මන්ත්‍රී කණ්ඩායම පැමිණෙන විටත් රනිල් හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න සමඟ ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි මෙහෙයුම් කටයුතු සම්බන්ධව සාකච්ඡාවක යෙදී සිටියේය.
රනිල් හමුවට ආ මන්ත්‍රීවරුන්ගේ මූලික කතාබහ වූයේ බුදු දහමට එල්ල වෙමින් පවතින අවැඩ දායක තත්ත්වයන් ගැනය. රනිල් වැනි ප්‍රායෝගික බෞද්ධ නායකයෙක් සමඟ ඒ සම්බන්ධයෙන් කරුණු ගැඹුරින් කතා කිරීම ඔවුන්ගේ ඒකායන අරමුණ විය.
ධර්මාධිකරණයක් පිහිටුවීමට ආණ්ඩුවකට කිසිම බලයක් නැතැයි ඒ වන විටත් එක්සත් ජාතික පක්ෂය තම ස්ථාවරය පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කර තිබිණි.



ආණ්ඩුවට විරුද්ධව බෞද්ධ බලවේගයක්...
" වෙසක් කියලා ආණ්ඩුවෙන් දවසක් ප්‍රකාශයට පත් කළත් වෙනදා තරම් වෙසක් සිරියක් ඇත්තෙන්ම අපි දැක්කේ නෑ" වජිර කතාවට මුල පිරුවේ ඇත්තෙන්ම වෙනදා වෙසක් සිරියෙන් ඇලලී තිබූ කොළඹ වීදි පාළුවෙන් වෙලී තිබෙන ආකාරය සියැසින්ම දුටු නිසාය.

" සිංහල අවුරුද්දකුත් තිබුනෙ නෑ නේද? ඒ වගේම තමයි වෙසක්. පොසොන් එකට මොනවා වෙයිද කියලා දන්නේ නෑ" රනිල් පැවසූයේ සංවේගයෙනි.
" සර් ආණ්ඩුවට විරුද්ධව බෞද්ධ බලවේගයක් බිම් මට්ටමෙන් නිරායාසයෙන්ම පැන නගිමින් තියෙන්නේ. ආණ්ඩුව සිංහල බෞද්ධ නායකයන් දඩයම් කිරීම ගැන සමාජයේ පැහැදීමක් නෑ. මේ රටේ බෞද්ධ පුනරුදය වෙනුවෙන් ලොකු මෙහෙවරක් කළ ඔබතුමා වගේම මහින්ද , මෛත්‍රී වගේ නායකයන්ගෙන් පළිගන්න ආණ්ඩුව බලාගෙන ඉන්නේ. ඒ වැඩේ වෙන්නේ ආගමට පහර ගැහීමේ ගමනේම තවත් දිගුවක් විදියට. උසස් තනතුරුවල ඉන්න ප්‍රධාන බෞද්ධ අයත් දැන් පැත්තකට දමමින් ඉන්නවා" සුගීශ්වර පැවසීය.
පරිපාලන ක්ෂේත්‍රයේ වගේම අධිකරණ ක්ෂේත්‍රයේ ආරක්ෂක අංශයේ බෞද්ධ ලැදි ප්‍රවීණයෝ ඉවත් කරන්න මේ අයගේ සූදානමක් තියෙනවා. ඒ දේ යටින් කෙරෙමින් තියෙනවා මාන්නප්පෙරුම තවත් චෝදනාවක් එල්ල කළේය.
ඔව්, ඒ පුරප්පාඩු වලට බෞද්ධ නොවන අය රිංගන්න බලනවා කියලත් ආරංචියි. සෙසු ආගම් වල අය මේ හැප්පීමට කැමති නෑ. ඒ නිසා ආණ්ඩුවේ වැඩ පිළිවෙලට ඔවුන්ගේ සහයක් දෙන එකක් නෑ. තලතා කීවේ කලින් කතා බහට ලක් වූ කරුණු අනුමත කරමිනි.
චෝදනා පත්‍රයක්වත් ඉදිරිපත් නොකර පල්ලේගම හිමියන් තනතුරු වලින් ඉවත් කිරීම...
පල්ලේගම හිමියන් සම්බන්ධ කාරණාවද නොයෙක් විවාදාත්මක තත්ත්වයන්ට පැමිණ ඇති බව ආරංචි යැයි මෙහිදී කියැවිණි.
ධර්මාධිකරණයක් පිහිටුවීම සම්බන්ධයෙන් කතාබහට ලක් කෙරුණේ මහා නායක හිමිවරුන්ගේ ඉල්ලීම අනුව බවට පැවසුවද කාරක සංඝ සභාවල හිමිවරුන් පවසන්නේ ඒ කාරණය කතාවට ලක් කළේ වත් නැති බවයි.
විනය ප්‍රශ්න ගැන කිසිම කතාවක් නොකළ බව ඒ හිමිවරුන් පවසා ඇති බවද ආරංචිය. " ආණ්ඩුවේ සංකල්ප පත්‍රිකාවක් අපට පිළිගන්න කියනවා" යනුවෙන් සංඝ සභාවල නාහිමිවරුන් පවසා ඇති බවද දැනගන්නට තිබේ.
" අඩු ගානේ මේ උදවිය වඳින ඉරියව්ව වත් දන්නෙ නෑනේ"
චෝදනා පත්‍රයක්වත් ඉදිරිපත් නොකර පල්ලේගම හිමියන් තනතුරු වලින් ඉවත් කිරීම සිදුකර ඇති බව ද මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී සාකච්ඡාවට බඳුන් විය.

