The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

යෝජිත සංශෝධන මඟින් භික්ෂු ශාසනය නීතිමය අර්බුදයකට? | ශාස්ත්‍රපති වටගොඩ මග්ගවිහාරී ස්ථවිර

T

The Leader Desk

June 10, 2026 • 11:07 AM

යෝජිත සංශෝධන මඟින් භික්ෂු ශාසනය නීතිමය අර්බුදයකට? | ශාස්ත්‍රපති වටගොඩ මග්ගවිහාරී ස්ථවිර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බුද්ධ ශාසනය ශ්‍රී ලංකාව තුළ ශතවර්ෂ ගණනාවක් පුරා නොයෙකුත් දේශපාලනික, සමාජීය සහ ආගමික අභියෝගවලට මුහුණ දෙමින් අද දක්වා අඛණ්ඩව පවත්වාගෙන එනු ලැබීම විශිෂ්ට ඓතිහාසික ජයග්‍රහණයකි.
  •   කෙසේ නමුත්, භික්ෂු සමාජයේ සුළු පිරිසකගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් සමස්ත ශ්‍රී ලාංකේය භික්ෂු සමාජයට අපකීර්තියක් ඇති වූ අවස්ථා පසුගිය කාලය තුළ දැකගත හැකි විය.
  • එබැවින් ශාසනයේ ගෞරවය, විශ්වසනීයත්වය සහ අනාගත සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා ධර්මය, විනය සහ ප්‍රතිපත්තිය මත පදනම් වූ භික්ෂු පරපුරක් බිහි කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්ව ඇත.
  • මෙම පසුබිම තුළ බෞද්ධ විහාර දේවාලගම් පනතේ 41 සහ 42 වගන්ති සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් වී ඇති යෝජනා ද ශාසනයේ යහපත අපේක්ෂාවෙන් සකස් කරන ලද ඒවා බව පිළිගත යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):

එහෙත් කාලයාගේ ඇවෑමෙන් භික්ෂු ශාසනය තුළ විවිධ පිරිහීම් ලක්ෂණ මතු වී ඇති බව ප්‍රතික්ෂේප කළ නොහැකිය. ඒ පිළිබඳ අවධානය යොමු කළ මහා සංඝරත්නය සහ ශාසන හිතකාමී පිරිස් විවිධ අවස්ථාවල ශාසන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මැදිහත් වූහ. එවැනි ප්‍රයත්නයන් නිසා ශ්‍රී ලාංකේය භික්ෂු ශාසනය අද දේශීය සීමාවන් ඉක්මවා ජාත්‍යන්තර වශයෙන් ද සැලකිය යුතු සේවාවක් ඉටු කරමින් පවතී.

 

කෙසේ නමුත්, භික්ෂු සමාජයේ සුළු පිරිසකගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් සමස්ත ශ්‍රී ලාංකේය භික්ෂු සමාජයට අපකීර්තියක් ඇති වූ අවස්ථා පසුගිය කාලය තුළ දැකගත හැකි විය. එබැවින් ශාසනයේ ගෞරවය, විශ්වසනීයත්වය සහ අනාගත සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා ධර්මය, විනය සහ ප්‍රතිපත්තිය මත පදනම් වූ භික්ෂු පරපුරක් බිහි කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්ව ඇත. මෙම පසුබිම තුළ බෞද්ධ විහාර දේවාලගම් පනතේ 41 සහ 42 වගන්ති සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් වී ඇති යෝජනා ද ශාසනයේ යහපත අපේක්ෂාවෙන් සකස් කරන ලද ඒවා බව පිළිගත යුතුය. එහෙත් යහපත් චේතනාවක් පමණක් ප්‍රමාණවත් නොවේ. යම් නීති සංශෝධනයක් ක්‍රියාත්මක කිරීමට පෙර එයින් ඇති විය හැකි ප්‍රතිවිපාක ශාසනික හා නීතිමය දෘෂ්ටි කෝණ දෙකෙන් ම සැලකිල්ලට ගැනීම අත්‍යවශ්‍ය වේ. යෝජිත සංශෝධන පිළිබඳව සිදු කළ විමර්ශනයක දී ඒවා මඟින් දීර්ඝකාලීන ගැටලු සහ බරපතළ ප්‍රායෝගික අර්බුද මතු විය හැකි බව පෙනී යයි.

