The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'පත්තර නැති, කියවන්නැති රටක් යනු, සිතන්නැති මිනිසුන්ගෙන් පිරි රටක්' - ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස

T

The Leader Desk

June 17, 2026 • 9:13 AM

'පත්තර නැති, කියවන්නැති රටක් යනු, සිතන්නැති මිනිසුන්ගෙන් පිරි රටක්' - ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලාංකේය පුවත්පත් ක්ෂේත්‍රයේ ඉදිරි ගමන, අනාගත ලෝකයට පුවත්පත් අවශ්‍යද සහ පාඨක සූදානම පිලිබඳ, "අපේ පත්තරේ හෙට දවස," සංහිඳ සංවාද විද්වත් කතිකාව පසු ගිය සෙනසුරාදා (13), මහනුවර IBA Campus ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
  • එය ශ්‍රී ලාංකේය ජාතිකවාදී අරගලයේ කොටසක් වූ බව ඔහු සඳහන් කළේය.
  • අද, පාඨකයා  පුවත්පතෙක ප්‍රවෘත්ති කියවීමට වඩා,  අන්තර්ජාලයේ මාර්ගගත වේදිකා හෝ මාධ්‍ය ඔස්සේ, පුවතිකින් ඔබ්බෙහි විශ්ලේෂණ කියවීමේ ප්‍රවනතාවක් පෙන්නුම් කරන බව ඔහුගේ නිරීක්ෂණය විය.
  • එහෙත්, පාඨකයා එහි, තමන්ට අවැසි දේ තෝරා කියවනවා සේ පෙනුනද, අවාසනාවට කරුණ නම්, සත්‍යය, එය එසේ නොවන බව, ඔහු කියා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):


කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ හිටපු අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ සහ අනිද්දා පුවත්පතේ ප්‍රධාන කතෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නීතීඥ K.W. ජනරංජන යන මහවරුන්ගේ විශේෂ සම්පත් දායකත්වයෙන් එය පැවැත්විණි.
 
vg6vu567u
IBA Campus සංහිද ශාලිකා - මහනුවර මාධ්‍ය සහ කලා ඇකඩමියේ සහ මාධ්‍ය හා සංවර්ධනය පිලිබඳ කේන්ද්‍රය විසින් සංවිධානය කර තිබූ එම විශේෂ කතිකාවට, මහා සංඝරත්නය,  විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්, පාසල් ආචාර්යවරුන්,  රාජ්‍ය ආයතනයන්හි මාධ්‍ය ඒකක කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් එක්වූහ.

මෙහි සමාරම්භක හැඳින්වීම  කළ කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ හිටපු අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා, දේශීය පුවත්පත සහ නිදහස් සටන අතර වූ සහසම්බන්ධය සිහි කැඳවීය. එය ශ්‍රී ලාංකේය ජාතිකවාදී අරගලයේ කොටසක් වූ බව ඔහු සඳහන් කළේය.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස
"ලාංකේය පුවත්පත ජනමත සංවිධානයේ පුරෝගාමී මෙහෙවරක නිරත වූවා. මෙහි සෑම දේශපාලන ව්‍යාපාරයක් තුළම දිනපතා, සති පතා පුවත්පත් පැවතියා. ජනමතය විවිධ ප්‍රගමනකාරී දිශානතීන් ඔස්සේ මෙහෙයවීමට මෙන්ම, පොදු ජන මනස පුබුදුවාලීමට  එය වෙසෙස් කාර්ය භාරයක් සිදු කළා. මේ වන විට, ඒ සියල්ල අතිශය වෙනස් ව පවතිනවා. පත්තර නැති රටක්, කියවන්නැති රටක් යනු, සිතන්නැති මිනිසුන්ගෙන් පිරි රටක්. එවැනි රටක අනාගතය අවිනිශ්චිතයි," ඔහු කීය.
wij6786578ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ
 
එහිදී අදහස් දැක්වූ  කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා, ව්‍යාජ පුවත් මවන්නන්ගේ යුගයක, විශ්වසනීය පුවත් මාධ්‍යයක  අවශ්‍යතාව පිලිබඳ අවධාරණය කළේය. අද, පාඨකයා  පුවත්පතෙක ප්‍රවෘත්ති කියවීමට වඩා,  අන්තර්ජාලයේ මාර්ගගත වේදිකා හෝ මාධ්‍ය ඔස්සේ, පුවතිකින් ඔබ්බෙහි විශ්ලේෂණ කියවීමේ ප්‍රවනතාවක් පෙන්නුම් කරන බව ඔහුගේ නිරීක්ෂණය විය. එහෙත්, පාඨකයා එහි, තමන්ට අවැසි දේ තෝරා කියවනවා සේ පෙනුනද, අවාසනාවට කරුණ නම්, සත්‍යය, එය එසේ නොවන බව, ඔහු කියා සිටියේය.
 
