උරුමයට අයත් වන අතර, එම අදහස් ද්‍රව්‍යමය ස්වරූපයෙන් ලොවට විදහා දක්වන්නේ වාස්තු විද්‍යාව, කලා ශිල්ප සහ පුරාවස්තු වැනි භෞතික උරුමයන් මඟිනි.

 

ertetert456456456445445

ඉතිහාසය සහ ශිෂ්ටාචාරයක ප්‍රබලතාව මැන බැලීමේදී භෞතික සම්පත්වලට වඩා සංස්කෘතික පදනම වැදගත් වේ. නිදසුනක් ලෙස, ඇමෙරිකාව නවීන තාක්ෂණයෙන් සහ ධනයෙන් පෝෂිත වුවද, ඉරානය (පැරණි පර්සියාව) සතු වසර දහස් ගණනක ලිඛිත ඉතිහාසය සහ ගැඹුරු දර්ශනය ලොව පුරා අගැයුමට ලක්වන්නකි. බලවත් ජාතීන් තවත් ජාතියක් යටපත් කිරීමට උත්සාහ කිරීමේදී ප්‍රමුඛව ම එම ජාතියේ සංස්කෘතික මූලයන් විනාශ කිරීමට පෙළඹෙන්නේ, සංස්කෘතිය බිඳවැටුණු ජාතියක් ආත්ම අභිමානයක් නොමැති, නිරායාසයෙන් ම මෙල්ල කළ හැකි දුර්වල ඒකකයක් බවට පත්වන බැවිනි. මෙහිදී ඉකුත් අප්‍රේල් 07 වන දා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුළු ඉරාන ශිෂ්ටාචාරය ම එක් රැයකින් වනසා දමන බවට කළ තර්ජනය ද අප සිහිපත් කළ යුතු ය. සංස්කෘතියේ පදනම වන ශිෂ්ටාචාරය වනසා දැමීම ගසක මුදුන් මුල සිඳීමකි.

bilio1

 

ශ්‍රී ලංකාවේ සංස්කෘතික අනන්‍යතාව අතීතයේ සිට ම බුදුසමය සමඟ වෙන් කළ නොහැකි ලෙස බද්ධ වී පවතින බවට ජාත්‍යන්තරය හමුවේ ගෙනහැර දැක්විය හැකි සාක්ෂි අතිවිශාල සංඛ්‍යාවක් අප සතු ය. අනුරාධපුරය, පොළොන්නරුව සේම සීගිරිය වැනි ලෝක උරුමයන් හුදු ගොඩනැඟිලි නොව, අප සතු වූ උසස් තාක්ෂණය, විනය සහ ආධ්‍යාත්මික දියුණුව පිළිබඳ ජීවමාන සාක්ෂි වේ. යම් ජාතියක මෙවැනි උරුමයන් ඉලක්ක සහගතව විනාශ කිරීම සංස්කෘතික සංහාර (Cultural Genocide) ලෙස හඳුන්වනු ලබයි. මිනිසුන් භෞතිකව ඝාතනය කිරීමට වඩා, ඔවුන්ගේ අනන්‍යතාව මරා දැමීමෙන් එම ජාතිය ඉතිහාසයෙන් අතුගා දැමිය හැකි බව ආක්‍රමණිකයන්ගේ දේශපාලන න්‍යායයි.

මෙවැනි තර්ජන හමුවේ ඉන්දියාව වැනි රටවල් ‘ඉන්දුවේදය’ (Indology) වැනි ශාස්ත්‍රීය විෂයන් හරහා තම දේශීය උරුමය රැක ගැනීමට පියවර ගත්ත ද, ශ්‍රී ලංකාව තුළ මානව විද්‍යා විෂය පථයන් විශ්වවිද්‍යාල පද්ධතියට පමණක් සීමා වීම නිසා එහි සමාජයීය බලපෑම ඉතා දුර්වල මට්ටමක පවතී. ඒ අනුව මේ වන විට අපට අපගේ දේශීය සංස්කෘතික මූලයන් වෙත යාමට ඉන්දුවේදයේ ඇතැම් පරිච්ඡේද කියවීමට සිදු වී තිබේ. මෙය උසස් අධ්‍යාපන සමයේ මට ද අත්විඳීමට සිදු වූ අත්දැකීමකි.

129489210 725394031692772 368649105128998997 n

 

ශ්‍රී ලාංකීය සංස්කෘතියේ බහුවිධ ස්වරූපයක් ද දක්නට තිබේ. එහි පදනම සකස් වී ඇත්තේ ප්‍රධාන ආගමික සහ සංස්කෘතික ධාරාවන් හතරක අන්තර් ක්‍රියාකාරිත්වයෙනි. පළමුවැන්න වන දේශීය කෘෂිකර්මය මත පදනම් වූ බෞද්ධ සංස්කෘතික ධාරාව, අල්පේච්ඡතාව, අවිහිංසාව සහ “වැවයි දාගැබයි” සංකල්පය ඔස්සේ මෙරට කොඳු නාරටිය ලෙස ක්‍රියා කරයි. අතීත ගැමියා බුදුදහම ගැඹුරින් හදාරා ඇති බවට සාක්ෂි නැතත්, ඔවුන් තම ජීවිත ගොඩනංවා ගැනීමට බුදුදහමේ දාර්ශනික හරය යොදා ගත් අන්දම විස්මයජනක ය.

