The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වහළ මත 'සූර්ය බල පුවරු' නිවා නොදැම්මොත් ? | කුසල් පෙරේරා

T

The Leader Desk

May 31, 2026 • 10:59 AM

වහළ මත 'සූර්ය බල පුවරු' නිවා නොදැම්මොත් ? | කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “ජාතික (විදුලි) පද්ධතිය නිවැරදිව හා ස්ථාවරව පවත්වා ගැනීම සඳහා වහළ මත සූර්ය බල පුවරු හිමියනට ඔවුන්ගේ පද්ධතිය අද (30 වන දින) උදය 08 සිට පස්වරු 03 වන තෙක් අක්‍රීය කර තබන ලෙස දැනුම් දීමයි - ජාතික පද්ධති ක්‍රියාකාර (පුද්ගලික) සමාගම”.
  • එම ඉල්ලීම හෙට (31 වන දින) දිනයටද, ඉන්පසු මේ ලංකාවේ නිතර දෙවේලේ කෙරෙන ඉල්ලීමක් බවටද පත් විය හැකිය.
  • ඇතැම් විට පාසල්, බැංකු, කාර්යාල, කම්හල් නිවාඩු දිනවල වැසෙන නිසා විය හැක.
  • පසුගිය සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද එළැඹියේ අප්‍රේල් 11 වන සෙනසුරාදා දින සිට 14 වන අඟහරුවාදා දින දක්වා දිගු සති අන්ත නිවාඩුවක් ලෙස පමණක් නොව, කොළඹ හැර ගිය විශාල පිරිසක් අප්‍රේල් 20 වන සඳුදා දින දක්වා නැවත නොපැමිණි දින 09 ක කාලයක් සමග ය.
අකුරු ප්‍රමාණය (Font Size):

අද වෙසක් දින (මැයි 30) උදය ඇතැම් අයගේ සුහුරු ජංගම දුර කතන වලට මෙය ඉංග්‍රීසියෙන් ලැබුණු කෙටි පණිවිඩයකි.

එම ඉල්ලීම හෙට (31 වන දින) දිනයටද, ඉන්පසු මේ ලංකාවේ නිතර දෙවේලේ කෙරෙන ඉල්ලීමක් බවටද පත් විය හැකිය. ජාතික පද්ධති ක්‍රියාකාර (පුද්ගලික) සමාගම (NSO) අද නිකුත් කළ නිවේදනයක් මගින් එම ඉල්ලීමට හේතු ලෙස දක්වන්නේ, දිගු සති අන්තය හා වෙසක් පෝය නිවාඩුව හේතුවෙන් විදුලිය භාවිතය සැළකිය යුතු මට්ටමකින් පහත වැටී ඇති අතර, කාලගුණික තත්ත්වයද යහපත් වූයෙන් වහළ මත සූර්ය බල පුවරු මගින් අනපේක්ෂිත ඉහළ විදුලිය ජනනයක් සිදුවූයෙන් ජාතික විදුලි පද්ධතිය තුලනය කිරීම සඳහා එවැනි පියවර අවශ්‍ය වන බවය.

 

165467
දිගු සති අන්ත නිවාඩු සමග විදුලිය භාවිතය පහත වැටෙන්නේ මන්දැයි හේතු දැක්වීමක් නැත. ඇතැම් විට පාසල්, බැංකු, කාර්යාල, කම්හල් නිවාඩු දිනවල වැසෙන නිසා විය හැක. එහෙත් රජයේ, බැංකු හා වෙළඳ නිවාඩු සමග එවැනි දිගු සති අන්ත මීට පෙර නොවුනිද? ඒ නිවාඩු කාලවල, මෙවැනි දැන්වීම් කිරීමට තරම් විදුලිය භාවිතය සැළකිය යුතු මට්ටමකින් පහත නොවැටුනිද?

පසුගිය සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද එළැඹියේ අප්‍රේල් 11 වන සෙනසුරාදා දින සිට 14 වන අඟහරුවාදා දින දක්වා දිගු සති අන්ත නිවාඩුවක් ලෙස පමණක් නොව, කොළඹ හැර ගිය විශාල පිරිසක් අප්‍රේල් 20 වන සඳුදා දින දක්වා නැවත නොපැමිණි දින 09 ක කාලයක් සමග ය. අනෙකුත් ප්‍රධාන නගර කිහිපය මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයම හිස්, අළස කාලයකට නතු වූ ඒ දිනවල, රටම නිවාඩු ගත්තාක් මෙන් විය. ඒ හේතුවෙන් වෙසක් දින මෙන් සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනවල විදුලිය භාවිතය සැළකිය යුතු මට්ටමකින් පහත නොවැටුනි ද? නොවැටුනේ නම්, ඒ මන්ද? එවගේම අළුත් අවුරුදු දිනවල සූර්ය විදුලි ජනනයට අවාසි වන දේශගුණික තත්ත්වයක් දහවල කාලයේ නොවුනි. එහෙත් ජාතික විදුලි පද්ධතිය නිවැරදිව හා ස්ථාවරව පවත්වා ගැනීම සඳහා වහළ මත සූර්ය බල පුවරු හිමියනට ඔවුන්ගේ පද්ධති අක්‍රීය කරන මෙන් අවුරුදු සමයේ NSO සමාගම මගින් ඉල්ලීම් කෙරුණු බවක් නොදනිමි.

