රනිල් වික්‍රමසිංහ නැවත පාර්ලිමේන්තුවට පැමිණෙන දින වකවානු පිළිබඳව පවතින කුතුහලය, වත්මන් රජය මුහුණ දෙන අභ්‍යන්තර අර්බුද සහ පක්ෂ මාරු පනතක් කඩිමුඩියේ ගෙන ඒමට දරන උත්සාහය පිටුපස ඇති සැබෑ දේශපාලන රහස් මෙවර 'අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය' තුළින් අනාවරණය වේ. එසේම එජාප සභාපති වජිර අබේවර්ධන නුවරඑළිය සංචාරයකදී මුහුණ දුන් අපූරු සිදුවීමක් සහ මෙරට විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව මහාචාර්ය ජී.එල්. පීරිස් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය ඇතුළු, දේශපාලන කරළියේ මෙතෙක් නොඇසූ සංවේදී සහ තීරණාත්මක තොරතුරු ඇතුළත් සටහන මතු පළවේ.
මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී මන්ත්‍රීවරුන් සියලුම දෙනා පාහේ මුලින්ම රනිල්ගෙන් විමසූයේ " සර් කවද්ද පාර්ලිමේන්තු එන්නේ". ෆේස්බුක් වල හැම තැනම මාතෘකාව ඕක තමයි. සර් ජුනි මාසේ පාර්ලිමේන්තු එනවා කියලා තමයි කියන්නේ.
මන්ත්‍රීවරුන්ගේ මුහුණු දෙස මඳ වේලාවක් බලා සිටි රනිල් සෝපාසයෙන් ඉවත බලා ගත්තේ ඒ ගැන වචනයක්වත් නොකියාය.
රනිල්ගේ හැටි දන්නා මන්ත්‍රීවරු ඒ ගැන ඊට පස්සේ වචනයක්වත් ඇසුවේ නැත.
ඩොලරයට හිටි හැටියේ තටු ඇවිත් ඉහළටම නගින්නට වූයේ ජනතාවට නැවතත් රනිල් සරණං යන වචනය සිහිපත් කරමිනි.
රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තියේ මූලිකම අරමුණ වූයේ රුපියල ශක්තිමත් කිරීමයි.

" ආණ්ඩුව කරන්න තිබුණේ ඩොලරය 280 මට්ටමක රඳවා ගන්නේ එක. ආරම්භයේ ඉඳන්ම ඒ වෑයම දරන්න තිබුණා. නමුත් ඒක කළේ නෑ. 320 දක්වා ඩොලරය ගියා. ඒ කියන්නේ තිහකින් වැඩි වුණා. දැන් මේක ගෙනියන්නෙ කොහොමද කියලා හිතාගන්න බැරුව ඉන්නේ ඒ උදවිය. විදේශ විනිමය හිඟය කියන්නේ රටකට ලොකු ආදායම් හිඟයක්. හරිම ඉක්මනින් ප්‍රශ්නය විසඳුවෙ නැතොත් ලොකු ප්‍රශ්නයක්, ආර්ථිකය ගැන කතාවට මුල පිරූ රනිල් අපූරු උපහැරණයක්ද ගෙනහැර පෑවේය.
ආර්ථිකය ලංකාවට සීමා කරන්නේ නැතිව සර් ඒක ලෝකෙට ගෙනියන්න කොච්චර දුර දකින තීරණ ගත්තද? වජිර පැවසීය.
'ඉන්දියාව එක්ක එකතුවෙලා සේතු සමුද්‍රම් හදන්න මම උත්සාහ කළා''

" ඔව් ඉන්දියාව එක්ක එකතුවෙලා සේතු සමුද්‍රම් හදන්න මම උත්සාහ කළා. ඒ වගේම පාලම. මේව නැවතුනේ කාගේ විරෝධය නිසාද? ඒ ව්‍යාපෘති පටන් ගත්තා නම් අවුරුදු දහයක විතර ඉදිකිරීම් වැඩ තියෙනවා.එහෙම කළා නම් ට්‍රිලියන පහක ආර්ථිකයක් අපට එකතු වෙනවා.