" සුද්දන්ගේ කාලෙත් නීති සකස් කළා. ඒත් සුද්දෝ ඒ නීති සකස් කලේ බුද්ධාගම ගැන දැනගෙන. දැන් වර්තමානයේ ඉන්න උදවිය මේවා කරන්න හදන්නේ බුද්ධාගම ගැන මෙලෝ හතරක් නොදැන" රනිල් පැවසූයේ නළල රැලි ගන්වමිනි.
" අඩු ගානේ මේ උදවිය වඳින ඉරියව්ව වත් දන්නෙ නෑනේ" සුගීෂ්වර පැවසූයේ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති කෙනෙක් පන්සලක උත්සවයකට ගිහින් මෑතකදී කළ රංගනයක් සිහිපත් කරමිනි.
" ධර්මය ගැන කිසිම ප්‍රශ්නයක් නැහැනේ. එහෙම තත්ත්වයක් යටතේ ධර්මාධිකරණයක් ඇති කරන්නේ කොහොමද? ඒ වගේම ධර්මාධිකරණයක් ඇති කළොත් එය ශ්‍රේෂ්ඨාධිකරණය කොහොම පිළිගනීද?ව්‍යවස්ථාවේ ඉඩ තියෙන්නේ සංඝාධිකරණයකට විතරයි.ධර්මාධිකරණයක් ඇති කළොත් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊට එරෙහිව ක්‍රියා කරන්න පුළුවන්.ඒ වගේම මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද කියලා බලන්න ශ්‍රේෂ්ඨාධිකරණයට යවන්න සිද්ධ වෙනවා.එහිදී අනිවාර්යයෙන් තීරණය වෙනවා ධර්මාධිකරණයකට බලය නැති බව.ව්‍යවස්ථාවෙන් බලය තියෙන්නේ සංඝාධිකරණයක් පිහිටුවීමට පමණයි.විජේදාස රාජපක්ෂ කෙටුම්පතක් සැකසූයේත් සංඝාධිකරණයක් සඳහායි. රනිල් නීතිය සහ පවතින තත්ත්වය ඇසුරින් විස්තරයක් කළේය.
සජිත් කටේ මැහුම් දමා ගෙන ....

