The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'උයන්' තෙරක හිඳ නිහඬ බව බිඳින | ආචාර්ය උදන් ප්‍රනාන්දු

T

The Leader Desk

June 10, 2026 • 11:46 AM

'උයන්' තෙරක හිඳ නිහඬ බව බිඳින | ආචාර්ය උදන් ප්‍රනාන්දු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහාචාර්ය ජයදේව උයන්ගොඩ විසින් 1973-76 කාල වකවානුවේ තමන් සිරගත ව සිටිය දී රචිත කවි එකතුවක් නැවත මුද්‍රණයක් ලෙස පළ කෙරෙන බවත්, ජුනි 18 එය පිළිගැන්වීමේ අවස්ථාවක් එළැඹෙන බවත් මා දැන ගත්තේ මිතුරු ආචාර්ය ක්‍රිෂාන්ත ෆ්‍රෙඩ්රික්ස්ගේ එෆ්බී වෝලයෙනි.
  • වැල්වටාරම 1 මීට මාස දෙකකට පමණ පෙර, මා දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස්, එන අතර ඒ අසල පිහිටි, mkb සුපර් මාර්කටයට ගියෙමි.
  • ප්‍රවීණ ඉංග්‍රීසි සාහිත්‍ය ගුරුවරියක හා කොළඹ ශුද්ධ වූ පවු‍ලේ කන්‍යාරාමයේ නියෝජ්‍ය විදුහල්පති ව සිටි ඉවෙට්, විශ්‍රාම යෑමෙන් පසුව ද, ඉංග්‍රීසි සාහිත්‍ය විෂය ඉගැන් වූ අතර, මේ සඳහා ඇයට දැඩි ඉල්ලුමක් තිබුණු බව ප්‍රකට ය.
  • මහාචාර්ය උයන් හමුවීමට මා ඔවුන්ගේ නැදිමාල නිවසට ගිය හැම විටක ම, රසවත් ආහාර වේලකින් ඉවෙට් සංග්‍රහ කළ බව මතක් කරන විට පවා කටට කෙල උනයි.
අකුරු ප්‍රමාණය (Font Size):


එක්තරා ආකාරයකට, මෙය මා තරමක් මවිත කළ පුවතක් විය. ඊට හේතු කියන්නට කලින්, මහාචාර්ය උයන් පසු ගිය මාස කිහිපයේ මුහුණට මුහුණ හමු නොවුනත්, ඔහු ගැන වක්‍රාකාරයෙන් මා අත්දුටු ආකාරය වැල්වටාරම් දෙකකින් විස්තර කරන්න කැමැත්තෙමි (වැල්වටාරම් නොරිසි අය, ඒවා මගහැර ඊළඟ කොටස කියවනු මැනැවි.).

715398593 1758036935560196 7734382473909243392 n

වැල්වටාරම 1

මීට මාස දෙකකට පමණ පෙර, මා දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස්, එන අතර ඒ අසල පිහිටි, mkb සුපර් මාර්කටයට ගියෙමි. කවුන්ටරයෙන් මුදල් ගෙවා යන්නට සූදානම් වෙද්දී මගේ නෙත ගැටුණේ සුපුරුදු මුහුණකි. ඒ ඉවෙට් උයන්ගොඩ ය. මහාචාර්ය උයන්ගේ ප්‍රිය බිරිඳ වන ඉවෙට්, සුවිශේෂ චරිතයකි. ප්‍රවීණ ඉංග්‍රීසි සාහිත්‍ය ගුරුවරියක හා කොළඹ ශුද්ධ වූ පවු‍ලේ කන්‍යාරාමයේ නියෝජ්‍ය විදුහල්පති ව සිටි ඉවෙට්, විශ්‍රාම යෑමෙන් පසුව ද, ඉංග්‍රීසි සාහිත්‍ය විෂය ඉගැන් වූ අතර, මේ සඳහා ඇයට දැඩි ඉල්ලුමක් තිබුණු බව ප්‍රකට ය. මහාචාර්ය උයන් හමුවීමට මා ඔවුන්ගේ නැදිමාල නිවසට ගිය හැම විටක ම, රසවත් ආහාර වේලකින් ඉවෙට් සංග්‍රහ කළ බව මතක් කරන විට පවා කටට කෙල උනයි. ආහාර වේලේ මෙනුව මනා ව පිළියෙල කිරීමේ සිට එය මේසයට අරින තෙක්, ඈ ඊට දක්වන උනන්දුව හා ප්‍රාගුණය ගැන නොකිව මනා ය. ආහාරය ගන්නා මුළු වේලාවේ ම මේසයේ රැඳී සිට රසවත් හා අර්ථවත් කතා බහකින් සංග්‍රහ කරන්නට ද ඇය ඉතා දක්ෂ ය. වෙනත් වචනයකින් කියතොත් ඈ ඉතා ප්‍රවීණ කොන්වර්සේශනලිස්ට්වරියකි හෙවත් කතාකාරියකි.

