The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

නාගරිකයන් අදටත් නොදත් සැබෑ ගැමි ආහාර රසය | ඒ. ජී. රේණුකා දමයන්ති

T

The Leader Desk

May 14, 2026 • 8:06 AM

නාගරිකයන් අදටත් නොදත් සැබෑ ගැමි ආහාර රසය | ඒ. ජී. රේණුකා දමයන්ති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මගේ පාසල් කාලයේ දිනෙක පවුලේ සාමාජිකයන් ද සමඟ මහව ප්‍රදේශයේ ඥාති නිවෙසකට ගිය ගමන අදටත් මගේ මතකයේ රැඳී පවතී.
  • හාල්මැස්සෝ දහයකින් දොළහකින් හත් අට දෙනකුට ඇති වෙන්න ව්‍යංජනයක් හදාගන්න පුළුවන්.
  • නාගරික සමාජයේ ක්ෂණික ආහාර රටාවට හුරු වූ බොහෝ දෙනකුට, ගැමි මුළුතැන්ගෙයි දුම්මැස්ස යට පිසෙන ආහාරවල ඇති අමුතුම රසයන් අදටත් රහසකි.
  • ඒ නිසාම ගැමි ආහාර වශයෙන් සඳහන් බොජුන්හල් බොහොමයක් නාගරික ප්‍රදේශවල තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ, එදින අප විඳි අපූර්ව දිවා භෝජනය නිසාමය. එහි තිබූ එක් සුවිශේෂී ව්‍යංජනයක සුවඳින් සිත් ඇදගත්තේය. එය හාල්මැස්සන් මිශ්‍ර කළ දඹල ව්‍යංජනයකි. එහි රසය කෙතරම්ද යත්, වෙනත් කිසිදු පෑහීමක් නැතිව වුවද ඉන් පමණක් බත් පතක් අනුභව කළ හැකි තරම් විය. අපේ කුතුහලය දුටු ඥාතිවරයා කීවේ “ඕවට තමයි හාල්මැස්සන් දඹල කියන්නේ. හාල්මැස්සෝ දහයකින් දොළහකින් හත් අට දෙනකුට ඇති වෙන්න ව්‍යංජනයක් හදාගන්න පුළුවන්. ඉස්සර මිනිස්සු අහේනි කාලෙට ඔය ව්‍යංජනය එක්ක විතරක් බත් කෑවා” යනුවෙනි.

ශ්‍රී ලාංකේය ගැමි ආහාර සංස්කෘතිය ඉතා සරල මුහුණුවරකින් යුතු වූවකි. එහෙත් එය හුදෙක් කුසගින්න නිවන මඟක් පමණක් නොව, අපූර්ව රසයන්ගෙන් සහ අල්පේච්ඡ ජීවන රටාවකින් පෝෂණය වූ උසස් කලාවකි. නාගරික සමාජයේ ක්ෂණික ආහාර රටාවට හුරු වූ බොහෝ දෙනකුට, ගැමි මුළුතැන්ගෙයි දුම්මැස්ස යට පිසෙන ආහාරවල ඇති අමුතුම රසයන් අදටත් රහසකි. ඒ, ඒවා බොහොමයක් විවෘත සමාජයට කලඑළි බැස නොමැති බැවිනි. මේ වන විට නාගරික සමාජයේ ගැමි ආහාර සඳහා ඉහළ ඉල්ලුමක් පවතී. ඒ නිසාම ගැමි ආහාර වශයෙන් සඳහන් බොජුන්හල් බොහොමයක් නාගරික ප්‍රදේශවල තිබේ. එහෙත් ඒවායින් බොහොමයක් “නමින් ගැමි” වුවද හුදු අවන්හල් (Restaurants) බව පෙනේ.

