The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අපේ තුම්පනේ හා සම එංගලන්තයේ ගොතම් ගම | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

T

The Leader Desk

June 11, 2026 • 7:51 AM

අපේ තුම්පනේ හා සම එංගලන්තයේ ගොතම් ගම | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මානව විද්‍යාව හා සබැඳි ශ්‍රී ලාංකීය ජනශ්‍රැතිය තුළ හමුවන වඩාත්ම සුවිශේෂී මෙන්ම කුතුහලය දනවන සංසිද්ධියක් වනුයේ, පොදු සමාජය විසින් ඇතැම් ප්‍රජාවන් නූගත් සහ අඥාන වශයෙන් හංවඩු ගැසීම ය.
  • ඊට පෙර එනම් 1802 වසරේ ඉදි කළ මහනුවර දළදා මාළිගාව හා සම්බන්ධ පත්තිරිප්පුව ද රජතුමන් හට වැසියන් ආමන්ත්‍රණය කිරීම පිණිස වූ විශේෂ ඉදිකිරීමක් මිස ආගමික ගොඩනැඟිල්ලක් නොවේ.
  •   නුවර වැව සහ මහනුවර නගරය එකල උඩරට බලසම්පන්න අදිකාරම්වරයෙකු වූ ඇහැලේපොළ නිලමේ ඇතුළු රදළවරු, වැව තැනීම සඳහා ජනතාව අනිසි ලෙස යෙදවීම පිළිබඳව දැඩි ලෙස විරුද්ධ වූහ.
  • ජනතාව පීඩාවට පත් කරමින් මෙවැනි සුඛෝපභෝගී ව්‍යාපෘතියක් සිදු කරන බව පවසමින්, රදළවරුන් රජු කෙරෙහි ජනතා අප්‍රසාදයක් ඇති කිරීමට මෙය අවස්ථාවක් කරගත් බව ඉතිහාසයේ සඳහන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

නමුත් ඒ දෙස විමර්ශනාත්මක ඇසකින් බලන කල පෙනී යනුයේ, එය සත්‍ය කරුණක් වීමට වඩා සමකාලීන සමාජ සහ සාමයික කරුණු මත පදනම් ව බාහිර පාර්ශ්වයන් විසින් එක් එක් ප්‍රජාවන් වෙත එල්ල කොට ඇති සාවද්‍ය ආරෝපණයන් බව ය.

උඩරට රාජධානි සමයේ සිට තුම්පනේ වැසියන් පිළිබඳව එන ජනප්‍රවාද ඒ අතුරින් මුල් තැනක් ගනී. නමුත් ඒ සම්බන්ධයෙන් විචාර පූර්වක විමසුමක දී පෙනී යන කරුණු අතුරින් මතු දැක්වෙන කරුණ ද ඉතා වැදගත් එකක් සේ සැලකිය හැකිය.

 

508121166 30274406125537892 4326420665381335004 n

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු

 

මහනුවර යුගයේ අවසාන භාගයේ, විශේෂයෙන්ම ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පාලන සමයේ දී (1798-1815) පනවනු ලැබූ අධික බදු බර, කෲර දඬුවම් සහ එවක පැවැති රාජකාරී ක්‍රමය අවභාවිත කිරීම හේතුවෙන් සාමාන්‍ය වැසියෝ දැඩි පීඩනයකට ලක්ව සිටියහ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු එවක පැවැති රාජකාරී ක්‍රමය අවභාවිත කොට මහනුවර නගරය අලංකාර කිරීම සහ රජුගේ පෞද්ගලික ප්‍රතිරූපය නැංවීම සඳහා, එවක තිබූ තිගොල්වෙල හෙවත් ටිගොල්වෙල නම් කුඹුරු යාය පදනම් ව “කිරි මුහුද” (වත්මන් මහනුවර වැව) නිර්මාණය කිරීමට තීරණය කරන ලද්දේ සෞභාග්‍යය සංකේතනය කරන “ක්ෂීර සාගර” නම් හින්දු ආගමික පදනම මුල් කර ගනිමිනි.

ඊට පෙර එනම් 1802 වසරේ ඉදි කළ මහනුවර දළදා මාළිගාව හා සම්බන්ධ පත්තිරිප්පුව ද රජතුමන් හට වැසියන් ආමන්ත්‍රණය කිරීම පිණිස වූ විශේෂ ඉදිකිරීමක් මිස ආගමික ගොඩනැඟිල්ලක් නොවේ. කන්ද උඩරට ජන ප්‍රධානීන්ගේ නොකැමැත්ත මත ඉදි කළ එය දෙමළ බසින් ‘නිරීක්ෂණ කුටිය’ යන අදහස සහිත ‘පාර්තිරුප්පු’ යන්න සිංහල ඌරුවට ආ වදනකි.

