The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සාත්තර මෑණි කෙනෙකුට දේව භාෂාවෙන් කතා කළෙමි | තිලක් සේනාසිංහ

T

The Leader Desk

June 15, 2026 • 8:58 AM

සාත්තර මෑණි කෙනෙකුට දේව භාෂාවෙන් කතා කළෙමි | තිලක් සේනාසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙවියන් කියා කොටසක් සිටී නම් ඔවුනටම ආවේණික භාෂාවන් ද තිබිය යුතු ය. එසේම මිනිසුන්ගේ මෙන් ම විවිධ දේව කොට්ඨාසවලට අයත් දෙවිවරුන්ගේ භාෂාවන් ද එකිනෙකට වෙනස් විය යුතු ය.
  • කෙසේ වෙතත්, අප රටේ දේවාරූඪයෙන් ශාස්ත්‍ර කියන මෑණිවරුන්ට හෙවත් ‘සාස්තර අම්මලාට’ පින් සිදුවන්නට අපට ද යම් යම් අවස්ථාවල මේ දේව භාෂාවට සජීවීව සවන් දීමේ භාග්‍යය උදාවී ඇත.
  • එහෙත්, දෙවිවරුන් නොවන අපට ඒ දේව භාෂාව නොවැටහෙන නිසා, මෑණියන්ට ආරූඪ වී ඇති දෙවියා හෝ දේවතාවිය පවසන්නේ කුමක්ද යන්න බොහෝවිට දැනගත හැක්කේ දේවාලයේ සේවය කරන අතවැසියාගෙනි.
  • ඉන් අපට මූලිකව වටහාගත හැක්කේ ඒ අතවැසියාට කුමනාකාරයෙන් හෝ දේව භාෂාවක් ඉගෙනීමට අවස්ථාව සැලසී ඇති බවකි.
අකුරු ප්‍රමාණය (Font Size):
නමුත් අදේව වාදයක් වන මූලික බුද්ධ දර්ශනයෙන් පරිබාහිරව සංවර්ධනය වී ඇති බෞද්ධ සාහිත්‍යයේ එන සදෙව් ලෝ විග්‍රහය අනුව වුව ද, එම දිව්‍යලෝක හයේ දෙවිවරුන් එකම භාෂාවක් කතා කළ බව පිළිගත නොහැක.

කෙසේ වෙතත්, අප රටේ දේවාරූඪයෙන් ශාස්ත්‍ර කියන මෑණිවරුන්ට හෙවත් ‘සාස්තර අම්මලාට’ පින් සිදුවන්නට අපට ද යම් යම් අවස්ථාවල මේ දේව භාෂාවට සජීවීව සවන් දීමේ භාග්‍යය උදාවී ඇත. ශාස්ත්‍රයක් ඇසීමට ගිය විට දේවාරූඪයට පත්වන එම මෑණිවරු එක්වරම අපට කිසිවක් නොවැටහෙන දේව භාෂාවකින් කතා කිරීමට පටන් ගනිති. එහෙත්, දෙවිවරුන් නොවන අපට ඒ දේව භාෂාව නොවැටහෙන නිසා, මෑණියන්ට ආරූඪ වී ඇති දෙවියා හෝ දේවතාවිය පවසන්නේ කුමක්ද යන්න බොහෝවිට දැනගත හැක්කේ දේවාලයේ සේවය කරන අතවැසියාගෙනි. ඉන් අපට මූලිකව වටහාගත හැක්කේ ඒ අතවැසියාට කුමනාකාරයෙන් හෝ දේව භාෂාවක් ඉගෙනීමට අවස්ථාව සැලසී ඇති බවකි. නමුත් ඔහුට වුව ද එය භාවිතා කළ හැක්කේ ශාස්ත්‍ර කියන දේවාලවල දී පමණි. ඒ ඉන් බැහැර දී එවන් අමුතු බසකින් කතා කිරීම භින්නෝන්මාදය (Schizophrenia) ආදී මානසික රෝගවල ලක්ෂණයක් ලෙස ප්‍රකට වී ඇති බැවිනි.
 