දසකයකට පමණ පෙර ලංවිම හා ලංකා විදුලි (පුද්ගලික) සමාගම (LECO) විසින් වහළ මත සූර්ය බල පුවරු සවි කර ගැනීමට, විදුලිය පාරිභෝගිකයින් උනන්දු කරවීම වෙනුවෙන් රුපියල් ලක්ෂ කිහිපයක මුළු පිරිවැය වාරික වශයෙන් ගෙවීමේ විශේෂ සහන ව්‍යාපෘති ඉදිරිපත් කළහ. නිවසේ පරිභෝජනයට අමතරව ජනනය වන විදුලිය සඳහා මුදලක් ගෙවා ජාතික පද්ධතියට එම විදුලිය ලබා ගැනීම ක්‍රියාත්මක කෙරුණේද දිරි ගැන්වීමක් වශයෙනි. වහළ මත සූර්ය බල පුවරු සවි කර ගැනීම සඳහා විදුලි පාරිභෝගිකයින් සැවොම ගිවිසුම් අත්සන් කරනු ලැබ ඇත්තේ ලංවිම හා LECO සමාගම සමගින් පමණි. ඒ දසකයක කාලයේ වහළ මත සවිකර ඇති සූර්ය බල පුවරු පද්ධති අක්‍රීය කරන මෙන් අවුරුදු සමයේ හෝ වෙසක් නිවාඩුවට කෙරුණු දැනුම්දීම් නොවුනි.

 

157486
ශ්‍රී ලංකා පොදු පහසුකම් කොමිසම මගින් සූර්ය බල පුවරු නිෂ්පාදන සමාගම් ඔවුන්ගේ ප්‍රමිති අනුව ලියාපදිංචි කරනු ලැබුවේද පුණර්ජනනීය බල ශක්ති ප්‍රවර්ධනය සඳහා ය. පුණර්ජනනීය බල ශක්ති ප්‍රවර්ධනය සහ භාවිතය සඳහා බලශක්ති අමාත්‍යාංශය යටතේ 2007 අංක 35 දරණ පනත මගින් පිහිටුවනු ලැබ ඇති “ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය” විසින් එම පනතින් පවරා ඇති වගකීමක් ලෙස 2019 ජුලි මාසයේදී “2019 - 2025 වසර පුණර්ජනනීය බලශක්ති සංවර්ධන සැළසුම - අදියර 01” ප්‍රකාශයට පත්කර ඇත. පනතට අනුව, සැළසුම ප්‍රකාශයට පත් කළ දිනයේ සිට වසර 03 ට වරක් එය දියුණු කළ යුතුය.

මේ අතර, 2023 දී සම්පාදනය කෙරුණු “ලාංකීය දිගු කාලීන උපාමාර්ගික බල ශක්ති සැළසුම”, එහි මූලික අරමුණ ලෙස සඳහන් කර තිබූයේ “2030 වන විට, ජාතික බල ශක්ති ජනනයෙන් සියයට 70 ක් පුණර්ජනනීය බල ශක්ති විය යුතුය” යනුවෙනි. 2050 වන විට, රටම පූර්ණ වශයෙන් නිර්කාබනික වීමේ අපේක්ෂාවක්ද සඳහන් විය. එවැනි සැළසුම් සම්පාදනය කෙරුණද ඒවා නියමිත අයුරු, නියමිත කාල සටහනකට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ලංවිම මගින්  ක්‍රියාත්මක කර නැත. ඇතැම් ව්‍යාපෘති අවුරුදු ගණන් ප්‍රමාද වන බැව් වාර්ෂික වාර්තා වලින් කියවා ගත හැක.

එවැනි සැළසුම් සම්පාදනයට ලංවිම ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරුවන්ද හවුල්ව ඇත. එනිසා වහළ මත සූර්ය බල පුවරු සවි කිරීමද උනන්දු කෙරෙන පුණර්ජනනීය බල ශක්ති දායකත්වය වර්ධනය කිරීමේදී ජාතික විදුලි පද්ධතිය අඛණ්ඩව, බාධා රහිත ස්ථාවර පද්ධතියක් ලෙස කලමනාකරණය කර ගැනීම මග හැර සැළසුම් කෙරුණි යැයි මම විශ්වාස නොකරමි. පසුගිය අප්‍රේල් සිංහල-දෙමළ අලුත් අවුරුද්ද පසුවන තෙක්ම, පානදුර උප පොලකට වඳුරෙකු පැන රටේම විදුලිය විසන්දි වූයේ යැයි මිස, වහළ මත සවි කෙරුණු සූර්ය බල පුවරු අක්‍රීය කිරීමට තරම් වෙනත් අවුලක් වාර්තා නොවුනි.