 

thunpane7

නුවර වැව සහ මහනුවර නගරය

එකල උඩරට බලසම්පන්න අදිකාරම්වරයෙකු වූ ඇහැලේපොළ නිලමේ ඇතුළු රදළවරු, වැව තැනීම සඳහා ජනතාව අනිසි ලෙස යෙදවීම පිළිබඳව දැඩි ලෙස විරුද්ධ වූහ. ජනතාව පීඩාවට පත් කරමින් මෙවැනි සුඛෝපභෝගී ව්‍යාපෘතියක් සිදු කරන බව පවසමින්, රදළවරුන් රජු කෙරෙහි ජනතා අප්‍රසාදයක් ඇති කිරීමට මෙය අවස්ථාවක් කරගත් බව ඉතිහාසයේ සඳහන් වේ. උඩරට රාජධානියේ පැවැති සාම්ප්‍රදායික රාජකාරි ක්‍රමය (Feudal Compulsory Labor) දැඩි සිරිත් විරිත් සහ නීති පද්ධතියකට යටත්ව තිබුණි. ඒ අනුව සාමාන්‍ය වැසියන් තමන් පදිංචි කෝරළයෙන් හෝ දිසාවෙන් පිටත පොදු කටයුතු සඳහා ශ්‍රමය වැය කිරීමට බැඳී සිටියේ නැත.

thunpane8

ශ්‍රීමත් ජෝන් ඩොයිලි

 

එමෙන්ම රාජ නීතියට අනුව වැසියන් තම ප්‍රදේශයෙන් පිටතට කැඳවිය හැකි වූයේ රට ආරක්ෂා කිරීමේ යුද්ධ, මහා වාරි කටයුතු (වැව්/අමුණු) සහ ප්‍රධාන ආගමික විහාරස්ථාන නිර්මාණය වැනි පොදු ජාතික අවශ්‍යතාවලදී පමණි. ඉන් පැහැදිලි වනුයේ එකල පැවැති රාජාණ්ඩු ක්‍රමය තුළ පවා ප්‍රජාතාන්ත්‍රික සේයාවක් දක්නට ලැබුණු බවකි.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු, මහනුවර නගරය අලංකාර කිරීම සහ රජුගේ පෞද්ගලික ප්‍රතිරූපය නංවා ගැනීම පිණිස “කිරි මුහුද” නිර්මාණය කිරීම ආගමික කටයුත්තක්, රට ආරක්ෂා කරන යුද්ධයක් හෝ අත්‍යවශ්‍ය කෘෂිකාර්මික වාරි කටයුත්තක් නොවූ බැවින්, ඒ සඳහා පිට පළාත්වල වැසියන් කැඳවීම සාම්ප්‍රදායික රාජ නීතිය උල්ලංඝනය කිරීමක් බවට රාජධානිය පුරා හඬක් නැඟෙන්නට වූයේ ඒ අනුව ය. විශේෂයෙන්ම තුම්පනේ, හාරිස්පත්තුව සහ හේවාහැට වැනි දුර බැහැර ප්‍රදේශවල වැසියන් මේ සඳහා බලහත්කාරයෙන් ගෙන්වා ගැනීම එම ප්‍රදේශ හා සම්බන්ධ උඩරට ප්‍රධානීන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක් විය. ඒ අතර රජ වාසල මඟින් කරන මෙම ශ්‍රම සූරාකෑමෙන් තම ප්‍රදේශයේ වැසියන් මුදාගැනීම සඳහා එවකට තුම්පනේ භාරව සිටි රටේ රාළ හෙවත් ප්‍රාදේශීය ප්‍රධානියා අගනා උපක්‍රමයක් යෙදීය. ඒ, “මහ වාසල කිරි මුහුද තැනීම වැනි උතුම් භාරදූර කටයුත්තකට තුම්පනේ වැසියන් යොදා නොගත යුතු ය. මක් නිසා ද ඔවුන් සහජයෙන්ම අඥාන, මෝඩ පිරිසක් බැවිනි. ඔවුන්ව මෙවැනි ශිල්පීය කාර්යයකට යෙදවීමෙන් මුළු ව්‍යාපෘතියම අසාර්ථක වනු ඇත” යනුවෙන් රජ වාසලට දන්වා සිටීම ය.