ඩොලරය හිටිහැටියේ ඊ ගසක වේගයෙන් උඩට ගොස් එක පාරට පහලට ආවේ කුමක් නිසා දැයි හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න රනිල්ගෙන් විමසූයේ ඇත්තෙන්ම ඒ ප්‍රශ්නය බොහෝ ජනයාට පවතින නිසාය.
"ඩොලරය 330 සීමාවේ තියාගන්න බැංකුවලට උපරිම ප්‍රෙෂර් එකක්!"
" මේ අය බැංකු වලට උපරිම ප්‍රෙෂර් එක දීල තියෙනවා. 330ට වඩා දෙන්න එපා කියලා. ඉස්සරහට ඩොලර් බිලියනයක් එනවා කියලා තමයි එහෙම කියලා තියෙන්නේ. හැබැයි ඩොලර් බිලියනයක් ආවා කියලා එහෙම වෙනසක් වෙන්නේ නෑ.
දැන් ලෝකේ ආර්ථිකය වෙනස් වෙලා. යුද්දේ නිසා හැමෝටම වැදිලා තියෙන්නේ. ඒ මාකට් වලට තමයි අපිටත් යන්න වෙලා තියෙන්නේ. ඉන්දියාවට අමාරුයි. හිටි හැටියේ තෙල් මිල ඩොලර් දහයකින් ඉහළ යනවා. මේ වගේ අසීරු තත්ත්වයක් තියෙන්නේ. මේ අය බලන්නෙ පුල් ට්‍රයි එක දාලා ඩොලර් එක අල්ල ගන්න. නමුත් ඒක කරන්න බෑ. ටික කලක් ගියාම ආපහු නගිනවා.
සුගීෂ්වර එහිදී පැවසූයේ මහ බැංකු අධිපති කයිය ගැහුවත් ප්‍රශ්නයක් පැමිණි විට කිසිදු සක්‍රීය දායකත්වයක් දක්වනවා යැයි නොපෙනෙන බවයි.
" සර්ගේ කාලේ ආර්ථිකය කළමනාකරණය කරද්දී ඇත්ත වැඩකාරයා කවුද කියන එක මේ උදවියගේ දැන් හැසිරීම දැක්කම හොඳින්ම තේරුම් ගන්න පුළුවන් බව සුගීෂ්වර එහිදී කීය.
''සජිත් සහ ආණ්ඩුව දෙගොල්ලොම එකතුවෙලා ඔය පනත ගේන බව ආරංචියි''
ආණ්ඩුව හිටි හැටියේම පක්ෂ මාරු පනත ගෙනෙන්නට යයි. ඒ බව කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීද කීය.
" ඔය පක්ෂ මාරු පනත කඩිමුඩියේ ගේන්න හේතුවක් තියෙනවා. මේ උදවියගෙන් පහළොවක් විතර කඩාගෙන යන්න ලෑස්තිය. ඒක වලක්වන්න තමයි ඔය පනත ගේන්නේ වජිර කීවේ තමාට ලැබුණු ආරංචියක් රනිල් හමුවේ ගෙනහැර දක්වමිනි.
තලතා එහිදී පැවසුවේ ජනතාවට සුගතියක් වීමට නම් මේ ආණ්ඩුව හැකි ඉක්මනින් පෙරළා දැමිය යුතු බවයි.
" ඔව්,ඒක ඇත්ත. ඒ වුනාට ප්‍රධාන විපක්ෂයේ ඒකට කිසිම සූදානමක් නෑ. සජබ පැත්තකින් කිව්වොත් විපක්ෂයේ අනිත් පක්ෂ වලට ඒ සංවිධාන ශක්තිය හදාගන්න අවුරුද්දක් විතර යනවා. ඒ වෙනකොට රටේ ආර්ථික තත්ත්වය තවත් බිමට පාත් වෙනවා රනිල් පැහැදිලි කළේය.
පක්ෂ මාරු පනත පිටුපස ඇති ආණ්ඩුවේ '15 කණ්ඩායමේ' රහස !
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අදහස් පළ කිරීමේදී මේ ආණ්ඩුවේ තිබෙන මත ගැටුමේ ස්වරූපය හොඳින්ම කල එළි බැස්සේය. ටිල්වින් යාපනයේ ගිහින් කීවේ මුදල් නැති නිසා මේ අවුරුද්දේ පළාත් සභා මැතිවරණය තැබීමට නොහැකි බවයි.ඊට දවස් කීපයකට පස්සේ නලින්ද ජයතිස්ස කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසූයේ පළාත් සභා ඡන්දය කියන්නට මුදල් ප්‍රශ්නයක් නොමැති බවයි.ආණ්ඩුවේ තවත් ඇමතිවරුන් කිහිපදෙනෙක්ම නලින්දගේ මතයට සමාන අදහස් පළ කර තිබිණි.