එබැවින් මෙම ලිපියේ අරමුණ වන්නේ යෝජිත සංශෝධනවලින් භික්ෂු ශාසනයට සහ රටේ නීති පද්ධතියට ඇති විය හැකි බලපෑම් පිළිබඳව ශාසනභාරධාරී අතිපූජනීය මහා සංඝරත්නය සහ අදාළ නීති ක්ෂේත්‍රයේ වගකිවයුතු පාර්ශ්වයන්ගේ අවධානය යොමු කිරීම ය.

යෝජිත 41(අ) වගන්තිය

buddist 16 01 25 1000x600
බෞද්ධ විහාර සහ දේවාලගම් පනතට යෝජිත සංශෝධනවල 41(අ) වගන්තියට අනුව භික්ෂුවකගේ නම රජයේ ලියාපදිංචි ලේඛනයෙන් ඉවත් කිරීමේ දී කවර ගණයේ වැරදි සඳහා ඉවත් කිරීම සිදු කරන්නේ ද යන්න නිශ්චිතව දක්වා තිබීම ඉතා වැදගත් ය. එහි 41(අ)(1)(අ) වගන්ති ප්‍රකාරව භික්ෂුවක් තමන් අයත් නිකායේ හෝ පාර්ශවයේ ව්‍යවස්ථාවන්ට, කතිකාවතට හෝ සම්ප්‍රදායන්ට පටහැනිව ක්‍රියා කරන විටෙක දී හෝ විනය විරෝධී ක්‍රියා කරන විටෙක දී එකී භික්ෂුව අයත් නිකායේ හෝ පාර්ශවයේ කාරක සභාව විසින් පවත්වනු ලබන විභාගයකින් අනතුරුව බෞද්ධ විහාර හා දේවාලගම් පනතේ 41 වන වගන්තිය යටතේ පවත්වා ගෙන යනු ලබන ලේඛනවලින් නම ඉවත් කළ හැක. තව ද 41(අ)(5) වගන්තියට අනුව එසේ උක්ත ලේඛනයෙන් නම ඉවත් කරන ලද භික්ෂුවක් පනතට අනුව සිවුරු හරිනු ලැබූ අයෙක් ලෙස සලකනු ලැබිය යුතුය.

භික්ෂු ශාසනයෙන් නෙරපිය හැක්කේ සූවිසි පාරාජිකාවන්ගෙන් එකකට හෝ පත් වූ භික්ෂුවක් හෝ භික්ෂුණියක් පමණි. නිකායක හෝ පාර්ශවයක ව්‍යවස්ථාවක්, කතිකාවතක් හෝ සම්ප්‍රදායක් ඉක්ම වූ පමණින් හෝ පාරාජිකා නොවන ඇවැත්වලට පත් වූ පමණින් භික්ෂුවකගේ භික්ෂූත්වය නැති නොවේ. තථාගතයන් වහන්සේ විසින් පවා පාරාජිකාපත්තියකට පත් නොවූ භික්ෂුවකගේ භික්ෂූත්වය හෝ භික්ෂුණියකගේ භික්ෂුණීත්වය ඉවත් කළ අවස්ථාවක් ත්‍රිපිටකයේ හෝ අටුවාවේ කිසි තැනක සඳහන් නොවේ. පාරාජිකපාළියෙහි කුලදූෂණ සංඝාදිශේෂ ශික්ෂාපදයෙහි නිදාන කථාවේ සහ චූළවග්ගපාළියෙහි කම්මක්ඛන්ධකයෙහි පබ්බාජනීයකම්ම පරිච්ඡේදයේ සඳහන් පරිදි ශාසනයට අතිශය පටහැනි ජිගුත්සාජනක ක්‍රියාවල නිරත වූ නමුත් පාරාජිකා නොවූ කීටාගිරිවාසී ඡබ්බග්ගිය භික්ෂූන් පන්සියය සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේ අනුගමනය කළ ක්‍රියා පිළිවෙත එයට හොඳම නිදසුන යි. අමූලක සංඝාදිශේෂ ශික්ෂාපදයේ නිදාන කථාවේ දී මෙත්තියා භික්ෂුණියව ශාසනයෙන් නෙරපීමට තථාගතයන් වහන්සේ භික්ෂූන්ට නියම කළේ ඇය ඒ වන විට ද පාරාජිකාපත්තියට පත් වී සිටි නිසා බව සමන්තපාසාදිකා අටුවාව සඳහන් කරයි.

