The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වත්මන් රජයේ වැඩ අතුරින් කලඑළි බසින ‘කොණ්ඩේ බැඳපු චීන්නු’ | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

T

The Leader Desk

June 6, 2026 • 10:45 AM

වත්මන් රජයේ වැඩ අතුරින් කලඑළි බසින ‘කොණ්ඩේ බැඳපු චීන්නු’ | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඇතුළු වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයන් විපක්ෂයේ සිටියදී විද්‍යුත් මාධ්‍ය ඔස්සේ රටේ ආර්ථික අර්බුදයට විසඳුම් දෙන ආකාරය ගැන ඉදිරිපත් කළ,
  • වත්මන් ආණ්ඩුවේ සමහර ප්‍රතිපත්තිමය තීන්දු බදු ප්‍රතිපත්ති සහ සහන කප්පාදුව සම්බන්ධයෙන් වර්තමානයේ පැනනැඟී ඇති විවේචන හමුවේ බොහෝ දෙනකු පවසන්නේ “ඒවා කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට කිව යුතු කතා” බවයි.
  • මේ හේතුවෙන් එම පොරොන්දු සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම අතර පවතින පරතරය පිළිබඳ මහජන සංවේදීතාව ඉස්මතු කරමින් ‘කොණ්ඩේ බැඳපු චීන්නු’ යන පැරණි පිරුළ යළිත් වරක් වත්මන් දේශපාලන හා සමාජ මාධ්‍ය කතිකාව තුළ වේගයෙන් සංසරණය වීමට පටන්ගෙන ඇත.
  • ඒ සඳහා වත්මන් රජයේ ක්‍රියාපිළිවෙත සේම සමාජ ජාල සන්නිවේදනයේ ප්‍රබලත්වය ද ඉවහල් වී ඇති බව පෙනේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රබල තර්ක මත පදනම් වූ ප්‍රකාශ සහ බලයට පත්වීමෙන් පසු ඔවුන්ගේ වර්තමාන දේශපාලනික ක්‍රියාකාරීත්වය අතර බරපතළ වෙනස්කම් පවතින බවට වර්තමාන සමාජයේ බහුතර මතයක් ගොඩනැඟී තිබේ.

වත්මන් ආණ්ඩුවේ සමහර ප්‍රතිපත්තිමය තීන්දු බදු ප්‍රතිපත්ති සහ සහන කප්පාදුව සම්බන්ධයෙන් වර්තමානයේ පැනනැඟී ඇති විවේචන හමුවේ බොහෝ දෙනකු පවසන්නේ “ඒවා කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට කිව යුතු කතා” බවයි.

china 1

මේ හේතුවෙන් එම පොරොන්දු සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම අතර පවතින පරතරය පිළිබඳ මහජන සංවේදීතාව ඉස්මතු කරමින් ‘කොණ්ඩේ බැඳපු චීන්නු’ යන පැරණි පිරුළ යළිත් වරක් වත්මන් දේශපාලන හා සමාජ මාධ්‍ය කතිකාව තුළ වේගයෙන් සංසරණය වීමට පටන්ගෙන ඇත. එදා මෙදාතුර දේශපාලන සන්දර්භයේදී ජනතාව රැවටීමට ලක් කරන ප්‍රකාශ විවේචනය කිරීම සඳහා මෙම යෙදුම යොදාගෙන ඇති අතර, පොරොන්දු දීම සහ ක්‍රියාත්මක කිරීම් අතර පරතරය සෑම ආණ්ඩුවකම පාහේ දක්නට ලැබෙන ලක්ෂණයක් වුවද වර්තමානයේ සමාජ මාධ්‍ය මඟින් ඒවා නිර්දය විවේචනයට ලක්වන බව පෙනේ. ඒ සඳහා වත්මන් රජයේ ක්‍රියාපිළිවෙත සේම සමාජ ජාල සන්නිවේදනයේ ප්‍රබලත්වය ද ඉවහල් වී ඇති බව පෙනේ. මේ වන විට ප්‍රබලතම සමාජ සන්නිවේදන මෙවලමක් ව පවතින සමාජ ජාල කෙරෙහි නිශේධනාත්මක බලපෑම් කිරීම ගිනියම් වූ යකඩයක් ඇල්ලීමක් වී ඇති බව ද පෙනෙයි.

