එම නිවේදනයෙන් කියැවුනු මූලික කාරණය වූයේ සුරේෂ් සලේට එරෙහිව ගන්නා හැම ක්‍රියා මාර්ගයක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතියට අනුකූල විය යුතු බවයි. ඒ අදහස ගැන සමාජ මාධ්‍යයේද ප්‍රශංසාව හිමිව තිබූ අතර ආණ්ඩු පාර්ශවයට පවා වරදක් කීමට නොහැකි තර්කානුකූල කාරණයක් විය.
රනිල් අදාළ නිවේදනය සැකසීමේ වගකීම පවරා තිබුණේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්නටයි.
"එල්ල කර තිබෙන චෝදනා වලට සම්බන්ධ හෝ වගකිව යුතු හෝ බව අද තිබෙන ප්‍රශ්නය නොවේ. අද ඇති ගැටළුව වන්නේ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට සලකන ආකාරය පිළිබඳවය" ආදී වශයෙන් එම නිවේදනයේ කරුණු අන්තර්ගත කර තිබූයේ කිසිවකුටවත් විවේචනයක් කිරීමට ඉඩක් නොතබමිනි.
රනිල් සැත්කමෙන් පසු පළමු වරට මල් පාර දේශපාලන කාර්යාලයට
සැත්කමින් පසු දිගු කලක් නිවසට වී විවේකයෙන් ගත කළ රනිල් ඉකුත් සතියේ නැවත සාමාන්‍ය වැඩ කටයුතු ටිකෙන් ටික අරඹන්නට මල් පාර දේශපාලන කාර්යාලයට පැමිණියේය. රනිල්ගේ පැමිණීම ඒකාබද්ධ විපක්ෂ දේශපාලනඥයන්ට ද නව ප්‍රබෝධයක් ගෙන දෙන කාරණයක් විය.
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමද මල් පාර දේශපාලන කාර්යාලයේදී රනිල්ගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා පස්වරුවේ පැවැත්විණි. රනිල් සැත්කමට ලක් කිරීමෙන් පසු කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වූ ප්‍රථම අවස්ථාව මෙයයි. එහිදී පක්ෂ ප්‍රතිසංවිධාන මෙන්ම විනය කමිටුවට යොමු කර තිබෙන කාරණා පිළිබඳව සාකච්ඡා විය.
සමාජ ප්‍රශ්නයක් මතුවූ විට විපක්ෂයේ කාර්යභාරය වන්නේ මේ ප්‍රශ්නය බුද්ධිමත්ව විග්‍රහ කරමින් ජනතාවගේ පැත්තේ සිට ගැනීමයි. රනිල්ගේ මෙහෙයවීම මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාශීලී මැදිහත්වීම නිසා සමගි ජන බලවේගයේ නිද්‍රාශීලී බව හෙවත් විපක්ෂයක් නැති අඩුව ජනතාවට එක වරම ඒත්තු නොයයි. සමගි ජන බලවේගය අංශභාග රෝගියෙක්ගේ තත්ත්වයට පත්වී තිබෙන බව පොදු සමාජයේද මතය වී තිබේ.
ආණ්ඩුව දෙකොන විලක්කුවකට සිරවෙලා !
විනිසුරු විශ්‍රාම වයස එළිබඳ ප්‍රශ්නය නිසා ආණ්ඩුව දෙකොන විලක්කුවකට සිරවී තිබේ. රනිල් සමග මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී ද මේ කාරණය ගැන කතා බහට ලක් විය.
" මේ ප්‍රශ්නය නිසා ආණ්ඩුව කාරණා කීපයක හිරවෙලා ඉන්නේ. මේකට කනිෂ්ඨ විනිශ්චකාරවරුත් විරුද්ධයි. නීතිඥවරුත් විරුද්ධයි, සංඝයා වහන්සේලාත් විරුද්ධයි. මේක කරන්න ගියොත් රටේ දේශපාලන ව්‍යාපාරයට මුහුණ දෙන්න තියෙනවා. ඒක එක පැත්තක්. අනෙක් පැත්තෙන් දැන් සලේ ගැනත් ආණ්ඩුවට විරුද්ධව විරෝධයක් එනවා, රනිල් කතාවට මුල පිරුවේය.