thunpane6

පැරණි කන්ද උඩරට රාජධානියේ මායිම්

 

ඒ අනුව එහි සැබෑ තතු විමසනු පිණිස රාජ අණ පරිදි මෙම කරුණ විමසීමට තම ගමට පැමිණි රජ වාසල නිලධාරීන් ඉදිරියේ තුම්පනේ වැසියන් රඟ දැක්වූයේ අතිවිශිෂ්ට රංගනයකි. ජනශ්‍රැතියේ එන පරිදි ඔවුන් පහත සඳහන් අඥාන ක්‍රියා නිලධාරීන් ඉදිරියේ සිදු කළහ. වැස්සට නොතෙමීම සඳහා ලොකු වට්ටියකින් ළිඳක් වසා තැබීම, ගඟෙන් එතෙර වීමට පැමිණි නිලධාරීන්ට දියේ ගැඹුර බැලීමට යැයි පවසමින් වේවැල් කැබැල්ලක් වතුරට දමා එය ගිලෙන තෙක් බලා සිටීම සහ නිලධාරීන්ට පෙනෙන සේ ගසක අත්තක් උඩ ඉඳගෙන තමන් වාඩි වී සිටින අත්තම පොරවෙන් කැපීම ඒ අතර වූ බව පැවසෙයි. මෙම ක්‍රියාවන් දුටු රජ වාසල නිලධාරීන්, තුම්පනේ වැසියන් යනු කිසිදු වැඩකට ගත නොහැකි සැබෑ මෝඩයන් පිරිසක් බව තහවුරු කොට, ඔවුන්ව වැව් කර්මාන්තයේ රාජකාරිවලින් නිදහස් කර රජු වෙත වාර්තා කළහ.

 

thunpane5

සැබැවින්ම මෙය අතිශය බුද්ධිමත් මෙන්ම සාර්ථක වූ උපක්‍රමශීලී පියවරකි. රජුට එරෙහිව සෘජුව කැරලි ගැසුවේ නම් රාජද්‍රෝහී වරදට හිස ගැසුම් කෑමට සිදු වන බව ඔවුහු දැන සිටියහ. එබැවින්, රජුගේ අණ නොයික්මවා, නමුත් රජුගේ කාර්යයෙන් නිදහස් වීමට ඔවුන් තමන්වම “මෝඩයන්” ලෙස හංවඩු ගසා ගත්හ. අවාසනාවකට මෙන්, පසුකාලීනව මෙම ඉතිහාසයේ සැබෑ පසුබිම නොදන්නා මිනිසුන් “තුම්පනේ වැසියන් මෝඩයි” යන ජනප්‍රවාදය සැබෑවක් ලෙස වැළඳ ගත්ත ද, සැබෑ ඉතිහාසය දෙස බැලීමේදී පෙනී යන්නේ එය රජ්ජුරුවන්ව පවා මුළා කළ හැකි තරමේ ඉහළම බුද්ධිමතුන් පිරිසක් ජීවත් වූ ප්‍රදේශයක් බවයි.

මෙම ශ්‍රී ලාංකීය ඓතිහාසික සිදුවීමට අතිශය විශ්මයජනක සමානකමක් දක්වන තවත් පුවතක් සැතපුම් දහස් ගණනක් ඈතින් පිහිටි එංගලන්තයේ නොටින්හැම්ෂයර් (Nottinghamshire) හි ගොතම් (Gotham) ගම්මානයෙන් වාර්තා වේ. ඒ සිදුවීම මෙලෙසිනි: දහතුන්වන සියවසේ දී එංගලන්තය පාලනය කළ අපකීර්තිමත් පාලකයකු වූ ජෝන් රජු (King John), තම ගමනක් සඳහා ගොතම් ගම්මානය හරහා රාජකීය මහා මාර්ගයක් ඉදිකිරීමට සැලසුම් කොට තිබිණි. එංගලන්තයේ එවකට පැවති නීතියට අනුව රාජකීය මාර්ගයක් ගමන් කරන භූමියේ නඩත්තු බදු බර සහ වගකීම් සම්පූර්ණයෙන්ම පැවරුණේ එම ප්‍රදේශයේ වැසියන් මත බැවින්, ගොතම් වැසියන් රාජකීය මාර්ගයට දැඩි ලෙස විරුද්ධ වූහ. කෝපයට පත් රජු තමන්ට විරුද්ධ වූ ගැමියන්ට දඬුවම් පැමිණවීමට සේනාව එවූ විට, මරණ දණ්ඩනයෙන් බේරීම සඳහා ගොතම් වැසියන් ද උපක්‍රමශීලී මනෝවිද්‍යාත්මක උපක්‍මයක් භාවිත කළහ.