බැරි වෙලාවත් 380ට 400ට ඩොලරය ගියොත් වෙන්නේ මොකක්දැයි දිනිත් කරුණාරත්න මෙහිදී රනිල්ගෙන් විමසා සිටියේය.
" එහෙම වුණොත් කවුද ඉන්නේ ආණ්ඩුවක් හදන්න" රනිල් ඊට පිළිතුරු දුන්නේ පෙරලා ප්‍රශ්නයක් ඉදිරිපත් කරමිනි." මම හිතන්නේ තව ටිකක් කොහොම හරි යාවි. හැබැයි එන අවුරුද්ද වෙනකොට මිනිස්සුන්ට තවත් අමාරු වෙනවා" රනිල් කීවේය.
" 2022දි මිනිසුන්ට මොනවා හරි විකුණගෙන කන්න වත් තිබුණා. දැන් මොනවද මිනිස්සුන්ට තියෙන්නේ. රනිල් එසේ කියන විට මාන්නපෙරුම කීවේ ආණ්ඩුවට තව යන්න දෙන්න නම් පුළුවන්. ඒත් මිනිස්සුන්ට අමාරුයි කියාය. මිනිස්සු දෙපාරක් පිටපිට ඔය දේ කරගත්ත. ගෝඨාභයට දීලත් ඔය දේම තමයි වුනේ ඔහු කීය.

" ආණ්ඩුව අපනයන ආර්ථිකයක් ගැන කතා කලාට දැන් නුවරඑළියේ තේ වතු ගලවා එළවළු වගන්නට පටන් ගෙන තිබෙන බව වජිර පෙන්වා දුන්නේය.
විපක්ෂ නායක මොන නායක හිටියත් අන්තිමේදී වැඩේ කර ගසා ගෙනියන්නට සිටින එකම නායකයා රනිල් බව ජන සමාජයේද මතය බව මෙහිදී බොහෝ දේශපාලනඥයෝ පෙන්වා දුන්හ.
රනිල්ට රට බාර දෙනවා හැර වෙන විකල්පයක් නෑ...
"රනිල් කියන්නේ මීට වඩා ප්‍රබල ප්‍රශ්නයකට මැදිහත් වෙලා විසඳපු කෙනෙක්. අන්තිමට ඔහුට රට බාර දෙනවා හැර වෙන විකල්පයක් නෑ" වජිර කීවේ බොහෝ දෙනාගේ අදහස අනුමත කරමිනි.
මේ වන විට ඒකාබද්ධ විපක්ෂයට විශාල දේශපාලන පක්ෂ රාශියක් සම්බන්ධ වීමට කැමත්ත පළකර ඇති බැවින් මාසිකව එක් වතාවක් පමණක් ඒකාබද්ධ විපක්ෂ මධ්‍යම කාරක සභාව කැඳවීමට තීරණය විය. ඒකාබද්ධ විපක්ෂයේ සමාජ මාධ්‍ය ජාලා ප්‍රචාරණ කටයුතු බාර දීමට තීරණය කෙරුණේ දිනිත් චින්තක කරුණාරත්නටයි.
ඒකාබද්ධ විපක්ෂය දිවයින පුරා සංවිධාන කරගෙන යන සම්මන්ත්‍රණ මාලාවේ තුන්වැන්න තිබුණේ ජාඇලදීය.එහි විශේෂත්වය වූයේ පොදු ජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය ඇතුළු සියලු පක්ෂවල සහයෝගය ලැබීමයි. ඒ නිසා එය ඉතා සාර්ථක වූ රැස්වීමක් ලෙස හැඳින්වීම නිවැරදිය. හැම පක්‍ෂයක්ම නියෝජනය වන ලෙස අදහස් දැක්වීම් ද සිදු කෙරිණි.