"ආගමික වැඩ කටයුතු සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇඟිලි ගැහීම් වලට සංඝයා වහන්සේලාත් කැමති නෑ. විජයදාස රාජපක්ෂ ඉදිරිපත් කරපු කෙටුම්පත සංශෝධනය කර යැවිය යුතු බව සංඝයා වහන්සේලාගේ අදහසයි. වගන්ති දෙක තුනක් සංශෝධනය කරලා ඒක පදනම් කරගෙන නීතිය සම්මත කරන්න කියලයි උන්වහන්සේලා කියන්නේ. මේ ඔක්කොම දැන් ආණ්ඩුවට හිසරදයක් වෙලා. රනිල් තවදුරටත් පැවසූයේ ප්‍රසිද්ධ සංඝයා වහන්සේලා තමන්ට පැවසූ කාරණා ද උපුටා දක්වමිනි.
''ආණ්ඩුවට ජනතාවගේ අප්‍රසාදයක් ඇතැයි නීතිඥවරුන් ජනාධිපතිවරයාට දැනුම් දීලා ''
ජාතික ජන බලවේගයේ නීතිඥවරුන් සහ ජනපති අතර සාකච්ඡාවක් ඉකුත් සතියේදී පැවැත්වී ඇතැයිද ආණ්ඩුවට ජනතාවගේ අප්‍රසාදයක් ඇතැයි එහිදී නීතිඥවරුන් ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙන්නේ යැයිද රනිල් ජනපති සමයේ මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න රනිල් හමුවේ සැල කර සිටියේය.

ඒ කතාවට එක්වෙමින් සුගීශ්වර තමන්ට ආරංචි වූ කාරණයක් දැනුම් දුන්නේය.
"මේ රැස්වීමට නීතිඥවරු එකසිය පනහක් විතර ඉඳලා තියෙනවා. චම්පිකලා නාමල්ලා මේ අවුරුද්දේ හිරේ යනවා කියලා ජනාධිපති ලොකු ලැයිස්තුවකුත් ඉදිරිපත් කරලා තියෙනවා. ඊට පස්සේ තමයි නීතිඥවරු චූන් වෙලා තියෙන්නේ. මේ ටික කරන්න නම් සූරසේන වගේ කෙනෙක් ඉන්න ඕන කියලත් ජනාධිපති කියලා තියෙනවා. යහපාලන කාලෙ නඩු ටික දැම්මට ඒ ටික හරියට කරගන්න බැරි වුණ නිසා ඒ ආණ්ඩුවේ ආයුෂ කෙටි වුණ බවත් ජනාධිපති ඒකෙදි කියලා තියෙනවා යනුවෙන්ද සුගීශ්වර සඳහන් කළේය.
" කොහොම වුනත් ආණ්ඩුවට දැන් විරෝධතා තුනක් එනවා. ඒකාබද්ධ විපක්ෂයෙන් ප්‍රබල ප්‍රහාර එල්ල කරනවා. අනික විමල්ලා. මේ වගේම සංඝයා වහන්සේලාගේ ප්‍රබල විරෝධයක් තියෙනවා" රනිල් කීවේ ඊට පිළිතුරක් වශයෙනි.
තරුණ නායක පිරිස නැවත සක්‍රීය දේශපාලනයට
ඒ වගේම විපක්ෂයට අලුත් බලවේගයක් එකතු වීමට නියමිත බව රනිල් එහිදී අනාවරණය කළේය. ඒ බලවේගය නම් රට අන්තයට වැටී තිබූ සමයේ ක්‍රියාශීලීව දේශපාලනයේ නිරතව සිට අනතුරුව මඳකට දේශපාලනයෙන් ඉවත්ව සිටි තරුණ නායක පිරිස නැවත සක්‍රීය දේශපාලනයට පිවිසීමට තීරණය කර තිබීමයි. එනම් ශෙහාන් සේමසිංහ, ප්‍රමිත බණ්ඩාර, අනුරාධ ජයරත්න යන තරුණ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් මේ බලමුළුව ඉදිරියට පැමිණීමට නියමිතය.
