කොළඹ මල් පාරේ දේශපාලන කාර්යාලයට රැස්වූ මන්ත්‍රී කණ්ඩායම ඉතා කුතුහලයෙන් ඇහුම්කන් දුන්නේ පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ එවක ජනාධිපතිවරයා රටින් බැහැරක සිටි මොහොතක අගමැති ලෙස රටේ නායකත්වය දැරුවේ රනිල් බැවිනි.
" සිද්ධිය සැලවූ සැණින් ආරක්ෂක අමාත්‍යාංශයේ උදවියට අරලියගහ මන්දිරයට එන්නැයි මා දැනුම් දුන්නා. එවකට නීතිපති ජයන්ත ජයසූරියක් එහි සිටියා." අරලියගහ මන්දිරයට යන්න එපා යැයි" ජනාධිපති පැවසූ බව ඒ අය කිව්වා. කබීර් ඇතුළු පිරිසක් එහි සිටියා.

ආරක්ෂක අමාත්‍යාංශයේ අයට අරලියගහ මන්දිරයට එන්න එපායැයි කියා තිබු නිසා අපි ආරක්ෂක අමාත්‍යංශයට ගියා. එතන ලොකු වාදයක් යනවා. මම ගියා රුවන්ගේ කාමරයට (එවක ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය)
එතන කට්ටිය රැස්වෙලා හිටියා. මම ගිහින් මූලාසනයේ වාඩිවුණා. එතන තිබුණේ ව්‍යාකූල තත්ත්වයක්. එක පැත්තකින් හේමසිරි ප්‍රනාන්දු, අනිත් පැත්තෙන් තව එක්කෙනෙක්. ඔක්කොම වාද කරගන්නවා. කවුද ක්‍රියා කළේ, කවුද නැත්තෙ කියල දන්නේ නෑ. පොලිසියේ අය ගිහින් වෙනම වැඩ කරනවා එතන. මම වාඩි උනාට පස්සේ රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු කට්ටිය එන්න පටන් ගත්තා. රුවන් එතන හිටියා.
එක එක අය තමන්ගේ කාමරවල ඉඳලා වැඩ කරලා මිසක් එකිනෙකා සමග කතා කරන්න ගිහින් නෑ කියා ඒ කතා බහේදී තේරුම් ගියා. හැම එක්කෙනාම අදාල ලියුම අරගෙන එකිනෙකාට යවලා. ඒ කියන්නේ හරියට සම්බන්ධීකරණයක් නෑ.
වෙන එකක් තියා මෝටර් සයිකලේ පිපිරුන අවස්ථාවේ ඒකවත් මට කිව්වේ නෑ. මෛත්‍රීපාල හෝ වෙන කවුරුවත් ඒක මට කියන්න එපා කියලා නැහැ.
මෙතන තව ප්‍රශ්නයක් තිබුණා. ඒ සති අන්තය තමයි සිංහල අවුරුද්ද. පොලිසිය කොළඹින් පිට රාජකාරි වලට යොදවලා තිබුණා.
''එදා හවස රැස්වීම මම දැම්මේ ආරක්ෂක අමාත්‍යංශයේ නෙමෙයි. B.M.I.C.H එකේ''

මේ ගොල්ල අතර එකමුතුවක් නැති බව අන්තිමට මම තේරුම් ගත්තා. කොහොම හරි අපි වැඩේට අත ගහලා සී.අයි.ඩී එකේ කරුණු අනෙක් අයටත් බෙදලා දීලා වැඩ කටයුතු ආරම්භ කළා.
මෙතන කොච්චර අවුලක් තිබුණාද කිව්වොත් එදා හවස රැස්වීම මම දැම්මේ ආරක්ෂක අමාත්‍යංශයේ නෙමෙයි. B.M.I.C.H එකේ හමුදා මාණ්ඩලික ප්‍රධානියාගේ කාර්යාලයේ. මොකද C.D.S ට විරුද්ධව කිසිම චාජ් එකක් තිබුණේ නෑ. ඒ වෙලාවේ අනිත් අයට විරුද්ධව විවිධ චෝදනා තිබුණා.
අප මහනාහිමිවරුන්ට සහ කාදිනල් තුමාට කතා කර ඒ අංශ වල වැඩකටයුතු සිද්ධ කළා.
ආරක්ෂක ඇමති ලෙස රුවනුත් මේ සිද්ධිය කළමනාකරණය කිරීමේදී ලොකු කාර්ය භාරයක් කළා.
පොලිසිය දෙමටගොඩ මහවිල උද්‍යානයේ අදාල නිවසට ගියා. දඹුල්ල හෝටලයකදී තවත් සැකකාරයෙක් අල්ලගත්තා.
අපි ඉස්සෙල්ලාම කොච්චිකඩේ පල්ලියට ගියා. ඒ ආසන්නයේ වෑන් එකක බෝම්බයකුත් තිබිලා. අපි ඒක දැනගෙන හිටියේ නෑ. ඊට පස්සේ අපි කටුවාපිටියට ගියා.