"ඔන්ලයින් වේදිකාවේ, අපට කියවන්න අවශ්‍ය දේ අපි කියවන බවක්, මතුපිටින් පෙනෙන බව ඇත්තයි. ඒත්, සත්‍යය  නම්, එහි අපට කියවීමට අවැසි දෑ තෝරා දෙන්නේ, යම් අදෘශ්‍යමාන බලවේගයක් බව අපට එකහෙළා නොවැටහී යාමයි. සමහරවිට, ඒ බලවේගය වන්නේ බලවත් රාජ්‍යයක් වන්නට පිළිවන්;  තවත් විටෙක මූල්‍ය බලයෙන් අගතැන්පත් ව්‍යාපාරිකයෙක් හෝ ජාවාරම්කරුවෙක් වන්නට ද පිළිවන්. ඇත්තෙන්ම,  එහිදී අප කියවන්නේ අපගේ තේරීම නොව, අන්‍යයකු විසින් තීරණය කර තෝරා දෙන ලද්දක් බව, තේරුම් ගැනීමට පාඨකයා මෙහිදී, සිය විඥ්ඥානය දියුණු කර ගත යුතුයි. මන්ද, රටක තීරණාත්මක මැතිවරණ වැනි අවස්ථාවන්හිදී, පාඨකයා, වෙනත් අයුරකින් පවසතොත්, ඡන්ද   දායකයා බල ගැන්වීමේ බලය වංචාකාරයින්, ජාවාරම්කාරයින් අත පැවතියහොත්, ඉන්   සිදුවන්නේ මහත් අනර්ථයක් සහ  විනාශයක්. ඒ හේතුවෙන්,  අන්තර්ජාල පාඨකයා සතුව ඔන්ලයින් ඇල්ගොරිතම ( algorithm)  පිලිබඳ පූර්ව වැටහීමක් පැවතීම අත්‍යවශ්‍යයි," ඔහු පැවසීය.
එබැවින්, පුවත්පතේ චිරස්ථිතිය උදෙසා, දක්නා දෙයින් ඔබ්බෙහි විමර්ශනාත්මක සහ ගවේශනාත්මක තොරතුරු වාර්තාකරණය අත්‍යවශ්‍ය බව, හෙතෙම අවධාරණය කළේය. අද දවසේ පුවත්පත, මතුපිට ප්‍රවෘත්තියෙන් ඔබ්බට ගිය අන්තර්ගතයෙන් යුක්ත වීම අනිවාර්ය බව ඔහු පෙන්වා දුන්නේය.

"එය සාර්ථකව සාධනය වන්නේ නම්, එය සමාජ ප්‍රගමනය උදෙසා යහපත් කර්මාන්තයක් බවට  පත් කළ හැකියි. එමගින්, විමර්ශනාත්මක  සහ ගවේශනාත්මක නව ලේඛක පරපුරක් බිහි කිරීමේ අවස්ථාව ද  උදා වනවා. ඉදිරියේදී, පුවත්පත් යළි කියවීමට ඇලුම් කරන පාඨක පිරිසක් බිහි කර ගැනීමට  එවන් පියවර මහෝපකාරී   වනවා. එවිට, නව පාඨක පිරිස් පුවත්පත කෙරෙහි වඩාත් ආකර්ෂණය වනවා පමණක් නොව, ඉදිරි වසර 30 - 35 තුළ ලොව වඩාත් තීරණාත්මක කාර්ය භාරයක නියැලෙන  Z හෝ ඇල්ෆා පරපුර, සහකම්පනයෙන් සහ  වඩා නිවැරදි තීරණ ගැනීමේ ශක්‍යතාවෙන් හෙබි පරපුරක් බවට පත් කිරීමේ අවස්ථාව ද උදා වනවා," ඔහු කීය.
 
98yr9344cජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දී නීතීඥ K.W. ජනරංජන
විද්වත් කතිකාව අමතා අදහස් දැක්වූ, අනිද්දා පුවත්පතේ ප්‍රධාන කතෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දී නීතීඥ K.W. ජනරංජන මහතා, පුවත්පත් කලාව දුර්වල වීම යනු, එම සමාජය කිසිසේත්  නොපතන සමාජයක්, එනම්,  සහකම්පනයෙන් තොර  සමාජයක් බවට පත් කිරීම බව අවධාරණය කළේය. වත්මන, ලාංකේය  පුරවැසි සමාජය, පුවත්පත  රැක බලා ගැනීමට සූදානම් නැත්තේ මන්දැයි විමසීම වටනා බව ද ඔහු කීය. සමාජ මාධ්‍යයේ බොහෝවිට දෘශ්‍ය  දේ පල කෙරුණද,  මුද්‍රිත පුවත්පත එම පුවත පිලිබඳ    වැකි  අතර කියවීමට (reading  between lines ) පාඨකයා  හුරු කරන අතර, එවැනි කියවීමක් රහිත සමාජය සිතීමෙන් තොර සමාජයක් බව ඔහු පැවසීය.  පුවත්පත් කර්මාන්තය රැක ගැනීමට නම්, එය තවත් කර්මාන්තයක් හරහා රැක ගත යුත්තේ කෙසේදැයි පර්යේෂණයක් තිබිය යුතු බව ද හෙතෙම අවධාරණය කළේය. "මම   උදාහරණයක් කියන්නම්. ජර්මනියේ එක් පුවත්පත්  ආයතනයක් සතුව  අවන්හලක් තිබෙනවා.  ඔවුන්, අවන්හලේ ආදායමින් පෙරලා එම පුවත්පත කරනවා. නූතනයේ, මාධ්‍ය එකාබද්ධකරණය (media conglomeration)  මගින්, මුද්‍රිත  පුවත්පත් ආයතනයකට වෙබ් පිටුවක් ඔස්සේ ද එම පුවත්පත ප්‍රවර්ධනය  කළ හැකියි," ඔහු පෙන්වා දුන්නේය.  
 