අප රටේ ජීවත්වන ඇතැම් වැසියන්ට තමන්ගේ මව්බස හැරුණුකොට තවත් භාෂාවක් දෙකක් කතා කිරීමේ හැකියාව තිබේ. ජන සංගණන ආදියේදී ඒ හැකියාවන් නිල වශයෙන් වාර්තා වෙයි. එහෙත්, ඒ සංගණනවලදීවත් තමන් මෙම දේව භාෂාව හෝ භාෂාවන් දන්නා බව ප්‍රකාශ කොට ඇති එකම ශ්‍රී ලාංකේය පුරවැසියෙකුවත් ඇතැයි මම නොසිතමි. යමකු එසේ ප්‍රකාශ කළ ද සංගණන නිලධාරීන් ඒවා තුට්ටුවකට වත් ගණන් නොගනු ඇත.
 
ගතවූ වසර තිස් පහක පමණ කාලය තුළ මම මෙලෙස දේවාරූඪයෙන් ශාස්ත්‍ර කියන ස්ථාන රැසකට ගොස් ඇත්තෙමි. මුල් කාලයේ රුපියල් පනස් එකයි ශත පනස් පහ වැනි විශේෂිත මිල ගණන් යටතේ පැවති ඒ ශාස්ත්‍ර කීමේ පඬුරු, මේ වන විට රුපියල් දහස් ගණන් දක්වා ඉහළ නැගී තිබේ. එමෙන්ම ඒවා ශත ගණන් වශයෙන් ද දක්වා ඇත්තේ විදේශ විනිමය ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය වීමේදී සිදු වන ආකාරයටම විය යුතුය. එසේ වුව ද, අතීතයේ මෙන් වර්තමානයේ මාරු කාසි සුලබ නොවීම මත අද වනවිට මෙම ශාස්ත්‍ර කීමේ පඬුරු ද රුපියල් විස්සෙන් අවසන් වන ගණන් දක්වා ඉහළ නංවා ඇත. ඒ අප රටේ මාරු කාසි හිඟය දෙවියන්ට ද පෙනී ඇති නිසා විය හැකි ය.
ඉහත සඳහන් ශාස්ත්‍ර මෑණිවරුන් සිය ගණනකගේ දේව භාෂාවන්ට කන් දී ඇති මම, පසුව ඒ පිළිබඳ විධිමත් අධ්‍යයනයක් කිරීමට සිතා ඒවා පටිගත කොට පසු විපරමට ලක් කළෙමි. නමුදු ඒවා කිසිවක් එකිනෙකට සමාන නොවූ අතර, ඒ සෑම දේව භාෂාවක්ම ද්‍රවිඩ භාෂා සම්ප්‍රදායේ උච්චාරණයන්ට අනුරූපව සැකසී ඇති බවක් නිරීක්ෂණය කළ හැකි විය. ඒ අතර අප අසා පුරුදු දෙමළ වදනක් දෙකක් ද තිබිණි.

ශ්‍රී ලාංකේය ජන සමාජයේ මිථ්‍යා විශ්වාස දුරලීමෙහිලා සුවිශේෂී මෙහෙවරක් කළ ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ නිර්මාතෘ ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවූර්, අප රටේ ආරූඪයෙන් ශාස්ත්‍ර කියන්නවුන්ගේ දේව භාෂාවන් පිළිබඳව මෙවැන්නක් ලියා තිබේ:

“මෙම ශාස්ත්‍ර කියන ස්ථානවලදී මට අමතර සතුටක් දැනවූ කාරණයක් වූයේ, මෙම දේව භාෂා තුළින් මගේ මව් භාෂාවේ වචනයක් දෙකක් ද ඉඳහිට මතුවීමය.”
 
kovoor
ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවූර් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ඉපදී හැදී වැඩුණු අතර ඔහුගේ මව් භාෂාව වූයේ මලයාලම් ය. එමෙන්ම මා විසින් අසන ලද දේව භාෂාවලට අයත් වචන අතුරින් “පර යුන්නු” යන්න මගේ මනසේ මනාව සටහන් ව ඇත. එහි “පර” යන්න සාමාන්‍ය ලෙස උච්චාරණය කළ ශාස්ත්‍ර මෑණිවරුන්, එහි “යුන්නු” යන කොටස වඩාත් බර කොට පවසනු ද මා හට නිරීක්ෂණය විය. මා දන්නා පරිදි එය කියනවා යන අරුත සහිත දෙමළ බසට ද නෑකම් කියන මලයාලී වදනකි.

