The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සම්බාධක සුපිරි බලවතා : ජාතීන්ට බාධක පනවමින් නිදහස් ගමනාගමනයට බල කර සිටීම | ලයනල් බෝපගේ

T

The Leader Desk

May 12, 2026 • 10:29 AM

සම්බාධක සුපිරි බලවතා : ජාතීන්ට බාධක පනවමින් නිදහස් ගමනාගමනයට බල කර සිටීම | ලයනල් බෝපගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නැව් පුපුරවා හැරීම නැවැත්වීමට, බෝම්බ ඉවත් කිරීමට සහ මානුෂීය සහන ලබා දීමට ඉරානයට බල කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටිමින්, හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව ඉරානයට බල කළ යුතු යැයි රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ඉල්ලා සිටියි.
  • සාමකාමී කාල වලදී ලොව තෙල් සහ ස්වාභාවික වායු ප්‍රමාණයෙන් පහෙන් එකක් ප්‍රවාහනය කෙරෙන මෙම සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ගෝලීය ආර්ථික අර්බුදයක් පිළිබඳ බියක් ද ඇති කර තිබේ.
  • එහෙත්, ලෝකයේ වඩාත්ම පුළුල් ඒකපාර්ශ්වික ආර්ථික අවහිර කිරීම් පද්ධතියක් ක්‍රියාත්මක කරන එක්සත් ජනපදයට, තමන් විසින්ම විවෘත ජල මාර්ගවල ආරක්ෂකයා ලෙස පෙනී සිටිය නොහැකිය.
  • දශක ගණනාවක් පැරණි මෙය, මහාද්වීප කිහිපයක සාමාන්‍ය ජනතාවගේ දුක් වේදනා තුළ ලියැවී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


දශක ගණනාවක් තිස්සේ රටවල ගෙල මිරිකමින්, වෙළඳාම අවහිර කරමින් සහ මිලියන සංඛ්‍යාත සාමාන්‍ය ජනතාවගේ ජීවිත අඩාල කරමින් මීට හාත්පසින් ම වෙනස් දෙයක් සිදු කළ එක්සත් ජනපදයට, නිදහස් ගමනාගමනය පිළිබඳ ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටීමට ඇති අයිතිය කුමක් දැයි යන්න ලෝකය මොහොතකට නතර වී විමසා බැලීම වටී.

ටෙහෙරානය විසින් වාණිජ නෞකාවලට එල්ල කරන ප්‍රහාර නතර කිරීමට අපොහොසත් වුවහොත්, ඉරානයට එරෙහිව සම්බාධක පැනවීමට සහ අවශ්‍ය වුවහොත් බලය භාවිතා කිරීමට අවසර දිය හැකි යෝජනාවකට සහාය දෙන ලෙස රුබියෝ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා ඇත. සාමකාමී කාල වලදී ලොව තෙල් සහ ස්වාභාවික වායු ප්‍රමාණයෙන් පහෙන් එකක් ප්‍රවාහනය කෙරෙන මෙම සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ගෝලීය ආර්ථික අර්බුදයක් පිළිබඳ බියක් ද ඇති කර තිබේ. මේවා සාධාරණ සලකා බැලීම් වේ. නාවික ගමනාගමනයේ නිදහස වැදගත් ය. එහෙත්, ලෝකයේ වඩාත්ම පුළුල් ඒකපාර්ශ්වික ආර්ථික අවහිර කිරීම් පද්ධතියක් ක්‍රියාත්මක කරන එක්සත් ජනපදයට, තමන් විසින්ම විවෘත ජල මාර්ගවල ආරක්ෂකයා ලෙස පෙනී සිටිය නොහැකිය.

මෙම කුහකත්වය සියුම් නැත. දශක ගණනාවක් පැරණි මෙය, මහාද්වීප කිහිපයක සාමාන්‍ය ජනතාවගේ දුක් වේදනා තුළ ලියැවී ඇත.

