ඉන්ධන මිල ඉහළ යාම, ගුවන් ගමන් මාර්ග කඩාකප්පල් වීම, සංචාරක වියදම් කපා හැරීම සහ පාරිභෝගික විශ්වාසය බිඳවැටීම වැනි සාධක හේතුවෙන්, මෙම වසරේදී සංචාරකයින් මිලියන තුනක් මෙරටට ගෙන්වා ගැනීමේ රජයේ අභිලාෂකාමී ඉලක්කය දැඩි අවදානමකට ලක්ව තිබේ.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) නිල දත්තවලට අනුව, 2026 මැයි 10 වන විට මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 922,000 ඉක්මවා ගොස් ඇත. එහෙත්, පසුගිය මාස කිහිපය තුළ මෙම වර්ධන වේගයේ කැපී පෙනෙන පසුබෑමක් දක්නට ලැබේ. විශේෂයෙන්ම ගෙවීගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම 135,643 ක් දක්වා සීමා වූ අතර, එය පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 22 කටත් වඩා වැඩි කඩාවැටීමකි. මෙය මේ වසරේ මෙතෙක් වාර්තා වූ දුර්වලම මාසික කාර්ය සාධනය ලෙසද සටහන් වේ.

ක්ෂේත්‍රයේ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ගුවන් සේවා සහ සංචාරක කර්මාන්තයට අතිශය තීරණාත්මක කලාපයක් වන මැදපෙරදිග උද්ගතව ඇති භූ දේශපාලනික අස්ථාවරත්වය මෙම කඩාවැටීමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි. කොළඹ බලා පැමිණෙන බොහෝ දිගු දුර මගීන් සිය සංචාර සඳහා ප්‍රධාන වශයෙන් යොදා ගන්නේ එමිරේට්ස්, කටාර් සහ එතිහාඩ් වැනි ගල්ෆ් කලාපීය ගුවන් සේවාවන් ය. ඉරාන අර්බුදය උත්සන්න වීමත් සමඟ එම ගුවන් ගමන්වලට බාධා එල්ල වීම සහ ගුවන් ගමන් වාර සංඛ්‍යාව අඩුවීම, ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ ඉල්ලුම කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කර තිබේ.
සංචාරකයින්ගේ පැමිණීම යම් ස්ථාවර මට්ටමක පැවතියද, ඉන් ලැබෙන ආදායම ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බව දත්ත පෙන්වා දෙයි. මහ බැංකු සංඛ්‍යාලේඛනවලට අනුව, 2026 ජනවාරි සහ පෙබරවාරි මාසවල සංචාරක ඉපැයීම් පෙර වසරේ එම කාලයට සාපේක්ෂව සියයට පහකට ආසන්න ප්‍රතිශතයකින් පහත වැටී ඇත. මින් පැහැදිලි වන්නේ එක් සංචාරකයෙකු මෙරට තුළ සිදුකරන වියදම් කිරීම් ප්‍රමාණය අඩුවී ඇති බවයි. තවද, මාර්තු මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 223 ක් ලෙස සටහන් වූ සංචාරක ආදායම, අප්‍රේල් මාසය වන විට ඩොලර් මිලියන 157 ක් දක්වා තවදුරටත් පහත වැටී තිබේ.
මේ තත්ත්වය හමුවේ, සංචාරකයින් මිලියන තුනක රජයේ ඉලක්කය සපුරා ගැනීම වඩ වඩාත් දුෂ්කර වී ඇති බව පෙනී යයි. එම ඉලක්කය කරා ළඟා වීමට නම්, ගල්ෆ් අර්බුදය ආරම්භ වීමට පෙර පැවති වර්ධන වේගය යළි අත්කර ගනිමින්, වසරේ ඉතිරි මාස කිහිපය තුළ සෑම මාසයකදීම අවම වශයෙන් සංචාරකයින් 250,000 කට වඩා මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇත.

