The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ශ්‍රී ලංකාව බොරු චෝදනා වලින්ම වැනසෙන ළකුණු | ෆාතිමා හලල්දීන්

T

The Leader Desk

May 14, 2026 • 6:31 AM

ශ්‍රී ලංකාව බොරු චෝදනා වලින්ම වැනසෙන ළකුණු  | ෆාතිමා හලල්දීන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අභූත හෙවත් බොරු චෝදනා එල්ල කිරීම යනු මානව සමාජයේ අතිසුලබ සංසිද්ධියකි. නමුත් වර්තමාන ශ්‍රී ලාංකික සමාජය තුළ එය සමස්ත සමාජ ව්‍යුහයම අඩපණ කළ හැකි ප්‍රබල සමාජ ඛේදවාචකයත් බවට පත්ව ඇත.
  • විශේෂයෙන්ම පසුගිය මැතිවරණ දෙස බැලීමේදී, විවිධ කණ්ඩායම් විසින් එතෙක් මෙරට ගොඩනැඟුණු දැවැන්ත දේශපාලන ප්‍රතිරූප වැනසීමට සහ ස්ථාපිත ආගමික සංස්කෘතික ධාරාවන් බෙලහීන කිරීමට මෙම අභූත චෝදනා නමැති මාරාන්තික වෛරසය ඉතා සූක්ෂ්ම ලෙස භාවිත කර ඇති බව නිරීක්ෂණය වේ.
  • එමෙන්ම එය සංවිධානාත්මක ව්‍යුහයන් ලෙස ද ක්‍රියාත්මක වීමේ බිහිසුණු නැඹුරුවක් දැන් දක්නට ලැබේ.
  • මගේ පෞද්ගලික විශ්වාසයට අනුව එය පසුගිය කාලයේ සමාජය භීතියට හා සන්ත්‍රාසයට පත් කළ කාල බෝම්බවලටත් වඩා සමාජයට හානිකර ය.
අකුරු ප්‍රමාණය (Font Size):


පුද්ගලයකුගේ චරිතය ඝාතනය කිරීමට පමණක් නොව, දේශපාලනික හා ආගමික සංහාර සඳහා ද මෙම නොවිධිමත් මානව චරියාව ශ්‍රී ලංකාව තුළ ඔඩුදුවමින් පවතී. විශේෂයෙන්ම පසුගිය මැතිවරණ දෙස බැලීමේදී, විවිධ කණ්ඩායම් විසින් එතෙක් මෙරට ගොඩනැඟුණු දැවැන්ත දේශපාලන ප්‍රතිරූප වැනසීමට සහ ස්ථාපිත ආගමික සංස්කෘතික ධාරාවන් බෙලහීන කිරීමට මෙම අභූත චෝදනා නමැති මාරාන්තික වෛරසය ඉතා සූක්ෂ්ම ලෙස භාවිත කර ඇති බව නිරීක්ෂණය වේ.

ඒ එම අභූත චෝදනා බොහොමයක් මේ වන විට ද සනාථ කරගත නොහැකි පසුබිමක ය.අභූත හෙවත් බොරු චෝදනා යනු හුදෙක් වාචික ප්‍රහාරයකින් එහා ගිය, පුද්ගල නිදහස සහ සමාජ ප්‍රගතිය හකුළුවන විෂ සහිත ක්‍රියාවලියකි. එමෙන්ම එය සංවිධානාත්මක ව්‍යුහයන් ලෙස ද ක්‍රියාත්මක වීමේ බිහිසුණු නැඹුරුවක් දැන් දක්නට ලැබේ. මගේ පෞද්ගලික විශ්වාසයට අනුව එය පසුගිය කාලයේ සමාජය භීතියට හා සන්ත්‍රාසයට පත් කළ කාල බෝම්බවලටත් වඩා සමාජයට හානිකර ය.


