කෙසේ වෙතත්, වසර ගණනාවක් පුරා එල්ල වූ දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් පීඩනය හමුවේ 2022 අංක 12 දරන සංශෝධන පනත මඟින් මෙම රඳවා ගැනීමේ උපරිම කාලසීමාව මාස 18 සිට මාස 12 දක්වා අඩු කිරීමට රජයට සිදු විය. එමෙන්ම, මෙලෙස රඳවා තබා ගන්නා පුද්ගලයන් වධහිංසාවලින් (Torture) ආරක්ෂා කිරීම උදෙසා තවත් වැදගත් ආරක්ෂණ ප්‍රතිපාදනයක් එම සංශෝධනයෙන් හඳුන්වා දෙන ලදී. ඒ, නව 9B(3) වගන්තියයි. ඒ අනුව, ප්‍රදේශයේ මහේස්ත්‍රාත්වරයා විසින් අවම වශයෙන් මාසයකට වරක්වත් එම පුද්ගලයා රඳවා තබා ඇති ස්ථාන වෙත ගොස් සැකකරුගේ සුවදුක් පෞද්ගලිකව විමසිය යුතු අතර, එහිදී සැකකරු වධහිංසාවට ලක්ව ඇති බවට සාධාරණ සැකයක් මතු වුවහොත් වහාම ඔහුව අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු වෙත වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කළ යුතුය.
සැකකරු වෙනුවෙන් ඔහුගේ නීතිඥයන්ට වෛද්‍ය පරීක්ෂණයක් ඉල්ලා සිටිය හැකි ද ?

තම සේවා දායකයා වෙනුවෙන් මෙවන් අවස්ථා වලදී සැකකරුගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ඔහුගේ නීතිඥවරුන්ට නිහඬව සිටීමට අවශ්‍ය නැත. ඔවුන්ට සැකකරුව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන ලෙස ඉල්ලා සිටීමට ප්‍රබල ප්‍රතිපාදන රැසක් පවතී:
(1) PTA පනතේ 9B(3) වගන්තිය:
(2) අපරාධ නඩු විධාන සංග්‍රහයේ 122(2) වගන්තිය:
(3) 1994 අංක 22 දරන වධහිංසා පැමිණවීමට එරෙහි පනත (CAT Act):
වධහිංසා පැමිණවීම ඇප දිය නොහැකි අපරාධයක් බැවින්, ඊට අදාළ අධිකරණ වෛද්‍ය සාක්ෂි (Forensic Evidence) විනාශ වීමට පෙර සුරක්ෂිත කිරීමට අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් ඉල්ලා සිටීම.
(4) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන වගන්තිය (මූලික අයිතිවාසිකම් ):
වධහිංසාවලින් නිදහස් වීමේ පරම අයිතිය උල්ලංඡනය වී ඇති බව පෙන්වා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර, සැකකරු ස්වාධීන වෛද්‍ය මණ්ඩලයකට යොමු කිරීමට අතුරු නියෝග ලබා ගැනීම.
අධිකරණ වෛද්‍ය නිලධාරී වරයාගේ භූමිකාව සහ බහු-විශේෂඥ ප්‍රවේශය (Multi-disciplinary Approach).
රැඳවුම් භාරයේ සිටින රැඳවියකු අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන ලෙස අධිකරණය විසින් නියෝග කළ විට සිදුවන්නේ පොලිසිය විසින් එම සැකකරු සඳහා “පොලිස් 20” දරන අධිකරණ වෛද්‍ය පරීක්ෂණ පෝරමය (Medico Legal Examination form) නිකුත් කිරීමයි. එය නිකුත් කරන විට එහි අදාල අනු අංකය සහ දිනය එය නිකුත් කරන නිලධාරියා විසින් එහි සඳහන් කරනු ලබයි. ඉන් අනතුරුව එම පෝරමය රඳවා තබා ගැනීම භාරව සිටින නිලධාරියාට ලබා දුන් පසු ඔහු එය අධිකරණ නියෝගයත් සමඟින් අධිකරණ වෛද්‍ය නිලධරියෝ වෙත යොමු කරනු ලබයි. ඒ අනුව ඔහු එදිනම නොව වෙනත් දිනයක අදාල සැකකරු අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට පියවර ගන්නා අවස්ථාවන් ඇත. එවිට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා අධිකරණය වෙත යවන වාර්තාවේ ( සෞඛ්‍ය 1135 ) අධිකරණ වෛද්‍ය පරීක්ෂණ පෝරමය නිකුත් කළ දිනය ලෙස සඳහන් කරන්නේ පොලිස් නිලධාරියා එය නිකුත් කරන විට සඳහන් කොට ඇති දිනයයි. සත්‍ය වශයෙන්ම ඔහු පරීක්ෂා කළ දින ඊට පසුව සඳහන් කරනු ඇත. අධිකරණ වෛද්‍ය පිරික්සුම් පත්‍රය නිකුත් කළ දින සිට එම පුද්ගලයා අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා සැලකිය යුතු කාලයක් ගෙන තිබේ නම් ඒ සඳහා නිදහසට හේතු අදාළ රැඳවුම් භාරව සිටින නිලධාරීන්ගෙන් විමසීමට අධිකරණයට හැකියාව ඇත.