එම්කේබියේ හමු වූ ඉවෙට් කීවේ, ඈ මහාචාර්ය උයන් ෆිසියොතෙරපි සැසියකට භාර කර ඒ අතරතුර ග්‍රෝසරි අයිතම කීපයක් ගැනීමට ආ බව යි. මේ කාලයේ මහාචාර්ය උයන් තරමක අසනීප තත්ත්වයකින් ස්ථාවර ව නමුත් සෙමින් ගොඩ එන බව මට කීවේ වෛද්‍ය වින්‍යා ආරියරත්න ය. වටින් ගොඩින් මේ ගැන මා ඉවෙට් සමග කතා කළ විට, ඈ කීවේ ඇය හැම උත්සාහයක් ම දරන්නී තම සැමියා රෝද පුටුවේ සහාය ලබා ගැනීම වැළැක්වීමට බව යි. තවදුරටත් ඈ කීවේ, රෝද පුටුවට ගියොත් එක්තරා ආකාරයකට ඊට ඇබ්බැහි වීමට ඉඩ ඇති බවයි. වෙලාවක ඔවුන්ගේ නිවසට විත් කෑම වේලක් කෑමට එන ලෙස ආරාධනා කර එම්කේබීයෙන් ඈ පිටවුණා ය. ඊට සති කිහිපයකට පසු ව, ආචාර්ය ෆ්‍රෙඩ්රික්ස්ගේ වෝලයෙන් ම මා නැවත වරක් දුටුවේ ඔහු මහාචාර්ය උයන් රෝද පුටුවක හොවා තල්ලු කරගෙන එන ඡායාරූපයකි. මේ අවස්ථාවේ මහාචාර්ය ව උයන් සිනාමුසු මුහුණෙන් (in good spirits) සිටිය ද එම්කේබීයේ ඉවෙට් මා හා කළ කතාව සිහි වී මට ඇති වූයේ තරමක සන්තාපයකි. රෝද පුටුවේ පිහිට පැතුම තාවකාලික එකක වනු ඇතැයි මම පතමි.

වැල් වටාරම 2

644282691 1228729899408574 6834600626393215589 n

පසුගිය සතියේ මා සිටියේ කළුතර හා මතුගම ප්‍රදේශයන් හී ය. ඒ ප්‍රදේශවල හමු වූ අය අතර, 1977 හ 1987 වසරවල උපන් දෙදෙනක් වූ අතර, ඔවුන් දෙදෙනා ම කොළඹ සරසවියේ දේශපාලන විද්‍යාව හැදැරූ අය වූ හ. තම සරසවි දිවිය ස්මරණය කරමින් ඔවුන් මහත් ලාලසාවකින් පැවසුවේ 'උයන්ගොඩ සර්' ගැන යි. ඔවුන් දෙදෙනා ම පසු කලෙක ගුරුවරුන් වූ අතර , ඔවුන්ගේ ගුරු පරමාදර්ශය ලෙස විරාජමාන වී ඇත්තේ ඉහත සර් ය. සරසවි කාලයේ සර් මෙන් ඇවිදින්නත් කතා කරන්නත් ඇළුම් කළ බව ඔවුන් සිහිපත් කරන්නේ තම ගුරුවරයාට ඇති මහත් භක්තියකිනි. මෙහිදී මට පසක් වූයේ මහාචාර්ය උයන්ගොඩ ගුරුවරයෙක් ලෙස කෙතරම් සාධනීය බලපෑමක් තමයි ශිෂ්‍ය ප්‍රජාව අතර කර ඇති බව යි.

(වැල්වටාරම් 1 හා 2 අවසානය)

 දැන් නැවතත්, මා තරමක් මවිත වූ කාරණය දෙස.

