The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සුනඛයන්ට එළවමින් පහර දී මරා දැමීම මානසික රෝගයක් ද? | විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

T

The Leader Desk

June 8, 2026 • 7:01 AM

සුනඛයන්ට එළවමින් පහර දී මරා දැමීම මානසික රෝගයක් ද? | විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සුනඛයන් වැනි සතුන් දුටු සැනින් ඔවුන් ලුහුබැඳ යාම, ඔවුන්ට පහර දීම සහ ජීවිතක්ෂයට පත් කිරීම වැනි ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් සමාජය තුළ වරින් වර වාර්තා වේ.
  • අප කුඩා කාලයේ පොලු මුගුරක් ද රැගෙන පාපැදියකින් ගමන් ගන්නා පුද්ගලයෙකු අතරමඟ සුනඛයකු දුටු සැනින් ඒ සතා ලුහුබැඳ ගොස් පහර දුන් අතර ඒ පහරවලින් සමහර සුනඛයන් මැරී වැටුණු බව ද අසන්නට ලැබිණි.
  • එනිසාම ප්‍රදේශවාසීන් ඒ පුද්ගලයා ‘බලු මරුවා’ යන විශේෂිත නමකින් හැඳින්වූ බව ද මතකය.
  • ළමා කාලයේදී සතෙකුගෙන් එල්ල වූ ප්‍රහාරයක්, කම්පන සහගත අත්දැකීමක් සේම තම පවුලෙන් සහ සමාජයෙන් සතුන් කෙරෙහි ලැබුණු සෘණාත්මක ආකල්ප මෙම ද්වේෂය වර්ධනය වීමට බලපාන බව පැවසෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

නමුත් අතීතයට සාපේක්ෂව එවන් බිහිසුණු ක්‍රියා සිදු කරන්නවුන් නීතිය හමුවට පැමිණවීමේ නව ප්‍රවණතාවක් දක්නට තිබේ. එය ඉතා සාධනීය වූවකි. මෙම කරුණ මුල් කොට සමාජ සුසංවාදයක් ගොඩනැඟීම ද ඊට හේතුවකි.

අප කුඩා කාලයේ පොලු මුගුරක් ද රැගෙන පාපැදියකින් ගමන් ගන්නා පුද්ගලයෙකු අතරමඟ සුනඛයකු දුටු සැනින් ඒ සතා ලුහුබැඳ ගොස් පහර දුන් අතර ඒ පහරවලින් සමහර සුනඛයන් මැරී වැටුණු බව ද අසන්නට ලැබිණි. එනිසාම ප්‍රදේශවාසීන් ඒ පුද්ගලයා ‘බලු මරුවා’ යන විශේෂිත නමකින් හැඳින්වූ බව ද මතකය. බැලූ බැල්මට මෙසේ කිරීම හුදෙක් සතෙකු පළවා හැරීමේ හෝ ක්ෂණික කෝපය මුදාහැරීමේ සරල ක්‍රියාවක් සේ පෙනුණ ද, නූතන මනෝවිද්‍යාව, මනෝවෛද්‍ය විද්‍යාව සේම ස්නායු විද්‍යාව (Neuroscience) පවා පෙන්වා දෙන්නේ මේ පිටුපස අතිශය සංකීර්ණ මානසික හා ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක් පවතින බවයි. ඒ, සතුන්ට හිංසා කිරීම යනු පුද්ගලයෙකුගේ බිඳවැටුණු මානසික සෞඛ්‍යය, පෞරුෂ ආබාධ හෝ බරපතල මනෝව්‍යාධි හඳුනාගත හැකි ප්‍රධානතම සායනික සලකුණක් (Clinical Marker) ද වන නිසාය.

 

Abusing a Dog in Texas

යමෙකු මෙවැනි ප්‍රචණ්ඩකාරී හැසිරීමකට යොමු වීමට මූලිකම හේතුව සිත තුළ ගොඩනැගෙන තදබල ද්වේෂය, කෝපය හෝ බියයි. පූර්ව අත්දැකීම් සහ කම්පනය (Trauma) ඒ අතුරින් ප්‍රධාන ය. ළමා කාලයේදී සතෙකුගෙන් එල්ල වූ ප්‍රහාරයක්, කම්පන සහගත අත්දැකීමක් සේම තම පවුලෙන් සහ සමාජයෙන් සතුන් කෙරෙහි ලැබුණු සෘණාත්මක ආකල්ප මෙම ද්වේෂය වර්ධනය වීමට බලපාන බව පැවසෙයි. එමෙන්ම මෙවන් තත්ත්වයක් ඇති වීමට ස්නායු විද්‍යාත්මක බලපෑම (Neurobiology) ද ඉවහල් වේ.

