- බදු ගෙවිය යුත්තේ කවුද? බදු සම්බන්ධ නීති-රීති මොනවාද?
- රටක් ජනතාවගෙන් බදු ලෙස ආදායම් එකතු කරන්නේ ඇයි?
මේ ප්‍රශ්න සඳහා ලැබෙන පිළිතුරු විවිධයි.
හේතුව: මිනිසුන් තුළ බදු සම්බන්ධයෙන් ඇති දැනුම, අවබෝධය, අත්දැකීම, ආකල්පය අසමාන වීමයි. සුපිරි වෙළෙඳසලක බිල් පතක් ගෙවන විට, නිවෙසේ විදුලි බිල ගෙවන විට, මොබයිල් රීලෝඩ් එකක් මිල දී ගන්නා විට හෝ හෝටලයක ආහාර බිලක් ගෙවන විට, ඒ හැම ගනුදෙනුවක් තුළම නිහඬවම බදු මුදලක්ද ඇතුළත් වී ඇත. මේ මුදල ‘වක්‍ර බදු’ (Indirect Tax) ලෙස හැඳින්වෙයි. අප කැමැති වුවත් අකැමැති වුවත් අදාළ වක්‍ර බදු මුදල අපගෙන් අය කර ගනු ලැබේ. වක්‍ර බදු ගෙවීම සරලය; ඉක්මන්ය. මන්ද අප ගෙවන භාණ්ඩ හා සේවා මිලට එම වක්‍ර බදු මුදල එකතු වී ඇති බැවිනි.
එහෙත් ‘ඍජු බදු’ (Direct Tax) - විශේෂයෙන්ම ආදායම් බදු - ගෙවීම එතරම් සරල නොවේ. එය ගෙවීම සඳහා අදාළ පුද්ගලයා හෝ ව්‍යාපාරය සිතා-මතා කටයුතු කළ යුතුය. තම ආදායම නිවැරදිව ගණනය කළ යුතුය, අදාළ තොරතුරු නිවැරදිව ප්‍රකාශ කළ යුතුය, අවසානයේ බදු ගෙවීම පිළිබඳ මනා අවබෝධයකින් තීරණයක් ගත යුතුය. ඍජු බදු සම්බන්ධයෙන් පුද්ගලයන්ගේ හැසිරීම් විවිධාකාරය. ඇතැමුන් නිවැරදි බද්ද ගෙවීමට කටයුතු කරද්දී තවත් පිරිසක් නියමිත බදු මුදලින් කොටසක් පමණක් ගෙවති. එසේම කිසිම බදු මුදලක් නොගෙවා සැඟවෙන පිරිසක්ද සිටිති.

දැන් ඔබට පෙනෙනවා ඇති වක්‍ර බදු සහ ඍජු බදු සම්බන්ධයෙන් බදු ගෙවන්නන්ගේ හැසිරීම වෙනස් වන ආකාරය. එසේ නම් ඍජු බදු ගෙවන මිනිසුන් ඇත්තටම බදු ගෙවන්නේ ඇයි? කාලයක් තිස්සේ කරන ලද පර්යේෂණ මඟින් එයට ලැබුණු පිළිතුර වූයේ ‘බය නිසා’ මිනිසුන් බදු ගෙවන බවයි. රටේ බදු නීති උල්ලංඝනය කළ හොත් දඬුවම් විඳීම, දඩ මුදල් ගෙවීම, ලෝකයා ඉදිරියේ අවමානයට පත් වීම, මානසික නිදහස අහිමි වීම, ආත්ම අභිමානය කැළැල් වීම වැනි කරුණුද මිනිසුන් බදු ගෙවීමට පොලඹවන බව නොයෙකුත් අධ්‍යයන මඟින් හෙළි වී ඇත.