යම් සැකකරුවෙකු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙකු වෙත යොමු කළ විට එම පුද්ගලයා පරීක්ෂා කොට වාර්තාව ලබාදිය යුත්තේ කවර කරුණක් පමණක් උදෙසාද යන්න නියෝගයේ සඳහන් නොවන විටෙකදී අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් එම පුද්ගලයා සඳහා පූර්ණ වෛද්‍ය පරීක්‍ෂණයක් සිදු කරනුලබයි. රඳවා ගැනීමේදී විශේෂයෙන්ම වධහිංසාවක් ලබා දී තිබේද යන්න පරීක්ෂා කිරීමේදී වධහිංසාවේ විවිධ පැතිමානයන් විද්‍යාත්මකව ඔප්පු කිරීම සඳහා කායික රෝග, ස්නායු රෝග, අක්ෂි ශල්‍ය, පෝෂණවේදී සහ මනෝ වෛද්‍ය වැනි විවිධ සායනික විශේෂඥයන් වෙත සැකකරුව යොමු කිරීම (Clinical Referrals) අධිකරණ වෛද්‍ය විද්‍යාවේ සම්මත පටිපාටියයි. මන්ද, දීප්තිමත් ආලෝකයට ඇස් නිරාවරණය කිරීම, ආහාර නොදී සිරකර තැබීම, හෝ සියුම් ලෙස ස්නායුවලට හානි කිරීම වැනි වධහිංසා හුදෙක් තනි අධිකරණ වෛද්‍ය නිලධාරීවරයකුට පමණක් තක්සේරු කළ නොහැකි බැවිනි.
මෙහිදී අධිකරණ වෛද්‍ය නිලධාරි වරයා, තමන් තනිව පරීක්ෂා කොට වාර්තාවක් ලබා දෙනවා ලබා දෙනවා වෙනුවට රඳවියා අනෙකුත් විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමු කිරීම මගින් සිදු කරන්නේ පනතේ අභිප්‍රාය වඩාත් විද්‍යාත්මකව තහවුරු කිරීම මිස පනත උල්ලංඝනය කිරීමක් නොවේ. මේ අනුව එම විශේෂඥ වෛද්‍යවරුන් ලබා දී ඇති මතයන් පිළිබඳව අධිකරණය අවධානය යොමු කළ යුතු අතර ඒ සම්බන්ධව පනතේ 9 (ආ) (4) දක්වා ඇත්තේ ‘සැකකරු වධදීමට ලක් වී ඇති බවට එම වෛද්‍ය නිලධරයාගේ වාර්තාව මගින් හෙළිදරව් වන අවස්ථාවක දී, මහෙස්ත්‍රාත්වරයා විසින් එම සැකකරුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා උචිත ආඥාවක් නිකුත් කරනු ලැබිය යුතු ය” ලෙසයි. වෛද්‍ය නිර්දේශ සම්බන්ධව පැමිණිලි පාර්ශ්වයට හෝ සැකකරුගේ පාර්ශවයට යම් ගැටලුවක් තිබේ නම් එම නිර්දේශ ලබාදුන් වෛද්‍යවරුන් අධිකරණය හමුවට කැඳවා ඔවුන්ව ප්‍රශ්න කළ හැක.
මනෝ වෛද්‍ය විද්‍යාවේ 'ආත්මීය' සීමාවන් සහ දේශපාලන නැඹුරුව (Expert Bias)

නිදහස අහිමි කරමින් රඳවාගෙන සිටින පුද්ගලයකුගේ මානසික තත්ත්වය පරීක්ෂා කිරීම අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ එක් ප්‍රධාන පියවරකි. ඔහුට බාහිර තුවාල නොමැතිව වධ බන්ධන ලබා දී තිබේනම් ඒවා පිළිබඳව අනාවරණය කළ හැක්කේ ඔහුගේ මානසික තත්ත්වය පරීක්ෂා කිරීම මගිනි. බොහෝ විට වධ හිංසාවන්ට ලක්ව ඇති අය එම හිංසාවන් නැවත මතකයට නංවා මනෝ වෛද්‍යවරුන්ට ප්‍රකාශ කරන අවස්ථාවන්වලදී ඔවුන්ගේ දෑස් වලින් කඳුළු කඩා හැලීම සාමාන්‍ය තත්වයකි. වෙනත් වෛද්‍යවරුන් පරීක්ෂා කිරීමකදී එවන් මනසික සංවේදීතාවක් ඇති නොවන බැවින් එවන් කඳුළු වැටීමක් දක්නට නොලැබේ.
මේ අනුව භෞතික සහ රසායන පරීක්ෂණ මගින් ඔප්පු කිරීමේ හැකියාවක් නොමැති නිසා මනෝවෛද්‍ය නිර්දේශයන් ඒවා ලබාදෙන විශේෂඥයන්ගේ පෞද්ගලික,දේශපාලන, ආගමික,චර්යාත්මක, සංස්කෘතික, වැනි ආත්මීය බලපෑම් එම නිගමනවලට බලපෑම් සිදු කිරීමට ඇති හැකියාව ඉතා ඉහළය.
මනෝ විද්‍යාඥයන් (Psychologists) සහ 'ඉස්තාන්බුල් ප්‍රොටොකෝලය'
මෙම ක්‍රියාවලියේ පවතින ආත්මීය ස්වභාවය අවම කිරීමට ඇති ප්‍රධානතම විද්‍යාත්මක මෙවලම වන්නේ මනෝමිතික පරීක්ෂණ (Psychometric Testing) ය. එම පරීක්ෂණ සිදු කිරීම සඳහා මනෝ වෛද්‍යවරුන්ට (Psychiatrists) අමතරව,ඒ සඳහා විශේෂඥතාවය දරන ස්වාධීන සායනික මනෝ විද්‍යාඥයන් (Clinical Psychologists) සහ අධිකරණ මනෝ විද්‍යාඥයන් (Forensic Psychologists) මෙවන් මානසික තත්වය පරීක්ෂාෂා කරන විශේෂඥ මණ්ඩල නම් කිරීමේදී එම මණ්ඩලවලට ඇතුළත් කිරීම ඉතා සුදුසුවේ.
| වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහඅධිකරණ වෛද්‍ය නිලධාරී
Palitha.subasinghe@gmail.com




