විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගිය සතියේ දේශපාලන කරළිය තුළ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කළේය.
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ යද්දී දේශීය මිල ගණන් ඉහළ දැමීමට රජය ගත් තීරණය, තමන් කලින්ම ප්‍රකාශ කළ ආර්ථික අනාවැකි සනාථ කිරීමක් බව ඔහු පෙන්වා දුන්නේය.
මීට අමතරව, සමගි අධ්‍යාපන සේවක සංගමය යළි බලගන්වමින් රටේ අපනයන ආර්ථිකය දියුණු කිරීමේ වැදගත්කම අවධාරණය කළ ඔහු, පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල පවතින ගැටලු සහ ආර්ථව දරිද්‍රතාව හමුවේ කාන්තා ශ්‍රම බලකාය සක්‍රීය කිරීමේ ප්‍රායෝගික සැලසුම් රට හමුවේ තැබීය.
දේශපාලන වේදිකාවෙන් ඔබ්බට යමින්, කුලියාපිටියේදී දරු පරපුරේ පෝෂණය හා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ඔහු සංවේදී පියෙකු ලෙසද කාගේත් අවධානය දිනාගත්තේය.
ඉහත කරුණු පැහැදිලි කෙරෙන 'සජිත්ගේ දේශපාලන සතිය' විශේෂාංගය මතු පළවේ.
අනාවැකි සැබෑ කළ සජිත්...
ජනපති අනුරගේ මාලිමා ආණ්ඩුව දැන් පාන් කියා ගන්නට බැරිව දණින් වැටී සිටී. ලෝක වෙළඳ පොලේ මිල වැඩි වනවිට අපේ රටේ ආණ්ඩුවක් මොකටදැයි ඇසූ අනුරට අද ලෝකයේ තෙල් මිල අඩු වෙද්දී තෙල් මිල වැඩි කිරීමට සිදුව තිබීමෙන්ම අර්බුදයේ තරම පැහැදිලිවේ.
මේ සටහන ලියන මැයි 31 ඉරිදා ලෝක වෙළඳපොලේ තෙල් මිල බැරලයක් ඇමරිකාණු ඩොලර් 87 සහ 91 සීමාවේ පැවතුණි.
ඒ අනුව බ්‍රෙන්ට් (Brent) වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 91.12ක් වූ අතර WTI බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 87.36ක් ලෙස සටහන් විය.
පසුගිය දින කිහිපය පුරාම ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්වල කැපී පෙනෙන පහළ යාමක් නිරීක්ෂණය වූ අතර මාස කිහිපයක් ඩොලර් 110 සීමාවේ තිබූ තෙල් මිල සතිපතා 8% කින් වේගයෙන් පහළ බසින අයුරු නිරීක්ෂණය විය.
ලෝකයේ තෙල් මිල පහළ බසිද්දී අපේ රටේ තෙල් මිල ඉහළ දමන්නේ ඇයි ?
| ලෝකයේ තෙල් මිල පහළ බසිද්දී අපේ රටේ තෙල් මිල ඉහළ දමන්නේ ඇයි ?
ලෝක වෙළඳපොලේ තෙල්මිල අඩුවෙද්දී ශ්‍රී ලංකාවේ තෙල් මිල සෑම මසකම මිල සංශෝධනයේදී වැඩිවූ අයුරු දැකගත හැකිය.
අද මැයි 31 සිදුකළ මිල සංශෝදනයට අනුව ඔක්ටේන් 92 පැට්රල් ලීටරයක් රුපියල් 24 කින් මිල ඉහළ දැමූ රජය එය රු 434/= දක්වා වැඩි කර තිබේ. ඊට සාපේක්ෂව රුපියල් 25කින් මිල ඉහළ දැමූ ඔක්ටේන් 95 පැට්රල් ලීටරයක නව මිල රුපියල් 495ක්ය.
