ඉන් 287 ක් ළමුන් හිඟමනට යොදා ගැනීම සම්බන්ධවද, 173 ක් ළමා ශ්‍රමිකයින් ලෙස යොදා ගැනීම සම්බන්ධවද තවත් 53 ක් ළමුන් අලෙවිය සම්බන්ධවද යැයි සඳහන් කර තිබිණ. මෙම පැමිණිලි වලට අදාල ළමුන් පාසල් අධ්‍යාපනය අතර මග අත හැර දැමූවන්ද, නැතිනම් කිසි දිනක පාසල් නොගිය ළමුන්ද යන විස්තර නොවුනි.
මීට වසර 24 ට පෙර 2002 දී “ළමා ශ්‍රම භාවිතයට එරෙහි ලෝක දිනය” ලෙස ජුනි 12 වන දින නම් කරනු ලැබුවේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) විසින් ය. ඊට මූලික කරගනු ලැබූයේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ “රැකියා සම්බන්ධ අවම වයස” සම්බන්ධ අංක 138 සහ “වඩාත් අහිතකර ළමා ශ්‍රමය” සම්බන්ධ අංක 182 දරණ සම්මුතීන් ය. ඊට අමතරව එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය අනිවාර්ය වන්නේය.

ළමා ශ්‍රමය සඳහා පසුබිම හැදෙන්නේ, සාමාන්‍ය පෙළ විභාගයට පෙර පාසල් අධ්‍යාපනය කොතැනකදී හෝ අතහැර දැමීමත් සමග ය. එළෙස පාසල් යාම අත හැර දමන ළමුන්, ඊළඟට කුමන ආකාරයකින් හෝ ළමා ශ්‍රමිකයින් බවට පත් වන්නාහ. ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිලිවල දක්වා ඇති හේතු වලට අමතරව, ළමුන් බහුතරයක් ළමා ශ්‍රමිකයින් යැයි නොසැළකුණද ඔවුහු පවුලේ වගා වැඩට හවුල් වන්නාහ. මෑත වසරවල මත්ද්‍රව්‍ය බෙදා හැරීම, ගණිකා වෘත්තියෙහි නියැලීම වැනි අනිසි, අනීතික කටයුතු වලට නතු වීමේ ප්‍රවනතාවක්ද ඇත. තවත් පිරිස් ආසන්න ටවුම් හෝ නගරවල අවිධිමත් ක්ෂේත්‍රයෙහි සිල්ලර වැඩ වල යෙදෙති. නිවාසවල මෙහෙකාර වැඩට යොමු කිරීමේ අඩුවීමක් දැන් ඇතත්, තවමත් ඒ රැකියාවද ඇත.
වත්මන් සමාජයේ විශේෂයෙන් නාගරික මැදපංතිය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් - තම දෙමාපියන් රැක බලා ගැනීමේ වගකීම් කෙමෙන් අත හැර ඇතිවා වාගේම, අනාථ වූ මෙවැනි ළමුන් සම්බන්ධ වගකීම්ද අතහැර ඇත. මේ සමාජයේ පිරිහීම් සම්බන්ධව වෙන කිසිත් කියන්නට අවශ්‍ය නොවේ.
රටේ සියලු කඩා වැටීම් ආර්ථික අර්බුදයට ලඝු කරමින් කතා කරන නාගරික මැදපංතිය වගේම සමාජ මතවාද, සමාජ ආකල්ප හැදීමට දායකවන විද්වතුන්, වෘත්තිකයින්, ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවක් වන්නේ සමාජ හර පද්ධතිය, සමාජ වටිනාකම්, සමාජ විනය, කෙටියෙන් කියන්නේ නම්, “මනුස්සකම” අත හැර, අතිශය ආත්මාර්ථකාමී දූෂිත සමාජයක් දක්වා පැමිණි ගමන ගැන කතා කරන්නේ නැත. ඒ ගමනෙහි එක් ප්‍රකාශනයක් වන්නේ තවමත් නිදහස් යැයි රැක ගැනීමට ඔවුන් වාද කරන විධිමත් අධ්‍යාපනයේ පිරිහීම ය. නිතර දෙවේලේ ළමුන්ට සිදුවන අතවර, හිංසන, ඔවුන් ගොදුරුවන අපචාර වලට අමතරව, අධ්‍යාපනයෙහි පිරිහීම ගැන වැදගත් සාක්ෂියක් වන්නේ, අතරමගදී පාසල් අධ්‍යාපනය අත හැර යන ළමුන් සංඛ්‍යාව ය. අධ්‍යාපන අමාත්‍යාංශයේ සංගණනයකට අනුව, වසරකදී එළෙසින් පාසල් අධ්‍යාපනය අත හැර යන ළමුන් සංඛ්‍යාව 20,000 ට වැඩි ය. 2018 සිට 2024 දක්වා කාලයේ එළෙස පාසල් අත හැර ගිය සංඛ්‍යාව 2,67,000 ට වැඩි ය.