ඒ සම්බන්ධ අභ්‍යන්තර සාකච්ඡා මේ වන විටත් ආරම්භ වී තිබේ. ඒ කණ්ඩායමේ විශේෂත්වය වන්නේ රනිල් දියත් කළ ආර්ථිකය ගොඩ ගැනීමේ මෙහෙයුමේදී යෝධ ශක්තියක් සැපයූ තරුණ නායක කණ්ඩායම වීමයි. මේ තරුණ කණ්ඩායමේ ආගමනයත් සමඟ වත්මන් දේශපාලන පිටියේ ස්වභාවය තවදුරටත් වෙනස් වීමට නියමිත බව දේශපාලනඥයන් බොහෝ දෙනෙක් අදහස් දක්වමින් කීය.
''දැනටමත් මිනිස්සුන්ගේ බඩට වැදිලා තියෙන්නේ''
වත්මන් බඩු මිල වැඩිවීම ගෝලීය ප්‍රශ්නයටම හේත්තු කරන්නට ආණ්ඩුව උත්සාහ දරමින් සිටී.

" එදා විශ්ම කර්මයෙක් වගේ ඇවිත් බින්දුවක් වැටී තිබිච්ච සංචිත බිලියන හයකට ගෙනැවිත් අඩු කරපු බඩු මිල ආපහු ගෝඨාභයගෙ කාලෙටත් වඩා ඉහළ යන්න පටන් අරගෙන. දැනටමත් මිනිස්සුන්ගේ බඩට වැදිලා තියෙන්නේ.
වත්මන් සමාජ ප්‍රශ්න සමඟ ජනතාව සමඟ සිට ගැනීම සම්බන්ධයෙන් නාමල්ලාටත් වඩා ඒකාබද්ධ විපක්ෂය ඉදිරියට පැමිණ තිබෙන බව සුගීශ්වර පැවසීය. සමාජයේ ගැවසෙන විට ඇහෙන දකින දේ ගෙනහැර දක්වමින් ඔහු මේ කාරණය පැවසීය.
"සජබේ අපි එක්ක වැඩ කරනවා නම් වැඩ කරාවි. නැතිනම් ඒක අමතක කරලා අපිට ඉදිරියට යන්න වෙනවා''
" ඇත්තෙන්ම පොහොට්ටුවට ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාවලිය එක්ක එකතු වෙන්න වුවමනාව තියෙනවා. ඒ වගේම ඔවුන් ඇතැම් අවස්ථාවලදී අපිත් එක්ක සහයෝගයෙන් වැඩ කරනවා" වජිර පැවසීය.
" සජබේ අපි එක්ක වැඩ කරනවා නම් වැඩ කරාවි. නැතිනම් ඒක අමතක කරලා අපිට ඉදිරියට යන්න වෙනවා. රනිල් පැවසූයේ තවමත් පතෝල වැනි තර්ක ඉදිරිපත් කරමින් ආණ්ඩුවේම කොටසක් සේ ක්‍රියා කරන සමගි ජන බලවේගයේ ක්‍රියාවලිය ගැන කලකිරීමෙන් වන්නට ඇත.

" කඳ සහ ඔලුව එකතු කරන කතාවට සමගි ජන බලවේගයේ ඇතැම් උදවිය නවීන් සමගත් අමනාපයෙන් සිටින බවට සමාජ මාධ්‍යයේ පළවන පුවත් පිළිබඳව ද මෙහිදී කතාබහට ලක් විය. එහිදී රනිල් පවසා ඇත්තේ සැත්කමෙන් පසු තමාගේ හිස පමණක් නොව කද ද තරුණ වී ඇති බවයි.