ඩීසල් මිලද සුදු රු 15 කින් සහ සුපිරි රු 20 ඉහළ දැමූ රජය ඒවා පිළිවෙලින් රු 407/= සහ රු 478/= රඳවා තිබේ.
අහිංසක වතුකරයේ ජනතාව සහ ග්‍රාමීය පැල් රකින, ගොවි ජනතාව රැය පහන් කරන භූමිතෙල් මිලද මෙවරත් රු 20 කින් ඉහළ දැමූ මාලිමා ආණ්ඩුව භූමිතෙල් ලීටරයක විකිණුම් මිල රු 285 දක්වා වැඩි කර තිබෙන්නේ දින 30ක් තුළ අඛණ්ඩව අවස්ථා 3 කදී තෙල්මිල වැඩිකළ රජය ලෙස ඉතිහාසගත වෙමින්ය.
මේ තෙල් මිල වැඩි කිරීම ගැන සජිත් පූර්ව අනාවැකි ඵල කළේ දැනට සති දෙකකට පෙර සිටය.
තක්කෙට හරි යන සජිත්ගේ අනාවැකි
| තක්කෙට හරි යන සජිත්ගේ අනාවැකි
පසුගිය දවසක සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ පැවැති සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ හමුවකදී සජිත් මේ ගැන පැහැදිලි කළේ මෙලෙසය.
“ තෙල් සහ කිරිපිටි මිල වැඩි වන්නේ රටේ ඇති ආර්ථික අවදානම නිසා තමයි. ඒ නිසා මේ ගැන අපි රටේ ජනතාව දැනුවත් කළ යුතුයි. ලෝකයේ සම්මතය තමයි රටක විදේශ සංචිත අඩුම වශයෙන් ඒ රටේ අවම ආනයනවල වටිනාකමට මාස 3ක් ප්‍රමාණවත් විය යුතුයි කියන එක. ජනාධිපතිවරයා කියනවා අපේ රටේ ඩොලර් බිලියන 7ක් තියෙනවා කියලා. අපේ ආනයන වලට මසකට දළ වශයෙන් ඇ. ඩො. බි. 2ක් වැය වෙනවා. ඒ කියන්නේ මාස තුනට බිලියන 6ක්. ජනාධිපති කියන මේ ඇමරිකන් ඩොලර් බිලියන 7 ඇතුළේ චීන යුවාන් බි.1.2ක් තියෙනවා. නමුත් ඒක භාවිත කරන්න බෑ. එතකොට අපිට ඇත්තටම භාවිත කරන්න පුළුවන් ඩොලර් ප්‍රමාණය බි. 5.8ක්. ඉතිං අපේ ආනයනවලට දැන් තියෙන ඩොලර් ප්‍රමාණයත් මදි, ඉදිරියේදී තෙල් මිල ඉහළ යාවි, අපි නොහිතන අගයන්වලින්. 2022 දී 92 පෙට්‍රල් මිල රු. 470ක්, දැන් 410ක් ඉදිරියේදී ඒක වැඩිවීමේ සම්භාව්තාව මත රටේ ආර්ථිකයට සිද්ධ වෙන බලපෑමත් තීරණය වේවි.”
විපක්ෂ නායක සජිත් කියපු අනාවැකි කිසිදිනක වෙනස් නොවූ පසුබිමක තෙල්මිල, විදුලි බිල, ගෑස් මිල, ඇතුළු බලශක්ති ප්‍රභවයන්ගේ මිල ඉහළයාම සාමාජීය වශයෙන් සිදුකරන බලපෑම දෙස අපට බලා සිටීමට විනා වෙනත් සිදු කළ හැක්කක් දැන් නොමැති තරම්ය.