හැත්ත එකේ කැරැල්ලට සම්බන්ධ වූ අයෙකු ලෙස තරුණ උයන්ගොඩ අච්චු ලැබ සිරගත ව සිටි බව රහසක් නොවේ. එහෙත් සිරෙන් නිදහස් වූ පසු, උයන්ගොඩ තම හැත්තෑ එකේ සම්බන්ධය අලලා වින්දිතයකු ලෙස හෝ වීරයෙකු ලෙස ලාංකීය සමාජය තුළත් ඉන් පිටතත්, දේශපාලන ලාභාංශයක් උපයා ගැනීමට උත්සාහ නොකළ බව මා අසා ඇති කරුණ යි. මට මතක ඇති මගේ වැඩිහිටි සමයේ මගේ නිරීක්ෂණය ද එය යිි. වින්දිතත්ත්වය හෝ වීරත්වය තත්කාලීන සමාජයේ එක්තරා විනිමයක් (currency) ලෙස භාවිතා කිරීම බොහෝ සුලභ කාරණයකි. මේ ගැන මා මිතුරු ගාමිණී වියන්ගොඩ සමග කතා කිරීමේදී ඔහු පැවසුවේ, උයන්ගොඩ තම හැත්තෑ එකේ සම්බන්ධය කිසි දිනෙක "ආභරණයක්ලෙස භාවිතා නොකළ" බව යි.

මට හිතෙන හැටියට එක්තරා ආකාරයකට ඔහු , ඉංග්‍රීසි යෙදුමක් වන "move on" මාදිලියෙන් තම ජීවිතය ඉදිරියට ගෙන ගියා විය හැක. උයන්ගොඩ තම ආචාර්ය උපාධිය හැදෑරූ හවායි සරසවියට වසර හතරකට පෙර යෑමට මට අවස්ථාවක් ලැබිණ. මා එහි ගත කළ කාලයේ උයන්ගොඩගේ හවායි සමකාලීනයන් කිහිප දෙනෙක් ම මට හමු ව්ණ. වෙනත් විවිධ විෂයන්ගෙන් ආචාර්ය උපාධි ලැබූ ඔවුහු තවමත් ඇමරිකාවේ නොයෙක් ක්ෂේත්‍රයන්හි රැකියා කරමින් සිටිති. මා ලංකාවෙන් ආ බව දැනගත් සැනින් ඔවුන් ඇසුවේ "උයන්ගොඩ" දන්නවා ද කියා යි. ඊට ම'විසින් සැපයුණු ධනාත්මක පිළිතුර මට හවායි හී ඔවුන් සමග ගැඹුරු මිතුරු හා වෘත්තීය සම්බන්ධතාවයක් ගොඩ නඟා ගැනීමට හේතු පාදක වූ පාස්පෝටයක් මෙන් විය. පොත් ගොඩක් මැද සිටිමින්, කන්න බොන්නවත් එන්නේ නැතුව එක දිගට පොත් කියැවූ උයන්ගොඩ යි ඔවුන්ගේ මතකයේ තවමත් සිටින්නේ. දැන් ප්‍රකට රසායන විද්‍යාඥවරියක ව සිටින ඒ කාලයේ උයන්ගොඩගේ සමකාලීන සිසුවියක මට පැවසූයේ අසනීප වූ විටක වරක් කොත්තමල්ලිි ටිකක් ගෙනගිය විටක ඇයට සිදු වූයේ උයන්ගොඩගේ කාමරයේ පොත් උඩින් පැන පැන යන්නට බව යි.

සිරගත ව සිටින කාලයේත් ඉන් පසුවත්, ජවිපේ සමහර නායකයන් ඉන් ඉවත් වී වෙනත් දේශපාලන ව්‍යාපාර දියත් කිරීමේ ප්‍රවණතාවයක් තිබිණ. ඒ අතර "ජනතා සංගමය" ප්‍රධාන එකක විණ. ජනතා සංගමයේ හෝ එවන් අතුරු ව්‍යාපාරවල උයන්ගොඩ ක්‍රියාශීලී වූවා කියා මා අසා නැත. මා හිතන හැටියට ඔහු මේ ව්‍යාපාර අරභයා යම් දුරස්ථභාවයක් හෝ අක්‍රියභාවයක් පවත්වා ගැනීමට තීරණය කළා විය හැක. අධ්‍යාපන හා ශාස්ත්‍රීය කටයුතුවල පූර්ණකාලීන ව හා බරපතළ ලෙස නිමග්න වීම ද මීට හේතුවක් බව අනුමාන කළ හැක.