සීතාවක රාජසිංහයන් ගේ රුව සහිත සිත්තමක්

මෙම අභූත හෙවත් බොරු චෝදනා එල්ල කිරීම පිළිබඳ ඓතිහාසික යටගියාවක් ද තිබේ. සීතාවක රාජසිංහ රජු (ක්‍රි.ව. 1581-1593) යනු ශ්‍රී ලාංකේය ඉතිහාසයේ පෘතුගීසි බලය බිඳ දැමීමට සමත් වූ අසහාය රණවිරුවෙකි. නමුත් රාජසිංහ රජු තම පියා වූ මායාදුන්නේ රජු මරා දැමූ බවට පසුකාලීනව පැතිර ගිය ප්‍රවාද නිසා අදටත් ඔහුගේ ජීවන චරිතය මුළුමනින්ම අඳුරු වී තිබේ. එම අසත්‍ය ප්‍රවාදය ප්‍රධාන වශයෙන්ම සමාජගත වූයේ මහනුවර යුගයේ ලියවුණු ‘චූලවංශය’ වැනි මූලාශ්‍ර හරහා ය. විශේෂයෙන්ම තම රාජ්‍යයට එරෙහිව බෞද්ධ භික්ෂූන් කණ්ඩායමක් දියත් කළ කුමන්ත්‍රණයක් මත ඔවුනට දඬුවම් පැමිණවීම නිසා, පසුකාලීන භික්ෂූන් සාහිත්‍යානුසාරයෙන් සීතාවක රාජසිංහ “පීතෘ ඝාතකයෙකු” ලෙස සමාජය පුරා ප්‍රචලිත බව පෙනේ. 

mulleriya war painting

ඓතිහාසික සාධක, පෘතුගීසි ලේඛන සහ රාජාවලිය වැනි මූලාශ්‍ර පවා ඉඟි කරන්නේ මායාදුන්නේ රජු වයෝවෘද්ධව සිට ස්වාභාවික හේතූන් මත මියගිය බවකි. මායාදුන්නේ රජු ජීවත්ව සිටියදීම සිය පුත් රාජසිංහයන්ට පාලන බලය පවරා දී විශ්‍රාම සුවයෙන් පසු වූ බව බොහෝ විද්වතුන්ගේ මතයයි. එමෙන්ම සීතාවක රාජසිංහයන් වෙතින් එවක මුස්ලිම් වැසියන් ලැබූ සැලකිල්ල පිළිබඳ ප්‍රවාද අද ද සීතාවක මුස්ලිම් ප්‍රජාව සතු ය. පෘතුගීසීන් මුහුදුබඩ ප්‍රදේශවල මුස්ලිම් ජාතිකයන් සමූල ඝාතනය කිරීමට සහ පලවා හැරීමට උත්සාහ කළ අවස්ථාවේදී, සීතාවක රාජසිංහයෝ ඔවුන්ට ආරක්ෂාව සහ ඉඩම් ලබා දී තම හමුදාවන්ට ද බඳවා ගත්හ. සීතාවක රාජසිංහයන්ගේ යුද ශක්තියේ උපරිමය මුල්ලේරියා සටනේදී පිළිබිඹු වූ අතර, එය පෘතුගීසීන් මෙරටදී ලැබූ දරුණුතම පරාජය ලෙස සැලකේ.

එමෙන්ම ඔවුන්ගේ සුවිශේෂී හැකියාවන් මත මුස්ලිම්වරුන් හට විවිධ ගරුනාම හා තාන්න මාන්න ලබා දුන් බව ද ප්‍රකට කරුණකි. සීතාවක රාජසිංහයන්ගේ රාජකීය වෛද්‍යවරයකු ලෙස මුස්ලිම් ජාතිකයකු පත්වීම ද ඓතිහාසිකව තහවුරු කළ හැක්කකි. නමුත් සීතාවක රාජසිංහයන් පිළිබඳ මෙම අප්‍රකට ප්‍රවාද මුස්ලිම්වරුන් වෙතින් බාහිර සමාජයට සන්නිවේදනය වී නැත. ඒ අතරේ ඔවුන් වෙතින් ද ඒවා ගිලිහී යාමේ බරපතල අවදානමක් පවතී.එනිසා තම පාරම්පරික උරුමය වන වෙළඳාම සේම තම ජන වර්ගය සතු මෙවන් ඓතිහාසික උරුමයන් සුරැකීමට ද මුස්ලිම්වරුන් මීට වඩා යුහුසුලු විය යුතු ය.