වහළ මත සවි කෙරුණු සූර්ය බල පුවරු හේතුවෙන් ජාතික විදුලි පද්ධතිය ස්ථාවරව පවත්වා ගැනීමේ නොහැකියාව, ලංවිම විදුලි ඉංජිනේරුවන්ට ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු අලුතින් වැළඳුණු රෝගයක් විය නොහැකිද? 2024 අංක 36 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනත සම්මත කිරීමෙන් සමාගම් කැබලි 06 ක් ලෙස අවුරුදු 56 ක් වයසැති ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු ඉකුත් මාර්තු 10 වන දින සිට ලංවිමක් නැත. LECO සමාගමද නැත. එදින සක්‍රීය කෙරුණු සමාගම් වලින් එක් සමාගමක් වන්නේ NSO සමාගම ය. LECO සමාගමේ සියලු වගකීම්ද ඊට භාර කෙරුණි. එතෙක් ලංවිම වගකීමක් වූ ජාතික පද්ධතියේ අඛණ්ඩ ක්‍රියාකාරිත්වය, පද්ධතියේ පාලනය, ජාතික ආර්ථිකයට බරක් නොවන සේ අනාගත විදුලි අවශ්‍යතා සහ විදුලි ජනනය අවම වියදමකට සැළසුම් කිරීම සහ මේ අති දූෂිත විවෘත වෙළඳපල ආර්ථිකයෙහි වඩාත්ම වැදගත් වගකීමක් වන විදුලිය උත්පාදනය කෙරෙන පෞද්ගලික ආයතන වලින් ජාතික පද්ධතියට අවශ්‍ය විදුලිය මිලට ගැනීම දැන් NSO සමාගම සතුය.

“ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීම” ලෙසින් එය මුළුමනින් අහෝසිකර අලුතින් පෞද්ගලික සමාගම් 06 ක් පිහිටුවීමේ සැළසුම් අතරතුර 2025 වසරේදී පුණර්ජනනීය විදුලිය බල ව්‍යාපෘති වලට එරෙහිව ඉදිරිපත් කෙරුණේ පාරිසරික ගැටළු ය. එම ව්‍යාපෘති අහෝසි කිරීමට මිස, පාරිසරික ගැටළු විසඳා ගැනීමට කතා නොතිබුණි. 2025 වසර මාර්තු මාසයේදී ඉදිකරන්නට යෝජනා කෙරුණු සූර්ය බල උද්‍යාන කිහිපයක්ම වැඩ ආරම්භ කළ බැව් කියු නමුත් කෙරුණේ නැත. පෞද්ගලික විදුලිය උත්පාදන සමාගම් ගණනාවකින් විදුලි බලය ඉහළ මිලකට ගැනීමත් ඒවාට විදුලි ඉංජිනේරුවන් ඇතැමෙක් හවුල්ව ඇතැයිද එනිසා පුණර්ජනනීය විදුලිය උත්පාදන සැළසුම් අඩාල වන්නේ යැයිද වන කතා අලුත් කතා නොවේ.

 

187786578957
ලංවිම හා LECO සමාගම වෙනුවට දැන් ඇත්තේ පෞද්ගලීකරණය සඳහාවන සමාජ මතයක් සමග පෞද්ගලික සමාගම් 06 ක් වන හෙයින් ජාතික විදුලි පද්ධතිය නිවැරදිව හා ස්ථාවරව පත්වා ගැනීමට NSO සමාගමට ඇති අපහසුව වහළ මත සූර්ය බල පුවරු පැවතීම යැයි වන කතාවද පැරණි කතා වලට අලුතින් එකතු වන්නකි.

එහෙත් ලංවිම හා LECO සමාගම සමග ගිවිසුම්ගත ලාංකීය විදුලි පාරිභෝගිකයින් NSO සමාගම හා කිසිදු නෛතික සම්බන්ධයකට යටත් නැත. මාර්තු 10 වන දින සිට ලංවිම හා LECO සමාගම වෙනුවට විදුලි පාරිභෝගිකයින්ගේ සැපයුම්කරු වන්නේ NSO සමාගම යැයි කිසිදු නිල රජයේ දැන්වීමක්ද නැත. බොහෝ අය NSO සමාගම ගැන දන්නේද නැත. එබැවින් NSO සමාගම මගින් කෙරෙන නිවේදන, ඉල්ලීම් වලට අවනතවීමේ බැඳීමක් ඔවුන්ට නැත. රුපියල් ලක්ෂ ගණනක් වැය කර වහළ මත සූර්ය බල පුවරු සවි කරගත් පාරිභෝගිකයින්ට, ඒවා අක්‍රීය කිරීමට මෙතුවක් කල් නොතිබුණු ජාතික විදුලි පද්ධතිය තුලනය කිරීමේ ගැටළුව කුමක්දැයි ඇසීමේ අයිතියක් එබැවින් තිබිය යුතුය.

Kusal 28(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2026 මැයි 31 වන දින

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...