ගැමි ආහාරවල ඇති සුවිශේෂත්වයක් නම් ඉතා සුළු දෙයකින් විශාල පිරිසකට රසවත් ව්‍යංජනයක් සකසා ගැනීමට ඇති හැකියාව හෙවත් සකසුරුවම් බවයි. එමෙන්ම මේ සඳහා වාණිජ නොවන භෝග බහුලව යොදා ගැනීම ද බොහෝ විට සිදු වේ.

gotukola drink

වත්ත පුරා ඇති දෙල් සිහින්ව ලියා, පොල්කිරි සහ බැදපු තුනපහ එක් කර සකසන විට එය මස් ව්‍යංජනයකටත් වඩා රසවත් ය. කොස් වාරය අවසන් වූ පසු දුම්මැස්සේ දමා වේලා ගන්නා කොස් ඇට, කළුපොල් සමඟ පිසගත් විට ලැබෙන රසය අද බොහෝ දෙනෙක් නොදනිති. උදෑසන තේ වෙනුවට භාවිත කළ ගොටුකොළ සහ හීන් බෝවිටියා කැඳ ආහාරයක් මෙන්ම ශරීරයේ දැවිල්ල නිවන මහඟු ඔසුවක් ද විය.

මෙම ග්‍රාමීය සූපවේදය සහ භූගෝලීය සාධක අතර දැඩි සහසම්බන්ධයක් පවතී. යම් ප්‍රදේශයක යම් ආහාර ද්‍රව්‍යයක් බහුල වන විට, එහි ගෘහණියෝ ඒකාකාරී බව නැති කර ගැනීමට විවිධ නිර්මාණශීලී අත්හදා බැලීම් සිදු කරති. මීගමුව, හලාවත වැනි වෙරළබඩ ප්‍රදේශවල මාළු ඇඹුල් තියල් හෝ මිරිසට උයන ක්‍රම රාශියක් දියුණු වූයේ ඒ නිසා ය. එමෙන්ම මීගමු ධීවර ජනාවාසයට දකුණින් පිහිටි මුතුරාජවෙල තෙත් බිමේ කොරටු භෝග වගාව බහුලව සිදු කෙරුණු අතර, වම්බටු ආදී බහුල එළවළු අතිශය රසවත් ලෙස පිසීමේ ක්‍රම එවක ඒ ආශ්‍රිත මුල් ගම්වල ගෘහණියෝ දැන සිටියහ. ඒ අතරේ පාරිසරික බලපෑම මත වියළි කලාපයේ ජනයා අහේනි කාලයට ප්‍රයෝජනයට ගැනීමට දමන ලද වැං, වේළන ලද කොස් හා දෙල් වැනි ආහාර කල් තබා ගැනීමේ ක්‍රම ප්‍රගුණ කළහ.

කුළුබඩු භාවිතය අතින් ද ප්‍රාදේශීය අනන්‍යතාවන් කැපී පෙනේ. උඩරට ප්‍රදේශවල කුරුඳු හා ගම්මිරිස් බහුලව භාවිත වන අතර, යාපනය වැනි උතුරු ප්‍රදේශවල තල් පිටි, හකුරු සහ අධික මිරිස් භාවිතයෙන් කකුළුවන්, දැල්ලන්, ඉස්සන් වැනි මුහුදු ආහාර සහ අල වර්ග මුසු කොට සැකසෙන “යාපනය කූල්” (Jaffna Kool) වැනි ආහාර ප්‍රචලිත ය. දකුණු පළාතේ පොල්කිරි රහිත “රතු මාළු ව්‍යංජනය” තවත් එක් සුවිශේෂී උදාහරණයකි.

gami2කේරල ගැමි ආහාර
මෙම සියලු රසයන් පරම්පරාවෙන් පරම්පරාවට දායාද වන්නේ ජන විඥානය හරහා ය. මවගෙන් දුවට ලැබෙන වට්ටෝරුවලට එහා ගිය අත්ගුණය සහ පිළිවෙළ එහි රහසයි. අතීත මුතුන් මිත්තන් අහේනි කාලවලදී පවා නිරෝගීව සිටියේ මෙම අල්පේච්ඡතාව, ස්වාභාවික කුළුබඩු භාවිතය සහ වසවිසෙන් තොර දේශීය ආහාර රටාව නිසාය. නමුත් අප රටේ මෙම ගැමි ආහාර සංස්කෘතිය ජාත්‍යන්තරයට තබා ජාතික තලයට වත් පැමිණ නැත. ඒ අතින් අපි ආසන්න බොහෝ රටවලට වඩා පසුගාමී බවක් පළ කරමු.