නූතන සිංහල සමාජයේ ඉතා ප්‍රසිද්ධ මෙන්ම නිතර භාවිත වන “කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට කිව යුතු කතා” යන උපමා පිරුළේ අරුත මඟින් “මෝඩයන්” හෝ “රවටන්නට පහසු, කිසිවක් නොදන්නා අඥාන පිරිසක්” පිළිබඳව සඳහන් වේ. සාමාන්‍යයෙන් යමෙකු තමන්ව රැවටීමට හෝ නොමඟ යැවීමට උත්සාහ කරන අවස්ථාවලදී, තමන් එතරම් මෝඩයෙකු නොවන බව හැඟවීම සඳහා “අපි කොණ්ඩෙ බැඳපු චීන්නු නෙමෙයි” යනුවෙන් බොහෝ දෙනෙක් ව්‍යවහාර කරති. මෙම පිරුළ හා බැඳුණු නිශ්චිත පුරාවෘත්තයක් නොමැති වුවද, ඒ හා සම්බන්ධ 20 වන සියවසේ මුල් භාගයේ කොළඹ වරාය ආශ්‍රිත සමාජමය සංසිද්ධීන් පදනම් ව නිර්මාණය වූ රසවත් ඓතිහාසික පසුබිමක් පවතී.

 

The Journeys of Zheng He 1405 1433

19 වන සියවසේ අගභාගයේ සහ 20 වන සියවසේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවට රේන්ද (Lace) විකිණීම, සේද රෙදි වෙළඳාම සහ විවිධ රැකියා සඳහා චීන ජාතිකයින් පිරිසක් පුරාණ සේද මාර්ගය (Silk Road) ඔස්සේ පැමිණියහ. එය ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ සිට චීනය, බටහිර ආසියාව, යුරෝපය හා අප්‍රිකාව එක් කළ මුහුදු සහ ගොඩබිම් මාර්ගයකි. මෙම ගොඩබිම් සේද මාර්ගයට අමතරව ඉන්දියන් සාගරය හරහා වැටී තිබූ සමුද්‍රීය සේද මාර්ගයේ (Maritime Silk Road) ශ්‍රී ලංකාව ද වැදගත් සන්ධිස්ථානයක් විය.

19 වන සියවසේ අගභාගයේ සහ 20 වන සියවසේ මුල් භාගයේ අප රට පුරා ව්‍යාප්ත වූ ඉංග්‍රීසි අධිරාජ්‍ය බලපෑම නිසා එකල ලංකාවේ සාමාන්‍ය සිරිත වූයේ ගැහැනු අය දිගු කොණ්ඩය බැඳීමත්, පිරිමින් කොණ්ඩය කෙටියට කැපීමත්ය. නමුත් එකල සිටි චීන පිරිමින් තම හිසකෙස් දිගට වවා, පිටුපසට කර ගෙතුමක් (Queue / Pigtail) ලෙස බැඳ සිටි බැවින් ලාංකිකයන්ට ඔවුන් තරමක් අමුතු, සුකොමළ ස්ත්‍රී පෙනුමක් ඇති හෝ බොළඳ පිරිසක් ලෙස පෙනෙන්නට ඇත. එසේම ලංකාවට පැමිණි මුල් කාලයේ මෙම චීන ජාතිකයන්ට සිංහල හෝ ඉංග්‍රීසි භාෂාව හසුරුවන්නට නොහැකි වූ නිසා, ඔවුන් ශ්‍රී ලාංකිකයන් පවසන දේ නිහඬව අසා සිට ඉතා අහිංසක ලෙස තමන්ගේ වෙළඳාම් කටයුතු කරගෙන ගියහ. මෙම භාෂා බාධකය සහ නිහඬ හැසිරීම නිසා එකල ශ්‍රී ලාංකිකයන් සිතුවේ මොවුන් පහසුවෙන් රැවටිය හැකි මෝඩ පිරිසක් කියාය. ඇත්ත වශයෙන්ම චීන ජාතිකයන් මෝඩයන් නොව ලෝකයේ අති සූක්ෂ්ම වෙළෙන්දන් වුවද, ඔවුන්ගේ බාහිර පෙනුම නිසා මෙම පිරුළ ජනවහරට එකතු වන්නට ඇතැයි යන මතයක් තිබේ.

