The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වැඩිහිටියන් ගැන කතා කළ යුත්තේ හෙට වයසට යන අද තරුණ පරපුරය | කුසල් පෙරේරා

T

The Leader Desk

June 7, 2026 • 7:49 AM

වැඩිහිටියන් ගැන කතා කළ යුත්තේ හෙට වයසට යන අද තරුණ පරපුරය | කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හොරණ අඟුරුවාතොට “සෙනහසේ කැදැල්ල” නම් පෞද්ගලික වැඩිහිටි නිවස ඉකුත් ජුනි 03 වන දින ගින්නකට හසුව විනාශ විය.
  • නිරුපද්‍රිතව බේරා ගනු ලැබ ඇති සංඛ්‍යාව 51 ක් යැයි කියති.
  • මේ ඛේදවාචකයෙන් දෙදිනකට පසු ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ ඇමති පන්නිලගේ කියා තිබුණේ පෞද්ගලික වැඩිහිටි නිවාස 455 ක් රට පුරා ඇතත් ඉන් ලියාපදිංචි වී ඇත්තේ 148 ක් පමණක් බවය.
  • මෙතෙක් බලයට පත් කෙරුණු ආණ්ඩු දැනට ලාංකීය ජනගහනයෙන් සියයට 18 ක් එනම් මිලියන 03.9 ක් දක්වා වර්ධනය වූ වැඩිහිටියන් වෙනුවෙන් කිසිත් නොකළ බව පැහැදිලිය.
අකුරු ප්‍රමාණය (Font Size):

එහි රඳවා ගෙන සිටි වැඩිහිටියන් 72 ගෙන් 13 කු මිය ගොස් ඇත. නිරුපද්‍රිතව බේරා ගනු ලැබ ඇති සංඛ්‍යාව 51 ක් යැයි කියති. තවත් අය රෝහල්ගත කර ඇත.


මේ ඛේදවාචකයෙන් දෙදිනකට පසු ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ ඇමති පන්නිලගේ කියා තිබුණේ පෞද්ගලික වැඩිහිටි නිවාස 455 ක් රට පුරා ඇතත් ඉන් ලියාපදිංචි වී ඇත්තේ 148 ක් පමණක් බවය. මෙතෙක් බලයට පත් කෙරුණු ආණ්ඩු දැනට ලාංකීය ජනගහනයෙන් සියයට 18 ක් එනම් මිලියන 03.9 ක් දක්වා වර්ධනය වූ වැඩිහිටියන් වෙනුවෙන් කිසිත් නොකළ බව පැහැදිලිය. සියල්ල යහපත් ලෙස වගකීමක් ඇතිව කිරීමේ පොරොන්දු මත පත් කෙරුණු මේ ආණ්ඩුවේ ඇමතිවරයෙකු ලෙස, ඔහුගේ අමාත්‍යාංශය ගතවූ අවුරුද්දකුත් සය මසක කාලය තුල අනෙක්වා ලියාපදිංචි කිරීමට ගත් උත්සාහය සහ පියවර කවරේදැයි එනමුත් නොකියවේ.

වැඩිහිටියන් වෙනුවෙන් ඔවුන්ගේ ඉදිරි ජීවිතයට රැකවරණය හා ගරුත්වය සහතික කිරීමට 2000 අංක 09 දරණ “වැඩිහිටි තැනැත්තන් ගේ හිමිකම් සුරැකීමේ පනත” යටතේ වසර 03 ක කාලයකට “වැඩිහිටි තැනැත්තන් සඳහාවූ ජාතික සභාව” ජනාධිපති විසින් පත් කළ යුතුය. සමාජ සේවා විෂය බාර අමාත්‍යාංශයේ ලේකම් නිල බලයෙන් එහි සභාපති වේ. සමාජ සේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් උප සභාපති ලෙසත්, සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා එම සභාවෙහි ලේකම් ලෙසත් පත් කරනු ලැබේ.

