ඕනෑම අපරාධ නඩු විභාගයක රන්වන් සූත්‍රය වනුයේ "වරදකරු කරනු ලබන තෙක් සෑම තැනැත්තෙකුම නිර්දෝෂී තැනැත්තෙකු ලෙස පූර්ව නිගමනය කළ යුතුය" යන්නයි.
කෙසේ වෙතත්, මෑතකාලීනව ශ්‍රී ලංකාවේ මහේස්ත්‍රාත් අධිකරණ මට්ටමින් විභාග වන ඇතැම් ආන්දෝලනාත්මක නඩුවලදී, චූදිතයන් නිල වශයෙන් වරදකරු කිරීමටත් පෙර, රජයේ පැමිණිලි පාර්ශවය (නීතිපති දෙපාර්තමේන්තුව) සහ මාධ්‍ය සාමූහිකව ක්‍රියා කරමින් චූදිතයා සමාජය ඉදිරියේ "අතිශය පිළිකුල් සහගත අපරාධකරුවෙකු" ලෙස හංවඩු ගැසීමේ භයානක ප්‍රවණතාවක් වර්ධනය වෙමින් පවතී. සාක්ෂි මගින් තහවුරු නොවූ, තනි පුද්ගලයන්ගේ ප්‍රකාශ මත පමණක් පදනම් වූ මනඃකල්පිත මතයන් විවෘත අධිකරණයේදී ප්‍රකාශ කරමින් , චූදිතයන්ට එරෙහිව අගතිදායක මහජන මතයක් (Prejudicial Public Opinion) නිර්මාණය කිරීම හරහා බිඳවැටෙන්නේ යුක්තියේ පදනමයි.
මහේස්ත්‍රාත් අධිකරණ නඩු විභාගවලදී සිදුවන මෙම අයිතිවාසිකම් උල්ලංඝනය වීම, ඒ සඳහා බලපාන දේශීය හා ජාත්‍යන්තර නීතිමය ප්‍රතිපාදන සහ ඊට එරෙහිව වින්දිත චූදිතයන්ට ගත හැකි නෛතික පියවරයන් කවරේද යන්න පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම කාලීන අවශ්‍යතාවයක් වී ඇත.
පොලිස් ප්‍රකාශ සහ "මනඃකල්පිත" සත්‍යයන්ගේ අර්බුදය

සාක්ෂි ආඥාපනත (Evidence Ordinance) සහ අපරාධ නඩු විධාන සංග්‍රහය (Criminal Procedure Code) පිළිබඳව මැනවින් අවබෝධයක් ඇති ඕනෑම අයෙකු දන්නා මූලික සිද්ධාන්තයක් ඇත. එනම්, අපරාධ විමර්ශන අවස්ථාවකදී අපරාධ නඩු විධාන සංග්‍රහයේ 110 වගන්තිය යටතේ පුද්ගලයන් විසින් පොලිසියට ලබාදෙන ප්‍රකාශ යනු නීතිය ඉදිරියේ කිසිසේත්ම "තහවුරු කරන ලද සාක්ෂි" (Substantive Evidence) නොවන බවයි. ඒවා හුදෙක් විමර්ශන මෙහෙයවීම සඳහා නිලධාරීන් ලබාගන්නා තොරතුරු මාත්‍රයක් පමණි. එම ප්‍රකාශ ලබාදුන් පුද්ගලයන් විවෘත අධිකරණයේ සාක්ෂි කූඩුවට නැග, දිවුරුම් දී, විත්ති පාර්ශ්වයේ දැඩි හරස් ප්‍රශ්න කිරීම්වලට ලක්වී ජයගන්නා තෙක්, ඒවා "තහවුරු කළ සත්‍යයන්" ලෙස සැලකීමට නීතිමය පදනමක් නැත.
නමුත් අවාසනාවකට, වර්තමාන අධිකරණ ශාලා තුළ සිදුවන්නේ අනෙකකි. මෙම තහවුරු නොකළ පොලිස් ප්‍රකාශ, මුළුමනින්ම සත්‍ය තොරතුරු ලෙස සලකා, ඒවාට තමන්ගේ පුද්ගලික මනඃකල්පිත අදහස් හා අලංකාරෝපනයන් ද මුසු කරමින් රජයේ ඇතැම් නීතිඥවරුන් විවෘත අධිකරණයේදී දීර්ඝ දේශන පවත්වති. තමන් උසාවිය තුළ පවසන මෙම ආවේගශීලී සහ ඒකපාර්ශ්වික ප්‍රකාශ, පිටත සිටින මාධ්‍යවේදීන් විසින් එලෙසම උපුටා දක්වමින් ප්‍රධාන සිරස්තල ලෙස සමාජගත කරන බව ඔවුහු මැනවින් දනිති. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ, නඩුව විභාග වීමටත් පෙර චූදිතයා සමාජය ඉදිරියේ මුළුමනින්ම වැරදිකරුවෙකු වී, ඔහුගේ හෝ ඇයගේ ආත්ම ගෞරවය සදාකාලිකවම ඝාතනය වීමයි.
පරම වරප්‍රසාද (Absolute Privilege) සිමෙන්ති පවුරක් නොවේ

නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ නීතිඥවරුන් මෙලෙස විවෘත අධිකරණයේදී සීමාවන් ඉක්මවා යමින් ප්‍රකාශ සිදුකරන්නේ, උසාවිය තුළ කියන දෑ සම්බන්ධයෙන් තමන්ට එරෙහිව අපහාස කිරීම් හෝ සිවිල් නඩු පැවරිය නොහැකි බවට ඇති "අධිකරණ පරම වරප්‍රසාද" (Absolute Privilege) නමැති නෛතික ආවරණය හොඳින්ම දන්නා බැවිනි. නමුත් වරප්‍රසාද යනු නීතිය අවභාවිත කිරීමට දුන් බලපත්‍රයක් නොවේ.
ප්‍රේමචන්ද්‍ර එරෙහිව මොන්ටේගු ජයවික්‍රම
(Premachandra v. Major Montague Jayawickrema [1994] 2 Sri L.R. 90) නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කොට සිටියේ නීතියේ ආධිපත්‍යය පවතින රටක අසීමාන්තික (unfettered) අභිමත බලයක් පැවතිය නොහැකි බවත් රාජ්‍ය නිලධාරියෙකු හෝ නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක් සතු සෑම බලයක්ම පොදු යහපත උදෙසා, සාධාරණව සහ ජනතා විශ්වාසයට (Public Trust) යටත්ව භාවිත කළ යුතු බවයි..
එසේම චන්න පීරිස් සහ තවත් අය එදිරිව නීතිපති සහ තවත් අය
(Channa Peiris and Others v. Attorney-General and Others [1994] 1 Sri L.R. 1 ) නඩුවේ දී ද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කොට සිටියේ රාජ්‍ය බලය සහ අභිමතානුසාරී බලතල නීතියේ ආධිපත්‍යය හා මූලික අයිතිවාසිකම්වලට අනුකූලව භාවිත කළ යුතු බවත් ස්වාභාවික යුක්ති ධර්මයට පටහැනි අත්තනෝමතික ක්‍රියාමාර්ග මගින් පුද්ගල අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට රාජ්‍ය නිලධාරීන්ට අවසර නොමැති බවත්ය.
ඒ අනුව මාධ්‍ය සංදර්ශන මඟින් චූදිතයන්ගේ අයිතිවාසිකම් පාගා දැමීම සඳහා නීතියෙන් කිසිදු අවසරයක් නැති බව පැහැදිලිය.
නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය යනු කුමක්ද?
මෙම මූලධර්මයේ සරල අර්ථය නම්, යම් පුද්ගලයෙකුට එරෙහිව අපරාධ චෝදනාවක් එල්ල වූ පමණින් ඔහු වරදකරුවෙකු නොවන බවයි. ඔහුව වරදකරු කිරීමේ සහ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමේ සම්පූර්ණ බර පවතින්නේ පැමිණිලි පාර්ශවය මතය.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන
ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ III වැනි පරිච්ඡේදයේ දැක්වෙන මූලික අයිතිවාසිකම් යටතේ 13(5) ව්‍යවස්ථාව මගින් මෙම අයිතිය නිරපේක්ෂව තහවුරු කර ඇත ඒ අනුව නිසි අධිකරණයකින් නඩු විභාහ කොට විධිමත් පරිදි "වරදකරුවෙකු කරනු ලබන තෙක් සෑම තැනැත්තෙකුම නිර්දෝෂී තැනැත්තෙකු ලෙස පූර්ව නිගමනය කරනු ලැබීමට හිමිකම් ඇත්තේය."

