The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රාජ්‍ය ණය කළමනාකරණයේ ආර්ථික සත්‍යය සහ අසත්‍යය | මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති, පි සමරසිරි

T

The Leader Desk

June 28, 2026 • 10:51 AM

රාජ්‍ය ණය කළමනාකරණයේ ආර්ථික සත්‍යය සහ අසත්‍යය | මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති, පි සමරසිරි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලිපියේ පසුබිම සහ අරමුණ
  •     භාණ්ඩාගාරය සතු අතිරික්ත මුදල් භාවිතා කොට රාජ්‍ය ණය අවශ්‍යතාවය අඩු කළ ද, වෙළෙඳපොළ පොලී අනුපාතයන් පාලනය කළ නොහැකි වීමෙන් ණය පිරිවැය ඉහළ යන බව.
  • සක්‍රීය වගකීම් කළමනාකරණ පනතේ ප්‍රතිපාදනයන් ක්‍රියාත්මක කිරීම සඳහා තවමත් භාණ්ඩාගාර මෙහෙයවුම් අංශයක් නොමැති බව.  එහෙත්, මෙම අදහස් හුදෙක් රාජ්‍ය මුදල් ආර්ථිකයක සැබෑ රාජ්‍ය ණය කළමනාකරණය පිළිබඳ ව නොදැනුවත්කමේ ප්‍රතිඵලයකි.
  • එබැවින්, මෙම කෙටි ලිපිය මගින් රාජ්‍ය ණය යනු අර්ථ රහිත වචනයක් බවත්, එය, හුදෙක් සාර්ව ආර්ථික අරමුණු සහ ඉලක්කයන් සඳහා රජය විසින් මුදල් මුද්‍රණය කළමනාකරණ කෙරෙන ක්‍රමවේදය බවත් හෙළි කෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

පසුගිය දා පැවති රාජ්‍ය මුදල් කාරක සභාවේ දී රාජ්‍ය ණය කළමණාකරණයේ ප්‍රධාන අපහසුකම් දෙකක් හෙළි විය.

 

 

භාණ්ඩාගාරය සතු අතිරික්ත මුදල් භාවිතා කොට රාජ්‍ය ණය අවශ්‍යතාවය අඩු කළ ද, වෙළෙඳපොළ පොලී අනුපාතයන් පාලනය කළ නොහැකි වීමෙන් ණය පිරිවැය ඉහළ යන බව.

සක්‍රීය වගකීම් කළමනාකරණ පනතේ ප්‍රතිපාදනයන් ක්‍රියාත්මක කිරීම සඳහා තවමත් භාණ්ඩාගාර මෙහෙයවුම් අංශයක් නොමැති බව. එහෙත්, මෙම අදහස් හුදෙක් රාජ්‍ය මුදල් ආර්ථිකයක සැබෑ රාජ්‍ය ණය කළමනාකරණය පිළිබඳ ව නොදැනුවත්කමේ ප්‍රතිඵලයකි. එනම්, නොයෙකුත් ඉලක්කම් මත රාජ්‍ය ණය නොතිරසාර භාවය සහ සාර්ව ආර්ථික අවදානම් පිළිබඳ නව ලිබරල් මිථ්‍යා මතවාදය පිළි ගැනීමේ ප්‍රතිඵලයකි.

එබැවින්, මෙම කෙටි ලිපිය මගින් රාජ්‍ය ණය යනු අර්ථ රහිත වචනයක් බවත්, එය, හුදෙක් සාර්ව ආර්ථික අරමුණු සහ ඉලක්කයන් සඳහා රජය විසින් මුදල් මුද්‍රණය කළමනාකරණ කෙරෙන ක්‍රමවේදය බවත් හෙළි කෙරේ. මෙය නූතන රාජ්‍ය මුදල් ආර්ථිකයන් පවතින සංවර්ධිත රටවල් ඇතුළු සියළු රටවලට පොදු කථාන්දරයකි.

 

මෙම ලිපිය රාජ්‍ය මුදල්වල සැබෑ ක්‍රියාකාරිත්වය සහ සාර්ව ආර්ථික මෙහෙවර පිළිබඳ ව පසුගිය ජුනි 22 දින පළ කළ ලිපිය මත පදනම් වී ඇත.

 

මෙම ලිපියේ කරුනු වඩාත් නිවැරදිව අවබෝධ කර ගැනීමට උපකාරී වීම සඳහා පහත දැක්වෙන රූප සටහන පදනම් කර ගෙන මෙම ලිපිය ඉදිරිපත් කෙරේ. සියළුම කරුනු සාර්ව ආර්ථික සංදර්භයක් තුළ ණය ඉලක්කම් නොමැතිව ඉදිරිපත් කෙරේ.