elr67i

මෙම ජාතික සභාවෙහි සෙසු සාමාජිකයින් වන්නේ, ලාංකීය වැඩිහිටි ප්‍රජාව නියෝජනය කිරීම වෙනුවෙන් සාමාජිකයින් තිදෙනකුද, මෙම පනත යටතේ ලියාපදිංචි වැඩිහිටි සේවා සංවිධාන නියෝජනය වෙනුවෙන් සාමාජිකයින් පස් දෙනෙකුද, වෘත්තීන්, ව්‍යාපාරිකයින් හා රාජ්‍ය නිලධාරීන් නියෝජනය කරන සිව් දෙනෙකු නමින් හෝ තනතුරු නාමයෙන්ද ඇමතිවරයාගේ එකඟත්වය ඇතිව ජනාධිපති විසින් පත් කරනු ලබන සාමාජිකයින් වේ. පනතට අනුව මෙම සභාව අවම වශයෙන් මාසයකට වරක් රැස්විය යුතු අතර, එහි කටයුතු වෙනුවෙන් “ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය” පිහිටුවනු ලැබ ඇත. එහෙත් ජාතික සභාවෙහි සාමාජික ලේඛනය හරියාකාරව යාවත්කාලීන නොකෙරුණු ඔවුන්ගේ වෙබ් අඩවි වලින් හෝ අන්තර්ජාලයෙන් මට සොයා ගත නොහැකි විය.

“වැඩිහිටි තැනැත්තන් ගේ හිමිකම් සුරැකීමේ පනත” යටතේ මෙම ජාතික සභාවට පවරා ඇති මූලික වගකීම වන්නේ, ශ්‍රී ලංකාවේ වැඩිහිටියන්ගේ සුභසාධනය හා අයිතිවාසිකම් ප්‍රවර්ධනය හා සුරැකීමත් වැඩිහිටියනට ආත්ම ගෞරවයක් ඇතිව, ස්වාධීනව හා ගරු කටයුතු ලෙස ජීවත්වීමට උපකාරී වීමත් ය. ඊට සමගාමීව පැවරෙන වගකීම් 16 ක් ඇත. ඒ අතර, වැඩිහිටියන් වෙනුවෙන් වන තම වගකීම් ළමුන්ට හා බාල පරම්පරාවට කියාදීම සඳහා පාසල් හා වෙනත් යෝග්‍ය ස්ථානවල දේශන, සාකච්ඡා, වැඩමුළු වැනි අධ්‍යාපනික වටිනාකමක් ඇති කටයුතු සංවිධානය කිරීම, වැඩිහිටියන්ගේ ගැටළු, අපේක්ෂා සම්බන්ධ අධ්‍යන හා පර්යේෂණ උනන්දු කරවීම හා ඒවායේ නිගමන, නිරීක්ෂණ හා සොයා ගැනීම් සමාජගත කිරීම, සහ මෙම පනත යටතේ වන සහන ලබා ගැනීමටත් නීති උපකාර ලබා ගැනීමටත් වැඩිහිටියනට උදව් උපකාර කිරීම සඳහන් වන්නේය.      

තවත් ඉතා වැදගත් කාරණාවක් වන්නේ වැඩිහිටියන්ද ඇතුළුව මේ සමාජයේ අති බහුතරයක් නොදන්නා වැඩිහිටියන් සතු අයිතියකි. පනතෙහි සිව් වන පරිච්ඡේදයෙහි 24 වන වගන්තියේ 01 සහ 02 ලෙස වැඩිහිටියන්ගේ නඩත්තුව සඳහා කෙරෙන අභියාචනා වෙනුවෙන් පත් කළ යුතු මණ්ඩලයක් සහ එම මණ්ඩලය සතු වගකීම් හා බලය සඳහන් වන්නේ ය. පනතේ 25 වන වගන්තිය යටතේ තම දරුවන්ගෙන් නඩත්තු ලබා දෙන ලෙස දෙමාපියන්ට එම මණ්ඩලයට ඉල්ලීම් ඉදිරිපත් කළ හැක. එම ඉල්ලීම් පිරික්සීමෙන් නඩත්තු මුදලකට හිමිකම් පිළිබදව තීන්දු කිරීමේ බලය මණ්ඩලය සතුය. නඩත්තු මුදලකට හිමිකම් තියේ නම්, එය මාසිකව හෝ එකවර දෙනු ලබන මුදලක් විය හැක.    