කියුබාව: ගෙල හිර කළ දශක හයක්

වසර 60කට වැඩි කාලයක සිට එක්සත් ජනපදය කියුබාවට එරෙහිව දැඩි ආර්ථික, වෙළඳ සහ මූල්‍ය සම්බාධක මාලාවක් පවත්වා ගෙන යනු ලබයි. මෙය එක්සත් ජනපද විදේශ සබඳතා ඉතිහාසයේ දීර්ඝතම ඒකපාර්ශ්වික සම්බාධක ප්‍රතිපත්තියයි. දිවයිනේ සංචාරයක නිරත වූ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙකු නිගමනය කළේ එක්සත් ජනපදය, පරම්පරා ගණනාවක කියුබානු ජීවිතයේ සෑම අංශයක් කෙරෙහි ම දැඩි බලපෑම් එල්ල කරන මෙම සම්බාධක "ඉවත් කළ යුතු" බවයි.

 

2026 වසරේ දී තත්ත්වය දැඩි ලෙස උග්‍ර වී ඇත. මේ ජනවාරි මාසයේ දී, කියුබාවට සෘජුව හෝ වක්‍රව තෙල් සපයන ඕනෑම රටකින් කෙරෙන ආනයන මත අතිරේක තීරු බදු පැනවීමට අවසර දෙමින් 14380 දරන විධායක නියෝගය බලාත්මක විය. එහි ප්‍රතිඵලය අතිශය විනාශකාරී වී තිබේ. ඇමෙරිකානු සම්බාධක හේතුවෙන් රටේ ඉන්ධන සැපයුම අවසන් වී ඇති බව පවසමින්, කියුබාව පෙබරවාරි මාසයේ දී හෝසේ මාර්ටි ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඇතුළුව එරට ගුවන් තොටුපළවල දී ගුවන් යානාවලට ඉන්ධන පිරවීම අත්හිටුවනු ලැබීය (Enforcement and recent strengthening of U.S. sanctions deepen hardships for Cuban population: Special Rapporteur) 
මෙය සමස්ත ජනතාවකට එරෙහිව පනවනු ලැබූ සාමූහික දඬුවමකි. අත්‍යවශ්‍ය යන්ත්‍ර සූත්‍ර, අමතර කොටස්, විදුලිය, ජලය, ඉන්ධන, ආහාර සහ ඖෂධ හිඟය මෙන්ම වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් සහ ගුරුවරුන් වැනි දක්ෂ ශ්‍රමිකයන් වැඩි වශයෙන් රට හැර යාම හේතුවෙන්, ජීවත් වීමේ අයිතිය, ආහාර, සෞඛ්‍ය සහ සංවර්ධනය සඳහා වූ අයිතීන් ඇතුළු මානව හිමිකම් භුක්ති විඳීම කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරන බව එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු සොයා ගත්තේය. 2024 මාර්තු සහ 2025 පෙබරවාරි අතර කාලය තුළ පමණක් තමන්ට ඇමෙරිකානු ඩොලර් බිලියන 7.5ක ද්‍රව්‍යමය අලාභයක්, එනම් දළ වශයෙන් දිනකට ඩොලර් මිලියන 20 ක අලාභයක් සිදු වූ බව කියුබාව ගණන් බලා තිබේ.

donald Tr 260415
කියුබාව සමඟ වෙළඳාම් කිරීමට තරම් එඩිතර වන රටවලට සිදු වන්නේ කුමක්ද? ඒ රටවල් වලට ද දඬුවම් විඳීමට සිදු වේ. කියුබාවට තෙල් සපයන ඕනෑම රටකට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ග ගන්නා බවට සහ තීරු බදු පනවන බවට ට්‍රම්ප් තර්ජනය කළේය. මෙම තත්වය හේතුවෙන් මෙක්සිකෝවට සිය නැව්ගත කිරීම් තාවකාලිකව නතර කිරීමට බල කෙරුණි. වොෂින්ටනය අත්‍යවශ්‍ය ලෙසම ලෝකයට පවසා ඇත්තේ, මෙම දූපත් රාජ්‍යය සමඟ වෙළඳාම් කළහොත් ‘අප ඔබ පසුපස හඹා එන’ බවයි.
2025 ඔක්තෝබර් මාසයේ දී, එක්සත් ජනපද තහනම අවසන් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් පවත්වන ලද ඡන්ද විමසීමේ දී ඡන්ද 165 ට 7 ක් ලෙස එය සම්මත විය. එහි දී එක්සත් ජනපදය සිටියේ දැඩි ලෙස හුදකලා වෙමිනි. එසේ වුවද, මෙම අවහිර කිරීම් තවමත් ක්‍රියාත්මක වේ. සමුද්‍ර සන්ධියක් වසා දැමීම සම්බන්ධයෙන් ඉරානයට අනතුරු ඇඟවීමට ඉක්මන් වූ රුබියෝ, තමන්ගේම ආණ්ඩුව විසින් දූපත් රාජ්‍යයක ඉන්ධන සැපයුම නතර කර දැමීම පිළිබඳව  වචනයක් හෝ පවසා නැත.

