එතුමාගේ කතාවල අලංකාර පද පෙරැළි සහ දෙපැත්ත කැපෙන කතාද වු බව අතීත පාර්ලිමේන්තු ඉතිහාසය දන්නා පැරැන්නෝ දනිති.
බණ්ඩාරනායක මහතාගේ කැබිනටිටුවේ අපූරු චරිත ගණනාවක් විය. එයින් එක් පුද්ගලයෙකු වුයේ තැපැල් ප්‍රවෘත්ති සහ ගුවන් විදුලි ඇමති සි.ඒ.එස්. මරික්කාර් මහතාය. ඔහු තරමක හිතුවක්කාර පුද්ගලයෙක් විය. එකවරක් ඔහුගේ අමාත්‍යාශයේ උපදේශිකාවක් ලෙස ඉතා හැඩ වැඩ විදේශීය කාන්තාවක් පැමිණියාය.

කාන්තා පාර්ශවය සමගින් කටයුතු කිරීමට වැඩි ඇල්මක් දැක්වූ ඇමති මරික්කාර් මෙම කාන්තාවට රට තොට පෙන්වීම සඳහා යැයි කියමින් යාල විල්පත්තුව නුවරඑළිය ආදී ප්‍රදේශවල ඈයත් සමඟ සවාරි ගසන බවටත් අමාත්‍යංශයේ වැඩ ඒ නිසා අත පසුවන බවටත් අගමැතිතුමාට පැමිණිල්ලක් ලැබුණි.
අගමැතිවරයා මේ පිළිබඳව සොයා බැලු පසු කතාවේ ඇත්තක් ඇතිබව තහවුරු විය. මේ ගැන ඇමති මරික්කාර්ගෙන් විමසා බැලීමට සිතු අගමැතිවරයා දිනක් කැබිනට් මණ්ඩලය අවසන් වී ඇමතිවරුන් පිටව යද්දී ඇමති පිරිසක් සමග මහ හඬින් කතා කරමින් ගමන් කරන්නට විය. ඒ අල්ල පනල්ලේ ඇමති මරික්කාර් ද අසලින් ගමන් කරමින් සිටියේය.
“අයිෂෙ මරික්ස් ඔහොම නවතිනවා… මෙහාට එනවා.. මෙහාට එනවා..” කියමින් ඇමතිවරයා අගමැතිවරයා ප්‍රමුඛ සෙසු ඇමතිවරුන් සිටින ස්ථානයට කැඳවනු ලැබීය.
“සර්” කියාගෙන එතෙන්ට පැමිණි ඇමැති මරික්කාර්ගෙන් අගමැතිතුමා මෙලෙස ප්‍රශ්න කළේය.
“අයිෂෙ තමුසෙ ගැන කතාවක් යනවා. මොකක්ද මේ සූද්දියෙක් එක්ක තමුන් රෝන්ඳ ගහනවා. මිසක් අමාත්‍යාංශයෙ කිසි වැඩක් කරන්නේ නැහැ කියලා. ඇත්තද කතාව.” කියා දැඩිව ප්‍රශ්න කළේය.
ඇමති මරික්කාර් අන්ද මන්ද විය. කොතරම් කටකාරයෙකු වුවද අගමැතිතුමාට දීමට පිළිතුරක් සොයා ගැනීම අසිරුවිය. ඒත් ඔහුගේ ගණදෙවි නුවණින් අමාරුවෙන් පිළිතුරක් ගැට ගසා ගත්තේය.
බණ්ඩාරනායක අගමැතිතුමා
“ස. සර් මේකයි කතාව ඒ නෝනා හුගක් දක්ෂ කෙනෙක්.” කියමින් ඇමතිවරයා පිළිතුරු දෙද්දී අගමැතිවරයා කට කොනකින් සිනාසෙමින්
“මට හිතාගන්න පුළුවන් එයා දක්ෂ කෙනෙක් බව. ඉතින් ඉතින් ඉතුරු ටිකත් කියනවාකෝ..”යැයි පැවසූ විට ඇමතිවරයා මෙලෙස උත්තර දුන්නේය.
“සර් ඒ නෝනගෙන් හුඟක් දේවල් ගන්න පුළුවන්. මම උත්සාහ කරන්නේ ඒකටයි..” එය අසා සිටි අගමැතිවරයා මහහඩින් සිනාසෙමින් ඇමතිවරයාට මෙසේ කීය.
“ඇ මරික්ස්..තමුසෙ හදන්නේ එයාගෙන් යමක් ගන්නද තැනැත්නම් තමුසෙ ළඟ තියෙන දේවල් එයාලඟ තැන්පත් කරන්නද? ඊට පිළිතුරු ලෙස කිසිවක් නොකී ඇමතිවරයා සද්ද නැතිව බිම බලාගෙන එතැනින් මාරුවුයේ කතාව දිග්ගැසුනොත් අගමැතිතුමාගෙන් තව මොනවා කියවෙයිදැයි නොදන්නා නිසාය