මෙසේ විවිධ ශාස්ත්‍ර මෑණිවරුන් ආරූඪයෙන් පවසන දේව භාෂාවන් ගොනු වූ හඬපට රැසක් වරින් වර නිරීක්ෂණය කළ මම, මීට වසර කිහිපයකට ඉහත ඉන් එක් හඬපටයක් නැවත නැවතත් විමර්ශනයට ලක් කළෙමි. එය එවක අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටි, කඩුවෙලට ඔබ්බෙන් කැලණි ගං මිටියාවතේ ශාස්ත්‍ර මෑණි කෙනෙකුගේ හඬපටයකි. මා එම ශාස්ත්‍ර දේවාලයට යන විට භික්ෂු චීවරයකින් සැරසුණු අපිරිසිදු පෙනුමකින් යුතු පුද්ගලයෙකු (ඔහු සැබෑ භික්ෂුවක්ද යන්න නොදනිමි) ඇගේ කැපකරුවෙකු ලෙස කටයුතු කරමින් හිඳිනු පෙනිණි. එවක එම ශාස්ත්‍ර මෑණියන් ප්‍රසිද්ධව සිටියේ කාලි ආරූඪයෙන් ශාස්ත්‍ර කියන්නියක ලෙසිනි.

විනාඩි විසිතුනක පමණ කාලයක් තුළ ඒ ශාස්ත්‍ර මෑණියන් ආරූඪයෙන් කතා කළ දේව භාෂාව ඉතා සීමිත වදන් ගණනකින් යුතු වූ අතර, ඒවා නැවත නැවතත් ඇය වෙතින් ප්‍රතිරාවය වන අයුරු මට නිරීක්ෂණය කළ හැකි විය.
 
පසුව ඇගේ මෙම දේව භාෂා වදන් මාලාවෙන් විනාඩියක හමාරක කොටසක් කටපාඩම් කරගත් මම, ඊට කලකට පසුව යළි එම ශාස්ත්‍ර මෑණියන්ගෙන් ශාස්ත්‍රයක් ඇසීමට ගියෙමි. එහිදී ද මා ඉදිරියේ වූ රතු පැහැති තිරයට මුහුණ ලා සිටි ඇය, තම සුරතෙහි වූ කුඩා සීනුව සොලවමින් කන්නලව් කරන අතරේ එක්වරම දේවාරූඪයට පත්වූවා ය. ඉන්පසුව ඇය කතා කරන්නට වූයේ ඇගේ අතවැසියාට පමණක් වැටහෙන “අණ්ඩර දෙමළෙනි”. ඇය එසේ ආරූඪයෙන් දොඩවන අතරේ, ඇය දේව භාෂාවෙන් පවසන දෑ ඇගේ සහායකයා විසින් එසැනින් සිංහලයට පරිවර්තනය කරන ලදි.
sasthara 3
පසුව මම ද එම ශාස්ත්‍ර මෑණියන්ගෙන් අසන ප්‍රශ්නයක් ලෙස, මා කටපාඩම් කරගෙන සිටි ඇගේම දේව භාෂා ප්‍රකාශනයේ කොටසක් මන්ත්‍රයක් මෙන් එකදිගටම කියාගෙන ගියෙමි. එහෙත්, මගේ එම ‘අණ්ඩර දෙමළ’ ප්‍රශ්න ඇසීම හමුවේ එක්වරම නිරුත්තර වූ ශාස්ත්‍ර මෑණියෝ, විනාඩියක් දෙකක් තම සුරතේ වූ සීනුව හඬවමින් කල්ගත කළහ.

“දරුවා ඔය දොඩවන බහුබූත මොනවාද කියලා මෑණියෝ අහනවා.” ඉන්පසුව ශාස්ත්‍ර මෑණියන් පැවසූ වදන් දෙක තුනක් සිංහලයට නැංවූ ආවතේවකරු නොරිස්සුම්සහගතව ඇසීය.

“ඇයි මේවයේ කිසිම තේරුමක් නැද්ද?” මම ද රහසින් ප්‍රශ්න කළෙමි.