සමගියේ ගුරු සංගමය යළි නව ජවයකින්
| සමගියේ ගුරු සංගමය යළි නව ජවයකින්
සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති යළි ශක්තිමත් කිරීමේ වැඩසටහන යටතේ සමගි අධ්‍යාපන සේවක සංගමයේ සභාපතිවරයා ලෙස පත් කෙරුණු හේෂා විතානගේ මන්ත්‍රීවරයාගේ මුලිකත්වයෙන් දිස්ත්‍රික් සහ කලාප නියෝජිත හමුවක් පසුගිය සතියේ පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණි.
විපක්ෂ නායක සජිත් එහිදී අවධාරණය කළේ, රට නැවත වරක් බංකොලොත් වීමේ අවදානමක් මතුව ඇති නිසා රජයට අනුප්‍රාප්තික IMF ගිවිසුමක් වෙත යන්නට සිදු වන බවය.
“වෘත්තීය සමිති විදිහට දැන් ඔබට ලොකු කාර්යභාරයක් පැවරෙනවා. මේ ආණ්ඩුවට මේ විදිහට තවදුරටත් යන්න බෑ. අධ්‍යාපන සේවයේ සියළුම ස්ථරවල ඉන්න සේවකයින්ව මේ ආණ්ඩුව රැවැට්ටුවා, අනුර වෙනුවෙන් වැඩියෙන්ම කැන්වසින් ගියේ ගුරුවරු, ඒත් ඒ අයව තනි කරන්න එපා. ඒ අයට වරදින්න ඇති, ඒ අයවත් අපි දිනා ගන්න ඕන. ඇත්ත කියන්න, කරන්න පුළුවන් දේ කියන්න.”
මෙහෙම කියපු සජිත් මහබැංකු වාර්තාව ගැනත් අපූරු කතාවක් කීවේය.
මහබැංකු වාර්තාව හරියට Blood report එකක් වගේ
| මහබැංකු වාර්තාව හරියට Blood report එකක් වගේ
“ මහබැංකු වාර්තාව ඇයි අපිට වැදගත් වෙන්නේ, ඒකත් හරියට අපේ Blood report එකක් වගේ, ඒක බලලා අපේ ඇඟේ තියෙන ලෙඩ, අඩුපාඩු හොයා ගන්නවා වගේ මහබැංකු වාර්තාව බලලා අපි රටේ ආර්ථිකයේ අඩුපාඩු, වෙනස් කරන්න ඕන තැන්, ප්‍රතිකාර කරන්න ඕන නැත් හොයා ගන්න පුළුවන්. අපේ රටේ අපනයන ආදායම වැඩි කරන්නේ නැතුව මේ රට ඉස්සරහට අරන් යන්න බෑ. 2025 අපේ මහබැංකු වාර්තාව ගත්තම GDP එකේ ප්‍රතිශතයක් විදිහට අපේ අපනයනවල වටිනාකම 19% ඒක ගොඩක්ම අඩු අගයක්. අපි රටක් විදිහට පුරුදු වෙච්ච වරදක් තමයි රටේ ප්‍රශ්ණවලට විසඳුම් හොයන්නේ රට ඇතුල ගැන බලලා විතරයි. ඒක අපේ පාලනයකදී වෙනස් කළ යුතුමයි. දැන් සිංගප්පුරුව ගත්තොත් එයාලගේ අපනයනවල වටිනාකම GDP එකෙන් 178% ක්. වියට්නාම් ගත්තොත් ඒක 90.2%ක් හංගේරියාව ගත්තොත් ඒක 75.8% ඒ දියුණු ආර්ථික තියෙන රටවල්, අපි අඩුම ගණනේ 40% කටවත් මේක ගේන්නම ඕන නැත්නම් රටක් විදිහට අපිට ගොඩයන්න අමාරුයි”
රැස්වීම අවසන්වී සජිත්ව වටකර ගත් ගුරුසංගම් නියෝජිතයින් කියා සිටියේ…