පාරාජිකාවට පත් නොවී භික්ෂූත්වයෙන් බැහැර කරවිය නොහැකි බව විනයෙන් ආරක්ෂා කරනු ලබන භික්ෂුවකගේ මූලික අයිතිවාසිකමකි. පනතට යෝජිත නව සංශෝධනයන්ට අනුව අදාළ නිකායේ කාරක සංඝ සභාව විසින් සිදු කරන ලද විභාගයකට පසුව ලේඛනයෙන් නම ඉවත් කිරීම සිවුරු හැර යාමක් ලෙස සලකයි නම් ථේරවාද විනයට අනුව ලේඛනයෙන් නම ඉවත් කිරීම සූවිසි පාරාජිකාවන්ගෙන් එකකට පත් වීමක් නිසා ම විය යුතුය. නොඑසේ නම් එය භික්ෂුවකගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමකි.

v57u767iu68iukk
සූවිසි පාරාජිකාවන්ගෙන් එකකට පත් නොවූ භික්ෂුවක් හෝ භික්ෂුණියක් සිවුරු හැර යායුතු ක්‍රම විනයේ පැහැදිළිව ම දක්වා ඇත. භික්ෂුණියකට ගිහි වීමේ අදහසින් ගිහි වස්ත්‍ර ඇඳ ගැනීමෙන් ම උපැවිදි විය හැකි අතර එය සූවිසි පාරාජිකාවන්හි ම අන්තර් ගත වන නිසා ඇයට නැවත මේ ජීවිතයේ දී උපසම්පදාව නොලැබිය හැක. භික්ෂුවක් නම් සිවුරු හැර යා යුත්තේ තමන් උපැවදි වෙන බව වචනයෙන් තවත් මනුෂ්‍යයෙකුට ප්‍රකාශ කර සිටීමෙනි. එය සාර්ථවක සිදු වීම හෝ නොවීම පිළිබඳව විනයේ පැහැදිළි විස්තර ඇති අතර ඒවා සම්පූර්ණ වීම අනිවාර්‍ය්‍ය වේ. පාරාජිකාපාළියට සහ සමන්තපාසාදිකා අටුවාවට අනුව ‘පැවිද්ද ප්‍රතික්ෂේප කිරීමේ සිත (චිත්ත)’, ‘තමන් සිවුරු හරින බව ප්‍රකාශ කිරීමට භාවිතා කරන වචන (ඛෙත්ත)’, ‘සිවුරු හැර යාම සඳහා භාවිතා කරනු ලබන වාක්‍යයේ ක්‍රියා පදයේ ව්‍යාකරණානුකූල කාලය (කාල)’, ‘සිවුරු හැර යාමේ අදහස ප්‍රකාශ කරන ප්‍රයෝගය (පයෝග)’, ‘තම අදහස ප්‍රකාශ කරන්න කවරෙකුට ද එම පුද්ගලයා (පුග්ගල)’ සහ ‘අනෙකා විසින් එකෙණෙහි ම තමන් ප්‍රකාශ කළ අදහස දැන ගැනීම (විජානන)’ යන කරුණු හය සම්පූර්ණ වූ කල්හි ම ශික්ෂා ප්‍රත්‍යාඛ්‍යානය (උපැවිදි වීම) වේ. එසේ නොමැතිව නිකායකින් හෝ පාර්ශවයකින් නෙරපූ පමණකින්, බලහත්කාරයෙන් සිවුරු ගලවා ගිහි වස්ත්‍ර ඇන්දවූ පමණින් හෝ රජයේ ලේඛනයකින් නම ඉවත් කළ පමණින් පාරාජිකාපාළියට සහ මහාවග්ගපාළියට අනුව භික්ෂුවක් උපැවිදි වූවා යැයි නොසලකනු ලැබේ.