“නෑ… ඔය නිකම් බොරු වචන ටිකක් විතරයි කියලා මෑණියෝ කියනවා.” පසුව යළි ශාස්ත්‍ර මෑණියන්ගේ වදනක් දෙකක් මා දන්නා සිංහලයට පරිවර්තනය කළ අතවැසියා කීය.

“ඔව්, මාත් ඒක නම් හොඳටම දන්නවා.” මම කීවෙමි. “ඒත් මම ඔය කිව්වේ මීට මාස හත අටකට කලින් ඔය මෑණියෝ ආරූඪයෙන් කියපු බහුබූත ටිකක්ම තමයි.”

මගේ ආත්මාරක්ෂාව පිළිබඳ අවදානමක් ඇති බැවින්, ශාස්ත්‍ර ඇසීමට පැමිණි පිරිසට නොඇසෙන සේ ඒ ශාස්ත්‍ර මෑණියන්ට සහ අතවැසියාට එසේ කී මම, හනික ඒ ශාස්ත්‍ර දේවාලයෙන් පිටතට පැනගතිමි. ඒ අසරණයන්ගේ ඉහ මොළ සූරා කන මෙවන් ජාවාරම් පොළවලට ආරක්ෂාව ලබා දීමට ප්‍රදේශයේ දාමරිකයන් නිබඳවම ඇප කැප වී හිඳිනා බව මා හොඳින් දැන සිටි බැවිනි.
 
sasthara 5
සාමාන්‍ය ජන වහරට අනුව ඇතැමුන් ‘දේව භාෂාව’ ලෙස සලකන, ආවේශ වූ අවස්ථාවල දී හෝ යම් යම් අභිචාර විධිවලදී භාවිත කරන මෙම සුවිශේෂී උච්චාරණ විධිය කිසියම් නිශ්චිත භාෂාවක් හෝ උපභාෂාවක් නොවේ. මානව විද්‍යාත්මක සහ භාෂා විද්‍යාත්මක හැදෑරීම්වලට අනුව එය වූ කලී “ග්ලොසොලාලියාව” (Glossolalia) හෙවත් “අර්ථ විරහිත පද වැල් ගැලපීම” ලෙස හඳුන්වන මානසික හා වාග්විද්‍යාත්මක සංසිද්ධියකි. මේ පිළිබඳව විද්‍යාත්මකව හඳුනාගෙන ඇති ප්‍රධාන කරුණු කිහිපයක් වේ:

මෙහිදී උපදවන ශබ්ද හෝ පද වැල්වලට කිසිදු ව්‍යාකරණානුකූල ව්‍යුහයක්, ශබ්දකෝෂමය අර්ථයක් හෝ පද්ධතිමය සන්නිවේදන ශක්තියක් නොමැත.

මෙය බොහෝ විට සිදු වන්නේ දැඩි ආගමික භක්තියක්, ආවේශයක්, මෝහන නිද්‍රාවක් (Trance) හෝ දැඩි මානසික උද්වේගකර තත්ත්වයක් තුළ ය.

මෙහිදී පුද්ගලයා ශබ්ද නඟන පද වැල් සම්පූර්ණයෙන්ම නන්නාඳුනන ඒවා සේ පෙනුණත්, ඒවා ගොඩනැඟෙන්නේ අදාළ පුද්ගලයාගේ මව් භාෂාවේ හෝ ඔහුට හුරුපුරුදු වෙනත් භාෂාවල පවතින ශබ්ද රටා සහ අක්ෂර මාලාවන් (Phonemes) ඇසුරෙන් බව නිරීක්ෂණය වී තිබේ.

කෙටියෙන් කියතොත්, මෙය කිසියම් උපායශීලීත්වයක් යටතේ සිදු කරන ව්‍යාජ මවාපෑමක් (Simulation / Fraudulent act) හෝ යම් සුවිශේෂී මානසික මට්ටමක් යටතේ උපවිඥානයෙන් පිටවන, භාෂාත්මක ව්‍යුහයකින් තොර ශබ්ද රටා සමුදායක් මිස දිව්‍යමය හෝ අද්භූත භාෂාවක් නොවේ.

Thilak Senasinghe
(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී

thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)


 whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...