බැංකු පද්ධති, රෝහල්, කාර්ය සම්පාදන ජාල සහ රාජ්‍ය අංශ යනාදී සියල්ල ඩිජිටල් යටිතල පහසුකම් වෙත නිරන්තරයෙන් ප්‍රවේශ වීම මත රඳා පවතී. එහෙත් මැදපෙරදිග දත්ත මධ්‍යස්ථානවලට මෑතකදී එල්ල වූ ප්‍රහාර මගින් වර්ධනය වන අවදානමක් පෙන්වා දෙන ලදි. එනම් එදිනෙදා ජීවිතය පවත්වාගෙන යන පද්ධති ඩිජිටල් පමණක් නොව භෞතික ද වන බවයි. එසේම ඒවා ගැටුම්වලට නිරාවරණය වී ඇති බව ද ඉන් පැහැදිලි වේ.
| නෙදර්ලන්තයේ ඊම්ෂේවන්හි පිහිටි ගූගල් දත්ත මධ්‍යස්ථානයේ ගුවන් දසුනක්. ඡායාරූප අනුග්‍රහය: corlaffra / Shutterstock.com
ප්‍රතිපත්තිමය විවාද බොහෝ දුරට අවධානය යොමු කර ඇත්තේ දත්ත පාලනය කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳවය. දත්ත ස්වෛරීභාවය වෙනුවෙන් උද්දේශනය කරන්නෝ, ජාතික දේශසීමා තුළ දත්ත තබා ගැනීම මගින් නෛතික අධිකාරිය ශක්තිමත් වන බව තර්ක කරති. එසේම විදේශීය පාර්ශ්වකරුවන් මත යැපීම ඉන් අඩු වන බව ද ඔවුහු පෙන්වා දෙති. මේ අතර, වෙනත් පාර්ශ්ව විසින් කාර්යක්ෂමතාව, පරිමාණය කිරීමේ හැකියාව සහ පහසුකම්වල සුලබතාව ඇතුළු ගෝලීයව බෙදා හරින ලද ක්ලවුඩ් යටිතල පහසුකම්වල ඇති වාසි අවධාරණය කරති.
එහෙත් මෙම ප්‍රවේශ දෙකම වඩාත් මූලික ගැටලුවක් නොසලකා හරියි. ගැටුම්කාරී තත්ත්වයකදී වැදගත් වන්නේ දත්ත පාලනය කිරීමට වඩා එයට ප්‍රවේශ විය හැකි ද යන කරුණයි. දත්ත ස්වෛරීභාවය මගින් පමණක් ආරක්ෂාව තහවුරු වන්නේ නැත.
ජාතික දේශසීමා තුළ කේන්ද්‍රගත වී ඇති දත්ත සමුදාය බිඳවැටීම් ලක්ෂ්‍ය බවට පත්වේ

ඒ අතරම, ගෝලීය ක්ලවුඩ් සේවා සම්පාදකයන් මත යැපීමෙන් වෙනත් ආකාරයක අවදානමක් මතු වේ. ඇමසන් හෝ මයික්‍රොසොෆ්ට් වැනි සමාගම් විසින් මෙහෙයවනු ලබන යටිතල පහසුකම් බෙදා හැරීම හරහා ඔරොත්තු දීමේ හැකියාව ලබා දෙයි. එහෙත් එමගින් තීරණාත්මක දත්ත සම්පූර්ණ ජාතික පාලනයෙන් ඔබ්බට ගෙන යයි. අර්බුද පවතින අවස්ථාවලදී විවිධ රාජ්‍ය බල ප්‍රදේශ පුරා ගබඩා කර ඇති දත්ත සඳහා ප්‍රවේශ වීම විදේශීය නීති, ආයතනික තීරණ හෝ භූ දේශපාලනික බලපෑම් මගින් හැඩගැස්විය හැකිය. තාක්ෂණික වශයෙන් ඔරොත්තු දෙන බව පෙනෙන දේ දේශපාලනික වශයෙන් අවිනිශ්චිත විය හැකිය. මෙම ආකෘති දෙකම බොහෝ දුරට ප්‍රශස්ත කර ඇත්තේ සාම කාලය සඳහාය. ඒවා මගින් කාර්යක්ෂමතාව, පරිමාණය සහ පාලනය සඳහා ප්‍රමුඛතාව ලබා දෙයි. එහෙත් අඩාල වීම් පවතින තත්ත්ව යටතේ ඔරොත්තු දීමේ හැකියාව සඳහා ඒවා ප්‍රමුඛතාව ලබා දෙන්නේ නැත..