nanjing massacre gettyimages 601071192

නමුත් මෙම පිරුළේ වඩාත් සජීවී මූලය 1930 සහ 1940 දශකවල ජපන් ආක්‍රමණය, නැන්ජින් සමූලඝාතනය සහ චීන සිවිල් යුද්ධය මුල් කරගත්තකි. එම සමූලඝාතනය නිසා ඇති වූ දරුණු තත්ත්වයන් හමුවේ චීනයේ හුබෙයි සහ ගුවැන්ඩොන්ග් වැනි වෙරළබඩ ප්‍රදේශවලින් පලා ආ චීන ජාතික සංක්‍රමණිකයන් මත මෙය පදනම් වූ බව පෙනෙයි. 1937 වසරේ දෙසැම්බර් 13 වන දා එවක චීන අගනුවර වන නැන්ජින් ආක්‍රමණය කළ ජපන් හමුදාව එහි පිරිමින් ඝාතනය කොට කාන්තාවන් හා තරුණියන් දූෂණය කළහ. විශේෂයෙන් ජපන් හමුදාව වහසි බස් දොඩා තිබුණේ චීන ජාතික පිරිමින් ඝාතනය කොට චීන කාන්තාවන් සහ තරුණියන් බලහත්කාරයෙන් තමනට දාව ගැබ් ගන්වන බවය. එනිසා මෙම ආක්‍රමණය නැන්ජින් දූෂණය (Rape of Nanking) යනුවෙන් ද ප්‍රකට විය. ඒ අනුව එම ආක්‍රමණයට බියෙන් රට හැර ගිය චීන වැසියන් හට හොංකොං සහ සිංගප්පූරුව මෙන්ම ශ්‍රී ලංකාව ද ජපානයේ පරම සතුරු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ පැවති බැවින් මුහුදු මාර්ගයෙන් පැමිණීම පහසු විය.

එමෙන්ම බෞද්ධ රටක් වූ ශ්‍රී ලංකාව, බෞද්ධයන් වූ ඔවුන්ට ආරක්ෂිත නවාතැනක් ද විය. එවක මෙහි ආ චීන ජාතිකයන් කොළඹ ගංගාරාමය වැනි විහාරස්ථාන සමඟ ද සමීප සබඳතා පැවැත්වූහ. ලංකාවට පැමිණි මොවුන්ගෙන් බහුතරය කොළඹ, මහනුවර, ගාල්ල වැනි නගරවල පා ගමනින් හා පාපැදිවලින් යමින් චීන සේද රෙදි, ලේස් සහ ඇඳුම් විකිණූ චීන රෙදි වෙළෙන්දෝ වූහ. තවත් පිරිසක් සාම්ප්‍රදායික චීන දන්ත වෛද්‍ය ක්‍රම හඳුන්වා දුන් අතර 1960 දශකය වන විට දිවයින පුරා චීන දන්ත සායන 300කට අධික සංඛ්‍යාවක් පැවතිණි. එමෙන්ම, 1940 දශකය වන විට කොළඹ කොටුව සහ පෑලියගොඩ ප්‍රදේශවල චීන ආපනශාලා ආරම්භ කරමින් අදටත් ලංකාවේ ජනප්‍රිය “නූඩ්ල්ස්”, “චොප්සි” සහ “ෆ්‍රයිඩ් රයිස්” ඇතුළත් චීන ආපනශාලා සංස්කෘතියේ පදනම දැමුවේද මොවුන්ය. කොම්පඤ්ඤවීදියේ ‘චීන මුඩුක්කුව’ සහ ගාල්ලේ ‘චීන කොරටුව’ යනු එම කාලය තුළ මොවුන්ගේ ජනාවාසයන් මුල් කොට පටබැඳුණු, අද ද ව්‍යවහාර වන නම් වේ.