සූවිසි පාරාජිකාවන් අතුරින් එකකට හෝ පත් වීමක දී හෝ තමන් ම ස්වකැමැත්තෙන් තම උපසම්පදා ශික්ෂාව ප්‍රතික්ෂේප කිරීමක දී හැර රජයේ ලේඛනයෙන් නම ඉවත් කළ පමණින් භික්ෂුවක් ගිහියෙක් නොවේ. තථාගත විනයට අනුව ඔහු තවමත් භික්ෂුවකි. එබඳු අවස්ථාවක දී භික්ෂුව විසින් තමන් උපැවිදි වූවා යැයි සැලකුව ද පසුව ගිහි වේශයෙන් සිට මෛථුන සේවනයේ යෙදෙන පළමු අවස්ථාවේ දී හෝ අනෙකුත් පාරාජිකාවන්ට අදාළ කටයුතු ඔහු අතින් සිදු වන අවස්ථාක දී ඒ භික්ෂුව තමන් පාරාජිකා වන බවක් නොදැන ම පාරාජිකා වෙයි. මෙවන් දෙය සිදු වීම බුද්ධ ශාසනයට වන බරපතල හානියකි. ඒ නිසා සූවිසි පාරාජිකාවන්ගෙන් අන්‍ය වූ කරුණකින් නාම ලේඛනයෙන් නම ඉවත් කළ පමණින් උපැවිදි වීමක් යැයි සැලකුව හොත් උත්ගත විය හැකි කරුණු ඉතා බරපතල ය.

භික්ෂුවක් සිවුරු හැර යාමෙන් හෝ පාරාජිකා වීමෙන් ම ශාසනයෙන් ඉවතට යයි. නිකායක හෝ පාර්ශවයක කාරක සභාවක් විසින් නිකායෙන් හෝ පාර්ශවයෙන් නෙරපීම යනු එම නිකාය තුළ හෝ පාර්ශවය තුළ ඔහුගේ සාමාජිකත්වය අවසන් වීමක් මිස එය සිවුරු හැර යාමකට හෝ පාරාජිකා වීමකට සමාන නොවේ.

 

සූවිසි පාරාජිකාවන් හැර වෙනත් වරදවලට පත් වන භික්ෂුවට සංඝයා විසින් විනයේ සඳහන් ‘උක්ඛේපනීයකම්ම කිරීම’, ‘පබ්බාජනීයකම්ම කිරීම’ යනාදි දඬුවම් ලබා දිය හැක. එම දඬුවම් ලබා දීමෙන් පසු භික්ෂුවක් තම වරද නිවරද කර ගෙන සංඝයා වෙතින් දඬුවම ඉවත් කර ගන්නා තාක් ඔහුට විහාරයක මූලිකත්වය ගෙන කටයුතු කළ නොහැක. උදාහරණයකට ව්‍යාපාරයක් තුළ විනය ක්‍රියාමාර්ග ගැනීමෙන් තනතුරුවලින් තාවකාලිකව තනතුරුවලින් පහ කිරීමේ ක්‍රම ඇතිවාක් මෙන් ශාසනය තුළ ද විනයානුකූලව භික්ෂුවක් සතු බලතල සහ භික්ෂුවකගේ සමහර අයිතිවාසිකම් තාවකාලිකව ඉවත් කිරීමේ ක්‍රමේවේද ඇත. එබඳු ක්‍රමවේද පනතට සංශෝධන ලෙස ඉදිරිපත් කිරීම යෝග්‍ය ය.

 

cw45w46u678

යෝජිත සංශෝධනවලට අනුව රජයේ භික්ෂු නාම ලේඛනයෙන් නම ඉවත් කිරීම සිවුරු හැර යාමකට සමාන නිසා කාරක සභාවක් විසින් භික්ෂුවකගේ නම ලේඛනයෙන් ඉවත් කිරීමට ගනු ලබන තීරණය එම භික්ෂුවගේ ජීවිතයට තදබල ලෙස බලපායි. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය තුළ සිවුරු හැර ගිය අයට ලැබෙන සමාජ පිළිගැනීම එතරම් උසස් නොවන බව නොරහසකි. එබැවින් ලේඛනයෙන් නම ඉවත් කිරීම සම්බන්ධයෙන් තීරණ ගනු ලබන කාරක සභාවල අධිකරණ කටයුතු ස්වභාවික යුක්ති මූල ධර්මයන්ට (Fundamental Principles of Natural Justice) අනුව සිදු වීම ඉතා වැදගත් ය. තථාගතයන් වහන්සේ විසින් පණවා ඇති විනය පිටකයේ සහ එහි අටුවා, ටීකාවල සංඝයා අතර අධිකරණ විසඳිය යුතු ආකාරය ඉතා පැහැදිළිව දක්වා ඇත. එබැවින් ශාසන උන්නතිය පිණිස බෞද්ධ විහාර සහ දේවාලගම් පනත සංශෝධනය කරන විට සංඝයාගේ අධිකරණ ක්‍රියාවලීන් විනයානුකූලව සහ ස්වභාවික යුක්තියේ මූල ධර්මයන්ට අනුව සිදු කළ යුතු ආකාරය, අනුයුඤ්ජක (විනිශ්චයකාර) භික්ෂූන් වහන්සේලාගේ සුදුසුකම් යනාදි කරුණු පරිවාරපාළියෙහි චූළසඞ්ගාම වර්ගයෙහි දක්වා ඇති පරිදි පැහැදිළිව නිර්වචනය වී තිබීම වැදගත් ය.