රාජ්‍ය ණය යනු රාජ්‍ය මුදල් මුද්‍රණ ක්‍රියාවලිය යි.

 

රජය විසින් වියදම් කිරීම සඳහා බැකු පද්ධතිය (මහ බැංකුව සහ වාණිජ බැංකු) වෙත ගෙවුම් ඇනවුම් නිකුත් කෙරෙන අතර ඒවා ඉතා විශ්වාසවන්ත පොරොන්දු නෝට්ටු බැවින් පුද්ගලික අංශය විසින් ඒවා මුදල් ලෙස භාවිතා කෙරේ. කාසි සහ නෝට්ටු ද එවැනි පොරොන්දු පත්‍ර වෙයි.

 

නූතන මුදල් ආර්ථිකයන් පදනම් වී ඇත්තේ මෙම රාජ්‍ය මුදල් මත ය. මෙම ගෙවුම් ඇනවුම් පිළි ගැනීමේ දී බැංකු විසින් ඒවා රජයට දුන් ණය ලෙස ගිණුම් ගත කෙරේ. එසේ නැතිව, රජය විසින් තම වියදම් පියවීම සඳහා බාහිර පාර්ශවයන්ගෙන් ණය ගැනීමක් නොවේ. එබැවින්, රාජ්‍ය ණය යනු රජය පැත්තට අදාළ වචනයක් නොව, ඒ සඳහා නිවැරදි වචනය රාජ්‍ය මුදල් මුද්‍රණය යි.

 

එබැවින්, රජය විසින් ගෙවුම් පොරොන්දු නිකුත් කිරීම සහ බැංකු විසින් ඒවා රජයට දුන් ණය ලෙස ගිණුම් ගත කිරීම යනු ආර්ථිකයට නෛතික මුදල් මුද්‍රණය කෙරෙන ක්‍රියාදාමය යි. ඒ සඳහා රජයේ නියෝජිතයන් ලෙස මහ බැංකුව සහ වාණිජ බැංකු ක්‍රියා කෙරේ.

 

රාජ්‍ය ණය කළමනාකරණය යනු මුද්‍රිත මුදල් සංයුතිය සහ භාවිතය කළමනාකරණය යි.

 

එසේ නිකුත් කෙරෙන නෛතික මුදල්වලින් කොටසක් රජය විසින් බදු ලෙස ආපසු පෞද්ගලික අංශයෙන් අවශෝෂණය කර ගැනේ. එය හුදෙක් රජයට නව වියදම් මූල්‍යකරණයට අවශ්‍ය මුදල් ගබඩා කිරීම කිරීම සඳහා නොව, රාජ්‍ය වියදම් තුළින් මුද්‍රණය වී සංසරණය වන රාජ්‍ය මුදල්වලින් කොටසක් ආර්ථික කළමනාකරණ අරමුණු සඳහා අවලංගු කිරීම කි.

 

සංසරණයේ පවතින ඉතිරි රාජ්‍ය මුදල් ප්‍රමාණය ශුද්ධ මුදල් මුද්‍රණය යි. එය, රාජ්‍ය වියදම් සහ බදු අතර හිඟය යි. පෞද්ගලික අංශය වෙත පවතින එම මුදල්වල සංයුතිය ප්‍රධාන කොටස් හතරකි. එම සියළු මුදල් රජය විසින් පැහැර හැරීමේ අවදානමින් තොර බවට පොදු විශ්වාසය මත ගනුදෙනු කෙරේ. මෙම සියළු මුදල් වර්ගයන් රජයට වගකීමක් වන අතර ඒවා හිමි මහජනයාගේ වත්කම් වෙයි.

 

*කාසි සහ නෝට්ටු මුදල් (කළු මුදල් )


කළු මුදල් සඳහා රජය විසින් පොලී නොගෙවන අතර රට තුළ ඕනෑම ගෙවීමක් සඳහා නිල ගෙවුම් හෝ විනිමය මාධ්‍යය ලෙස නීතිගත කොට ඇත. එබැවින්, මුදල් ක්‍රමයේ නාභිය ලෙස කහ මුදල් ක්‍රියා කෙරේ.


*බැංකු සංචිත මුදල් (සුදු මුදල් )


බැංකු විසින් මහ බැංකුවේ තම ගිණුම්වල පවත්වා ගෙන යන මුදල් ය. ඒ සඳහා මහ බැංකුව/රජය විසින් පොලී ගෙවන අතර අන්තර් බැංකු ගෙවුම්, පියවුම් සහ ද්‍රවශීල මුදල් සඳහා සුදු මුදල් භාවිතා කෙරේ. වෙළෙඳපොළ හෝ බැංකු පද්ධති ද්‍රවශීලතාවය ලෙස හැඳින් වෙන්නේ මෙම සුදු මුදල් ප්‍රමාණය යි.


