The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සත්ව හිමිකම් වෙනුවෙන් සුනඛ ආදාහනාගාර ව්‍යාපෘතියෙන් මෙහෙවරක් ඉටුවේ ද? | රීටා ජෙනට් පෙරේරා

T

The Leader Desk

June 7, 2026 • 11:38 AM

සත්ව හිමිකම් වෙනුවෙන් සුනඛ ආදාහනාගාර ව්‍යාපෘතියෙන් මෙහෙවරක් ඉටුවේ ද? |  රීටා ජෙනට් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගෝලීය වශයෙන් ශිෂ්ට සම්පන්න සමාජයක මිනුම් දණ්ඩක් වන්නේ මානව හිමිකම් මෙන්ම සත්ව හිමිකම් සුරැකීමට දක්වන සංවේදීතාවයි.
  • පසුගිය මාස කිහිපය තුළ කොළඹ සහ අනෙකුත් ප්‍රධාන නගරවල පැවැති සාමකාමී විරෝධතා, පෙත්සම් සහ සමාජ මාධ්‍ය ව්‍යාපාරවලින් පෙන්නුම් කොට ඇත්තේ මේ සම්බන්ධයෙන් මහජනතාවගේ විශ්වාසය බිඳ වැටී ඇති බවයි.
  • 2008 සිට ක්‍රියාත්මක වූ ජාතික සුනඛ වන්ධ්‍යකරණ වැඩසටහනට 2008-2021 කාලය තුළ රුපියල් බිලියන 2ක් වෙන් කර තිබුණ ද, සත්ව ක්‍රියාකාරීන් පෙන්වා දෙන පරිදි 2025 අයවැයෙන් සුනඛ වන්ධ්‍යකරණයට කිසිදු මුදලක් වෙන් කර නැත.
  • නමුත් ඊට ප්‍රතිවිරුද්ධව 2026 අයවැයෙන් කැස්බෑව සහ පිළියන්දල පළාත් පාලන ආයතනවල සුරතල් සතුන් සඳහා සුනඛ රැකවරණ මධ්‍යස්ථාන, ආදාහනාගාර සහ සුසාන භූමි නියමු ව්‍යාපෘතියක් වෙනුවෙන් රුපියල් මිලියන 100ක් වෙන් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
ශ්‍රී ලංකාවේ සත්ව හිමිකම් වෙනුවෙන් පශු සම්පත් පනත, වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත ඇතුළු නීති රාමු කිහිපයක් තිබුණ ද, ඒවා ක්‍රියාත්මක කිරීමේදී රජයේ දායකත්වය ප්‍රමාණවත් ද යන්න මේ දක්වාම නොවිසඳුණු බරපතළ ප්‍රශ්නයක් වී ඇත. පසුගිය මාස කිහිපය තුළ කොළඹ සහ අනෙකුත් ප්‍රධාන නගරවල පැවැති සාමකාමී විරෝධතා, පෙත්සම් සහ සමාජ මාධ්‍ය ව්‍යාපාරවලින් පෙන්නුම් කොට ඇත්තේ මේ සම්බන්ධයෙන් මහජනතාවගේ විශ්වාසය බිඳ වැටී ඇති බවයි.

රජයක සැබෑ ප්‍රතිපත්තිය ජනතාව හමුවේ පිළිබිඹු වන්නේ අයවැයෙනි. 2008 සිට ක්‍රියාත්මක වූ ජාතික සුනඛ වන්ධ්‍යකරණ වැඩසටහනට 2008-2021 කාලය තුළ රුපියල් බිලියන 2ක් වෙන් කර තිබුණ ද, සත්ව ක්‍රියාකාරීන් පෙන්වා දෙන පරිදි 2025 අයවැයෙන් සුනඛ වන්ධ්‍යකරණයට කිසිදු මුදලක් වෙන් කර නැත. මෙය ඉතා අයහපත් ප්‍රවණතාවකි. නමුත් ඊට ප්‍රතිවිරුද්ධව 2026 අයවැයෙන් කැස්බෑව සහ පිළියන්දල පළාත් පාලන ආයතනවල සුරතල් සතුන් සඳහා සුනඛ රැකවරණ මධ්‍යස්ථාන, ආදාහනාගාර සහ සුසාන භූමි නියමු ව්‍යාපෘතියක් වෙනුවෙන් රුපියල් මිලියන 100ක් වෙන් කර ඇත.
 