ඉරාකය: වන්දි ගෙවූ දරුවෝ

කියුබාවේ තත්ත්වය හුදෙකලා සිදුවීමක් නොවේ. 2003 වසරේ ඇමරිකානු ආක්‍රමණයට පෙර, ඇමරිකානු බලපෑම මත ක්‍රියාත්මක වූ එක්සත් ජාතීන්ගේ දැඩි සම්බාධක තන්ත්‍රය නිසා 1990 දශකය පුරාම ඉරාක සිවිල් වැසියෝ දැඩි ලෙස පීඩාවට පත් වූහ. යුනිසෙෆ් (UNICEF) සංවිධානයේ ජන විකාශන සමීක්ෂණයකින් තහවුරු වූයේ, මධ්‍යම සහ දකුණු ඉරාකයේ වයස අවුරුදු පහට අඩු ළමා මරණ අනුපාතය දෙගුණයකටත් වඩා වැඩි වී ඇති බවයි. 1980 දශකයේ මැද භාගයේ දී උපත් 1,000කට මරණ 56ක් ලෙස පැවති මෙම අනුපාතය, 1990 දශකයේ අග භාගය වන විට උපත් 1,000කට මරණ 131ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

children gasa
විශේෂයෙන්ම වඩාත් අවදානමට ලක් විය හැකි කුඩා දරුවන් අතර මන්දපෝෂණය කැපී පෙනෙන ලෙස ඉහළ යාමට මං පාදමින් මෙම සම්බාධක ආහාර සහ ඖෂධ ආනයනය කිරීමට ඉරාකයට තිබූ හැකියාව බෙහෙවින් සීමා කළේය. ඉරාක ජනතාවගේ මෙම දුක් වේදනා සම්බන්ධයෙන් සදාම් හුසේන්ගේ පාලන තන්ත්‍රයට ද විශාල වගකීමක් තිබුණ නමුත්, මෙම සම්බාධක තන්ත්‍රය පාලකයන්ට වඩා සාමාන්‍ය පවුල් දැඩි පීඩනයකට මුහුණ දීම සහතික කළේය.

ඉරානය, වෙනිසියුලාව සහ 'උපරිම පීඩන' සැලැස්ම

එම තර්කනය ම අදටත් ක්‍රියාත්මක වේ. විස්තර කර ඇති පරිදි, වොෂින්ටනයේ 'උපරිම පීඩනය' යෙදීමේ ව්‍යාපාර සැලසුම් කර ඇත්තේ හුදෙක් හැසිරීම් වෙනස් කිරීමට පමණක් නොව, ආණ්ඩුවක පැවැත්ම ආර්ථික වශයෙන් කළ නොහැක්කක් බවට පත් කිරීම ට ය. එක්සත් ජනපදය සිය ගල්ෆ් කලාපීය මිත්‍ර රටවල් සමඟ එක්ව එක්සත් ජාතීන්ගේ යෝජනාවක් කෙටුම්පත් කර ඇත. සම්මත වුවහොත්, එය ඉරානයට එරෙහිව තවත් සම්බාධක පැනවීමට සහ බලය යෙදීමට පවා ඉඩ සැලසිය හැකිය. මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ, තමන් විසින්ම වසර ගණනාවක් පුරා අඩපණ කළ එක්සත් ජාතීන්ගේ ක්‍රම පද්ධතිය ම අද වන විට ආයුධයක් ලෙස භාවිතා කිරීමට උත්සාහ කරන පාලනයක් විසිනි.