ප්‍රතිපත්ති අධ්‍යන කේන්ද්‍රය 2022 ජුලි මාසයේදී ඉදිරිපත් කළ සමීක්ෂණයකට අනුව, වැඩිම ළමුන් සංඛ්‍යාවක් අතරමගදී පාසල් අධ්‍යාපනය අත හැර දමා යන්නේ ද්විතියික අධ්‍යාපන වසර වලදීය. වයස අවුරුදු 10 ත් 15 ත් අතර ය. එහි වැඩි ප්‍රතිශතය, සියයට 19.8 ක් ඇත්තේ වැවිලිකරයේ ය. නාගරික හා ග්‍රාමීය සමාජයන්හි සියයට 14 ට මඳක් වැඩි වෙනස ඉතාම අල්ප ය. ජාතික වශයෙන් එය සියයට 16.1 කි. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඔවුන්ට ලැබුණු ළමා ශ්‍රමය හා ළමුන්ට අයුතු ලෙස සැළකීම සම්බන්ධ පැමිණිලි ගැන කතා කරන්නේ වැඩිමනත් මෙවැනි ළමුන් ගැන ය. ළමා ශ්‍රමය ගැන කතාව වැඩිමනත් ඒ වයස්වල ළමුන් ගැන කතාවකි.
මේ ව්‍යසනයට, මේ සමාජ අපරාධයට විසඳුම් ලෙස බහුතරයක් කතා කරන්නේ, ළමුන් ශ්‍රමිකයින් ලෙස යොදා ගන්නා අයට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයට අනුව නීතිමය වශයෙන් දඬුවම් කිරීම ය. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දෙමාපියන්ගෙන්, ගුරුවර ගුරුවරියන්ගෙන්, සේවාදායකයින්ගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, විමසිලිමත්ව සිට ළමා අපචාර සම්බන්ධ තොරතුරු දැනුම් දෙන මෙන් ය. ළමුන් හිඟමන් යදින්නට, මහ මග වෙළඳාම් කිරීමට, විනෝදාත්මක කටයුතු වලට, මත් ද්‍රව්‍ය අලෙවියට, ගණිකා වෘත්තියට හෝ අන්තර්ජාල මාර්ග ගත වාණිජ සූරාකෑමට නතු කිරීම, ලාංකීය නීති පද්ධතිය යටතේ අපරාධමය වරදක් යැයි ළමා ආරක්ෂක අධිකාරිය දැනුම් දෙන්නේය.
ළමා ශ්‍රමය කවරකට, කවරාකාරයෙන් යොදා ගත්තද එය නීතිමය මෙන්ම සමාජීය අපරාධයක් වූවත් ඊට වගකිව යුත්තන් නීතිය හමුවට ගෙන ඒමෙන් ගැටළුවට විසදුම් ලැබෙන්නේ නැත. ඒ අපරාධ සඳහා වගකිව යුත්තන්ට නීති මගින් දඬුවම් කළ පමණින් අතරමගදී පාසල් අතහැර යන ළමුන්ගේ ගැටළු සඳහා එහි උත්තර නැත. පාසල් අධ්‍යාපනය සම්පූර්ණ නොකර, ළමයෙකු අතර මගදී පාසල් යාම අත හරින්නට, ඔහුට හෝ ඇයට ඊට අදාල හේතු කාරණා තිබිය යුතුය. බොහෝ විට එය, පවුලේ ආර්ථික දරිද්‍රතාවය විය හැක. එවැන්නකට හැම ළමයෙකුම උත්තර සොයන්නේ පාසල් යාම අත හැරීමෙන්ම නොවේ. එවගේම, ආර්ථික දරිද්‍රතාවය වෙනුවෙන් “අස්වැසුම” වැනි සමාජ සුභසාධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණද, ඒවා ළමුන්ගේ අඛණ්ඩ පාසල් අධ්‍යාපනය සහතික කෙරෙන වැඩ සටහන් නොවේ.

ආර්ථික දරිද්‍රතාවයට අමතරව, පාසලේද ගැටළු ඇත. විෂය මාලාව එකකි. පංතියේ ඉගැන්වීමෙහි ඇති “නීරස” පිළිවෙත හා ඇතැම් ගුරුවර ගුරුවරියන් එය වඩාත් අප්‍රසන්න භාවිතයක් කිරීම, තවත් ගැටළුවකි. ළමුන් පාසල් යැවීමට තරම් උනන්දුවක් දෙමාපියන්ට නොමැති වීමත් හේතුවක් විය හැක. ළමුන් අතරමගදී පාසල් අධ්‍යාපනය අතහැර දැමීමට, අප දන්නා හා නොදන්නා එවැනි ගැටළු ගණනාවක් තිබිය යුතුය.
අවසන් වශයෙන් කිව යුත්තේ, “ළමා ශ්‍රම භාවිතයට එරෙහි ලෝක දිනය” සැමරීමට සිදුව ඇත්තේ, ළමුන් අතරමගදී පාසල් අධ්‍යාපනය අතහැර යාමට ඇති පෙළඹවීම් වෙනුවෙන් අප තිරසර විසදුම් ඉදිරිපත් නොකරන හෙයිනි. ළමා ශ්‍රම වෙළඳපලක් හැදෙන්නේ එබැවිනි.
එබැවින් “ළමා ශ්‍රම භාවිතයට එරෙහි ලෝක දිනය” සැමරීමේ ඇත්ත භාවිතය විය යුත්තේ, “අනෙකාද මා වැනිම මනුස්සයෙකු” යැයි සිතන්නාවූ පරාර්ථකාමී ශිෂ්ඨ සමාජයක, දියුණු විධිමත් අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා වැදගත් සමාජ සංවාදයකට මුල පිරීමෙහි ය. එය හෙට සිටම ආරම්භ කිරීමට අධ්‍යාපනයට සම්බන්ධ පාර්ශව තීන්දු කරන්නේ නම්, “ළමා ශ්‍රම භාවිතයට එරෙහි ලෝක දිනය” අගමැතිනී, අධ්‍යාපන ඇමතිනි ආචාර්ය හරිනි අමරසූරියට හා ඇයගේ අධ්‍යාපන අමාත්‍යාංශයට අමතකවීම එතරම් ලොකු ප්‍රශ්නයක් නොවන්නකි.
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2026 ජුනි 12 වන දින