එහෙත් අප දන්නා ආකාරයට බදු නොගෙවන සියලු පුද්ගලයන් සඳහා නීතිය හැම විට එක සේ ක්‍රියාත්මක නොවේ. එහෙත් බදු පද්ධතිය අඛණ්ඩව ක්‍රියාත්මකව පවතී. එයින් පැහැදිලි වන්නේ ‘බය’ පමණක් නොව, මිනිස් හැසිරීම් තුළ ගැබ් වී තිබෙන තවත් කරුණුද පුද්ගලයකු විසින් බදු ක්‍රමය තුළ හැසිරීම නැති නම් බදු අනුකූලතා තීරණ ගැනීමට බලපාන බවයි. අද අපි මේ විවිධ කරුණු ගැන කෙටියෙන් යමක් කතා කරමු.
බොහෝ විට බදු ගෙවීම, බදු අනුකුලතාව එක් එක් පුද්ගලයා සතු සාරධර්ම, සිතුම් පැතුම් සමඟ සම්බන්ධ වේ. සමහරු බදු ගෙවීම තම පුරවැසි වගකීමක් ලෙස සලකති. සත්‍යවාදි බව, වගකීමෙන් හැසිරීම සහ ස්වයං ගෞරවය වැනි මූලික ආචාරධර්ම මත ක්‍රියා කරන තවත් සමහරු කිසිදු බල කිරීමකින් තොරව බදු ගෙවති. ‘මට හරි දේ කරන්න ඕනෑ’ යන සරල සිතිවිල්ල පවා පුද්ගලයකු බදු ගෙවීමට යොමු කරන සාධකයක් විය හැකිය. එබැවින් බදු ගෙවීම ඉලක්කම් හරඹයක් හෝ ගණිතකර්මයක් හෝ පමණක් නොව, සමාජීය, මානසික සහ ආර්ථික බලවේග එකට බැඳුණු මනුෂ්‍ය හැසිරීමකි.
මනුෂ්‍ය හැසිරීම් වෙනස් කරන වැදගත් කරුණකි ‘අගය කිරීම’. මිනිසුන්ට ඔවුන් බදු ගෙවීමෙන් රටෙහි ආර්ථිකයට කරන මුල්‍ය දායකත්වය වැදගත් බව දැනගැනීමට අවශ්‍යය. බදු ගෙවන පුරවැසියන්ට ගෞරවයෙන් සලකන බදු ක්‍රමයක් ඇති කිරීමෙන්, ඉක්මන් කාර්යක්ෂම සේවාවක් සලසාදීමෙන්, පැහැදිලි සන්නිවේදනයක් සිදු කිරීමෙන්, එසේම සරල ස්තුතියක් මඟින් ඔවුන්ගේ හැසිරීමට ගැඹුරු බලපෑමක් ඇති කළ හැකිය. බදු ගෙවන්නන් තුළ ‘මම රටේ බදු ආදායමට දායක වන කොටස්කරුවෙකි’ යන හැඟීම ඇති කිරීම පවතින බදු අනුකූලතාව ශක්තිමත් වීමට රුකුලකි.

ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටක අවිධිමත් ආර්ථික (Shadow economy) ප්‍රතිශතය 56%ක් පමණ වේ. මීට අයත් පිරිස බොහෝ විට බදු ක්‍රමය තුළට නොපැමිණීමට හේතුව බදු ගැන ඔවුන්ගේ දැනුම, අවබෝධය අඩු වීම මෙන්ම ඉහත කී ‘අගය කිරීම’ නැති නම් ‘හඳුනා ගැනීම’ සම්බන්ධ සුදුසු වැඩපිළිවෙළක් රට තුළ නැතිකම විය හැකිය. පුද්ගලයකු විසින් බදු ගෙවීම බලෙන් කෙරෙන ක්‍රියාවක් ලෙස නොව, තමන්ගේ ව්‍යාපාරික හෝ ශිෂ්ටාචාර පුරවැසිහාවයේ කොටසක් ලෙස කළ යුතු දෙයක් බවට තේරුම් ගත් විට ඔහු හෝ ඇය හෝ බදු ක්‍රමයට එකතු වන්නේ නිරායාසයෙනි.