අප රට තුළ පවතින හින්දු සංස්කෘතික ධාරාව, භක්තිය සහ ගෝපුර සහිත කෝවිල් වාස්තු විද්‍යාව සේම භගවත් ගීතාව මහා භාරතය වැනි විශ්ව සම්භාවිත සාහිත්‍ය මූලාශ්‍ර හරහා සංස්කෘතිය පෝෂණය කරයි. ඉස්ලාම් සංස්කෘතික ධාරාව සහෝදරත්වය, කැලිග්‍රැෆි කලාව සහ බුරියානි, වටලප්පන් වැනි රසවත් ආහාර සංස්කෘතියක් දායාද කර ඇති අතර, පෘතුගීසි – ලන්දේසි – බ්‍රිතාන්‍ය බලපෑමෙන් පැමිණි කිතුනු සංස්කෘතික ධාරාව බටහිර අධ්‍යාපනය, ගොතික් වාස්තු විද්‍යාව සහ නාඩගම් වැනි කලාංග දියුණු කිරීමට ප්‍රබල ලෙස දායක වී තිබේ.

 

39408187725 5b96e1ef2e b
ශ්‍රී ලංකාවේ විශේෂත්වය වන්නේ මෙම ධාරාවන් හුදකලා නොවී සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වැනි පොදු උත්සව සහ කතරගම, ශ්‍රී පාදය වැනි පොදු වන්දනා ස්ථාන හරහා සහජීවනයෙන් බැඳී තිබීමයි. එමෙන්ම ඒ සම්බන්ධ සරල ප්‍රායෝගික නිදසුනක් වනුයේ, උතුරේ දෙමළ ජනතාව අතුරින් මතු වූ සුළුතරයක් විසින් මෙහෙයවන ලද එල්.ටී.ටී.ඊ. යුද සමයේ අගනුවර ඇතුළු අප රටේ සෙසු නගරවල ශෛව බොජුන්හල් සිංහල ජනයාගෙන් පිරී යාමයි. අප රටේ තත්ත්වය කෙසේ වුව ද මෙය එවක ඉන්දීය සමාජ විද්‍යාඥයන්ගේ සහ මාධ්‍යවේදීන්ගේ තියුණු අවධානයට යොමු විය. එය ඉන්දියාවේ, විශේෂයෙන් ම තමිල්නාඩුවේ ජන හදවත් තුළ පැවැති 1983 ශ්‍රී ලංකාවේ කළු ජූලිය සම්බන්ධ කහට මකාලීමට බොහෝ සෙයින් ඉවහල් වන්නට ඇත.

කෙසේ වෙතත්, වර්තමානයේ අප අත්දකින බරපතල ම අර්බුදය වන්නේ අප රටේ සංස්කෘතික නියෝජනයන්, පූජනීය වස්තූන් සහ පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් දියත් වන පදනම් විරහිත අපහාසයන් ය. දළදා වහන්සේ වැනි අතිපූජනීය වස්තූන්ට නිගරු කිරීම සහ ඇතැම් දේශපාලනඥයන් විසින් බෞද්ධ සිද්ධස්ථාන හා භික්ෂූන්ට කුරිරු ලෙස නින්දා කිරීම හුදු පුද්ගල චර්යාවන් ලෙස පමණක් සලකා බැහැර කළ නොහැකි ය. මෙවැනි ක්‍රියාවන් පිටුපස අතිවිශාල මුදල් ආයෝජනයන් මත පදනම් වන සංස්කෘතික සංහාරකයන්ගේ අදිසි හස්තයන් ක්‍රියාත්මක විය හැකි ය. මෙම මහා ධන සම්භාරය මේවා අතිශයෝක්තියට නංවා ප්‍රචාරය කරන මාධ්‍යවේදීන් හා ආයතන වෙත ද ගලා එන බවට නොනිල තොරතුරු තිබේ. එමෙන්ම වගකිවයුතු පුද්ගලයන් නොදැනුවත්ව ම පවා මෙම විනාශයේ තැරැව්කරුවන් විය හැකි ය. 

ඒ අතරේ හුදු ආර්ථික ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අප ජාතිය සතු මෙවන් සංස්කෘතික හරයන් දේශීය හා විදේශීය බලවේගයන්ට බිලිදීම, යමකු තම වැදූ මව අබිසරුකමේ යොදවා බඩ වඩා ගැනීමකට නොදෙවැනි බව ද කිව යුතු ම ය.


z PraneethAbayasundara(සටහන | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර)
හිටපු මානව විද්‍යා මහාචාර්ය
 
(උපුටා ගැනීම - vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...