 

china pitali

පසුව මෙරට වැසියන් සමඟ සුහදව ජීවත් වූ ඔවුන්ගෙන් සමහරු ලාංකීය කාන්තාවන් සමඟ විවාහ වී පුරවැසිභාවය ලබා ගත් අතර, 1945 දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් සහ 1949 චීන කොමියුනිස්ට් විප්ලවයෙන් පසු පිරිසක් මව්බිමටත්, තවත් පිරිසක් ඕස්ට්‍රේලියාව සහ කැනඩාව වැනි රටවලටත් සංක්‍රමණය වූහ. අද වන විටත් ඔවුන්ගෙන් පැවත එන සුළු පිරිසක් අගනුවර හා තදාසන්න ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයන් ලෙස ජීවත් වෙති. නමුත් මෙසේ පැමිණි චීන ජාතිකයන්ගෙන් බහුතරය තරුණයන් වූ අතර, ඔවුන් ඉතා කොටට හිසකෙස් කපා (Crew cut) අත් සහිත මේස් බැනියම් හැඳ සිටි බව පැවසේ. නමුත් ඒ වන විට ද අප සමාජයේ වැඩිහිටියන් කොණ්ඩා බැඳීම සිරිතක් වශයෙන් පවත්වාගෙන ගිය අතර, මෙම කිසිදු චීන ජාතිකයකු එලෙස කොණ්ඩය බැඳ නොසිටීම ද විශේෂත්වයකි.

ඒ අනුව මෙය ඉංග්‍රීසි භාෂාවේ එන, කිසිදා දැකිය නොහැකි අවස්ථාවක් හැඟවීමට යොදන “When pigs fly” (ඌරන් පියාඹන දවසක) වැනි පිරුළක් සේ අපට හැඟේ. මෙය තවත් විස්තර කළහොත්, යම් ප්‍රකාශයක් සම්බන්ධයෙන් “කොණ්ඩය බැඳි චීනෙකු සොයාගතහොත් ඔහු පමණක් එය විශ්වාස කරනු ඇතැයි” පැවසීම, එය කිසිවකුත් විශ්වාස නොකරන බව අනියමින් කියා පෑමකි. නමුත් ඉතිහාසය පුරාම විවිධ මැතිවරණවලදී විපක්ෂ කණ්ඩායම් විසින් ආණ්ඩු විවේචනයට දේශපාලනිකව යොදාගෙන ඇති මෙම යෙදුම, අද දේශපාලන වේදිකාවේ වත්මන් රජයේ ක්‍රියාකලාපය හමුවේ යළි කරළියට ඒමෙන් පැහැදිලි වන්නේ බලයට පත්වීමට පෙර දෙන පොරොන්දු සහ බලයට පත් වූ පසු ඒවා ක්‍රියාත්මක කිරීම අතර පවතින පරතරය පිළිබඳ මහජනතාව තුළ පවතින අතිශය සංවේදී බව සහ ඔවුන් සතු බුද්ධියයි. මෙය වර්තමානයේ ආණ්ඩු පක්ෂ, විපක්ෂ සෑම දේශපාලනඥයකුම තරයේ සිතට ගත යුත්තකි.

Praneeth Abayasundara
(සටහන | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර)
හිටපු මානව විද්‍යා මහාචාර්ය

(උපුටා ගැනීම - vinivida.lk)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වත්මන් රජයේ වැඩ අතුරින් කලඑළි බසින ‘කොණ්ඩේ බැඳපු චීන්නු’ | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර | The Leader