ඩිජිටල් රාජ්‍ය සේවා, පරිසර හිතකාමී යටිතල පහසුකම් සහ විද්‍යාත්මක අපද්‍රව්‍ය කළමනාකරණයෙන් සමන්විත නවීන නාගරික ජාලයක් නිර්මාණය කිරීම මෙහි මූලික අරමුණයි.
මෙම දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික දායකත්වය ඇතිව විශේෂඥ කමිටුවක් පත් කර ඇති අතර, ජාත්‍යන්තර සාර්ථක නාගරික ආකෘති අධ්‍යයනය කර මෙරටට ගැලපෙන මාර්ගෝපදේශ සකස් කිරීම ඔවුන්ගේ පළමු කාර්යය වී තිබේ.
කෙසේ වෙතත්, වත්මන් පරිපාලනය බලයට පත්ව මාස හයක් ඉක්මගොස් ඇති පසුබිමක, මෙම සැලසුම් කඩදාසිවලින් එහාට ගොස් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව සතු මූල්‍ය ශක්තිය සහ ආයතනික ධාරිතාව පිළිබඳව ආර්ථික හා නාගරික සැලසුම්කරණ විශේෂඥයන් ප්‍රශ්න කිරීමට පටන් ගෙන ඇත.
නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ රජයේ වත්මන් ප්‍රකාශයන් පාලන ව්‍යුහයන් සහ සැලසුම් කමිටු කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති නමුත්, ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය දැවැන්ත මූල්‍ය ප්‍රතිපාදන සොයා ගන්නා ආකාරය පිළිබඳව නිශ්චිත තොරතුරු අනාවරණය කර නොමැති බවයි.
ඒකාබද්ධ ප්‍රවාහන පද්ධති, නවීකරණය කරන ලද පොදු පහසුකම් සහ උසස් අපද්‍රව්‍ය සැකසුම් මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වේ. පසුගිය රජයන් ක්‍රියාත්මක කළ අධිවේගී මාර්ග හෝ මහා පරිමාණ නාගරික සංවර්ධන ව්‍යාපෘති වැනි දැවැන්ත ජාතික ප්‍රාග්ධන වියදම් වැඩසටහනක් වත්මන් රජය මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති පසුබිමක, මෙම ආදර්ශ නගර සඳහා ප්‍රතිපාදන වෙන් කරන්නේ කෙසේද යන්න ගැටලුවකි.
ආර්ථික විශ්ලේෂකයන්ට අනුව, පවතින මූල්‍ය සීමාවන් හමුවේ රජයට පෞද්ගලික අංශයේ සහභාගීත්වය (PPP), ජාත්‍යන්තර සංවර්ධන අරමුදල් හෝ විදේශීය ආයෝජන හවුල්කාරිත්වයන් වෙත යොමු වීමට සිදු වනු ඇත. නැතහොත්, මූලික අදියරේදී අධික පිරිවැයක් යන භෞතික යටිතල පහසුකම් වෙනුවට, තාක්ෂණය පදනම් කරගත් රාජ්‍ය සේවා සහ පාලන ප්‍රතිසංස්කරණ කෙරෙහි පමණක් නියමු ව්‍යාපෘති සීමා කිරීමට රජයට සිදු විය හැකිය.
කෙසේ වෙතත්, මෙම යෝජනාවේ ඇති සාධනීයම ලක්ෂණය වන්නේ "ඒකාබද්ධ සැලසුම්කරණය" (Integrated Planning) කෙරෙහි දක්වා ඇති උනන්දුවයි. ශ්‍රී ලංකාවේ නගර දීර්ඝ කාලයක සිට අක්‍රමවත් සංවර්ධනය, දුර්වල කලාපකරණ නීති සහ අසාර්ථක අපද්‍රව්‍ය කළමනාකරණය හේතුවෙන් පීඩා විඳිති. විශේෂයෙන්ම, විද්‍යාත්මක ජාතික අපද්‍රව්‍ය කළමනාකරණ රාමුවක් සැකසීමට විශේෂඥයන් පත් කිරීම කාලෝචිත පියවරකි.
ශ්‍රී ලංකාවේ සංවර්ධන ඉතිහාසය දෙස බැලීමේදී ප්‍රතිපත්තිමය සැලසුම් හෝ බ්ලූප්‍රින්ට් (Blueprints) වල අඩුවක් නොතිබූ අතර, සැමවිටම මඟහැරුණේ ඒවා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ (Implementation) යාන්ත්‍රණයයි. එබැවින්, මෙම 'ආදර්ශ නගර' ව්‍යාපෘතිය රට වෙනස් කරන සැබෑ සන්ධිස්ථානයක් වෙනවාද, නැතහොත් තවත් එක් දේශපාලන පොරොන්දුවක් පමණක් වෙනවාද යන්න තීරණය වන්නේ කමිටු වාර්තාවලින් පසුව රජය දක්වන දේශපාලන අධිෂ්ඨානය සහ මූල්‍ය කළමනාකරණය මතය.
(සටහන | කෙෂාල් ජයසිංහ)
Keshal Jayasinghe
keshal27@yahoo.com