ආණ්ඩුව මෙහෙම දෙයක් කරන්නට පෙළඹී ඇත්තේ මන්දැයි මාන්නප්පෙරුම ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රනිල් කීවේ ආගමික වැඩ පාලනයක් කිරීම මෙහි අරමුණ වී ඇති බවයි.
" හාමුදුරුවෝ මරපු අයට පියවර ගන්නේ නැතුව මේවා කරන්නේ මොකටද? දොළවත්ත විමසීය.
ආගමට මෙතරම් පහරක් එල්ල වෙමින් තිබියදී සජිත් කටේ මැහුම් දමා ගෙන සිටීම ගැන මන්ත්‍රීවරුන්ටද තිබුනේ පුදුමයකි. රනිල් සමග කතාබහ කරන සජබ මන්ත්‍රීවරුන් ද ඒ සම්බන්ධයෙන් හොර රහසේ අප්‍රසාදය පළ කර තිබිණි.
"ඒ වගේම ධර්මාධිකරණයක් ඇති කරන්න සංකල්ප පත්‍රිකාවක් හදපු නිලධාරීන් කවුද කියලා හොයන්න ඕන. මොනවා පාලනය කළත් ධර්මය පාලනය කරන්නේ කොහොමද?ධර්මය ගැන කියවා අතැඹුලක් සේ දැන සිටි රනිල් කීවේ සංවේගයකිනි.
ඒ අස්සේ පළාත් පාලන ආයතන පරිපාලනය බිංදුවටම ඇද වැටෙමින් තිබේ. කොළඹ නගරයේ කුණු කසල එකතු කිරීම පවා අඩාල වී පවතී. මේ නිසා කොළඹ මහල් නිවාස වල ජීවත්ව සිටින ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව ඇත.
එපමණක් නොව වෙසක් දවසේ නිදහස් චතුරස්‍රයේ එකතු වූ කුණු පවා ඉවත් කර නැත. අද මෙහෙම හැසිරෙන්නේ එදා චන්දෙට පෙර රැස්වීමක් පවත්වා අවසන් වූ පසු කොළ කෑල්ල පවා අහුලාගෙන ගෙදර ගෙන ගිය උදවියයි.
" මේවට අලුත් අය විතරක් දාලා හරියන්නෙ නෑ. දන්න මිනිස්සු දාලා ගෙනියන්න ඕන" රනිල් එහිදී සඳහන් කළේය.
පළාත් සභා මැතිවරණය වෙනුවෙන් දැනටමත් ජනප්‍රිය චරිත රනිල් හමුවෙමින්...

පළාත් සභා මැතිවරණය වෙනුවෙන් දැනටමත් ජනප්‍රිය චරිත රනිල් හමුවෙමින් සිටින බව ආරංචිය. ජනප්‍රිය හිටපු යුද සෙන්පතියෙක්ද බෞද්ධ බලවේගයක් සහිත ටියුෂන් ගුරුවරයෙක්ද රනිල් හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
සජිත්ට දැන් තිබෙන එකම විකල්පය ඒකාබද්ධ විපක්ෂය සමග එකතුවීමයි. නාමල්ද වඩා කැමැත්තෙන් සිටිනුයේ ඒකාබද්ධ විපක්ෂය සමඟ වැඩ කිරීමටයි.
" මේ අය දැන් අයි.එම්.එෆ් එකට අන්තිමට යට වෙලා. සර්, අයි.එම්.එෆ් එකට යට වෙලා කියලා තමයි කලින් චෝදනා කළේ. එදා ඔවුන් නඟපු චෝදනාව සත්‍යයක් නෙමෙයි කියල දැන් පොඩි ලමයෙකුට වුනත් තේරෙනවා ඇති. සර් කළේ අයි.එම්.එෆ් එක ලවා රටට ඕන දේවල් කරගන්න එක. සර් අයි.එම් එෆ් එකෙන් ප්‍රයෝජනය ගත්තා.ඒක යට වීමක් නෙමෙයි. මෙන්න මේවට තමයි යටවෙනවා කියන්නේ" වජිර පැවසූයේ පොදු සමාජයේ නිරන්තරයෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් උපුටා දක්වමිනි.
" මම භාණ්ඩාගාරය සහ මහ බැංකුව එක්ක කටයුතු කළේ ස්ථාවරය ඇති කරන්න. ඒක කලේ දළ දේශීය නිෂ්පාදිතය වැඩි කරමින්. දැන් ඒ වැඩ කටයුතු කරන දක්ෂයො ඔක්කොම ඉවත් වෙලා ගිහින් රනිල් කීය.
ඒකාබද්ධ විපක්ෂය ජී.එල් සමග රටවටේ යයි

ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල් පීරිස්ගේ නායකත්වයෙන් යුතු ඒකාබද්ධ විපක්ෂය මේ වන විට විශාල වශයෙන් ක්‍රියාකාරකම් පටන්ගෙන තිබේ. ඔවුන් පළමුවෙන්ම ආණ්ඩුවේ දූෂණ ගැන ජනතාව දැනුවත් කිරීම සඳහා සම්මන්ත්‍රණ මාලාවක් පටන් ගත්තේය. එහි පළමු වැන්න කොස්ගම දීද දෙවැන්න මාතර දීද තුන්වැන්න ජා ඇළ දීද පැවැත්වූ අතර හතර වැනි රැස්වීම මහනුවරදී ලබන 14 වැනිදා පැවැත්වීමට සියලු කටයුතු සංවිධාන වී තිබේ.
එමෙන්ම එම සම්මන්ත්‍රණ කළුතර, ගාල්ල ඇතුළු තම ප්‍රදේශවල පවත්වන ලෙස සංවිධායකයන්ගෙන් ඉල්ලීම් ලැබෙමින් පවතී. මේ වෑයම සඳහා එකතු වන පක්ෂ සංඛ්‍යාව දිනෙන් දින වැඩිවෙමින් ඇත.
ආර්ථික අර්බුදය ගැන ජනතාව දැනුවත් කරන සම්මන්ත්‍රණයක්( inform public opinion)අමාරි හෝටලයේදී සඳුදා පැවැත්වීමට නියමිතව ඇත. ඒ ආර්ථික විශේෂඥයන්ගේ ප්‍රමුඛත්වයෙනි.
මහා සංඝරත්නය දැනුවත් කෙරෙන වැඩපිළිවෙළක් ...
ඊට අමතරව මහා සංඝරත්නය දැනුවත් කෙරෙන වැඩපිළිවෙළක් ද ආරම්භ කර තිබේ.එහි පළමු පියවර ලෙස ඒකාබද්ධ විපක්ෂ නායකයන් තිනියාවල පාලිත නා හිමි බැහැ දුටු අතර පැපිලියානේ ප්‍රසිද්ධ විහාරස්ථානයකටත් ගියේය. මහනුවරදී මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැකීමටත් නියමිතය.
මේ වැඩ පිළිවෙල ගැන අදහස් දක්වමින් මහාචාර්ය ජී.එල් පීරිස් පැවසූයේ කරුණු දැනගත් සමාජයක් බිහි කිරීම තම වැඩ පිළිවෙලේ මූලික අරමුණක් බවයි.
"මැද පෙරදිග යුද්ධය පොදුවේ කාටත් තියෙන කාරණයක්.හැබැයි වෙනත් රටවල පාලකයන් ජනතාවට ඇත්ත කියනවා.ඒ වගේම හානිය අවම කරගන්න ඔක්කොම එකතුවෙලා සාමූහික විසඳුම් හොයනවා.මේ රටවල් වැඩිපුර කාලය යොදවන්නේ ජනතාව එක්ක අවංක සංවාදයකට. ලංකාවේ තත්ත්වය ඊට හාත්පසින් වෙනස් . ඔවුන් ජනතාවට බොරු කියනවා. උදාහරණයක් විදිහට භාණ්ඩාගාරයේ නැති වෙච්ච සල්ලි ආපහු ලබාගන්නා බව ආණ්ඩුව කියනවා. නමුත් ඔවුන් හොඳටම දන්නවා මේ මුදල් නැවත නොලැබෙන බව.
ඒ වගේම අපි අයි.එම්.එෆ් එක හම්බවෙන්න ලියුමක් ලියා අවස්ථාවක් ඉල්ලනවා. ඔවුන් අපිට මුදල් දෙන්නේ පරිත්‍යාගයක් ලෙස නොවූ ණයක් හැටියටයි. මේවා වාණිජ ණය. පොලිය සියයට අට දක්වා විතර ගමන් කරනවා.
මේ ණය නැවත ගෙවන්න ඕන අපේ රටේ ජනතාව. මේ මුදල් නිසි අරමුණකට යොදවනවාද කියා වග බලාගන්න මූල්‍ය අරමුදලට වගකීමක් තිබෙනවා. එහෙම නැත්නම් මේ මුදල් හොරකම් කරලා මගඩි වැඩ කරලා අවසානයේ ජනතාවට ගෙවීම් කරන්න වෙනවා යැයි ජී.එල් අදහස් දැක්වීය.
රනිල් හමුවට විශේෂ අමුත්තෙක්

ඉකුත් සතියේදී රනිල් හමුවට අමුත්තෙක් ආවේය.ඒ උමන්දාව නිර්මාතෘ සිරි සමන්ත භද්‍ර හිමියෝය. උන්වහන්සේ වැඩම කළේ හිස් අතින් නොවේ. උමන්දාවේ හදන නිෂ්පාදන කදමලු බැඳගෙනය.
රනින් බලන්නට පැමිණි සමන්ත භද්‍ර හිමි සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් "අඩුවැඩි වශයෙන් සියලුම පක්ෂ සහ නායකයන්ගේ අදූරදර්ශී මුග්ධ ප්‍රතිපත්ති සහ දූෂිත ක්‍රියාවන් නිසාවෙන් රට අරාජික වූ මොහොතේ, දේශපාලනිකව සහ ආර්ථිකව සමතුලිත කරමින් නැවත ශ්‍රී ලංකාව ගොඩනැගීමට ඉදිරිපත් වූ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් විමසීමට ගියා" යනුවෙන් සටහන් කරයි.
(සටහන | මල් පාරේ ලියුම්කරු)