Professor Emeritus Jayadeva Uyangoda 719144
එදා 2023 අග භාගයේ, මා ලයනල් බෝපගේ ගැන ලිපි දෙකක් අනිද්දා පුවත්පතට ලියවා ගැනීමට ආරාධනා කළේ දේවසිරි හා උයන්ගොඩ මහාචාර්ය දෙපළට ය. මහාචාර්ය උයන්ගේ සාරගර්භ ලිපියේ බෝපගේ ඇමතූයේ ආචාර්ය ලයනල් බෝපගේ ලෙස ය. සරල නිගමනයක් ලෙස වුව, මා කල්පනා කළේ සහෝදරයා හෝ කොම්රේඩ් කෑල්ල ලයනල්ගේ නමට මුලින් හෝ අගින් නොයෙදුනේ මන්ද කියා ය. එහෙත් ඒ හුස්මෙන් ම මට හිතුණේ මෙයත් එක්තරා ආකාරයක "මූව්-ඕන්" දෙයක කොටසක් විය හැකි බවයි. එසේත් නොමැති නම් තමා සිටි අතීතය, යම් දුරස්තභාවයකින් ස්මරණය හා පරිශීලනය කරන බවයි. ලයනල් සමග මේ කාරණය මා සාකච්ඡා කිරීමේදී ඔහු කීවේ පෞද්ගලික කතා බහ හා සන්නිවේදන තුළ උයන්ගොඩ හා තමා එකිනෙකාට අමතන්නේ සහෝදරයා ලෙස කියා බව ය.

ඉහත කාරණයේ දී මට නැවත වරක් වැල්වටාරමකින් පාඨකයා පෙළන්නට සිත් වීම වළකාලිය නොහැක.

වැල්වටාරම 3

1971 අප්‍රේල් සිදුවීම්වලින් පසුව එළඹෙන සතිය දෙසතිය තුළ, දහස් ගණනින් කැරැල්ලට සම්බන්ධ වූ තරුණ තරුණියන් අත්අඩංගුවට ගන්නට එකල පැවැති ආණ්ඩුවට හැකි විය. එහෙත් බෝපගේ හා උයන්ගොඩට මේ පළමු වටයේ අත්අඩංගුවට ගැනීම්වලට භාජනය නොවී සැඟ වී සිටීමට හැකි විය. පියතිලක සහෝදරයාට අමතර ව කොළඹ දිසාව භාර ව සිටි උයන්ගොඩ ද මාතලේ රහසිගත ස්ථානයක ආරක්ෂක ගමක් සදමින් සිටි බෝපගේට ද මේ කාලයේ අත්අඩංගුවෙන් බේරී සැඟ ව සිටින්නට උදව් කර ඇත්තේ එකල කොළඹ සරසවියේ බෞද්ධ දර්ශනය පිළිබඳ කථිකාචාර්යවරයෙකු වූ සුමංගල (වැනි නමක සහිත) හිමි නමකි. උන්වහන්සේ වැඩ සිටි සරික්කාලිමුල්ලේ (මොරටුවේ දිගුරොල්ල පාලම පසුකොට පානදුර දෙසට යන විට හමුවන) පන්සලක බෝපගේ හා උයන්ගොඩ දින කිහිපයක් සැඟව සිට ඇත. එකෙකු නිදන විට අනෙකා "ගාඩ් ඩියුටිය" ඉටු කර ඇත. එක් දිනෙක උදේ ලයනල් අවදි වන විට පන්සල පොලිසියෙන් වටලා ඇති බව තේරුම් ගත් අතර ටික වෙලාවකින් ඔහු අත්අඩංගුවට ගැනිණ. ඉන්පසු ඔහු පානදුර පොලිසියට රැගෙන ගොස් ඉන් අනතුරු ව රිමාන්ඩ් බන්ධනාගාරයට යැවිණ. උදෑසන පොලිසිය එන විට උයන්ගොඩ සරික්කාලිමුල්ල හංදියට ගොස් ඇත්තේ රැවුල බා ගැනීමට බ්ලේඩ් තලයක් මිලදී ගැනීමට බව මට කීවේ මේ කතාවේ ඉතුරු කොටසත් කියූ ලයනල් බෝපගේ ය. මේ සිද්ධියෙන් ටික කලකට පසු උයන්ගොඩත් අත් අඩංගුවට පත් වී ඇත.