ශ්‍රී ලංකාව දිගු කලක් තිස්සේ හුදෙක් 'සංචාරකයින් සංඛ්‍යාව' (Volume-based tourism) මත පමණක් යැපීම තුළින් ක්ෂේත්‍රයේ ඇති ව්‍යුහාත්මක දුර්වලතා මනාව හෙළිවන බව සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ අනතුරු අඟවති. මෑතකදී පැවති 'සංචාරක උදාව 2026' සමුළුවේදී ගෝලීය සංචාරක විශේෂඥයින් පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාව තවදුරටත් සංචාරකයින්ගේ පැමිණීමේ සංඛ්‍යා ලේඛන හඹා යාම පසෙකලා, සුවතා සංචාරක ව්‍යාපාරය (Wellness tourism), පරිසර සංචාරක ව්‍යාපාරය (Eco-tourism) සහ අපේක්ෂිත සංස්කෘතික අත්දැකීම් මත පදනම් වූ 'ඉහළ වටිනාකමක් සහිත' (High-value) සංචාරක ආර්ථිකයක් ගොඩනැගීම කරා කඩිනමින් මාරු විය යුතු බවයි.
මයිනර් හෝටල් සමූහයේ (Minor Hotels) ප්‍රධාන විධායක නිලධාරී දිලිප් රාජකාරියර් මහතා එහිදී අවධාරණය කළේ, ඉහළ ආදායම් උත්පාදනයක් සහ ගුණාත්මක සංචාරක අත්දැකීමක් ලබාදීමට වඩා, හුදෙක් සංචාරකයින් සංඛ්‍යාව වැඩිකර ගැනීමේ උමතුවකින් මෙරට බලධාරීන් කටයුතු කිරීම දැඩි ලෙස විවේචනයට ලක්විය යුතු බවයි. සන්නාමකරණ උපායමාර්ගිකයෙකු වන ෂෞවික් රෝයි (Shouvik Roy) මහතා පෙන්වා දුන්නේ, ඉතා කුඩා භූගෝලීය කලාපයක් තුළ අලංකාර වෙරළ තීරයන්, වනජීවීන්, ඓතිහාසික උරුමයන්, කඳුකරය සහ තේ ආශ්‍රිත සංචාරක අත්දැකීම් රැසක් ලබා දීමට ශ්‍රී ලංකාවට හැකියාව තිබුණද, තවමත් ජාත්‍යන්තරව හඳුනාගත හැකි ශක්තිමත් 'සංචාරක අනන්‍යතාවයක්' (Tourism Identity) රටක් ලෙස අපට නොමැති බවයි.

මේ අතර, ගල්ෆ් අර්බුදය විසින් මෙම සියලු අවදානම් තවදුරටත් තීව්‍ර කර තිබේ. ඉහළ යන තෙල් මිල ගණන් හේතුවෙන් ගෝලීයව ගුවන් ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළ ගොස් ඇති අතර, බලශක්ති සැපයුමේ අවිනිශ්චිතතාවය සහ මුදල් ඒකකවල අගය උච්චාවචනය වීම හේතුවෙන් ජාත්‍යන්තර සංචාරකයින් සිය ගමන්බිමන් පිළිබඳව වඩාත් ප්‍රවේශම් සහගත වෙමින් සිටිති. ඉරාන ගැටුම උත්සන්න වීම සහ ඉන්ධන පිරිවැය ඉහළ යාමත් සමඟ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය මේ වන විටත් තුනෙන් එකකින් පමණ කඩා වැටී ඇති බව රොයිටර් පුවත් සේවයද මෑතකදී වාර්තා කළේය.
කෙසේ වෙතත්, මෙම දැඩි අභියෝග මධ්‍යයේ වුවද, මේ වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් 200,000 කට අධික සංඛ්‍යාවක් මෙරටට එවා ඇති ඉන්දියාව, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට තීරණාත්මක ආරක්ෂක දැලක් වෙමින් අඛණ්ඩව සහාය ලබා දෙයි. මීට අමතරව, චීන වෙළෙඳපොළින්ද යළිත් යම් ප්‍රකෘතිමත් වීමේ සලකුණු මේ වන විට පෙන්නුම් කරමින් තිබේ.
එහෙත් ආර්ථික විශ්ලේෂකයින් දැඩිව විශ්වාස කරන්නේ, ආක්‍රමණශීලී අලෙවිකරණ ප්‍රවර්ධන වැඩසටහන් දියත් කිරීමකින් තොරව, ශක්තිමත් ගුවන් සේවා සම්බන්ධතා ජාලයක් ගොඩනගා නොගෙන සහ ඉහළ ආදායම් ලබන ගුණාත්මක සංචාරක අත්දැකීම් වෙත උපායමාර්ගිකව යොමු නොවී, වසංගතයෙන් පසු නිර්මාණය වූ වඩාත්ම අවිනිශ්චිත ගෝලීය සංචාරක පරිසරයක් තුළ ශ්‍රී ලංකාවට සිය 2026 සංචාරක අභිලාෂයන් මුළුමනින්ම සාක්ෂාත් කරගැනීම අතිශය දුෂ්කර වනු ඇති බවයි.
මුලාශ්‍රය :
Gulf Conflict Threatens Sri Lanka’s Ambitious Tourism Recovery Goals