ශ්‍රී ලංකාව හා සම දේශගුණික හා සම සංස්කෘතික පසුබිමකින් යුතු ඉන්දියාවේ කේරළයේ ගැමි ආහාර සංස්කෘතිය ලංකාවට වඩා ප්‍රබල ය. නවීකරණය හමුවේ වුවද කේරළ වැසියන් සිය සාම්ප්‍රදායික ආහාර වට්ටෝරු සහ කෙසෙල් කොළයේ ආහාර ගැනීම වැනි ක්‍රමවේද ඉතා ඉහළින් අගය කිරීම මීට එක් හේතුවකි. කේරළයේ ප්‍රචලිත නිවාස බෝට්ටු (Houseboats) සහ ගැමි නිවාස ආශ්‍රිත සංචාරක ව්‍යාපාරය තුළ මූලිකත්වය දෙන්නේ ඔවුන්ගේ දේශීය ගැමි ආහාර වේලටයි. එය ඔවුහු සංචාරක ප්‍රවර්ධනය සඳහා උපරිම ලෙස යොදා ගනිති.

jaffna coolයාපනය කූල් (Jaffna kool)

ලෝකයේ කුළුබඩු වෙළෙඳාමේ මධ්‍යස්ථානයක් ලෙස කේරළය සිය ආහාරවල රසය සහ ගුණය සඳහා ස්වාභාවික කුළුබඩු උපරිමයෙන් භාවිත කරන බැවින් එහි ගැමි ආහාර සංස්කෘතිය ද ඉතා ප්‍රබල මට්ටමක තිබේ. ශ්‍රී ලංකාවේ ද ඉතා පොහොසත් ගැමි ආහාර සංස්කෘතියක් පවතින නමුත්, එය බොහෝ විට ගෘහස්ථ මට්ටමට සීමා වී පවතී. කේරළය සිය ගැමි ආහාර රටාව විවෘත සමාජය සඳහා වන පාරිභෝගික සේවාවක් ඔස්සේ ආර්ථිකමය වටිනාකමක් සහිත මෙවලමක් ලෙස භාවිත කරන ආකාරය අපට ද කදිම ආදර්ශයකි.

අවසාන වශයෙන්, සූපවේදය යනු හුදෙක් බඩගින්න නිවීමට කරන ක්‍රියාවක් නොව, එය යම් ප්‍රදේශයක ජනතාවගේ ඉතිහාසය, භූගෝලය සහ සංස්කෘතික අනන්‍යතාව කියාපාන කැඩපතකි. වර්තමාන කාර්යබහුලත්වය හමුවේ වැළලී යන මෙවැනි රහස් රසයන් නැවත සොයා ගොස් අපේ ආහාර වේලට එක් කර ගැනීම නිරෝගී පරපුරක් උදෙසා අතිශයින් වැදගත් වේ. නමුත් ඒ සඳහා දූරදර්ශී දේශපාලන නායකත්වයක් ද අනිවාර්යයෙන් අවශ්‍ය වනු ඇත. මෙහි බරපතළම ගැටලුව ඇත්තේ එතැනය.

Renuka Damayanthi
(සටහන | ඒ.ජී රේණුකා දමයන්ති)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නාගරිකයන් අදටත් නොදත් සැබෑ ගැමි ආහාර රසය | ඒ. ජී. රේණුකා දමයන්ති | The Leader