මෙම පනතෙහි සත් වන පරිච්ඡේදයෙහි 36 වන වගන්තිය ප්‍රකාර ජාතික සභාව විසින් නම් කරනු ලබන ඕනෑම නිලධාරියෙකුට වැඩිහිටියන්ට සේවය කරනු ලබන සංවිධානයකට, ආයතනයකට හෝ නිවසකට ඇතුලු වී පොත් පත් ගිණුම් වාර්තා, සේවා සැපයීම් හා පහසුකම් වැනි ඕනෑම දෙයක් පරීක්ෂා කිරීමටත්, පනතෙහි නියමයන් අනුව කටයුතු කරන්නේදැයි සනාථ කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය ඕනෑම අයෙකු ප්‍රශ්න කිරීමටත් බලය ඇත.

 

c45y4
ගින්නෙන් විනාශ වූ අඟුරුවාතොට පෞද්ගලික වැඩිහිටි නිවස සම්බන්ධයෙන් ප්‍රාදේශිය ලේකම්වරියගේ අඳෝනාවෙන් හා ලියාපදිංචි නොවුනු වැඩිහිටි නිවාස ගැන විෂය බාර අමාත්‍යවරයා කියූ සංඛ්‍යාවෙන් අප තේරුම්ගත යුත්තේ වැඩිහිටියන්ගේ සුභසාධනය හා අයිතිවාසිකම් ප්‍රවර්ධනය හා සුරැකීමත් වැඩිහිටියනට ආත්ම ගෞරවයක් ඇතිව, ස්වාධීනව හා ගරු කටයුතු ලෙස ජීවත්වීමටත් අවශ්‍ය සියලු කාරණා ඉටු කළ හැකි නීතිමය බලයක් හා යාන්ත්‍රණයක් තිබියදීත් එය ඒ වෙනුවෙන් යොදා ගෙන නොමැති බවය. එය නිසි අයුරු ක්‍රියාත්මක කිරීමට කිසිදු බලධාරියෙකු උනන්දු වී නොමැති බවය.

නිර්ලජ්ජිත ලෙස වගකීම් පැහැර හැරීම ආණ්ඩුවල හා රාජ්‍ය නිලධරයේ ආවේනික ලක්ෂණයක් බවට පත්ව ඇත්තේ ඉටු නොවන වගකීම් හා නොලැබෙන සේවාවන් සම්බන්ධව සමාජයේ ඇති නොදැනුවත්කම හා ඒවා ප්‍රශ්න කිරීමට මේ සමාජයේ ඇති අළස, කුඩුකේඩු නුසූදානම වන්නේය. අඟුරුවාතොට ඛේදවාචකය සම්බන්ධව එම වැඩිහිටි නිවසේ බලධාරියාගේ කල්කිරියාව හා වගකීම අද හෙට නොවුනත්  අධිකරණ ක්‍රියාවලිය තුල එය තීන්දු වනු ඇත. සමාජ මාධ්‍ය ජාල, විශේෂයෙන් ෆේස් බුක් අරක්ගත්තවුන් වෙනත් මාතෘකාවක් හමුවන තුරු තව ටික දිනක් අඟුරුවාතොට ඛේදවාචකය ගැන හතර බීරි කතා කියනු ඇත. ඒවා එසේ සිදුවන අතර, ආත්මාර්ථකාමී අර්ථයෙන් ගත්තද අපද යම් දිනෙක මේ සමාජයේ අතරමංවූ වැඩිහිටියන් බවට පත් විය හැකි යැයි සිතා එසේ නොවන්නට බාර ගත යුතු වගකීම වන්නේ, “වැඩිහිටි තැනැත්තන් ගේ හිමිකම් සුරැකීමේ පනත” නිසියාකාරව ක්‍රියාත්මක කරවා ගැනීමට මැදිහත්වීම ය.  