26 6a0ae68c865ed
එහෙත් ගැටලුවේ මුල වන සුනඛ ගහන පාලනයට වඩා ඔවුන්ගේ අවසන් කටයුතු සඳහා ප්‍රමුඛතාව දීම පිළිබඳව සත්ව ක්‍රියාකාරීහු ප්‍රශ්න කරති. ඒ අතරේ 2025 වසරට සුනඛ වන්ධ්‍යකරණය සඳහා වෙන් කළ රුපියල් මිලියන 200ක අරමුදල් ද භාවිත නොවී පවතින බවට චෝදනා එල්ල වේ. විශේෂයෙන්ම AWPA සංවිධානය පවසන්නේ පසුගිය වසරේ රුපියල් මිලියන 184ක් වෙන් කළ ද වියදම් කර ඇත්තේ රුපියල් මිලියන 27ක් පමණක් බවයි.
 
විද්‍යාත්මකව පිළිගත් CNVR හෙවත් සුනඛයන් අල්ලා වන්ධ්‍යාකරණය හෝ එන්නත් කොට මුදා හැරීමේ (Catch-Neuter-Vaccinate-Return) ක්‍රමය වෙනුවට රජය සුනඛ රැකවරණ මධ්‍යස්ථාන සහ ආදාහනාගාර කෙරෙහි අවධානය යොමු කිරීම ගැන සත්ව සංවිධාන අවිශ්වාසය පළ කරයි. ඒ නඩත්තු වියදම, කළමනාකරණ දුර්වලතා සහ සතුන් අවධිමත් ලෙස රඳවා තැබීමේ අවදානම හේතුවෙනි. 2024 සහ 2025 වසරවලදී ජාතික වන්ධ්‍යකරණ වැඩසටහන ප්‍රමාද වීම නිසා මේ වන විට ලක්ෂ 20-22 සීමාවේ පවතින වීදි සුනඛ ගහනය ලක්ෂ 30 දක්වා ඉහළ යා හැකි බවට ක්‍රියාකාරීහු අනතුරු අඟවති.
image 491bbc3181
 
රජය වාර්ෂිකව වීදි සුනඛ ගැටලුවට රුපියල් මිලියන 800ක් වියදම් කරන බවත්, ඉන් රුපියල් මිලියන 280ක් ජලභීතිකා ප්‍රතිකාර සඳහා ද, රුපියල් මිලියන 180ක් එන්නත් සඳහා ද, රුපියල් මිලියන 200ක් වන්ධ්‍යකරණයට ද වැය වන බවත් නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ. නමුත් වන්ධ්‍යකරණයෙන් ගහනය අඩු වී ඇති බවක් නොපෙනෙන බව ඔහුම පිළිගනී.

ශ්‍රී ලංකාව 2022-2026 ජාතික උපායමාර්ගික සැලැස්ම යටතේ 2026 වන විට සුනඛ මාධ්‍යයෙන් මිනිසාට ජලභීතිකා මරණ ශුන්‍ය කිරීමට සහ 2030 වන විට සුනඛ ජලභීතිකාව සම්පූර්ණයෙන් තුරන් කිරීමට ඉලක්ක කර ඇත. 1970 ගණන්වල වාර්ෂිකව 300 ඉක්මවූ මිනිස් ජලභීතිකා මරණ සංඛ්‍යාව 2024 දී 20 දක්වාත්, 2025 අගෝස්තු වන විට 7 දක්වාත් අඩු කර ගැනීමට හැකි වී තිබීම සුවිශේෂ ජයග්‍රහණයකි. වාර්ෂිකව සුනඛ සපාකෑම් 250,000ක් පමණ වාර්තා වන අතර 100,000කට අධික පිරිසක් ARV ප්‍රති වෛරස් ප්‍රතිකාර ලබයි. නමුත් ඒ සපාකෑම්වලින් 90%ක්ම ගෘහස්ථ සුනඛයන් නිසා සිදුවන ඒවා බව සනාථ වී තිබේ. වසංගත රෝග විද්‍යා අංශය අනතුරු අඟවන්නේ සුනඛ එන්නත් ආවරණය එකතැන පල් වීම නිසා 2030 ඉලක්කය අවදානමට ලක්ව ඇති බවයි.
 Elephant Death 1200px 23 09 20 1000x600
මෙම ගැටලුව වීදි සුනඛයන්ට පමණක් සීමා නොවන අතර වනජීවී කළමනාකරණයේ දුර්වලතා ද කැපී පෙනේ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව 2025 වසරේ මේ දක්වා වන අලි මරණ 397ක් වාර්තා වී ඇති අතර, ඉන් 71ක් වෙඩි තැබීම්, 56ක් විදුලි සැර වැදීම්, 46ක් දුම්රිය අනතුරු සහ 20ක් හක්කපටස් නිසා සිදු වූ ඒවා වේ. 2024 දී අලි මරණ 388ක් සහ මිනිස් මරණ 155ක් වාර්තා වූ අතර, 2015-2024 දශකය තුළ අලි 3,484ක් සහ මිනිසුන් 1,195ක් මිය ගොස් ඇත. මේ අනුව ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම අලි මරණ අනුපාතය ඇති රට බවට පත්ව ඇත. 2025 පෙබරවාරි මස මින්නේරියේදී දුම්රියක ගැටී අලි 6ක් එකවර මිය යාම වැනි සිදුවීම්වලින් පෙනෙන්නේ වත්මන් උපාය මාර්ග අසාර්ථක බවයි. මේ හේතුවෙන් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ද අලි මරණවලට එරෙහිව මහජන විරෝධතා පැවැත්විණි.
SANC AnimalsSOS2 SL18 1 1024x664
 