සිරගත ව සිටින මුල් කාලයේ සිට ම උයන්ගොඩ පක්ෂයෙන් ඉවත් වී අධ්‍යාපන කටයුතු හා පොත පත පරිශීලනය කිරීමට කාලය මිඩංගු කළ බව කියැවේ. සිරගෙය තුළ හා ඉන්පසු ව පිටත දීත් ජවිපෙ නායකත්වය සමග අනවශ්‍ය වාද විවාදයන් හි නොපැටළී, තමන්ගේ පාඩුවේ නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කළ බව ද කියැවේ.

මට මතක හැටියට, තම ශාස්ත්‍රීය කටයුතු දේශපාලන විචාර අතර ජවිපෙ ගැන උයන්ගොඩ ශාස්ත්‍රඥයා විසින් අනවශ්‍ය (undue) අවධානයකින් එය උත්කර්ෂයට නංවා හෝ වෛරී / අගතිගාමී ලෙස විවේචනය කර නැත. මගේ දැනුමේ හැටියට ඔහු පක්ෂය සමග සම්බන්ධයක් සිරෙන් නිදහස් වූ පසු නඩත්තු කළේ නැත. ජවිපෙ දෙවන සන්නද්ධ අරගල සමය වන විට, සරසවි ජීවිතයට අමතර ව, උයන්ගොඩ ස්ථානගත ව සිටියේ සමාජ විද්‍යාඥයන්ගේ සංගමය හා මානව හිමිකම් සම්බන්ධයෙන් වැඩ කරනා රාජ්‍ය නොවන සංවිධාන (ඉන්ෆෝම් වැනි) හා සිවිල් සමාජ කලාපය තුළ ය.

මා මේ විස්තර කළ කරුණු නිසා ය යට කී මවිතය කවි පොත නිකුත් කිරීම අරභයා මා තුළ එක්වර ම ජනිත වූයේ.

 

Udan 260610
තරුණ සමයේ උයන්ගොඩ සාහිත්‍ය නිර්මාණකරණයේ යෙදුණු බව මට රහසක් නොවුණේ, චිත්‍රා බෝපගේ ගැන 2024 දී කළ වාර්තා චිත්‍රපටය (Nun Other Than) සඳහා මා කළ පර්යේෂණ කටයුතු නිසා ය. ඉහත චිත්‍රපටයට රෝහණ වීරසිංහ හා ලයනල් බෝපගේ නිසි අවසරය ඇති ව අප පසුබිම් සංගීතයේ කොටසක ලෙස "විමුක්ති ගී" කිහිපයක් ම භාවිතා කළේ ය. එම ගීතයන්හි බොහොමයක පද මාලා පබැඳ තිබුණේ උයන්ගොඩ විසිනි. ඔහුගේ මුල් ශාස්ත්‍රීය කාලයේ ලියැවුණු චිත්‍රපට විචාර ද එකල අප කියවූයේ මහත් අභිරුචියෙනි. ඒවායින් විශද වූයේ උයන්ගොඩ සතු ව තිබූ පුළුල් පරාසයක දැනුම හා උනන්දුව ය. එහෙත් මේ කවි එකතුව ගැන මා දැන සිටියේ නැත. ෆ්‍රෙඩ්රික්ස්ගේ වෝලයෙන් දැනගත් පුවතෙන් පසු, මා මිතුරු ගාමිණී වියන්ගොඩ අමතා කළ කතාවෙන් පසු, 1977 මුලින් පළ කළ පොතේ පිටපතක් මට හැරෙන තැපෑලෙන් (නිශ්චිතව කියතොත් පික්මී ප්ලෑසයෙන්) මට ලැබිණ. එම පොත හතර වටින් දිරාපත් ව තිබුණි. පිටු එකට බැඳ තිබූ ස්ටේපල දෙක ද හොඳට ම මලකඩ කා තිබිණ. එහෙත් මේ වටිනා පුස්තකය දිගහැර කියවා ගත හැකි මට්ටමක තිබීම මට මහත් සතුටක් විය.