*රාජ්‍ය සුරැකුම්පත් මුදල් (රතු මුදල් )


රජය විසින් නිකුත් කෙරෙන මෙම සුරැකුම්පත් මිල දී ගැනීම හෝ අත්කර ගැනීම සඳහා කළු සහ සුදු මුදල්වලින් මුදල් ගෙවිය යුතු අතර මහ බැංකුව විසින් සුරැකුම්පත් ගනුදෙනු ගිණුම් පද්ධතිය පවත්වා ගනු ලැබේ. මෙම රතු මුදල් යනු රජයෙන් පොලී ලැබෙන විවිධ පරිණත කාලයන් සහිත ද්‍රවශිලතාවයෙන් අඩු මුදල් ය. එහෙත්, පෞද්ගලික අංශයට අවශ්‍ය විට, ඒවා ද්විතීය වෙළෙඳපොළේ අළෙවි කොට, කළු සහ සුදු මුදල් මිල දී ගෙන, වියදම් සඳහා භාවිතා කළ හැකිය. රාජ්‍ය ණය වෙළෙඳපොළ ලෙස හැඳින් වෙන්නේ, මෙම රතු මුදල් නිකුතුව සහ වෙළෙඳාම සිදු වන පද්ධතිය යි.


*ගිවිසුම් ණය මුදල් (සැඟවුන මුදල් )


මේවා එදිනෙදා මුදල් ගනුදෙනු සඳහා භාවිතා නොවන, කෙටි කාලීන ගිවිසුම් මුදල් වන අතර මෙම මුදල් හිමියන්ට රජයෙන් පොලී ගෙවීමක් සිදු කෙරේ.

 

සාර්ව ආර්ථික ඉලක්කයන් සඳහා රාජ්‍ය මුදල් කළමනාකරණය කළ යුතුය

 

v46u6n6olkk

 

රාජ්‍ය ණය කළමනාකරණය යනු හුදෙක් රජය විසින් බාහිර පාර්ශවයන්ගෙන් රජයට වාසි දායක ලෙස ණය ගැනීම සහ ගෙවීම කළමනාකරණය ලෙස හුවා දැක්වීම මිථ්‍යාවකි. මෙහි නවතම මිථ්‍යාව IMF ණය තිරසාර භාවය විශ්ලේෂණය යි.

එහෙත්, රාජ්‍ය ණය කළමනාකරණයේ දී සැබෑ වශයෙන් සිදු වනුයේ, සංසරණයේ පවතින රාජ්‍ය මුදල් ප්‍රමාණය, සංයුතිය සහ භාවිතය කළමනාකරණය කිරීම යි. එය, රාජ්‍ය මුදල් ප්‍රතිපත්තිය ලෙස දැක්විය හැකිය. මෙය, උද්ධමනය, ආර්ථික වර්ධනය, සේවා නියුක්තිය, සම්පත් සංවර්ධනය සහ උපයෝජනය සහ ප්‍රාදේශීය සංවර්ධනය වැනි සාර්ව ආර්ථික ඉලක්කයන් අත්කර ගැනීමට යෝග්‍ය පරිදි රාජ්‍ය මුදල් භාවිතා කිරීමේ අරමුණින් සිදු කෙරේ. මෙම අරමුණු සඳහා රාජ්‍ය මුදල් කළමනාකරණය පිණිස රාජ්‍ය අභිමතය යටතේ පවතින ප්‍රධාන ප්‍රතිපත්ති විචල්‍යන් දෙකක් වන්නේ, බදු අනුපාතය සහ පොලී අනුපාතය යි. එම අනුපාතයන්හි නිසි සංයෝගයක් නොමැතිව රාජ්‍ය මුදල් කළමනාකරණය කිරීම අපහසු වෙයි.

ඒ සඳහා රාජ්‍ය මුදල් කළමනාකරණයේ දී, අනුගමනය කෙරෙන ක්‍රමවේදය ස්ථරයන් කිහිපයකින් යුක්ත වෙයි.

*පළමුව, ආර්ථිකයෙහි පැවතිය යුතු කළු මුදල් සහ සුදු මුදල් ප්‍රමාණය තීරණය කිරීම. මහ බැංකු මුදල් ප්‍රතිපත්තිය යොමු වන්නේ, සුදු මුදල් ප්‍රමාණය කෙරෙහි ය.