අමාරි හෝටලයේ ආර්ථික විද්වතුන්ගේ හමුවක් ...
රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අමාරි හෝටලයේදී ඒකාබද්ධ විපක්ෂයේ මූලිකත්වයෙන් සංවිධාන කෙරුණු සම්මන්ත්‍රණයේදී බොහෝ වැදගත් කරුණු රාශියක් හෙළිදරවිය.
එම සම්මන්ත්‍රණය පැවැත්වුණේ ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ජී.එල් පීරිස්ගේ ප්‍රධානත්වයෙනි. සිරිමල් අබේරත්න, රෝහාන් සමරජීව, අමින්ද මෙත්සිල යන මහාචාර්යවරු එම සම්මන්ත්‍රණයේ සම්පත් දායකයෝ වූහ.

ආණ්ඩුවක් මෙවන් අර්බුදයකට මුහුණ දීමේදී පැහැදිලිව ජනතාවට කරුණු ඉදිරිපත් කළ යුතු බව මේ සම්මන්ත්‍රණයේදී මතු කෙරුණු ප්‍රධාන කාරණයක් විය.
" සත්‍ය සඟවා කිසි දෙයක් කරන්න බැහැ. මේ රටවල නායකයන් දෛනික පදනම මත ජනතාව සමඟ අදහස් හුවමාරු කර ගන්නවා. ඒ වගේම වර්තමාන සමාජයේ සුබ සාධනය පිළිබඳ උග්‍ර ප්‍රශ්නයකට මුහුණ දෙමින් සිටිනවා. ලෝක බැංකු වාර්තාව අනුව මෙරට ජනගහනයෙන් සියයට 24.5ක් දරිද්‍රතාවයෙන් පෙලෙනවා. මේ අගය ඉතා ඉක්මනින් ජනගහනයෙන් තුනෙන් එකක් දක්වා වැඩි වීමේ ප්‍රවණතාවයක් තිබෙන බවද ලෝක බැංකුව පෙන්වා දෙනවා. අපේ ජනගහනයෙන් මිලියන 4.3ක් දැඩි ආහාර අනාරක්ෂිතතාවයට ලක්ව සිටි බව ලෝක ආහාර සංවිධානය පෙන්වා දෙනවා. තවත් මිලියන 1.3ක් ඒකට එකතු වෙලා තිබෙනවා. ඒ කියන්නෙ අපේ ජනගහනයෙන් මිලියන හයකට එක පෝෂදායී ආහාර වේලක්වත් දවසකට ලබාගන්න නොහැකි වී තියෙනවා.
වාර්තාගත ආදායමක් ලබා ගන්නවා යැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පුරසාරම් දොඩවනවා. ඒ ආදායම ලබා ගන්නේ කොහොමද? මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තරමට බදු වැඩි කරලා සහ භාණ්ඩ මිල වැඩි කරලා.
ඒ හැමදේටම හේතුව යුද්ධය කියලා පෙන්නුවට ඒකම නෙමෙයි. මහා පරිමාණ දුෂණත් මේකට බලපානවා. ගිය සතියේ ගුණාත්මක බවින් අඩු ගල් අඟුරු නැවක් පුත්තලමේ ගොඩ බෑවා. එහි ගුණාත්මක බව අඩු යැයි රජයත් පිළිගන්නවා. එහි ප්‍රතිඵලය වන්නේ විදුලි බලය නිෂ්පාදනය සඳහා ඩීසල් පාවිච්චි කරන්නට සිදුවීමයි. ඒ නිසා හදිසි මිලදී ගැනීම් යටතේ ඩීසල් වැඩි මිලට ගන්න වෙනවා" යන කරුණු පිළිබඳව ඊට සහභාගී වූ මහාචාර්යවරු දීර්ඝ වශයෙන් කරුණු ගෙනහැර දැක්වූහ.
(සටහන | මල් පාරේ ලියුම්කරු)