ජාතික හැඟීමද පුද්ගල බදු හැසිරීම කෙරෙහි බලපාන තවත් වැදගත් අංගයකි. ආර්ථික අර්බුද, ස්වාභාවික ආපදා, රට නැවත ගොඩනැඟීම වැනි අවස්ථාවලදී, ‘අපි එකට ඉදිරියට යා යුතුය’යන සිතිවිල්ල ජනතාව තුළ ආකල්ප වෙනසක් සමඟ වෙනස් වූ ශක්තියක් ගොඩනඟයි. එවිට නොයෙකුත් කැප කිරීම් කරමින් බොහෝ මිනිසුන් කෙසේ හෝ බදු ගෙවූ බව අප දැක ඇත. ශ්‍රී ලංකාවාසි බදු ගෙවන්නන් එවැනි එකමුතු හැඟීම් පෙන්වූ අවස්ථා බොහෝය. අභියෝගය වන්නේ ඒ හැඟීම දිගුකාලීනව පවත්වා ගැනීමයි.
‘බය’ මත පමණක් පදනම් වූ බදු ක්‍රම දිගුකාලීනව සාර්ථක නොවේ. දැඩි නීති ක්‍රියාමාර්ග සහ දඬුවම් මඟින් කෙටිකාලීනව ආදායම් වැඩි කළ හැකි නමුත්, එමඟින් ජනතා විශ්වාසය ගොඩනැඟෙන්නේ නැත. ඒ වෙනුවට ‘අවම මට්ටමට පමණක් අනුකූල වීම’ යන සංස්කෘතියක් බිහි වීමට ඉඩ සලසයි. නීති ක්‍රියාත්මක වීම අසමාන වුව හොත්, එය අසාධාරණය පිළිබඳ හැඟීමක් නිර්මාණයකරයි. එවැනි පරිසරයක බදු ගෙවීම වගකීමක් ලෙස නොව, බරක් ලෙස මිනිසුන්ට දැනෙන්න පටන් ගනී.
සමාජ හැසිරීම්, පුද්ගල බදු අනුකූලතාවට ඍජුවම බලපායි. බොහෝ විට මිනිස්සු අනෙක් අයගේ හැසිරීම් නිරීක්ෂණය කරමින් තම හැසිරීම සකස් කර ගනිති. ‘බහුතරය බදු මඟහරිනවා’ යන විශ්වාසය ගොඩනැඟුණොත්, බදු අනුකූලතාව ඉක්මනින් පහළ යයි. එහෙත් ‘බහුතරය නිවැරදිව බදු ගෙවනවා’ යන විශ්වාසය ඇති වන විට, තවත් අයත් ඒ හැසිරීම අනුගමනය කිරීමට පෙලඹෙති. එබැවින් බදු ක්‍රමය පවත්වාගෙන යෑමට නිවැරදි සමාජ පණිවිඩ සහ දැනුවත් කිරීම අත්‍යවශ්‍ය වේ.
ශ්‍රී ලංකාවේ තවත් වැදගත් බදු අනුකූලතා අභියෝගයක් වන්නේ බදු ක්‍රමය සංකීර්ණ වීම හේතුවෙන් පැන නැඟෙන ගැටලුයි. බදු සඳහා ලියාපදිංචි වීමේ ක්‍රියාදාම, පෝරම සහ මාර්ගෝපදේශ බොහෝ විට සරල නොවන බව බහුතර ජනතා අත්දැකීමයි. එවැනි අවස්ථාවල බදු නොගෙවීම විරෝධයක් නොව, අපහසුතාවයක් වේ. එබැවින් ප්‍රධාන විසඳුම වන්නේ සරල කිරීමයි. අඩු ලිපි ලේඛන භාවිතය, පැහැදිලි උපදෙස්, සහ භාවිතයට පහසු ඩිජිටල් සේවා හඳුන්වා දීමෙන් මේ පිරිසද බදු ආදායම ඉපයීමේ කොටස්කරුවන් කර ගත හැකිය.