එසේම, ව්‍යවස්ථාවේ 13(3) ව්‍යවස්ථාව මගින් ඕනෑම සිරභාරයට ගත් හෝ චූදිත පුද්ගලයෙකුට සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය සහතික කරයි. සාධාරණ නඩු විභාගයක් පැවැත්වීමට නම්, විනිසුරුවරයා කිසිදු පූර්ව නිගමනයකින් හෝ බාහිර මහජන බලපෑමකින් තොරව නඩුව ඇසිය යුතුය.
ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිති
ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) 14(2) වගන්තිය ප්‍රකාශ කරන්නේ ද නීත්‍යානුකූලව වරදකරු කරන තෙක් සෑම පුද්ගලයෙකුටම නිර්දෝෂී ලෙස සැලකීමට ඇති අයිතිය උදුරා ගත නොහැකි බවයි. ශ්‍රී ලංකාව තුළ 2007 අංක 56 දරන ICCPR පනත මගින් ද මෙම ප්‍රතිපාදන දේශීය නීතියට අන්තර්ග්‍රහණය කර ඇත.
නීතිපතිවරයාගේ භූමිකාව: රජයේ නීතිඥයාද, යුක්තියේ පාලකයාද?
ශ්‍රී ලංකා නෛතික ඉතිහාසය තුළ නීතිපතිවරයා යනු හුදෙක් ආණ්ඩුවේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින පක්ෂග්‍රාහී නීතිඥයෙකු නොවේ. ඔහු පොදු මහජනතාව වෙනුවෙන් යුක්තිය ඉටුකිරීම භාරව සිටින අධිකරණයේ නිලධාරියෙකි.
පැමිණිල්ලේ භූමිකාව: කෙසේ හෝ කොටු කිරීම නොව, යුක්තිය සෙවීමයි
අපරාධ නඩුකරයකදී රජයේ පැමිණිල්ල මෙහෙයවන නිලධාරියෙකුගේ (Prosecutor) කාර්යභාරය සැකකරු කෙසේ හෝ වරදකරු කර හිරගෙට යැවීම නොවේ. ලංකා නෛතික ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් වූ, බ්‍රිතාන්‍ය ප්‍රිවි කවුන්සිලය (Privy Council) දක්වා අභියාචනය වූ සුප්‍රකට The King v. Seneviratne (1936) 38 N.L.R. 208 නඩුවේදී පැහැදිලිවම පෙන්වා දුන්නේ රජයේ පැමිණිල්ල මෙහෙයවන්නන් තමන්ට වාසිදායක සාක්ෂි පමණක් තෝරා බේරා ගනිමින් චූදිතයාට අගතියක් වන පරිදි ක්‍රියා නොකළ යුතු බවත්, සත්‍යය මතු කර ගැනීම සඳහා සියලු සාක්ෂි සාධාරණව අධිකරණයට ඉදිරිපත් කිරීම ඔවුන්ගේ වගකීම බවත්ය.

මෙම සාම්ප්‍රදායික රීතිය නූතන සමාජයට ගැලපෙන පරිදි යළිත් වරක් අතිශය ප්‍රබල ලෙස තහවුරු කරනු ලැබුවේ කරුණාරත්න එදිරිව නීතිපති( Karunarathne v. Attorney General (SC Appeal No. 32/2020) ) නඩුවේදීය. එහිදී තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා අවධාරණය කළේ පැමිණිල්ල මෙහෙයවන රජයේ නීතිඥවරයා යනු අධිකරණයේ නිලධාරියෙකු මිස, කෙසේ හෝ චූදිතයා කොටු කිරීමට වෙහෙසෙන පුද්ගලයෙකු නොවන බවයි. එහිදී විනිසුරුතුමා මෙසේ සඳහන් කොට ඇත "ඕනෑම මිලක් ගෙවා චූදිතයා වරදකරු කරවීම රජයේ නීතිඥවරයාගේ කාර්යය නොවේ. ඔහුගේ පරම වගකීම සත්‍යය මතු කරමින් යුක්තිය පසිඳලීමට අධිකරණයට සහාය වීමයි”
නමුත් මීට පටහැනිව සමහර රජයේ නීතිඥයන්ගේ ඒකායන අරමුණ චූදිතයා කෙසේ හෝ වැරදිකරු කිරීම බව පැහැදිලිවම පෙනී යයි.
නීතිඥ ආචාරධර්ම උල්ලංඝනය
1988 දෙසැම්බර් 30 දිනැති අංක 538/23 දරන ගැසට් පත්‍රයේ ප්‍රකාශිත නීතිඥවරුන් සඳහා වන ශ්‍රේෂ්ඨාධිකරණ ආචාරධර්ම රීති (Supreme Court Conduct and Etiquette Rules) අනුව, කිසිදු නීතිඥවරයෙකු අධිකරණය නොමඟ යවන සුළු, සාක්ෂි මත පදනම් නොවන හෝ සාධාරණ නඩු විභාගයකට (Fair Trial) බාධා වන අන්දමේ පූර්ව නිගමන සහිත ප්‍රකාශ විවෘත අධිකරණයේ හෝ ඉන් පිටත සිදු නොකළ යුතුය.
රජයේ නීතිඥවරයා යනු යුක්තියේ මිතුරෙකු (Amicus Curiae) මිස, විත්තිකරු කෙසේ හෝ හිරේ යැවීමට ද්වේෂසහගතව කටයුතු කරන පෞද්ගලික පාර්ශවකරුවෙකු නොවන බව යළිත් අවධාරණය කළ යුතුය.
මාධ්‍ය මගින් නඩු විභාග කිරීම’ (Trial by Media) සහ එහි අගතිදායක ස්වභාවය

සාධාරණ අධිකරණ ක්‍රියාවලියට පෙර මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මගින් පුද්ගලයෙකු වරදකරු කිරීම, වර්තමාන අධිකරණ ස්වාධීනත්වයට එල්ල වී ඇති ලොකුම තර්ජනයකි.
| වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහPalitha.subasinghe@gmail.com