උදාහරණයකට තථාගතයන් වහන්සේ විසින් “සඞ්ගාමාවචරෙ භික්ඛුනා සඞ්ඝෙ වොහරන්තෙන වත්ථු ජානිතබ්බං, විපත්ති ජානිතබ්බා, ආපත්ති ජානිතබ්බා ...” යනාදි ලෙසට දේශනා කර ඇති පරිදි සඞ්ඝයා විසින් සම්මත කරන ලද විනිශ්චයකාර භික්ෂුව විනයේ මනා දැනුමක් ඇති ව්‍යක්ත භික්ෂුවක් විය යුතුය. ඔහු විසින් ශික්ෂාපද කවරේද? එවා බිඳී ඇවතට පත්වන ක්‍රියා මොනවාද? අදාළ ඇවත නිසා පත්වන විපත්තිය කුමක්ද? අදාළ ඇවත කුමක්ද? යනාදි කරුණු හොඳින් දන්නා විනයේ ඉහළ දැනුමක් ඇති භික්ෂුවක් විය යුතුය.

එබැවින් භික්ෂුවක් නිකායකින් හෝ පාර්ශවයකින් ඉවත් කිරීම පිළිබඳ තීරණ ගැනීම සම්බන්ධයෙන් බෞද්ධ විහාර සහ දේවාලගම් පනතේ සංශෝධනවලට සංඝයාගේ අධිකරණ ක්‍රියාවලීන් නිවැරදිව සිදු විය යුතු ආකාර සහ විනශ්චයකාර භික්ෂූන්ගේ ලක්ෂණාදිය නිවැරදි ලෙස නිර්වචනය කර ඇතුලත් කර තිබීම ඉතා වැගත්ය. නොඑසේ නම් චූදිත භික්ෂූන්ට බලවත් අසාධාරණ විය හැක.

යෝජිත 42(1)(ආ) වගන්තිය

gettyimages 2272655605
යෝජිත සංශෝධනවල 42(1)(ආ) වගන්තියට අනුව රජයේ ලේඛනයෙන් නම ඉවත් කළ භික්ෂුවක් ලේඛනයෙන් නම ඉවත් කළ පසුව ද භික්ෂුවක් ලෙස පෙනී සිටිය හොත් අදාළ නිකායේ හෝ පාර්ශවයේ හෝ ලේඛකාධිකාරී ස්ථවිරයන් විසින් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකි අතර අනතුරුව මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ පවත්වනු ලබන ලඝු නඩු විභායකින් පසු වරදකරු කරනු ලැබීමක දී රුපියල් ලක්ෂ පහකට නොඅඩු සහ මිලියනයකට නොවැඩි දඩ මුදලකට හෝ වසරකට නොවැඩි කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකට ම යටත් විය යුතුය.


මේ කරුණේ දී කාරක සභාවේ තීරණය කිසිදු අධිකරණයක අභියෝගයකට ලක් කළ නොහැක යැයි පනතේ සඳහන් කර ඇත. මේ යෝජිත සංශෝධනය නිසා පැන නඟින ගැටළු දෙකක් ඇත.

යම් හෙයකින් නාම ලේඛනයෙන් නම ඉවත් කරන ලද නමුත් තවමත් භික්ෂුවක් ලෙස පෙනී සිටින පුද්ගලයා මහේස්ත්‍රාත්වරයා ඉදිරියට ගෙන ගිය විටෙක දී ඔහු විසින් මහේස්ත්‍රාත් අධිකරණයේ දී තම විත්තිය ලෙස