චම්පික ලියූ එකට ගැටුම ග්‍රන්ථය දොරට වැඩිය දා ජී.එල්. කියපු කතාව

මේ අතර පාඨලී චම්පික රණවක ලියූ එකට ගැටුම ග්‍රන්ථයේ දොරට වැඩුම සිදු කෙරුණේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදීය. එහිදී ජී.එල් නොබැඳි රටක නොබැඳි ප්‍රතිපත්තිය කෙසේ විය යුතුද මැයින් විශේෂ දෙසුමක්ද සිදු කළේය.

" නොබැඳි පිළිවෙත වත්මන් රජයේ විසින් සම්පූර්ණයෙන් යටිකුරු කර තිබෙනවා. ඇමෙරිකාව විසින් ඉරාන නෞකාවට පහර දුන්නේ ශ්‍රී ලංකා මුහුදු කලාපය ඇතුලේ. ඊට ආරාධනා කර තිබුණේ නාවික හමුදාපති.එය විවේචනය කරමින් ලංකා රජය වචනයක්වත් කිව්වේ නෑ. අපේ ගුවන්තොටට එන්නට ඇමරිකාව සහ ඉරානය දෙකම ඉල්ලීම් කළත් එය ප්‍රතික්ෂේප කළ බවද ජනාධිපතිවරයා ඊට පසු කිව්වා. ඒක සම්පූර්ණයෙන් වැරදියි. නොබැඳි පිළිවෙත කියන්නේ වැටඋඩ ඉඳගෙන නිශ්ශබ්දව සිටීම නොවේ. නොබැඳි පිළිවෙත කියන්නේ ඕනෑම ප්‍රශ්නයක් ඇතිවූ විට කඳවුරකට බැඳෙන්නේ නැතිව විෂය මූලික කරුණු සොයා බලා තම මතය ඉදිරිපත් කිරීමයි.සිරිමාවෝ මැතිණිය ඉන්දියාව -චීනය අතර දේශ සීමා ප්‍රශ්නයක් ඇති වූ අවස්ථාවේ ඊට නියෝජිතයෙක් යැව්වා. ඒ කියන්නේ එවක විදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් වූ මගේ පියා එහි ගියේ. මගේ පියා අතේ රටවල් දෙකටම එතුමියගේ යෝජනයක් සඳහන් ලිපි යැව්වා. ඒවා අගය කරමින් පසුව කොළඹදී සමුළුවක්ද පැවැත්වුණා. සිරිමාවෝ මැතිනියගේ ප්‍රධානත්වයෙන් ලෝක නායකයන්ගේ සහභාගීත්වයෙනුයි එය සිදු කෙරුණේ යනුවෙන් ජී.එල් එහිදී කරුණු ගෙනහැර දැක්වීය.
රනිල් ආයෙත් එන්නේ කවද්ද? නුවරඑළිය පොළේදී වජිර වටකරගෙන ගොවියන් අහපු ප්‍රශ්නය!
එජාප සභාපති වජිර නුවරඑළියට ගියේ විවේකයක් ගත කිරීමටත් එක්කය.

මෙම සංචාරය අතරතුරදී ඔහු නිවසට අවශ්‍ය එලවළු මිලදී ගැනීම සඳහා නුවරඑළිය පොළට ගියේය. එහිදී වජිර හඳුනා ගත් ගොවීන් ඔහු වට කරගත්තේ උණුසුම් පිළිගැනීමක් ලබාදෙමිනි.
ගොවීන් එහිදී වජිරගෙන් ඇසූ මූලික ප්‍රශ්නය වූයේ රනිල් ආපහු බලයට එන්නේ කවදාද යනුවෙනි.
වෙළෙඳුන් සහ ගොවීන් තමන්ට පැන නැගී ඇති ගැටලු එකින් එක වජිර හමුවේ ප්‍රකාශ කරන්නට විය. තමාට නායකයා හමුවන්නට අවස්ථාවක් දෙන්නැයි එහිදී ගොවීහු ඉල්ලා සිටියහ.
එයට එකඟ වූ වජිර, නායකතුමා තවම වෛද්‍ය උපදෙස් මත විවේකිව සිටින බවත් ඔහුගේ විවේකී කාලය අවසන් වූ වහාම මුණ ගැසීමට අවස්ථාවක් සලසා ලබාදෙන බවටත් එකඟ විය.
(සටහන | මල් පාරේ ලියුම්කරු)