“ සර්, දැන් අපේ ඉස්කෝලවල ගුරුවරුන්ට ගොඩක් තේරිලා තියෙන්නේ කරගත්ත වරදේ තරම, සර් අද කියපු කථාව හරිම වැදගත්, අපි ඔන්න ඔය දේවල් ජනගත කරමු. සර් මිනිස්සු හොයන්නේ වෙනසක්, ඒ වෙනසෙදී පැහැදිලි වැඩපිළිවෙල කවුරු ළඟට තියෙන්නේ කියන එකයි මිනිස්සු බලන්නේ”
අවුරුදු 6 කට පසු සත්‍ය වූ පෑඩ් මෑන්ගේ කථාව
| අවුරුදු 6 කට පසු සත්‍ය වූ පෑඩ් මෑන්ගේ කථාව
අපේ රටේ ජනගහනයෙන් 52%ක් කාන්තාවන් බවත් රට තුළ ආර්ථව දරිද්‍රතාව ගැන කථා කිරීමේදී සමාජය ඊට මැළිකමක් දක්වන බවත්, එය සංස්කෘතික වශයෙන් නොගැලපෙන බවට මත පැවතියත් රට දියුණු සමාජ පරිවර්ථනකයට යාමේදී එම සීමා බිඳ දමමින් කාන්තාවගේ අයිතිවාසිකම් ගැන මීට වඩා කතාබහ කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කළේ, මැයි 28 වෙනිදාට යෙදී ඇති ආර්ථව දරිද්‍රතා දිනයට සමගාමීව පැවැත්වූ සාකච්ඡාවකදීය.
“ වෛද්‍ය විද්‍යාව අනුව ඔසප් කළමනාකරණය නිවැරදිව සිදු නොකිරීම නිසා සෞඛ්‍ය ගැටලු රැසක් මතු වෙනවා. සංඛ්‍යාවත්මව ගත්තොත් වැඩිවිය පැමිණි කාන්තාවන් ලක්ෂ 42න් 70%කට ඒ කියන්නේ ලක්ෂ 30ක් නිවැරදි ක්‍රම භාවිත කරන්නේ නෑ. අවිධිමත් ක්‍රම තමයි භාවිත කරන්නේ. ඒක බරපතල සෞඛ්‍ය ගැටලු මතුවෙන්න හේතුවක් මේක දැරියන්ගේ පාසල් යාම අඩුවීමට පවා බලපානවා”
සජිත් මේ විදිහට කියාගෙන්, කියාගෙන ගියේ තමන් මේ වෙනුවෙන් 2019 ජනාධිපතිවරණයේ පෙනී සිටිමින් කාපු පරිප්පුවද සිහිපත් කරමින්ය.
“ මට පෑඩ් මෑන් කියලා බැන්නත් මම එදා පෙනී හිටියෙත්, අද පෙනී ඉන්නෙත් නිවැරදි දේ වෙනුවෙන්මයි. මේක බොහෝ අය විහිළුවට ගත්තට දැරියන්ගෙන් 50%-60%ක් අතර ප්‍රමාණයක් මේ ඔසප් දිනවල පාසැල් එන්නේ නෑ. ශ්‍රම බලකායේ කාන්තාවන් පවා වැඩකරන එක සීමා කරනවා. මේ ඔසප් සනීපාරක්ෂක මෙවලම්වලට ගහලා තියෙන අධික බදු අඩු කරන්න අවශ්‍යයයි. ගෙදරක මේ වෙනුවෙන් වියදම් කරන මුදල ඉතිරි කරන්නේ වෙනත් අවශ්‍යතා වෙනුවෙන්. ඒ වගේම තමයි මේවා සෞඛ්‍යාරක්ෂිතව බැහැර කරන සහ මේවා පරිසරයට මුදා නොහැර විනාශ කරන ක්‍රමයක් අපි ඇති කළ යුතුමයි. ඒවා තමයි දියුණු සමාජවල සිද්ධ කරන්න ඕන.”
මේ කතා බහ අතරේ එතන හිටපු තරුණියක් සජිත්ගෙන් විමසා සිටියේ රටේ ශ්‍රම බලකායට කාන්තා දායකත්වය ගැන අදහසක් තිබේද යන්නය.