ඉහත දත්ත අනුව සත්ව සුබසාධනය සඳහා රජයේ වත්මන් සහභාගීත්වය සෑහීමකට පත් විය නොහැකි මට්ටමක පවතී. එබැවින් රජය වහාම පියවර කිහිපයක් ගත යුතුව ඇත. පළමුව, ආදාහනාගාර වැනි අවසන් විසඳුම් වෙනුවට සුනඛයන් අල්ලා වන්ධ්‍යාකරණය හෝ එන්නත් කොට මුදා හැරීමේ විද්‍යාත්මක CNVR වැඩසටහන් සඳහා අයවැයෙන් සෘජු ප්‍රතිපාදන වෙන් කරමින් ප්‍රමුඛතා නිවැරදි කළ යුතු අතර, 2008-2021 කාලයේ පැවති අඛණ්ඩ අරමුදල් ප්‍රවාහය යළි ස්ථාපිත කළ යුතුය. දෙවනුව, වෙන් කරන ප්‍රතිපාදන සම්පූර්ණයෙන් භාවිත කරමින් එහි ප්‍රගතිය මාසිකව ප්‍රසිද්ධ කරමින් විනිවිදභාවය තහවුරු කළ යුතුය. සත්ව හිමිකම් සංවිධාන දැනටමත් වාර්ෂිකව 35,000-40,000 අතර වන්ධ්‍යකරණ සැත්කම් සිදු කරන බව පැවසෙන අතරතුර, සත්ව හිමිකම් වෙනුවෙන් සමාජ ජාලා මුල් කොට ගනිමින් ජනතාවගෙන් ලැබෙන ආධාර මුදල් රුපියල් කෝටි ගණනින් අවභාවිත වන බව ද ප්‍රසිද්ධ රහසකි. එලෙස අසරණ සතුන්ගේ තොරතුරු සමාජය හමුවට ඉදිරිපත් කොට ඒ මුවාවෙන් මහා ධන කුවේරයන් බිහි වීමේ මෙම අයහපත් තත්ත්වය සහ මහා ධන හානිය වළක්වා ගැනීම සඳහා රජය, රාජ්‍ය නොවන සංවිධාන (NGOs) සහ පශු වෛද්‍යවරුන් (Veterinarians / DVs) සම්බන්ධ කරගත් ජාතික කාර්ය සාධක බලකායක් පිහිටුවිය යුතුය.
 Image 5 1
තවද, ජලභීතිකා ඉලක්ක සපුරා ගැනීම සඳහා 70%ක සුනඛ එන්නත් ආවරණයක් ළඟා කර ගැනීමට ග්‍රාමීය මට්ටමින් ජංගම සායන පුළුල් කළ යුතු ය. අවසාන වශයෙන්, අලි-මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා දුම්රිය මාර්ගවල වේග සීමා පැනවීම, වන වැටවල් නඩත්තුව, අක්‍රීය විදුලි වැටවල් ඉවත් කිරීම සහ හක්කපටස් නිෂ්පාදනයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතුය. සතුන්ට කරුණාව දැක්වීම ආගමික සංස්කෘතියක කොටසක් පමණක් නොව, එය මහජන සෞඛ්‍යය, සංචාරක කර්මාන්තය සහ ජාත්‍යන්තර කීර්තියට ද සෘජුව බලපාන බැවින්, රජය සරල අයවැය ලේඛනවලින් ඔබ්බට ගොස්, ප්‍රතිඵල පෙන්වන, දත්ත මත පදනම් වූ ජාතික සත්ව සුබසාධන ප්‍රතිපත්තියකට යොමු විය යුතු කාලය එළඹ ඇත. එසේ නොකළ හොත් මෙය ද නිරන්තරයෙන් ඔඩු දුවන ජාතික අර්බුද ගොඩට ඇද වැටීම වළක්වනු බැරිය.

Reeta Jenet Perera(සටහන | රීටා ජෙනට් පෙරේරා)
නිදහස් මාධ්‍යවේදිනී
madampagereetajenet@gmail.com

උපුටා ගැනීම - vinivida

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...