මොළයේ ඇති ඇමිග්ඩලා (Amygdala) නම් කොටස බිය සහ කෝපය වැනි මූලික හැඟීම් පාලනය කරන අතර, සාමාන්‍ය පුද්ගලයෙකුගේ ප්‍රචණ්ඩකාරී ආවේග, මොළයේ ඉදිරිපස ඇති ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් (Prefrontal Cortex) මගින් පාලනය කරනු ලබයි. නමුත් දිගින් දිගටම සතුන්ට හිංසා කරන පුද්ගලයන්ගේ මෙම පාලන පද්ධතිය දුර්වල වී ඇති බව ක්‍රියාකාරී එම්.ආර්.අයි (fMRI) පරීක්ෂණ මගින් විද්‍යාඥයන් සොයාගෙන ඇත. මේ අතර පෞරුෂ ආබාධ සහ සහකම්පනය හීන වීම (Personality Disorders & Empathy Deficiency) ද මෙවන් අසාමාන්‍ය චර්යාවන්ට මුල් වන බව අනාවරණය වී තිබේ. නමුත් සතුන් කෙරෙහි පවතින සෘණාත්මක සිතුවිලි සහ ආක්‍රමණශීලී ප්‍රතිචාර කාලයත් සමඟ වෙනස් නොවී ස්ථාවරව පවතින්නේ නම්, එය පෞරුෂමය අර්බුදයක (Personality Disorder) ලක්ෂණයකි. ප්‍රතිසමාජීය පෞරුෂ ආබාධය (Antisocial Personality Disorder – ASPD) ද යමකු මෙවන් සත්ව හිංසනයන් වෙත යොමු වීමට ප්‍රධාන හේතුවකි.

මෙම තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයන් තුළ මිනිසුන්ගේ හෝ සතුන්ගේ වේදනාව තේරුම් ගැනීමේ හැකියාව හෙවත් සහකම්පනය (Empathy) නැත. එබැවින් ඔවුන් සමාජ නීතිරීති නොසලකන අතර, සතුන්ට වධහිංසා පැමිණවීමෙන් විකෘති තෘප්තියක් ලැබීමට ද පෙළඹිය හැක. සීමාසහිත පෞරුෂ ආබාධය (Borderline Personality Disorder – BPD) ද මීට බලපාන තවත් හේතුවකි. මෙහිදී පුද්ගලයා සතු අධික ආවේගශීලීත්වය (Impulsivity) සහ චිත්තවේග අස්ථාවරත්වය හේතුවෙන්, කිසියම් උත්තේජනයකදී තමන්ගේ ආවේග පාලනය කරගත නොහැකිව ක්ෂණිකව ප්‍රචණ්ඩකාරී ලෙස ප්‍රතිචාර දක්වයි. සුනඛයෙකු බුරන විට ඔවුනට පහර දී නිහඬ කිරීමට වෙර දරනුයේ මෙබඳු අයයි.

සමහරු පවුල හෝ සමාජය තුළ සාමාන්‍ය පරිදි යහපත් ජීවිතයක් ගත කළ ද, සතුන් වැනි විශේෂිත පිරිසක් හෝ සාධකයක් ඉලක්ක කරගෙන පමණක් අසාමාන්‍ය ලෙස ආක්‍රමණශීලී හැසිරීම් පෙන්වති. මෙය හැඳින්වෙනුයේ තෝරාගත් ආක්‍රමණශීලීත්වය (Targeted Aggression) යනුවෙනි. මීට අමතරව සතුන්ට පහර දීම ඇතැම් විට පුද්ගලයෙකු තමන්ගේ පාලනයෙන් තොරව, සයිකෝසීය රෝගී තත්ත්වයන් සහ මෝහාබාධ (Psychosis & Delusional Disorders) නිසා සිදු කරන්නක් විය හැක.