trump unesko
මෙම තේරිය හැකි (වරණීය) බහුපාර්ශ්වික වාදය (selective multilateralism) එහි සාහසික කම අතින් විශ්මයජනක ය. ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවන ධුර කාලය ආරම්භ කළ දා සිට වොෂින්ටනය එක්සත් ජාතීන්ගේ සංවිධානයත් දැනට පවතින ජාත්‍යන්තර රීති මත පදනම් වූ අනුපිළිවෙළත් අඩපණ කර ඇත. ට්‍රම්ප් විසින්ම 2025 දී මහා මණ්ඩලය අමතා කළ දේශනයක දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අරමුණ පිළිබඳව ප්‍රශ්න කළේය. එසේ වුවද, දැන් වොෂින්ටනයේ අවශ්‍යතාවලට ගැළපෙන විට, ඇමරිකාවේ යෝජනාවට සහය නොදක්වන්නේ නම් රුබියෝ (Rubio) එක්සත් ජාතීන්ගේ විශ්වාසනීයත්වය ප්‍රශ්නයට ලක් කරයි. පෙනෙන ආකාරයට, වොෂින්ටනය සමඟ එකඟ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රයෝජනවත් වන අතර, එසේ නොවන විට එය අදාළ නොවන ආයතනයක් බවට පත් වෙයි.

බෝම්බ සමඟ පැනවෙන සම්බාධක

සිවිල් ජනතාවට එරෙහි ආර්ථික යුද්ධයක් පිළිබඳව කරන ඕනෑම කරුණු පැහැදිලි කර දීමක් ගාසා තීරය ගැන සඳහන් නොකරන්නේ නම් අසම්පූර්ණ එකක් වනු ඇත. 2023 ඔක්තෝබර් මාසයේ සිට, අත්පත් කර ගෙන සිටින පලස්තීන ප්‍රදේශවල ජනතාව, හුදෙක් සම්බාධක තන්ත්‍රයකට පමණක් නොව, සර්ව සම්පූර්ණ වට ලෑමකට ද මුහුණ දී සිටිති. එය කෙතරම් දරුණු වට ලෑමක් ද යත්, ආහාර, ඖෂධ සහ ඉන්ධන සැපයීම අත් හිටවීමත් සමග, මිනිස් ජීවිතය පවත්වා ගෙන යාමට අත්‍යවශ්‍ය වන ආයතන  ක්‍රමානුකූල ව විනාශ කර දැමීමත් ඒකාබද්ධ කරනු ලැබ ඇත.

gasa child 251210
යුද්ධයට පෙර ගාසා තීරයේ මන්දපෝෂණය නොතිබූ තරම් ය. වසර දෙකහමාරක් පුරා මානුෂීය ආධාර සහ වාණිජ භාණ්ඩ ක්‍රමානුකූල ලෙස අවහිර කිරීමෙන් සෞඛ්‍ය සේවා පහසුකම් අඩපණ කර, ජීවන තත්ත්වය බරපතළ ලෙස කඩා වැටීමට ලක් කරමින් ආහාර සහ පිරිසිදු ජලය ලබා ගැනීමට ඇති ප්‍රවේශය දැඩි ලෙස සීමා කර ඇත. 'දේශ සීමා රහිත වෛද්‍යවරු' (MSF) පැහැදිලිව ප්‍රකාශ කර ඇත්තේ මෙම මන්දපෝෂණ අර්බුදය මුළුමනින් ම නිර්මාණය කරන ලද එකක් බවයි.
රෝහල් දෙකක ප්‍රතිකාර ලැබූ කාන්තාවන්ගෙන් අඩකට වඩා වැඩි පිරිසක් ගර්භණී සමයේ දී මන්දපෝෂණයෙන් පෙළුණහ. එම තත්වයන් යටතේ උපත ලැබූ බිළිඳුන්ගෙන් සියයට අනූවක් ම අපරිණත දරු උපත් වූ අතර, සියයට අසූ හතරක් අඩු උපත් බරකින් යුක්ත වූහ. මේ සියල්ල යුද්ධයේ අහඹු ප්‍රතිඵල නොව, හිතාමතා සැලසුම් කළ ප්‍රතිපත්තිවල ප්‍රතිවිපාක වේ.
 