 

thunpane3

එංගලන්තයේ ගොතම් ගම

“පිස්සුව හෝ ඔල්මාදය යනු බෝවන රෝගයක්” යැයි එකල සමාජයේ පැවති දැඩි විශ්වාසය පදනම් කර ගනිමින්, ඔවුන් ද නිලධාරීන් ඉදිරියේ උන්මන්තකයන් සේ හැසිරෙන්නට පටන් ගත්හ. කුකුළෙකු කූඩුවක දමා ඌට පියඹා යා නොහැකි වන සේ එය වටකර උස් වැටවල් බැඳීම, ගඟේ වෙසෙන අතීතයේ බදු ගෙවීමේ මාධ්‍යයක් ද යොදා ගත් ඊල් (Eel) නම් වූ ආඳා වර්ගයේ මසුන් දියේ ගිල්වා මැරීමට තැත් කිරීම සහ බර කරත්ත වහලවල් මතට ඇදීම වැනි විකාරරූපී ක්‍රියාවල ඔවුහු නිරත වූහ. ගැමියන්ගේ මෙම ‘පිස්සුව’ තමන්ට ද බෝවෙතැයි බියෙන් රාජකීය නිලධාරීන් වහාම පලා ගිය අතර, ගොතම් ගම්මානය දරුණු බදු බරින් නිදහස් විය. 

පසුව 16 වන සියවසේදී “The Wise Men of Gotham” (ගොතම්හි නුවණැති මෝඩයෝ) නමින් මෙම කතා එකතුව යුරෝපය පුරා පොතක් ලෙස ප්‍රසිද්ධියට පත් වූ අතර, පසුකාලීනව 19 වන සියවසේදී සුප්‍රකට ලේඛක වොෂින්ටන් අර්වින් විසින් නිව්යෝර්ක් නගරයේ දේශපාලනික මෝඩකම් උපහාසයට ලක් කිරීමට “ගොතම්” යන නාමය භාවිත කරන ලදී. අද ලෝක ප්‍රකට කොමික්ස් සහ සිනමා සංස්කෘතියේ එන බැට්මෑන්ගේ “ගොතම් සිටි” (Gotham City) නාමයේ නිරුක්තිය ගොඩනැගෙන්නේ ද එංගලන්තයේ මෙම ගොතම් ගැමියන්ගේ ඉතිහාසය මුල් කරගනිමිනි.

 

thunpane2

අතීත ගොතම් ගම

 

භූගෝලීය වශයෙන් හෝ සංස්කෘතික වශයෙන් කිසිදු සබඳතාවක් නොමැති ශ්‍රී ලංකාවේ තුම්පනේ සහ එංගලන්තයේ ගොතම් ගම්මානයත් අතර එකම ආකාරයේ ප්‍රතිරෝධී උපක්‍රමයක් මතු වීම හුදු අහම්බයක් නොවන බව සමාජ විද්‍යාත්මක සහ මානසික විශ්ලේෂණයන්ගෙන් පැහැදිලි වේ. ඒ අනුව ඒ සම්බන්ධ සරලම අනුමානය වනුයේ, එය කන්ද උඩරට රාජධානිය ඉංග්‍රීසීන් හට හිමි කර දීම පිණිස අතිශූර මෙහෙයුමක් දියත් කළ ඉංග්‍රීසි ජාතික ශ්‍රීමත් ජෝන් ඩොයිලිගේ (1774-1824) උපාය මාර්ගයක් බව ය. 1810 වසර වන විට සිංහල බස පවා උගෙන කන්ද උඩරට ජන ප්‍රධානීන් සමඟ රහසිගත සබඳතා පැවැත්වූ ඔහු, එමඟින් සූක්ෂම බුද්ධි ජාලයක් පවත්වා ගෙන ගිය බව ප්‍රකට කරුණකි. තුම්පනේ පුරාවෘත්ත සම්බන්ධ විශේෂ විමසුමක් කළ ප්‍රවීණ මාධ්‍යවේදී තිලක් සේනාසිංහයන් පවසනුයේ, එංගලන්තයේ ගොතම් පුරාවෘත්තයට දේශීය ආරෝපණයක් ලබා දීම කන්ද උඩරට රාජ්‍යය බිඳ දැමීම අරමුණු කොට ගත් ඩොයිලිගේම බුද්ධිමය උපායක් බවකි.