පාලනයේ සිට ඔරොත්තු දීමේ හැකියාව වෙත අවධානය යොමු කිරීම

යෝජිත එක් ප්‍රවේශයක් වන්නේ මිලිටරි සහ සිවිල් දත්ත පද්ධති වෙන් කිරීමය. මෙය සිවිල් යටිතල පහසුකම්වලට සිදුවන හානිය සීමා කිරීම අපේක්ෂා කරන ජිනීවා සම්මුතීන් යටතේ පවතින දිගුකාලීන මූලධර්ම සමඟ සමපාත වේ. පැහැදිලි වෙන් කිරීමක් මගින්, සිවිල් දත්ත මධ්‍යස්ථාන යුක්තියුක්ත ඉලක්ක ලෙස සැලකීමේ සම්භාවිතාව න්‍යායාත්මකව අඩු කළ හැකිය. කෙසේ වෙතත්, ප්‍රායෝගිකව මෙම වෙනස පවා පවත්වා ගැනීම දුෂ්කරය. ඩිජිටල් පද්ධති දැඩි ලෙස අන්තර් සම්බන්ධිත වේ. සිවිල් යටිතල පහසුකම් මගින් මිලිටරිමය වැදගත්කමක් ඇති කාර්ය සම්පාදන, සන්නිවේදන සහ වෙනත් කාර්ය සඳහා සහාය ලබා දෙයි. එබැවින් බොහෝ පද්ධති ද්විත්ව භාවිත වේ. විධිමත් නම් කිරීම කුමක් වුවත් ඒවා වර්ගීකරණය කිරීම දුෂ්කර වන අතර අනතුරට ලක්වීමේ හැකියාවක් පවතී.
සිවිල් හෝ මිලිටරි යටිතල පහසුකම් ද?

මෙහිදී නෛතික අඩුපාඩුවක් ද පවතී. පවතින ජාත්‍යන්තර මානුෂීය නීතිය සංවර්ධනය කර ඇත්තේ යටිතල පහසුකම් සිවිල් හෝ මිලිටරි ලෙස වඩාත් පැහැදිලිව වර්ගීකරණය කළ හැකි සන්දර්භයක් තුළය. දත්ත මධ්‍යස්ථාන මෙම රාමුවට පහසුවෙන් ගැළපෙන්නේ නැත. විශේෂයෙන් ඒවා පෞද්ගලිකව මෙහෙයවන සහ ගෝලීයව ඒකාබද්ධ වූ ඒවා වන විට මෙම තත්ත්වය වඩාත් කැපී පෙනේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, රෝහල්, මූල්‍ය ජාල සහ රාජ්‍ය සේවා සඳහා පදනම සපයන පද්ධති අපැහැදිලි කලාපයක පවතී. ඒවා සිවිල් ජීවිතයට අත්‍යවශ්‍ය වුවද, පැහැදිලිව ආරක්ෂා කර නොමැත.
කෘත්‍රිම බුද්ධිය වර්ධනය වීමත් සමඟ මෙම අපැහැදිලි බව තවදුරටත් ගැඹුරු වනු ඇත. බෙදාහැරීම් මාර්ගගත කිරීම, රථවාහන පාලනය කිරීම සහ දත්ත විශ්ලේෂණය කිරීම වැනි එදිනෙදා සේවා බලගන්වන පද්ධති මිලිටරි කාර්ය සම්පාදන හෝ මූලෝපායික තීරණ ගැනීම වැනි වෙනත් කාර්යයක් සඳහා තත්කාලීනව යොදා ගත හැකිය.
කුඩා සහ සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙම අභියෝග විශේෂයෙන් බලපායි. එවැනි බොහෝ සන්දර්භ තුළ, ඩිජිටල් පද්ධති දැනටමත් සීමිත යටිතල පහසුකම් සහ ආයතනික ශක්‍යතාව මගින් සීමා වී ඇත. සම්පූර්ණ දත්ත දේශීයකරණය ප්‍රායෝගික නොවිය හැකිය. එසේම බාහිර සම්පාදකයන් මත සම්පූර්ණයෙන්ම යැපීම හරහා බාහිර අඩාල වීම් සඳහා නිරාවරණය වීමක් සිදු වේ.