මෙම අභූත චෝදනා ක්‍රියාවලිය පිටුපස ඇති මනෝවිද්‍යාත්මක පසුබිම කරුණු කිහිපයක් ඔස්සේ විශ්ලේෂණය කළ හැකිය. පුද්ගල මට්ටමින් ගත් කල, ඊර්ෂ්‍යාව සහ තරගකාරිත්වය මෙහි ප්‍රධාන පෙළඹවීමකි. අනෙකා තමාට වඩා ඉදිරියෙන් සිටින බව ඉවසාගත නොහැකි වූ විට, ඔවුන්ගේ ගමන නැවැත්වීමට ඇති පහසුම මඟ වන්නේ ප්‍රතිරූපයට හානි කිරීමයි. එසේම, ද්වේෂසහගත නාර්සිවාදය (Malignant Narcissism) සහිත පුද්ගලයන් තමාගේ උත්තරීතර භාවය පවත්වා ගැනීමටත්, තමාගේ වැරදි වසා ගැනීමටත් අන් අය බිල්ලට දෙමින් මෙම අභූත චෝදනා නඟති. මෙහිදී ප්‍රක්ෂේපණය (Projection) නමැති ආරක්ෂණ යාන්ත්‍රණය හරහා තමා තුළ ඇති වංචනික බව හෝ දුර්වලතා අනෙකා මත පටවා මානසික සහනයක් ලැබීමට චෝදනා කරන්නා උත්සාහ කරයි. තවද, තමා වෙත එල්ල වී ඇති සැබෑ විවේචනයකින් බේරීම සඳහා අවධානය වෙනතකට යොමු කිරීමේ (Deflection) උපක්‍රමයක් ලෙස ද අභූත චෝදනා භාවිත වේ. මෙය වත්මන් දේශපාලනය තුළ ද නිතර දක්නට ලැබෙන මනෝවිද්‍යාත්මක කූටෝපායකි.

 

Cyber Bullying

මෙවන් තත්ත්වයන් යටතේ පුද්ගලයකුගේ චරිතය ඝාතනය කිරීම හෝ අසත්‍ය ප්‍රචාර මඟින් සමාජය තුළ අපහසුතාවයට පත් කිරීම හෙවත් “මඩ ගැසීම” නූතන ශ්‍රී ලාංකික දේශපාලන හා සමාජ සංස්කෘතිය තුළ පිළිකාවක් මෙන් මුල් බැස තිබේ. ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය තුළ ප්‍රතිපත්තිමය විවාදයන් වෙනුවට පුද්ගලික මඩ ගැසීම් ප්‍රධාන තැනක් ගෙන ඇත. විරුද්ධවාදියාගේ දේශපාලන මතවාදයට වඩා ඔහුගේ පෞද්ගලික ජීවිතය, පවුල හෝ අතීත සිදුවීම් විකෘති කර ඉදිරිපත් කිරීම ජනප්‍රිය ක්‍රමවේදයක් වී තිබේ. නූතන තාක්ෂණයත් සමඟ මෙම තත්ත්වය වඩාත් දරුණු වී ඇත. ‘Cyber Bullying’ හෙවත් සයිබර් හිංසනය හරහා ඉතා කෙටි කාලයකදී පුද්ගලයකු පිළිබඳ අසත්‍ය මතයක් සමාජගත කිරීමට මඩ ප්‍රචාරකයන්ට හැකියාව ලැබී තිබේ. මෙහි ඇති භයානකම තත්ත්වය නම්, පසුව එම චෝදනා අසත්‍ය බව ඔප්පු වුවද, මුලින් සිදු වූ චරිත හානිය යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි වීමයි.

මනෝවිද්‍යාඥයන් තහවුරු කොට ඇති අන්දමට ද මෙවැනි මඩ ගැසීම් පිටුපස බොහෝ විට ඇත්තේ අනෙකා කෙරෙහි ඇති වෛරය හෝ තමන්ට ළඟා විය නොහැකි තැන්වල සිටින පුද්ගලයන් පහත හෙළා ඉන් මානසික තෘප්තියක් ලැබීමේ ප්‍රවණතාවයකි.ඇතැම් දේශපාලන කඳවුරු තුළින් ඉස්මතු වන සාමූහික මනෝභාවයක් ද වන මෙය සමාජයේ යම් කොටසක් තවත් පිරිසකගේ පරිහානිය දැක සතුටු වන “Schadenfreude” ලෙස හඳුනාගත හැක. ශ්‍රී ලංකාවේ බලපවත්වන අපහාසයට එරෙහි නීති (Defamation Laws) ක්‍රියාත්මක වීමේදී පවතින ප්‍රායෝගික දුෂ්කරතා නිසා බොහෝ දෙනෙක් මෙවැනි ක්‍රියාවල නිරත වීමට බියක් නොදක්වති. සදාචාරාත්මකව ගත් කල, මෙය පුද්ගල නිදහසට සහ ගෞරවයට දැඩි ලෙස හානි කරන ශිෂ්ට සම්පන්න නොවන ක්‍රියාවකි.