gaza water
2025 මාර්තු මාසයේ සිට, ඊශ්‍රායල බලධාරීහු, එක්සත් ජාතීන්ගේ ආධාර සහ සරණාගත නියෝජිතායතනය (UNRWA) මානවවාදී කාර්ය මණ්ඩල සහ ආධාර ගාසා තීරයට සෘජුවම ගෙන ඒමෙන් වැළැක්වීමට කටයුතු කරමින් සිටිති. කෙසේ වෙතත්, ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සඳහා ප්‍රමාණවත් ආහාර පාර්සල්, පිටි සහ නවාතැන් සැපයුම් ගාසා තීරයෙන් පිටත පෙර සූදානම් කර තැබීමට එම නියෝජිතායතනය ඒ වන විටත් පියවර ගෙන තිබුණි (Water as a weapon: Israel’s destruction and deprivation of water and sanitation in Gaza)

ගාසා තීරයේ අනාගතයට එල්ල කරන ලද ප්‍රහාරය ද මේ හා සමාන අන්දමේ ක්‍රමානුකූල එකක් වී ඇත. සිසුන් 625,000කට අධ්‍යාපනය අහිමි කරමින් ගාසා තීරයේ සියළුම පාසල් ගොඩනැගිලිවලින් සියයට 88ක් පමණ හානි කරනු ලැබ හෝ විනාශ කරනු ලැබ ඇත. සිසුන් 5,479කට වැඩි පිරිසක් සහ ගුරුවරුන් 261 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය ගාසා තීරයේ සෞඛ්‍ය පහසුකම්වලට එල්ල වූ ප්‍රහාර 668ක් තහවුරු කර ඇති අතර, ඉන් මරණ 886ක් සහ තුවාල ලැබීම් 1,355ක් සිදු වී ඇත. එහි ඇති රෝහල් 36න් 22ක්ම දැනට ක්‍රියා විරහිත මට්ටමට පත් කර ඇත. 2023 ඔක්තෝබර් 7 සහ 2026 අප්‍රේල් 29 අතර කාලය තුළ ගාසා තීරයේ පලස්තීනුවන් 72,599 දෙනෙක් ඝාතනයට ලක්ව, තවත් 172,411 දෙනෙක් තුවාල ලබා ඇත.
 
ca29e798 01e3 4f56 8419 a3298aed2d44
මේවා සන්නද්ධ ගැටුමක දී අහඹු ලෙස සිදු වන ජීවිත හානි නොවේ. මෙයින් නිරූපණය කරන්නේ සමස්ත සමාජයක ස්වයංපෝෂිත වීමට, රෝග සුවපත් කර ගැනීමට සහ දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට ඇති හැකියාව මුළුමණින්ම විනාශ කර දැමීමයි. මෙය සිදු කරනු ලබන්නේ ඇමරිකා එක්සත් ජනපදය විසින් සපයන ලද අවි ආයුධවලින් සහ ඔවුන්ගේ රාජ්‍යතාන්ත්‍රික රැකවරණය මැද්දේ ය. මෙම යුද මෙහෙයුම වෙනුවෙන් වොෂින්ටනය දක්වන නොසැලෙන සහයෝගය හේතුවෙන්, හෝමුස් සමුද්‍ර සන්ධිය සහ භාණ්ඩ නිදහසේ ප්‍රවාහනය කිරීම පිළිබඳව ඔවුන් පෙනී සිටීම  තවදුරටත් හෘද සාක්ෂියට එකඟ නොවන එකක් බවට පත් කරයි. ලෝකයේ විවෘත ජල මාර්ගවල ස්වයං-ප්‍රකාශිත ආරක්ෂකයා වන්නේ, සමස්ත ජනගහනයක් ම කොටු කර, සාගින්නට පත් කර, බෝම්බ හෙළා විනාශ කරන විට එය නොදුටු සේ සිටිමින්, ඊට ක්‍රියාකාරී ව අනුබල දුන්, එම බලවතා ම වෙයි (Education under attack in Gaza, with nearly 90% of school buildings damaged or destroyed)  