කාන්තා ශ්‍රම බලකාය කාල බෝම්බයක්
| කාන්තා ශ්‍රම බලකාය කාල බෝම්බයක්
“ මේකයි දුව, කාන්තාව ශ්‍රම බලකායට සම්බන්ධ කර ගන්න මේ රටේ තාමත් පැහැදිලි වැඩපිළිවෙලක් නෑ. ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව 2024 දුන්න වාර්තාවට අනුව අපේ රටේ මිලියන 8.1ක ශ්‍රමබලකායක් ඉන්නවා. ඒත් ඒකෙන් ලක්ෂ 55ක් පිරිමි වෙද්දී, කාන්තාවෝ ඉන්නේ ලක්ෂ 27යි. ඒත් වැඩකරන්න පුළුවන් කාන්තාවන් ප්‍රමාණය මිලියන 93ක්, එකෙන් ලක්ෂ 27 කියන්නේ 29.8% ක් විතර. ඒත් පිරිමි 67.4% විතර සක්‍රීයව ආර්ථිකයට දායකත්වයක් දෙනවා. අපේ ප්‍රශ්ණය තියෙන්නේ අපි විසඳුම් හොයන්නේ ලංකාවේ ඇතුළ බලලා, ඒක තමයි අපි වෙනස් කරගන්න ඕන, දැන් ඔයාලා දන්නවද? වියට්නාමයේ කාන්තා ශ්‍රම දායකත්වය 69%යි, සිංගප්පුරුවේ 64%යි, තායිලන්තයේ 59%යි අපේ 29%යි. අපි අඩුම ගණනේ ඉදිරි අවුරුදු 10 - 15 ඇතුළේ මේක 40%ත් 50% අතර ගණනකට ගේන්න අවශ්‍යයි. නැත්නම් රටක් විදිහට අපිට ඉස්සරහට යන්න බෑ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වඩාත් සාර්ථක කර ගන්න අධ්‍යාපනයේ ඇති බෙදීම් නැති කරන්න
| අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වඩාත් සාර්ථක කර ගන්න අධ්‍යාපනයේ ඇති බෙදීම් නැති කරන්න2026 වසරේ 1 වසර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් අධ්‍යාපනයේ පරිවර්තනයක් සිදු කර ක්‍රියාකාරකම් පාදක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව රජය පැවසුවත්, එම ඉලක්ක සපුරාලන බවට තහවුරු කෙරෙන නිර්නායක කවරේදැයි තමන් ප්‍රශ්ණ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
“ අලුත් ප්‍රතිසංස්කරණ හරහා කටපාඩම් සහ සාම්ප්‍රදායික ලේඛන ක්‍රමයෙන් බැහැරව interactive learning සහ play base learning වෙත යොමුවීම ප්‍රශංසනීයයි. නමුත් ඒවා ක්‍රියාවට නංවන්න ගුරුවරුන්ට ලබාදීලා තියෙන පුහුණුවේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැටලු රැසක් තියෙන බව ආරංචීයී. ඒ නිසා සාම්ප්‍රදායික ඉගැන්වීමේ ක්‍රමවලින් බැහැරවෙලා නව ඉගැන්වීම ක්‍රමවේද වෙත යොමුවීමේදී අරගෙන තියෙන පියවර අපි දැනගන්නත් කැමතීයී.”
විපක්ෂ නායකවරයා මෙහෙම කියලා තිබුණේ, පාර්ලිමේන්තුවේ හේෂා විතාන මන්ත්‍රීවරයාගේ සභාපතීත්වයෙන් යුක්ත අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට සහභාගී වෙමින්.
එතනදී සජිත් මතු කරපු තව වැදගත් දෙයක් වුණේ, අධ්‍යාපනයේ ඇති බෙදීම නැති කරන්න අධ්‍යාපන අමාත්‍යාංශය පැත්තෙන් අරගෙන තියෙන පියවර මොනවද කියන කාරණය.