e2344ආචාර්ය  ආරියරත්න ඇතුගල
කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, ආචාර්ය  ආරියරත්න ඇතුගල මහතා අදහස් දක්වමින්, අනාගත පුවත්පත  එදා - අද  මෙන් හෙට ද  කඩදාසිය මතම  පවතින බව විශ්වාස කිරීම ඥානාන්විත නොවන බව සඳහන් කළේය. "පුවත්පත මැරෙන්නෙ නෑ, ඒත්, කඩදාසිය යම් දිනෙක ක්ෂය වේවි. පුවත්පත වෙනත් වේදිකාවක දිගහැරේවි. වැදගත්වන්නේ එය වටහා කටයුතු කිරීමයි," ඔහු කීය.
 
ati679  
විද්වත් කතිකාවට එක වූ පූජ්‍ය ඇටිපොල මංගල හිමි අදහස් දක්වමින්, දේශීය පුවත්පත් ආයතනයක්, සිනමා කර්මාන්තය වැනි සමාන්තර ආදේශ ඔස්සේ පුවත්පත් කර්මාන්තය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම, සිංහල පුවත්පතට භාෂා දැනුම් කළමනාකරණයෙන් තොරව සෘජුවම, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය  යොදා ගැනීම, මුද්‍රිත පුවත්පත අභාවයට යාමට සහ පාඨකයා ඉන් ඈත් වීමට ප්‍රධාන කරුණක් බව ද අවධාරණය කෙරිණි.

මෙම සංවාදයට එක්වෙමින් අදහස් දැක්වූ, නිදහස් මාධ්‍ය වේදිනියක ලෙස ද කටයුතු කරන,  අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ඒකකයේ නිශාන්ති කොඩිතුවක්කු, පුවත්පත එහි ප්‍රගමනය උදෙසා පුද්ගල ප්‍රවර්ධනයෙන් හැකිතාක් ඉවත්විය යුතු බවත්, අංකුර මාධ්‍යවේදීන්ට සහ පාඨක අදහස් දැක්වීම් පිණිස නව ඉඩ වෙන් කළ යුතු බවත් සඳහන් කළේය.
 
v46uv56අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ඒකකයේ නිශාන්ති කොඩිතුවක්කු,
මුද්‍රිත පුවත් පතේ තිරසර බව උදෙසා,  එය මිලදී ගන්නා පාඨකයාට ගරු කරන්නාවූ පුවත්පත් කලාවක් පැවතිය යුතු බවත්, පුවත් පත අභාවයට යෑම  පිලිබඳ, මාධ්‍යකරුවන්  සේම, පාඨකයාද ස්වයං විවේචනයක්  සිදු කළ යුතු බවත්,  පුවත්පතෙක අන්තර්ගතය වත්මනට සරිලන සේ පෝෂණය වීමේ බරපතල අවශ්‍යතාවක් පවතින බවත්, මෙහිදී අදහස් දැක්වූ ප්‍රමාණික විද්වත්හු සඳහන් කළහ.

විද්‍යුත් මාධ්‍යයේ  සිරස්තල කියවීම විග්‍රහයෙන් තොර විය යුතු බවද, මුද්‍රිත පුවත්පත් විද්‍යුත් මධ්‍යයේ ඉදිරිපත් කිරීම තුළ සිදු කළ  යුත්තේ, පුවත්පතක් පරිශීලනයට පාඨකයා උනන්දු කර යොමු කිරීම බව ද, එහිදී අදහස් දැක්වූවෝ පැවසූහ.
 
anu6786පොල්ගොල්ල, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය අනුජ දයාරත්න
පොල්ගොල්ල, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය අනුජ දයාරත්න මහතා මෙම විද්වත් කතිකාවට පූරක දායකත්වය සැපයීය. මහනුවර IBA Campus අධ්‍යයනායතනයේ පූර්ණ දායකත්වයෙන් පැවති  එම වැඩසටහනට  සරසවි පොත්හල මූල්‍යනුග්‍රහය දැක්වීය.

(සටහන: හර්ෂ උදයකාන්ත පීරිස්)
මාධ්‍යවේදී
6/15/2026
(harshaprs@yahoo.com)

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...