(1). තමන්ව කාරක සභාව විසින් නෙරපූ නඩු විභාගය පක්ෂග්‍රාහී යැයි පැවසුව විටෙක දී,
(2). තමන්ට නිසි ලෙස අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොදුන්නේ යැයි පැවසූ විටෙක දී,
(3). කාරක සභාව අධිකරණ කටයුත්තේ දී විනය හෝ නිකායේ ව්‍යවස්ථාව උල්ලංගනය කළ බව පැවසූ විටෙක දී,
(4). තමන් සැබවින් ම භික්ෂූත්වයෙන් හෝ නිකායෙන් නෙරපීමට තරම් කටයුත්තක් කර නොමැති බව පැවසූ විටෙක දී,

මහේස්ත්‍රාත්වරයාට චූදිතයාගේ විත්තියට සවන් දී කාරක සභාවේ තීරණය නැවත විමසීමට අවස්ථාවක් ලැබුන ද නොලැබුන ද විශාල ශාසන සහ ව්‍යවස්ථා අර්බුදයකට පාර කැපෙයි.
 
sri buddhist monk 20260523cr 1920x1080
මහේස්ත්‍රාත්වරයාට චූදිතයාගේ විත්තියට අනුව කාරක සභාවේ තීරණය නැවත විමසීමට අවස්ථාවක් නොලැබේ නම් සහ කාරක සභාවේ තීරණය අනුව මහේස්ත්‍රාත් අධිකරණය දඬුවම් නියම කරන්නේ නම් නිකාය සහ පාර්ශවවල කාරක සභා එක්තරා අපරාධ නඩු විනිශ්චය කරන ආයතත බඳු ආයතන බවට පත් වේ. දඬුවම් නියම කරන්නේ මහේස්ත්‍රාත්වරයා විසින් වුව ද මහේස්ත්‍රාත්වරයා විසින් කාරක සභාවේ තීරණය විමසා බැලීමට නොහැකි නම් හෝ කාරක සභාවේ තීරණය කිසිදු අධිකරණයක අභියෝගයකට ලක් කළ නොහැකි නම් කාරක සභාවේ තීරණය සිර දඬුවම් දීමට බලපාන ප්‍රධානත ම සාධකය වේ. මෙය එක්තරා අපරාධ නඩු සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය ඒ ඒ නිකාය සහ පාර්ශවවලට ලබා දීමකි.
 
යම් හෙයකින් ස්වභාවික යුක්ති මූල ධර්මයන් ක්‍රියාත්මක වුව හොත් චූදිතයාට සිර දඬුවම් ලැබීමට ප්‍රථම අධිකරණය ඉදිරියේ තමන්ගේ විත්තිය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබිය යුතුය. අනෙක් පාර්ශවයන්ට සවන් දීමේ මූලධර්මය අනුව (Right to be Heard) මහේස්ත්‍රාත්වරයාට නිකායේ හෝ පාර්ශවයේ කාරක සභාව චූදිතයාව නෙරපූ විනය විභාගය කළ ආකාරය, එම විභාගයේ දී ස්වභාවික යුක්තියේ මූල ධර්ම ක්‍රියාත්මක වූවා ද කඩ වූවා ද යන්න, චූදිතයාව කාරක සභාවෙන් ඉවත් කිරීමට හේතු වූ භික්ෂු විනය නීති හෝ අදාළ නිකායේ හෝ පර්ශවයේ ව්‍යවස්ථාව උල්ලඞ්ගනය වීම නොවීම පිළිබඳ කරුණු යනාදිය අපක්ෂපාතීව විමසා බැලීමට සිදු වේ. මෙහි දී මහේස්ත්‍රාත්වරයාට ධර්මයේ සහ විනයේ සඳහන් කරුණු අනුව සහ ඒ ඒ නිකායවල සහ පාර්ශවවල ව්‍යවස්ථාවන්ට අනුව තීරණ ගැනීමට සිදු වේ. අධිකරණයට ධර්මය, විනය සහ නිකාය සහ පාර්ශවවල ව්‍යවස්ථා සම්බන්ධයෙන් විනිශ්චය කිරීමට සිදු වීමෙන් සාම්ප්‍රදායික වශයෙන් සංඝයා විසින් තීරණය කරනු ලබන කරුණු ගරු අධිකරණ විනිශ්චයට යටත් වීම නොවැළැක්විය හැක.
 