ලෝකයා නම් කළ යුතු දෙබිඩි පිළිවෙත

ඉරාන හෝ වෙනත් ආණ්ඩු විවේචනයෙන් ඔබ්බෙහි පවතින බවක් මේ කිසිවකින් අදහස් වන්නේ නැත. කියුබාව, වෙනිසියුලාව සහ සම්බාධක පනවා ඇති අනෙකුත් සියළුම ජාතීන්ට අයත් ජනතාව මෙන්ම ඉරාන ජනතාව ද දේශපාලන නිදහස, ආර්ථික යුක්තිය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ පාරිසරික ආරක්ෂාව ලැබීමට සුදුස්සෝ වෙති. මර්දනකාරී පාලනයකට පිළිතුර සොයා ගත යුත්තේ වොෂින්ටනයට අවනත අනුප්‍රාප්තිකයෙකු පත් කිරීමෙන් හෝ බලයෙන් පහ කළ කුමාරයෙකු ආපසු ගෙන්වා ගැනීමෙන් හෝ ආර්ථිකය කඩා වැටීමට සැලසුම් කිරීමෙන් හෝ නොවේ. ඒ සඳහා වන විසඳුම රැඳී ඇත්තේ තම දේශයේ අධිපතිවාදී පාලකයන්ගෙන් මෙන්ම විදේශීය ආර්ථික යුද්ධයෙන් ද නිදහස් වූ ජනතාව සතුව මයි.
 
marco rubi

ලෝක ප්‍රජාවට එක්සත් ජනපදය වෙත ඉදිරිපත් කිරීමට සාධාරණ ඉල්ලීමක් තිබේ. ඔබේ සම්බාධක සහ තහංචි එක්සත් ජාතීන්ගේ අධීක්ෂණයට යටත් කරන්න. වොෂින්ටනයේ මෙම අවහිර කිරීම් ඔවුන් පවසන පරිදි සැබවින්ම මානව හිමිකම් සහ ජාත්‍යන්තර ආරක්ෂාව සම්බන්ධයෙන් සිදු කරන්නක් නම්, හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් රුබියෝ (Rubio) දැන් හදිසියේ ම උපුටා දක්වන ජාත්‍යන්තර නීති පද්ධතියෙන් ම ඒවා විනිශ්චයට ලක් කිරීමට ඉඩ හරින්න. එක්සත් ජාතීන්ගේ අනුමැතියකින් තොරව පනවනු ලබන ඒකපාර්ශ්වික ආර්ථික යුද්ධයකට, ඒකපාර්ශ්වික යුධ ක්‍රියාමාර්ගයකට වඩා වැඩි නීත්‍යානුකූල භාවයක් නොතිබිය යුතුය.
 
එක් රටකට තවත් රටක ආර්ථිකයේ හුස්ම හිර කිරීමටත්, ඉලක්ක ගත රට සමඟ වෙළඳාම් කරන තුන් වන පාර්ශවයන්ට දඬුවම් කිරීමටත්, ජාත්‍යන්තර අනුමැතියකින් තොරව මිලියන එකොළහක ජනතාවක් වසන දූපතකට ඉන්ධන නැව්ගත කිරීම් අවහිර කිරීමටත් හැකි ලෝකයක් 'නීති මත පදනම් වූ' ලෝකයක් වන්නේ නැත. එය වඩාත්ම බලවත්තු පාලනය කරන ලෝකයකි. එක්සත් ජනපදයට එම පද්ධතියේ නිර්මාණ කරු මෙන්ම එහි සදාචාරාත්මක බලාත්මක කරන්නා ලෙස එකවර ක්‍රියා කළ නොහැකිය. ඔවුන් සිටින ඒ 'වීදුරු මාලිගාව' ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම පැහැදිලිව පෙනෙන්නට තිබේ.

lionel bopage(සටහන | ආචාර්ය ලයනල් බෝපගේ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
(ජවිපෙ හිටපු ලේකම්වරයෙකි)

මෙල්බර්න් නුවර, ඔස්ට්‍රේලියාව
2026 මැයි 11

lionel.bopage@gmail.com

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...