*දෙවනුව, නව වියදම් කිරීමට අවකාශය ලබා ගැනීම සඳහා බදු පැනවීම මගින් කළු සහ සුදු මුදල්වලින් ආර්ථිකයෙන් කොටසක් ඉවත් කිරීම. බදු අනුපාතය පහළ දැමීම මගින් ආර්ථිකයේ රැඳෙන කළු මුදල් සහ සුදු මුදල් ප්‍රමාණය ඉහළ නැංවිය හැකිය.


*තෙවනුව, තවත් අතිරික්ත කළු සහ සුදු මුදල් ප්‍රමාණයක් ආර්ථිකයෙහි පවතී නම්, එය ඉවත් කිරීමට රාජ්‍ය සුරැකුම්පත් නිකුතුව සිදු කෙරේ. ඊට හේතුව, සුරැකුම්පත් මිල දී ගැනීමේ දී, ආයෝජකයන් විසින් සුදු මුදල්වලින් රජයට ගෙවිය යුතු බැවිනි. මෙහි දී, එසේ ගෙවන මුදල් ප්‍රමාණය හුදු ගිණුම් වටිනාකමක් වන රතු මුදල් බවට පත් වෙයි. එබැවින්, රතු මුදල් යනු නිශ්චිත කාලයක් (පරිණත කාලය) සඳහා පරිභෝජනයෙන් හෝ භාවිතයෙන් ඉවත් කෙරෙන රාජ්‍ය මුදල් ය. ඒ සඳහා රජය විසින් රතු මුදල් හිමියන්ට පොලියක් ගෙවනු ලැබේ. එහෙත්, අවශ්‍ය අවස්ථාවල දී රතු මුදල් හිමියන්ට තම මුදල් වෙළෙඳපොළේ අළෙවි කොට හෝ ඇපයට තබා කළු මුදල් සහ සුදු මුදල් ලබා ගෙන වියදම් කළ හැකිය. එබැවින්, රතු මුදල් ද රාජ්‍ය මුදල් වන අතර එය කළු මුදල් සහ සුදු මුදල්වලට වඩා ද්‍රවශීලතාවයෙන් පහළ වෙයි. තව ද, සැඟවුන මුදල් ද රතු මුදල් බවට පත් කිරීමෙන්, එම මුදල් කළු සහ සුදු මුදල් බවට පත් වී පෞද්ගලික වියදම් ප්‍රවාහයට එක්වීම කල් දැමිය හැකිය.


*සිවුවනුව, මහ බැංකු පනත, පොදු දේපොළ පනත, මුදල් විශුද්ධිකරණ පනත, විදේශ විනිමය පනත, අල්ලස් හෝ දුෂණ පනත, දණ්ඩ නීති සංග්‍රහය, රාජ්‍ය මුදල් සහ ණය කළමනාකරණ පනත් වැනි නීති ප්‍රතිපාදනයන් මගින් රාජ්‍ය මුදල් ගනුදෙනු කිරීමේ සීමාවන් පැන වී ඇත. මෙහි දී, විවිධ නෛතික අර්ථ නිරූපනයන් මත අපරාධයන් සඳහා ඉහත දැක්වූ රාජ්‍ය මුදල් භාවිතා කිරීම හෝ අවභාවිතා කිරීම වැලැක්වීමේ නීති ක්‍රියාත්මක පද්ධතියක් ද පවතී.

 

olpllkl

 

සමස්තයක් ලෙස රාජ්‍ය ණය කළමනාකරණයේ දී සැබෑ වශයෙන් සිදු වන්නේ, සංසරණයේ පවතින රාජ්‍ය මුදල් සංයුතිය සහ භාවිතය කළමනාකරණය කිරීම යි. එසේ නැතිව, රජයට ඉදිරියේ දී වියදම් කිරීම සඳහා බාහිරින් මුදල් රැස් කිරීම සහ සේවා කරණය කිරීම නොවේ. රජයට මුදල් මුද්‍රණය කිරීම තුළින් වියදම් කළ හැකි බැවින් එසේ බාහිරින් මුදල් ණයට ගැනීම අවශ්‍ය නොවේ. එසේම, එසේ රජයට ණය සැපයීම සඳහා මුදල් මුද්‍රණය කිරීමේ බලයක් ද බාහිර පාර්ශවයන්ට නොමැත.