නමුත් ප්‍රසිද්ධ ඇමරිකානු දේශපාලන මානව විද්‍යාඥ ජේම්ස් සී. ස්කොට් (James C. Scott) සිය “Weapons of the Weak” (දුබලයන්ගේ ආයුධ) නමැති ශාස්ත්‍රීය නිබන්ධනය මගින් පෙන්වා දෙන්නේ, සෘජු විවෘත කැරැල්ලකට යා නොහැකි තරම් ප්‍රබල මර්දනයකට ලක්වන පීඩිත ජනකොටස්, තම පැවැත්ම උදෙසා මෙවැනි සූක්ෂම, සැඟවුණු සහ නිහඬ ප්‍රතිරෝධී ක්‍රමවේදයන් (Infrapolitiics) භාවිත කරන බවයි. ඔහු පවසන අන්දමට සෘජු සටනක ප්‍රතිඵලය මරණය හෝ වධහිංසාව වන විට, පාලකයා මුලා කිරීම ඊට වඩා බෙහෙවින් ආරක්ෂිත මෙන්ම සාර්ථක දේශපාලන මෙවලමකි. මුළු මහත් ජන ප්‍රජාවක්ම එකම අරමුණක් වෙනුවෙන්, එකම පිටපතකට අනුව සාමූහිකව රංගනයක යෙදීම තුළින් විදහා දැක්වෙන්නේ, එම සාම්ප්‍රදායික සමාජයන් තුළ පැවති අතිමහත් සහෝදරත්වය, එකඟතාවය සහ සන්නිවේදන බුද්ධියයි.

 

thunpane4

වර්තමාන ගොතම් ගම

 

මෙම පොදු මානව හැසිරීම ස්විස් ජාතික මනෝවිද්‍යාඥ කාල් යුන්ග්ගේ (Carl Jung) “සාමූහික අවිඥානය” (Collective Unconscious) සහ “මූලරූප” (Archetypes) පිළිබඳ න්‍යායෙන් වඩාත් ගැඹුරින් අර්ථකථනය කළ හැකි ය. යුන්ග්ට අනුව, මානව වර්ගයා සංස්කෘතික වශයෙන් වෙන්ව සිටිය ද, පොදු මානුෂීය අත්දැකීම් සහ පැවැත්මේ අරගල හමුවේ ඔවුන්ගේ යටි සිත ක්‍රියා කරන්නේ එකම ආකෘතියකට අනුව ය. පීඩනය හමුවේ බලවතා ශක්තියෙන් පරාජය කළ නොහැකි තැන, මානව මනැස විසින් අවිඥානිකවම මතු කරනු ලබන්නේ කූට උපායාත්මක චරිත (Trickster Archetype) නමැති මූලරූපී ස්වභාවයයි.

ලෝක ව්‍යාප්තව පවතින මහා ජලගැල්ම (The Great Flood) පිළිබඳ මිථ්‍යා කථා හෝ මව් දේව වන්දනාව මෙන්ම, තුම්පනේ සහ ගොතම් ඉතිහාසයන් ද සනාථ කරන්නේ ජනශ්‍රැතිය යනු හුදෙක් ගොතන ලද බොළඳ කතාන්දර සමුච්චයක් නොවන බවයි. එය පීඩිත මිනිසාගේ පොදු මානසික කැඩපතක් වන අතරම, ජීවත්වීමේ අයිතිය උදෙසා සූක්ෂම ලෙස කළ අරගලයක ඉතිහාසයයි. එබැවින්, බලධාරීන්ගේ සහ ඉතිහාසයේ ලේබල්කරණයන් විසින් “මෝඩයන්” ලෙස හංවඩු ගසනු ලැබූ තුම්පනේ සහ ගොතම් වැසියන් සැබවින්ම මෝඩයන් නොව, තම දේපළ, නිදහස සහ ජීවිත ආරක්ෂා කරගැනීම උදෙසා ඉහළම සාමූහික බුද්ධියකින් සහ නිර්මාණශීලීත්වයකින් යුතුව දේශපාලන ප්‍රතිරෝධයක නිරත වූ සැබෑ වීරයන් පිරිසක් බව අප වටහා ගත යුතු ය. නමුත් මෙම මානව සමාජ යථාර්ථයන් අප ජන සමාජයට මෙතෙක් නිසි පරිදි අවශෝෂණය වී නොමැත. එය ද සමාජ ඛේදවාචකයක් ම ය.


z PraneethAbayasundara(සටහන | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර)
හිටපු මානව විද්‍යා මහාචාර්ය
 
(උපුටා ගැනීම - vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...