තව ද නිකාය සහ පාර්ශවවලින් භික්ෂුවක් නෙරපීමේ කාරණා පැහැදිළිව දක්වා නැති සන්දර්භයක ධර්මය දේශනා කිරීමේ දී සහ ලිවීමේ දී ධර්මය විකෘති කරන්නේ යැයි කාරක සභාවක් විසින් අදහස් කරනු ලබන භික්ෂුවක් වුව ද කාරක සභාවක් විසින් තම නිකායෙන් හෝ පාර්ශවයෙන් නෙරපිය හැක. මහේස්ත්‍රාත් අධිකරණයේ දී ස්වභාවික යුක්තියේ මූල ධර්මය ක්‍රියාත්මක වුව හොත් චූදිතයාගේ නෙරපීමට හේතු වූ ධර්ම විග්‍රහයන් ද ගරු මහේස්ත්‍රාත්වරයාට විමසීමට සිදු වේ. එ් අනුව ධර්මයේ නිරවද්‍යතාවය පිළිබඳව තීරණ ගැනීම මහේස්ත්‍රාත්වරයා අතට පත් වීම ද වැළැක්විය නොහැක.

මරණ දඬුවමට නියම වූ අයෙකුට පවා තමන්ට පහළ අධිකරණයකින් ලැබුනු තීන්දුව ඉහළ අධිකරණයක අභියෝගයට ලක් කර අභියාචනා කිරීමේ අයිතිය තිබේ. ශ්‍රී ලංකාවේ පුරවැසියන් සතු කවර දඬුවමකට හෝ අභියාචනා කිරීමේ අයිතිය නීතියක සංශෝධනයක් මඟින් අහෝසි කිරීම හෝ අසාධාරණ ලෙස සීමා කිරීම නොකළ යුතුය. එබැවින් මහේස්ත්‍රාත් අධිකරණයෙන් සිර දඬුවම් නියම කළ ද එය ඉහළ අධිකරණයක අභියෝගයකට ලක් කළ හැකි විය යුතු ම ය.

යම් හෙයකින් උක්ත කරුණ සම්බන්ධයෙන් පමණක් අභියාචනා අයිතිය නැත යැයි තීරණය වුව හොත් ශ්‍රී ලංකා පුරවැසියෙකුට තම අභියාචනා අයිතිය අහිමි කිරීමේ බරපතල නීතිමය ගැටලුව පමණක් නොව ස්වභාවික යුක්ති මූලධර්ම, නීතියේ ආධිපත්‍යය (Rule of Law) සහ ව්‍යවස්ථානුකූල පාලනය (Constitutional Governance) සම්බන්ධ ගැටලු රැසක් ද මතු වීම වැළැක්විය නොහැක.
 
iStock 2174645021
කරුණු මෙසේ හෙයින් බෞද්ධ විහාර සහ දේවාලගම් පනතට යෝජිත සංශෝධන නැවත ගැඹුරින් සලකා බලා ශාසනයට සහ ශ්‍රී ලංකාව තුළ නීතියේ පැවැත්මට අහිතකර ලෙස බලනොපාන ලෙස සංශෝධන නැවත ඉදිරිපත් කළ යුතු බව වගකිව යුතු හැමට ගෞරවයෙන් සිහිපත් කරමි.
 
ශාසනය තුළ වර්තමානයේ පැන නැඟී ඇති අර්බුද බොහොමයක් දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රමානුකූලව වර්ධනය වූ ඒවා වන අතර ඒවාට විසඳුම් සෙවිය යුත්තේ ද විනයානුකූල ක්‍රමවේදයන්, භික්ෂු අධ්‍යාපනයේ ප්‍රවර්ධනය, විනයාධිකරණ ක්‍රියාවලීන් ශක්තිමත් කිරීම සහ ශාසනික ආයතන සංවර්ධනය වැනි දීර්ඝකාලීන වැඩසටහන් මඟිනි. මෙහි ඉදිරිපත් කර ඇති කරුණු සීමා වන්නේ යෝජිත සංශෝධනවලින් උද්ගත විය හැකි නීතිමය සහ විනයානුකූල ගැටලු පිළිබඳව පමණි.
විනයානූකූල ක්‍රමවලින් සහ ශාසනය නඟා සිටුවීමේ දීර්ඝකාලීන වැඩ සටහන්වලින් ම උද්ගතව ඇති ශාසන අර්බුදයන්ට පිළියම් සෙවීම ම දිගු කාලීන ශාසන චිරස්ථිතිය පිණිස හේතු වේ.

waraerteyartgtgtdr5yrry| ශාස්ත්‍රපති වටගොඩ මග්ගවිහාරී ස්ථවිර
2026 ජූනි 06.

 
 
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...