නොබෝ දිනකින් නැවත මුද්‍රණයක් ලෙස සරසවි ප්‍රකාශකයන් එළි දක්වන "මම් කෙසේ පවසම්" කවි එකතුවේ මුල් මුද්‍රණයේ එක් සුවිශේෂත්වයක් වන්නේ පොතේ හැඳින්වීම ලියා ඇත්තේ ගුණදාස අමරසේකර වීම ය. එම මහතාගේ පසුකාලීන දේශපාලන විචාර හා ප්‍රබන්ධ තුළ, ජයදේව උයන්ගොඩ දැඩි විවේචනයකට භාජනය වූ චරිතයක විය. (උදාහරණයක ලෙස අමරසේකර 1998 වසරේ පළ කළ කෙටිකතාවක වූ මරණ මංචකයේ දුටු සිහිනය හි එන චරිතයක වන "ආචාර්ය දෙනිපිටිය"). එහෙත් 1977 අමරසේකර ලියූ හැඳින්වීමේ දී "රජය පෙරලන්නට ගොස් දොළොස් වසරක සිර දඬුවමකට ලක් වූ උයන්ගොඩ මහතා" ඇතුළු පිරිස ගැන සහකම්පිත හා සාධනීය බැල්මක් හෙළයි. "සමාජවාදය ගොඩනැගීමට" තැත් කරන බොහෝ "බාලයන්" ගේ යටි සිත ප්‍රශ්න කරන අමරසේකර, උයන්ගොඩ වැන්නෙකු සලකන්නේ "අත්‍යුත්තම පරමාර්ථයක් උදෙසා තම හෘදය සාක්ෂියට අනුව සටන් වැදි කෙනෙක්" ලෙස ය. තරුණ හා ආධුනික කවියෙකුගේ නිර්මාණ අගයන ගුණසේකර "උයන්ගොඩ මහතා උසස් කවියකු වීමට අවශ්‍ය කුසලතා ඇත්තෙකු බව මේ කවි කියවන සහෘදයාට පෙනී යනු ඇත. තම මනසට විෂය වන අනුභූතියක් වචනයට නගා කවියට පෙරලීමට අවශ්‍ය කවි සිත හා වදනිසුරු බව ඒ මහතා සතුව තිබේ" යි කියන අතර තම සුපුරුදු ටිපිකල නිරීක්ෂණයක් හා අවවාදයක් ද සනිටුහන් කරන්නේ " එහෙත් මේ කුසලතා දැඩි නික්ශණයකින් යුතුව වර්ධනය කර ගැනීම අවශ්‍ය වෙයි. එය කළ හැක්කේ බාලයන්ගේ වර්ණනා පිටු දැකීමටත් නිර්දය ස්වයං විවේචනයටත් අවශ්‍ය චරිත ශක්තිය ලබා ගතහොත් පමණි" කියා ය.

මුල් මුද්‍රණයේ ප්‍රකාශකයා ලෙස කටයුතු කර ඇත්තේ මහාචාර්ය උයන්ගොඩගේ ඥාති සහෝදරයකු වන පසු ව ප්‍රවීණ පරිවර්තකයෙකු වූ ගාමිණි වියන්ගොඩ ය. මුල් මුද්‍රණය 1977 මාර්තු මස සිදු වූ අතර, එකල ගාමිණි වියන්ගොඩ කොළඹ සරසවියේ සිසුවෙකි. රුපියල් හතරකට මිල කෙරුණු මේ කාව්‍ය සංග්‍රහය, ගාමිණි මට කී පරිදි, පිටපත් කිහිපයක් හෝ අමාරුවෙන් අලෙවි කර ගත්තේ තම සරසවි සගයන්ගේ මාර්ගයෙනි. වසර කිහිපයක් සිරගත ව සිට, සිරදඬුවම තව දුරටත් ගෙවන අතර තම ඥාති සහෝදරයාට උයන්ගොඩ තම පෙරවදනේ පවසන්නේ "මේ කෘතිය මුද්‍රණයෙන් එළිදැක්වීමේ කාර්යයේ සියලු වෙහෙස දැරූ ගාමිණී මල්ලී මගේ සිහිනය සැබෑ කිරීමේ පුරෝගාමියා වශයෙන් මගේ නිබඳ ස්නේහය ලබයි" කියා ය. කවි පොත ප්‍රකාශයට පත් කිරීමේ දී මහාචාර්ය ඈශ්ලි හල්පේ මහතාට ද ඒ සඳහා අවසර අනුග්‍රහය ලබාදුන් අධිකරණ අමාත්‍යාංශයට ද කතුවරයා, ජේ. උයන්ගොඩ, සිරකරු අංක C 13355, නව මැගසින් බන්ධනාගාරය කොළඹ ලෙස තම පෙර වදන අවසන් කරයි.