“වැඩිහිටි තැනැත්තන් සඳහාවූ ජාතික සභාව” විසින් වාර්ෂිකව කෙටුම්පත් කරන ඔවුන්ගේ වැඩපිළිවෙල “ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය” මගින් සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත මුදල් වෙන් කිරීම් ඇතිව යොමු කරනු ලැබේ. එහෙත් එවැන්නක් ප්‍රාදේශීයව වැදගත් ලෙස ක්‍රියාත්මක කෙරෙනු දැක නොමැත. මෙම 2026 වසර සඳහාද ජනවාරි 27 වන දිනැති ලිපිය මගින් එවැනි වාර්ෂික වැඩපිළිවෙලක් ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය මගින් සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත දන්වා යවා ඇත.

 

eldr45n89
එහි සඳහන් කාර්යන් අතර, පහත සඳහන් කාර්යන්ද ඇත.

■ වැඩිහිටියන්ගේ කායික හා මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සෑම දිස්ත්රික්කයකම වෛද්‍ය කඳවුරු 03 බැගින් පැවැත්වීමට එක් වෛද්‍ය කඳවුරක් වෙනුවෙන් රු.100,000/- ක් බැගින් ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 03 ට දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ප්‍රතිපාදන ලබාදීම.

■ අඩු ආදායම්ලාභි වැඩිහිටියන් සඳහා තම නිවස තුළ ජිවත්වීමේ දී අවශ්‍ය කරනු ලබන අවම පහසුකම් හා සනිපාරක්ෂක පහසුකම් සළසා දීමට "සුවපහසු” මුල්‍යාධාර යෝජනා ක්‍රමය යටතේ එක් අයකු සඳහා රු. 100,000/- ක උපරිමයකට යටත්ව එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට රු.2,93,000/- ක් වන සේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ප්‍රතිපාදන ලබාදීම.

■ වැඩිහිටි නිවාස ප්‍රමිතිගත කිරීම යටතේ අලුත්වැඩියාව හා උපකරණ ලබාදීම වෙනුවෙන් එක් නිවාසයකට රු.මිලියන 02 බැගින් වැඩිහිටි නිවාස 20 ක් සඳහා මූල්‍යාධාර ලබා දීම. මෙහිදී අවශ්‍යතා සහිත දිස්ත්‍රික්කයන්ගෙන් ඉල්ලීම් ලබාගෙන, අදාළ දිස්ත්‍රික්ක වෙත ප්‍රතිපාදන ලබා දීම සිදු කරනු ලබයි.

අමතක නොකළ යුත්තේ එළෙස ලබා දෙන මුදල් මේ රටේ මහජනතාවගේ බදු මුදල් වන බවය.

මේ 2026 වසර සඳහා “වැඩිහිටි තැනැත්තන් සඳහාවූ ජාතික සභාව” විසින් ඉහත කාර්යන් ඇතුළත් ඔවුන්ගේ වැඩපිළිවෙල දිස්ත්‍රික් හා ප්‍රා.ලේ කාර්යාල වෙත යොමු කර දැනට මාස 05 ක් ඉක්ම ඇත. එබැවින් මේ මොහොතේ අපගේ වගකීම වන්නේ, එම කාර්යන් සම්බන්ධ වර්තමාන තත්ත්වය විමසා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලීම් යොමු කිරීමය. වැඩිහිටි නිවාසවල අප අසරණ වූවත් නැතත් ඔබද අපද වැඩිහිටියන් වන හෙයිනි.

Kusal 28(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2026 ජුනි 06 වන දින

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...