“ බොහෝ කාලය ඉඳන් අධ්‍යාපනයේ බෙදීමක් තියෙනවා. මේක නැති කරන්න කියලා විවිධ ව්‍යපෘති ගෙනවා ඒත් තවමත් ඒක අවසන් වෙලා නෑ. ලංකාවේ පැසැල් 10094 ගත්තම මානව සහ භෞතික සම්පත් ඌනතා ඕනෑ තරම් තියෙනවා. ඒවා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න බාධාවක්. අපි කඩිනමින්ම පාසල් සියල්ලගේම සමානාත්මතාවය තහවුරු කළ යුතුයි. නැත්නම් මේ බෙදීම සමාජ බෙදීමක් දක්වා යන එක නතර කරන්න බෑ.
පුංචි අක්කලගේ දස්කම් ගෙදරදී බලපු පුංචි දියත්නා
| පුංචි අක්කලගේ දස්කම් ගෙදරදී බලපු පුංචි දියත්නාදරුවන්ගේ අධ්‍යාපනය ගැනත්, පෝෂණය සහ සෞඛ්‍ය ගැනත් නිරන්තරයෙන් කථා කරන සජිත් පහුගිය සති අන්තයේ කුලියාපිටියේ තිබුණු දරුවන්ගේ වැඩසටහනකට සහභාගී වුනා.
ලබන වසරේ පළමු ශ්‍රේණියට ඇතුල්වෙන්න ඉන්න පුංචි දරුවෝ වෙනුවෙන් පාසැල් උපකරණ බෙදා දෙන්න සංවිධානය කරපු මේ උත්සවයට සජිත්ටත් ආරාධනා කරලා තිබුණා.
එතන හිටපු දෙමාපියන්ට විශේෂයෙන් අම්මලට සජිත් ලොකු අවවාදයක් දීලා තිබුනා.
“ මටත් පුංචි දුවෙක් ඉන්නවා, ඉතිං මටත් තේරෙනවා තාත්තා කෙනෙක් විදිහට ඒකේ වගකීම. අද වෙද්දී ආර්ථික, සමාජීය ගැටලු ගොඩක් ඔයාලා ඉදිරියේ තියෙනවා තමයි, පවුල ඇතුළේ අවශ්‍යතා සපුරා ගන්නවා කියන්නේ වෙනම යුද්ධයක්, ඒත් දෙමාපියන් හැම තිස්සෙම දූදරුවන්ට මුල්තැන දෙන්න ඕන. මේ පුංචි දරුවන්ට නිසි පෝෂණය, සෞඛ්‍ය සම්පන්න භාවය, අධ්‍යාපනය, සමාජ ආරක්ෂාව හොඳින්ම ඕන කාලයක්. මම ඉල්ලන්නේ දෙමාපියන් විදිහට ඔයාලා ඒකට වැඩි අවධානයක් ඒකට යොමු කරන්න.
මේ උත්සවයෙදී පුංචි දරුවෝ ඉදිරිපත් කරපු නැටුම්වලට හිත ගියපු සජිත් එයාගෙම දුරකථනයෙන් වීඩියෝ කෝල් එකක් අරගෙන ඒවා ගෙදර හිටපු සජිත්ගේ පුංචි දුවට පෙන්නුවේ හරිම සතුටින්.
ඒක දැකපු ගොඩක් දෙනෙක් වැඩසටහන නිමාවෙච්ච වෙලාවේ සජිත් ළඟට ඇවිත් තමන්ගේ දරුවන්ගේ දක්ෂතා ගෙදර හිටපු පුංචි දුවටත් පෙන්නපු එක ගැන සජිත්ට ස්තුති කරලා තිබුණා.
(මම | බංගලා හංදියේ ලියුම්කරු)