පනස් වසරකට පමණ පෙර තමන් සිරගත ව සිටිය දී පළ කළ, එකල එතරම් අලෙවියක්, සංසරණයක් හෝ සංවාදයක් නොවූ කෘතියක්, පනස් වසරකට පසු නැවත සමාජගත කිරීමට ගන්නා තීරණය අහඹු එකක් ලෙස සැලකිය නොහේ. අඩු වැඩි වශයෙන් පනස් වසරක් තුළ නඩත්තු කළ නිහඬ බව කතුවරයා බිඳින විට බොහෝ දේ වෙනස් වී පරිණාමය වී ඇත. තරුණ උපාධි අපේක්ෂකයෙකු ලෙස එකල කල් ගෙවූ කතුවරයා, පසු ව ශාස්ත්‍රඥයෙක් වී ශ්‍රී ලංකාවේත් ඉන් එපිටත් තම ඥාන සම්භාරය නොමසුරු ව බෙදා ගත් අයෙකු ලෙස ස්ථාපිත වී ඇත. මේ වන විට නිල සරසවි දිවියෙන් විශ්‍රාමික ව එහෙත් ඉතා ක්‍රියාශීලී ව පොත පත පළ කරන ශාස්ත්‍රීය කථික සභාවන් හී නැතිව ම බැරි මුඛ්‍ය දේශකයකු ලෙස කටයුතු කරන අවධියක අපගේ මහාචාර්යවරයා පසු වෙයි. මහාචාර්යවරයාගේ ජීවන ට්‍රැජෙක්ටරිය මෙලෙස පරිණාමය වන අතර, පනස් වසරකටට පෙර තරුණයෙකු ලෙස අප කතා නායකයා නායකත්වය දුන් දේශපාලන ව්‍යාපාරය හා එහි සන්නද්ධ මුදා හැරීම මේ වන විට සමාජයේ සලකනු ලබන්නේ, බොහෝ කලක් එසේ සැලැකූ, ස්ටිග්මාවක් ලෙස ම නොවේ. එම දේශපාලන ව්‍යාපාරය, දශක ගණනාවක් වංගු සහිත පාරක පසු කොට මේ වන විට එම ව්‍යාපාරයේ වර්තමාන අනුප්‍රාප්තිකයන් විසින් ආණ්ඩු බලය අත්පත් කරගෙන පමණක් නොව ජනකාන්ත තත්ත්වයකට ද පරිණාමය වී ඇත. එක් දහස් නවසිය හැත්තෑ හතේ අච්චු ලැබ සිරගත ව සිටින අයෙකු වෙනුවෙන් එකල පොතක් අච්චු ගසන්නට ඉදිරිපත් වූයේ අමාරුවෙන් සරසවි දිවිය ගත කළ ඥාති සහෝදරයෙකු පමණි. එහෙත් වසර පනහකට පසු එම පොත ම, ප්‍රකාශන කර්මාන්තයේ මුල් පෙලේ ම සිටින ප්‍රකාශකයෙකු විසින් නැවත පළ කෙරෙනුු ලැබීමත් ඒ වටා බොහෝ පිරිසක් රොද බැඳ මේ පොත පිළිගැනීම දක්වා ලාංකීය සමාජය සුවිශේෂ පරිණාමයකට භාජනය වී ඇත. වසර පනහකට පෙර ප්‍රකාශිත කවි එකතුවේ අවසාන කවිය වන "සංවේගයට කරුණකි !" හි අවසන් පේලි කිහිපය පනස් වසරකට පසු පිළිසැසඳුමක් (contrast) ලෙස පහත උපුටා දක්වමි. :


"මගේ හඬ නිහඬ බව දැන දැනම කෑ ගසමි
අභාග්‍යමත් ආත්මය
උඹේ නිහඬ විලාපය අසන්නට
කව්රුද ලොව හිඳිනේ!"


Udan(සටහන | ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
udanfer2014@gmail.com

උපුටා ගැනීම - Udan Fernando ගේ ෆේස්බුක් පිටුවෙන්..

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...