මෙහිදී ඔරොත්තු දීමේ හැකියාව යනු දත්ත පවතින ස්ථානය පිළිබඳ පාලනය තහවුරු කිරීම පමණක් නොවේ. පීඩාකාරී තත්ත්ව යටතේ අඛණ්ඩතාව සහතික කිරීම ද ඊට ඇතුළත් වේ. වඩාත් ප්‍රායෝගික ප්‍රවේශය වන්නේ විවිධාංගීකරණයයි. එනම් අත්‍යවශ්‍ය සේවා සඳහා සීමිත දේශීය ශක්‍යතාවක් පවත්වා ගැනීමය. එසේම විශ්වාසදායක හවුල්කරුවන් හරහා විශ්වාසදායක උපස්ථ (backup) විධිවිධාන සුරක්ෂිත කිරීම ද වැදගත් වේ. මෙම සන්දර්භය තුළ ස්වෛරීභාවය යන්න දත්ත පවතින්නේ කොතැනද යන්න මත පමණක් අර්ථ දක්වනු නොලැබේ. දත්ත වඩාත් අවශ්‍ය වූ විට ප්‍රවේශය පවත්වා ගත හැකි ද යන්න මත ද ස්වෛරීභාවය අර්ථ දක්වනු ලැබේ.
පෞද්ගලික තාක්ෂණික සමාගම් ද මෙහිදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරති. තීරණාත්මක යටිතල පහසුකම් මෙහෙයවන්නන් ලෙස, ඔවුහු වැඩි වැඩියෙන් ජාතික ඔරොත්තු දීමේ හැකියාවේ කොටසක් බවට පත්ව සිටිති. අර්බුදකාරී අවස්ථාවලදී අඛණ්ඩතාව, විනිවිදභාවය සහ සාධාරණ ප්‍රවේශය සහතික කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ වගකීම් පිළිබඳව මෙයින් ගැටලු මතු වේ. විශේෂයෙන් ඔවුන්ගේ මෙහෙයුම් බහුවිධ රාජ්‍ය බල ප්‍රදේශ හරහා විහිදෙන විට මෙය වඩාත් කැපී පෙනේ.
ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා පද්ධති සැලසුම් කිරීම පිළිබඳව නැවත සිතා බැලීම අවශ්‍ය වේ

මෙහි බලපෑම් දත්ත ප්‍රතිපත්තියෙන් ඔබ්බට විහිදේ. ඩිජිටල් පද්ධති මත යැපීම වර්ධනය වන විට, දත්ත ගබඩා කිරීම, යටිතල පහසුකම් සම්පාදකයන් සහ රාජ්‍ය බලය සම්බන්ධ තීරණ විදේශ ප්‍රතිපත්තිය, වෙළඳාම සහ ආරක්ෂක මූලෝපාය සමඟ වැඩි වැඩියෙන් සම්බන්ධ වේ. දත්ත පාලනය යනු තවදුරටත් නියාමනය පමණක් නොවේ. එය රාජ්‍ය අවදානම් කළමනාකරණය කරන ආකාරයෙහි කොටසක් ද වේ. අන්තර්ජාලය සංවර්ධනය වූ මුල් කාලයේදී, ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය ද්විතියික කරුණු ලෙස සලකනු ලැබිණි. නව අවදානම් මතු වන විට ඒවා ක්‍රමයෙන් විසඳීමට කටයුතු කරන ලදි. ගැටුම්කාරී තත්ත්ව තුළ දත්ත යටිතල පහසුකම් පාලනය කරන ආකාරය පිළිබඳව ද මෙවැනිම පසුබෑමක් දැන් දැකගත හැකිය.
භෞතික සැපයුම් දාම මෙන්ම දත්ත පද්ධති ද දැන් තීරණාත්මක වන අතරම අවදානමට ද ලක්ව ඇත. මෙහිදී ප්‍රධාන ගැටලුව වන්නේ දත්ත පාලනය කරන්නේ කවුරුද යන්න පමණක් නොවේ. දත්ත සඳහා ප්‍රවේශය අඩාල වූ විට ද සමාජවලට තවදුරටත් ක්‍රියාත්මක විය හැකි ද යන්නය. අවසාන වශයෙන්, ප්‍රවේශ විය නොහැකි දත්ත යනු පාලනය කළ නොහැකි දත්ත බව පැවසිය හැකිය.
වියාචනය: මෙම අදහස් දැක්වීමේ ලිපියෙහි ප්‍රකාශිත අදහස් කතුවරයාගේ/කතුවරුන්ගේ ඒවා වන අතර, ඉන් IDS ආයතනයේ අදහස් හෝ ප්‍රතිපත්ති අනිවාර්යයෙන්ම පිළිබිඹු නොවේ.
| මොයිනුල් සාබර්
පර්යේෂණ සාමාජික
Institute of Development Studies, University of Sussex