විශ්වාසයන් මෙයට හේතු වේ. උදාහරණයක් ලෙස, “සියලුම සුනඛයන් තමන්ව සපා කෑමට හෝ ලෙඩ කිරීමට සැලසුම් කරනවා” වැනි මෝහාබාධ (Delusional Disorder) සේම ස්ථාවර මිථ්‍යා විශ්වාසයන් (Paranoid Delusions) නිසා ඔවුන් ස්වයං ආරක්ෂාව පතා සතුන්ට පහර දෙයි.

 

beat dog1
භින්නෝන්මාදය (Schizophrenia) නම් සයිකෝසීය (Psychotic) තත්ත්වයේදී රෝගියාට ඇතැම් විට බාහිර ලෝකයේ නොමැති ශබ්ද ඇසීමට පටන් ගනී (Auditory Hallucinations). “අර බල්ලා මරා දමන්න”, “ඌ උඹට වින කරන්න හදන්නේ” වැනි අණ දෙන ස්වභාවයේ මායා හඬවල් (Command Hallucinations) නිසා රෝගියා සතුන් ලුහුබැඳ ගොස් මරා දැමීමට පෙළඹිය හැක. එමෙන්ම අපරාධ විද්‍යාව (Criminology) සහ අධිකරණ මනෝවිද්‍යාව (Forensic Psychology) තුළ සතුන්ට හිංසා කිරීම අනාගත බරපතල ප්‍රචණ්ඩත්වයේ පෙරනිමිත්තක් ලෙස සලකනු ලබයි.

1963 දී ජේ.ඒයු. මැක්ඩොනල්ඩ් විසින් හඳුන්වා දුන් අපරාධ විද්‍යාව හා සම්බන්ධ ලෝක ප්‍රකට “මැක්ඩොනල්ඩ් ත්‍රිත්වය” (MacDonald Triad) සංකල්පයට අනුව, ළමා වියේදී දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණ තුනක් අනාගතයේදී ඔවුන් දරුණු අපරාධකරුවන් හෝ මිනීමරුවන් වීමේ අවදානම පෙන්වයි. එම ත්‍රිත්වය නම් සතුන්ට කුරිරු ලෙස වධහිංසා පැමිණවීම (Cruelty to Animals), දිගින් දිගටම ගිනි තැබීම් සිදු කිරීම (Pyromania) සහ වයස අවුරුදු 5න් පසුවත් පාලනයකින් තොරව නින්දෙන් මුත්‍රා පිටවීම (Enuresis) යන්නය. ළමා කාලයේදීම දරුවන් තුළ සතුන් කෙරෙහි දක්වන ප්‍රචණ්ඩත්වය හඳුනාගෙන මනෝවිද්‍යාත්මක උපදෙස් (Counseling/Therapy) ලබා දිය යුතුය.

hitting dog
නූතන පර්යේෂණ මගින් ද තහවුරු වී ඇත්තේ ළමා වියේදී සතුන්ට වධ දෙන දරුවන්, වැඩිහිටියන් වූ පසු චර්යා ආබාධ (Conduct Disorder) පෙන්වන අතර මිනිසුන්ට විරුද්ධව ද දරුණු ලෙස ප්‍රචණ්ඩත්වය මුදාහරින බවයි. මෙය බරපතල සමාජ අර්බුදයක පෙරනිමිත්තකි. එබැවින්, මෙවැනි හැසිරීම් දකින සමාජය නීතිමය දඬුවම් පැමිණවීමට පමණක් සීමා නොවී අදාළ පුද්ගලයා කඩිනමින් මනෝවිද්‍යාත්මක හෝ මනෝවෛද්‍ය සායනික ඇගයීමකට (Psychiatric Evaluation) යොමු කළ යුතුය. එහිදී එම පුද්ගලයාගේ දැනඋගත්කම, දරන තනතුර හෝ සමාජ තත්ත්වය හෝ ස්ත්‍රී පුරුෂ භාවය කෙසේවත් බල නොපාන බව ද විශේෂයෙන් කිව යුතුය. අදාළ පුද්ගලයාගේ ජීවිතය මෙන්ම සමස්ත සමාජයේම ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කළ හැක්කේ එවැනි විද්‍යාත්මක සහ මානුෂීය ප්‍රවේශයක් මගින් පමණි.

Rumi Ruban| විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්
Dr. Rumi Ruben
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රධාන විශේෂඥ මනෝ වෛද්‍ය

උපුටා ගැනීම - vinivida.lk
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...