මේ සියලු කරුණු අතරේ බදු ගෙවන්නා තුළ පවතින බදු ක්‍රමය පිළිබඳ විශ්වාසය ඉතා වැදගත් වේ. මන්ද යත්: ජනතාව බදු පද්ධතිය විශ්වාස කරන විට, බදු ගෙවීමද ඉහළ යයි. විශ්වාසයක් නැති විට සිදු වන්නේ බදු නොගෙවා මඟහැර යෑමයි. විශ්වාසය ගොඩනැංවිය යුතු වන්නේ වචන මත නොව, අත්දැකීම් මතයි. ගුණත්වයෙන් ඉහළ මාර්ග පද්ධති, සම්පත් පිරි රෝහල්, ගුණාත්මක අධ්‍යාපනය සහ කාර්යක්ෂම රාජ්‍ය සේවාවන් වැනි දේ දකින විට බදු ගෙවීම අර්ථවත් බව බදු ගෙවන්නාට පැහැදිලි වේ. එහෙත් වියදම් අපැහැදිලි හෝ අසාධාරණ ලෙස පෙනෙන විට, ජනතා විශ්වාසය පහළ යයි. එක් අයහපත් අත්දැකීමක් පුද්ගලයකු තුළ වසර ගණනාවක් ගොඩ නැඟූ විශ්වාසය මොහොතකින් බිඳදැමීමට සමත් වේ.
නූතන ලෝකයේ නව තාක්ෂණික ප්රවණතාද පුද්ගල බදු හැසිරීම් වෙනස් කිරීමට සමත් වී තිබේ. ඩිජිටල් දත්ත පද්ධති, ඊ-වාර්තා ගොනු කිරීම සහ ඔන්ලයින් ගෙවීම්, ඊ-සේවා යන මේ සියල්ල බදු ක්‍රමය සරල කරමින් බදු ගෙවන්නාගේ විශ්වාසය වර්ධනය කිරීමට දායක වේ. එහෙත් ඩිජිටල්කරණය පමණක් ප්‍රමාණවත් නොවේ. එය සරල විය යුතුය; භාවිතයට පහසු විය යුතුය; සහ විශ්වසනීය විය යුතුය.
එසේ නම් බදු ප්‍රතිපත්ති සැකසීමේදී අවශ්‍ය මාර්ගය පැහැදිලිය. සැමට සාධාරණ සහ සමාන ලෙස බදු ක්‍රමය ක්‍රියාත්මක වීම, සරල ක්‍රියාවලීන්, පැහැදිලි සන්නිවේදනය, සහ ගෞරවය පදනම් කර ගත් බදු සේවාව - මේ සියල්ල එකට එකතු වූ විට දිගු කාලීන බදු සංස්කෘතියක් ගොඩනැඟිය හැකිය. බදු අනුකූලතා හැසිරීම් හඳුනා ගැනීමට විද්‍යාත්මක ප්රවේශයන් භාවිත කිරීම, බදු ගෙවන්නා දැනුවත් කිරීම, සහ තරුණ පරපුරට ලබා දෙන බදු අධ්‍යාපනයද මෙහිදී වැදගත් වේ.

අවසානයේ, බදු ගෙවීම කියන්නේ රජයට මුදල් ලබා දීමක් පමණක් නොවේ. එය රටක් සහ එහි පුරවැසියන් අතර ඇති විශ්වාසයයි. ‘බය’ මඟින් බදු ගෙවීමට තාවකාලික පෙලඹවීමක් සිදු කළ හැකි නමුත්, විශ්වාසය එය නැවත නැවත සිදු කරවයි. අගය කිරීම එය දිගටම පවත්වාගෙන යෑමට උදවු කරයි.
එබැවින්, බදු ගෙවීම සාමාන්‍ය, අර්ථවත් සහ ගෞරවනීය ක්‍රියාවක් ලෙස හැඟෙන සමාජයක් ගොඩනැඟීම අපේ සැබෑ ඉලක්කය විය යුතුය. එවැනි සමාජයක් තුළ බදු යනු බරක් නොව, වගකීමක් වන අතර, ඒ වගකීම මඟින් ශක්තිමත් රටක් ගොඩනැඟීමට හැකි වේ.
(සටහන | ආචාර්ය නදී දිසානායක)
ස්වාධීන පර්යේෂක සහ ප්‍රතිපත්ති විශ්ලේෂක
info@nadeed.org
උපුටා ගැනීම - dinamina