පක්ෂ නායකයන් අරලියගහ මන්දිරයට කැඳවන ලෙස මා දැනුම් දුන්නා. අනුර, මහින්ද ඇතුළු නායකයන් එහි පැමිණ සිටියා. සිදුවීම ගැන අප එහිදී විස්තර කළා.
ඇමරිකන් ජාතිකයන්ද මේ ප්‍රහාරයෙන් මිය ගොස් සිටියා. මේ අනුව ඇමරිකා ආණ්ඩුවේ නියෝජිතයෙක් ද මා සමග සාකච්ඡා කළා. ඒ අයට අපේ අය සමග වැඩ කර වාර්තාවක් ලබාදෙන ලෙස මා දැනුම් දුන්නා. මොකද අපේ අය ඔක්කොම ඒ මොහොත වෙන විට බෙදිලා හිටියේ.
ජනාධිපති ට්‍රම්ප් ගෙන් දුරකථන ඇමතුමක්
ඊට ආසන්න දිනකදී මගේ ජංගම දුරකථනයට ඇමරිකාවෙන් ඇමතුමක් ආවා. එහා පැත්තෙන් කතා කළේ ජනාධිපති ට්‍රම්ප්. අවශ්‍ය ඕනෑම සහයක් තිබේ නම් පවසන ලෙස ට්‍රම්ප් එහිදී කිව්වා.
"ඔබ රටට මෙවැනි සිද්ධි පිළිබඳ විශේෂඥ දැනුමක් තිබෙනවා. ලංකාවේ විවිධ ආයතන තිබුණත්, සමහර වෙලාවට ඔවුන් අතර සම්බන්ධීකරණයක්, එකිනෙකා එකතු වී වැඩ කිරීමක් මේ මොහොතේ නැහැ. මට පුළුවන් අපේ අයට F.B.I. ආයතනය සමඟ එකතු වී කටයුතු කරන්න කියා පවසන්න. මේ සිදුවීම සම්බන්ධයෙන් අප ඉදිරි විමර්ශනයක් කරන්න ඕන" යනුවෙන් එහිදී මම ට්‍රම්ප්ට පැවසුවා. ට්‍රම්ප් ඊට එකඟතාවය පළ කළා.
ඒ ඇමතුමෙන් පසු ට්‍රම්ප් තමන්ගේ එක්ස් ගිණුමේ කිරීමේ සටහනක් තබා තිබූයේ මේ ආකාරයටයි.
I spoke to Prime Minister Ranil Wickremesinghe of Sri Lanka this morning to assure him that the United States stands with you and your country in the fight against terrorism. I extend my condolences on behalf of the people of the United States and myself යනුවෙන් ඒ සටහනේ සඳහන්ව තිබිණි.
(ත්‍රස්තවාදයට එරෙහි සටනේදී එක්සත් ජනපදය ලංකාව සමඟ සිටින බව දැනුම් දීමට අද උදෑසන ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට කතා කළෙමි. මා සහ එක්සත් ජනපද ජනතාව වෙනුවෙන් ශෝකය පළ කරමි)
2019 අප්‍රේල් 22 පස්වරු 6.05 ට අදාළ සටහන තබා තිබිණි.
''FBI රිපෝට් එකේ සලේ ගැන කිසිම සඳහනක් තිබුනේ නැහැ ''
රනිල් පාර්ලිමේන්තු කණ්ඩායමට විස්තර කළේ ඒ අනුව ඉදිරි වැඩ කටයුතු සිද්ධ වූ ආකාරයයි.
එහෙම වැඩ කටයුතු කරලා තමයි මේ වාර්තාව ගෙනාවේ. කවුරුවත් ඒ වාර්තාව ප්‍රතික්ෂේප කළේ නෑ. පාර්ලිමේන්තු කමිටු ඇතුළු සියලු කමිටු ආවේ මේ අනුවයි.
මම සිටියදී තමයි චැනල් ෆෝ එක අදාළ විකාශය සිද්ධ කළේ. ඒ ගැන හොයන්න විනිසුරුවරයෙක්ගේ ප්‍රධානත්වයෙන් අපි කමිටුවක් පත් කළා.
අවශ්‍ය සියලු වාර්තා අප පල්ලියට ලබා දුන්නා. එෆ්.බී.අයි.රිපෝට් එක තමයි ප්‍රධාන එක.
සිද්ධියට සලේ ගේ සම්බන්ධයක් තිබේ යැයි එම වාර්තාවල තිබුණාදැයි මෙහිදී හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න විමසීය.
නෑ ඒ වාර්තා වල එහෙම සඳහනක් තිබුණේ නෑ රනිල් කීය.
"එතකොට දැන් මේ උදවිය කියන්නේ ට්‍රම්ප් බොරුවක් කළා කියලදැයි රනිල් එහිදී ප්‍රශ්නයක් මතු කළේ හිතන්නට තවත් දෙයක් ඉතිරි කරමිනි.
" මේ යන විදියට ට්‍රම්ප්ගෙන් වගේම මෝදිගෙනුත් සී.අයි. ඩී එකට කට උත්තර ගන්න වෙනවා"
" චැනල් 4 එක හමුදාවෙන් මිනිස්සු මැරුවා කියලත් කිව්ව නේද? ඒ අය බලන්නේ දෙමළ ඩයස්පෝරාව අල්ලගන්න" වජිර පැවැසීය.
" දැන් මේ අය ටම්ප්ගෙනුත් ස්ටේට්මන්ට් එකත් ගන්න ද යන්නේ" මාන්නප්පෙරුම විමසූයේ සභාවේ සිනාවක්ද මතු කරමිනි.
" මේ යන විදියට ට්‍රම්ප්ගෙන් වගේම මෝදිගෙනුත් සී.අයි. ඩී එකට කට උත්තර ගන්න වෙනවා" සුගීෂ්වර කීය.
විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මතය වූයේ මේ යන විදිය නිසා පරීක්ෂණ තවත් අවුලකට යන බවයි.
ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර සම්මන්ත්‍රණය

ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර සම්මන්ත්‍රණය අති සාර්ථක අයුරින් නිමාවට පත් විය. මල්වතු අස්ගිරිය මහා නා හිමිවරුන් බැහැ දැකීමෙන් එම වැඩසටහන ඇරැඹිණි. එම වැඩසටහන සිදු කෙරුණේ ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ජී.එල් පීරිස්ගේ ප්‍රධානත්වයෙනි.
රටේ ජනතාව විඳින දුක පිළිබඳව කරුණු ගෙනහැර දැක්වීම එම වැඩසටහනේ මූලික අභිප්‍රාය විය.
ශ්‍රී ලංකා ජනගහනයෙන් හතරෙන් එකක් දරිද්‍රතා මට්ටමට ලක්ව තිබෙන බවට ලෝක බැංකු වාර්තාවේ සඳහන්ව තිබෙන කාරණාව ද මෙහිදී අවධානයට ලක්විය. එමෙන්ම ලංකා ජනගහනයෙන් මිලියන හයක් දවසට එක් වරක්වත් පෝෂ්‍යදායී ආහාර වේලක් ගැනීමට හැකියාවක් නැති බව ලෝක ආහාර සංවිධානයේ දත්ත කෙරෙහිද අවධානය යොමු විය.
" ලෝක බැංකුව සමඟ තිබෙන ගිවිසුමේ ප්‍රධාන කාරණය ජනතාවට සෙත සැලසීම බවද මෙහිදී කියැවිණි.
මූල්‍ය අරමුදලෙන් ලැබෙන අරමුදල් නිසි අරමුණු සඳහා යෙදවෙනවාද යන්න විමසා බලන ලෙසට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ඇතුළු පක්ෂ නායකයන් විස්සකගේ පමණ අත්සන් රැගත් ලිපියක් මූල්‍ය අරමුදලට බාරදීම ද සිදු විය.
" මූල්‍ය අරමුදල දෙන්නේ ආධාර නෙමෙයි. ඒ ණය මුදල් ගෙවන්න වෙන්නේ මේ ජනතාවට. යහපත් පාලනය මූල්‍ය අරමුදලේ එක් ප්‍රධාන අරමුණක්.ඒක නාම මාත්‍රයකට සීමා කරන්න බෑ.ක්‍රියාත්මක විය යුතුයි.ලැබෙන මුදල්වල ප්‍රයෝජනය ජනතාවට දිය යුතු යැයි ජී.එල් මහනුවරදී පැවසීය.

මහනුවර රැලිය සඳහා තරුණ නියෝජනය ඉතා හොඳින් දැකගත හැකි විය.
ඒකාබද්ධ නායකයෝ අනුරාධ ජයරත්නගේ නිවසේ සංවිධාන කර තිබූ රාත්‍රිය ආහාරය සඳහා සෙනසුරාදා සහභාගී වූහ.ගම්පොළ ක්‍රියාකාරීහු ද ඒකාබද්ධ විපක්ෂ නායකයන් හමුවීමට එහි පැමිණ සිටියහ.
(සටහන | මල් පාරේ ලියුම්කරු)