 

 95561704 150922172652 depression 640x360 thinkstock nocredit

සමාජීය වශයෙන් ගත් කල, මෙම තත්ත්වය සමාජ පිළිකාවක් මෙන් පැතිර යමින් ප්‍රජා ඒකක සහ සමාජ සංස්ථා බිඳ දමයි. ඕනෑම සබඳතාවක පදනම වන ‘විශ්වාසය’ පළුදු වීම නිසා මිනිසුන් එකි’නෙකා දෙස සැකයෙන් බැලීමට පටන් ගන්නා අතර, එය සාමූහික ක්‍රියාවලිය අඩාල කරයි. මෙහි වඩාත් භයානක උපක්‍රමය වන්නේ ‘ගෑස්ලයිටින්’ (Gaslighting) තත්ත්වයයි. එහිදී වින්දිතයා තුළම තමා පිළිබඳ සැකයක් ඇති කරමින් ඔවුන්ව මානසිකව පාලනය කිරීම (Manipulation) සිදු කෙරේ. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ සත්‍යය කුමක්දැයි හඳුනා ගැනීමට නොහැකිව සමස්ත සමාජයම මංමුළා වීම සහ වින්දිතයා දැඩි මානසික ආතතියට හා විශාදයට (Depression) පත්වීමයි. අභූත හෙවත් බොරු චෝදනා එල්ල කිරීම (False Accusations) ලංකාවේ නීතිය අනුව බරපතල වරදකි. යමෙකුට එරෙහිව හිතාමතාම අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම හෝ බොරු සාක්ෂි ගොනු කිරීම සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවනු පෙනේ.

critical thinking
මෙම තත්ත්වයන් යටතේ අප සියලු දෙනාම එක සේ පිළිගත යුතු අන්දමට, ශ්‍රී ලාංකික සමාජය වෙළාගෙන ඇති මෙම අභූත චෝදනා නමැති පිළිලය පරාජය කිරීම කාලීන අවශ්‍යතාවකි. සත්‍යයට වඩා බොරුව ජය ගන්නා විට අවංක පුද්ගලයන් පසුබට වීමත්, අවස්ථාවාදීන් පෙරට ඒමත් වැළැක්විය නොහැක. මේ වන විට ශීඝ්‍රයෙන් ප්‍රවර්ධනය වන මෙය පරාජය කිරීම සඳහා හුදෙක් නීතිමය ක්‍රියාමාර්ග පමණක් ප්‍රමාණවත් නොවන අතර, සමාජය තුළ විචාර බුද්ධිය (Critical Thinking) සහ ඕනෑම කරුණක් පිළිබඳ විද්‍යාත්මකව විමසා බැලීමේ සංස්කෘතියක් ශ්‍රී ලාංකික සමාජය තුළ වර්ධනය විය යුතු ය.

පුද්ගල සබඳතාවල සිට දේශපාලන පිටිය දක්වා පැතිර ඇති මෙම මනෝවිද්‍යාත්මක ප්‍රහාරයන් පිළිබඳව නිරන්තර අවදියෙන් සිටීමෙන් නිරෝගී සහ සදාචාරාත්මක සමාජයක් ගොඩනැඟිය හැකිය. එසේ නොවන්නට අප සමාජයේ අනාගතය අදට වඩා බෙහෙවින් අඳුරු සහගත වනු ඒකාන්තය. අප එසේ පවසනුයේ එම අන්ධකාර සෙවනැලි මේ වන විටත් අප ඉදිරියේ මැවී පෙනෙන බැවිනි.

fathima halalden
(සටහන | ෆාතිමා හලල්දීන්)


උපුටා ගැනීම - vinivida.lk


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...