 

සමාප්ත සටහන

 

*ඉහත දැක්වූ පරිදි රාජ්‍ය මුදල් මුද්‍රණය, මෙවලම්, සංයුතිය, භාවිතය සහ සාර්ව ආර්ථික අරමුණු දෙස බලන විට, ආර්ථික විද්‍යාවේ භාවිතා වන රාජ්‍ය ණය කළමනාකරණය යනු මිථ්‍යා මතවාදයකි. එබැවින්, ස්වාධීන ණය කළමනාකරණ කාර්යාලයන්ගෙන් සාර්ව ආර්ථිකයට සිදු වන මෙහෙවරක් නොමැත.
මෙහි ඉදිරිපත් කෙරෙන සැබෑ රාජ්‍ය මුදල් කළමනාකරණය ක්‍රමවේදයට අනුව මහ බැංකු මුදල් ප්‍රතිපත්තිය යනු හුදු තවත් අති ගැඹුරු රාජ්‍ය නිලධාරී අංගයක් පමණි. එමගින්, අන්තර් බැංකු ණය වෙළෙඳපොළ හරහා සුදු මුදල් ප්‍රමාණය කළමනාකරණය කිරීමට උත්සාහ කෙරෙන අතර ඒ සඳහා මහ බැංකුව විසින් මුදල් වෙළෙඳුන් සමඟ කෙරෙන රතු මුදල් වෙළෙඳාම භාවිතා කෙරේ. මෙහි දී, කිසිම අවදානමක් නොමැති සුදු මුදල් සඳහා මහ බැංකුව විසින් කිසිම ආර්ථික පදනමක් නොමැතිව තීරණය කෙරෙන අනුපාතයන් මත සුදු මුදල් මුද්‍රණය හරහා සුදු මුදල්වලට දෛනික පදනමක් මත පොලී ගෙවීම හේතු කොට, සමස්ත රාජ්‍ය මුදල් කළමනාකරණ පිරිවැය ඉහළ යාම ද රාජ්‍ය මුදල් කළමනාකරණයට ඇති දැඩි අභියෝගයකි.


*එසේම, රජය විසින් කළු සහ සුදු මුදල්වලින් කොටසක් රතු මුදල් බවට පත් කිරීමට උත්සාහ කෙරෙන අවස්ථාවල දී මුදල් වෙළෙඳුන් විසින් රාජ්‍ය රතු මුදල් ඇපය මත මහ බැංකුවෙන් අඩු පොලියට සුදු මුදල් ණයට ගෙන, ඉහළ පොලී ලැබෙන රතු මුදල් සඳහා ගෙවීම් කළ හැකිය. එවිට, සුදු මුදල් සහ රතු මුදල් අතර සංයුතියේ වෙනසක් නොවී, මුදල් වෙළෙඳුන්ගේ ලාභය ඉහළ යාම පමණක් සිදු විය හැකිය. එබැවින්, මහ බැංකුවේ සුදු මුදල් ප්‍රතිපත්තිය තුළින් රජය විසින් රාජ්‍ය මුදල් සංයුතිය පාලනයට බාධකයක් වනු ඇත.


*මහ බැකුව විසින් රජයට ණය දීම නීතියෙන් තහනම් කොට ඇති බැවින් රාජ්‍ය වියදම් මූල්‍ය කරණය සඳහා මුදල් මුද්‍රණය නොකෙරෙන බව දැක්වුව ද, මහ බැංකුව විසින් එදිනෙදා මුදල් වෙළෙඳුන්ගෙන් රතු මුදල් (රාජ්‍ය සුරැකුම්පත්) මිල දී ගෙන සුදු මුදල් සැපයීම යනු රාජ්‍ය මුදල් මුද්‍රණය යි. ඕනෑම රටක රාජ්‍ය වියදම් පියවීම සඳහා අවශ්‍ය සුදු මුදල් මුද්‍රණය කිරීම මහ බැංකුවේ රාජ්‍ය මූල්‍ය නියෝජිත කාර්යය යි. එසේ නොවුව හොත් රාජ්‍ය මුදල් මත පදනම් වී ඇති රටේ මුදල් ක්‍රමය කඩා වැටෙනු ඇත.


*සාර්ව ආර්ථික අරමුණුවලට යෝග්‍ය පරිදි රාජ්‍ය සුරැකුම්පත් හෝ රතු මුදල්වල පොලී අනුපාතයන් තීරණය කිරීමේ අධිකාරිය ණය කළමනාකරණ කාර්යාලයන් සතු වෙයි. එහෙත්, මහ බැංකු සුදු මුදල් ප්‍රතිපත්තු තුළ ක්‍රියාත්මක වන මුදල් වෙළෙඳුන් ඉදිරිපත් කරන පොලී අනුපාතයන් (වෙළෙඳපොළ පොලී අනුපාතයන්) පාලනයට ණය කළමනාකරණ කාර්යාලයන් අසමත් වෙයි. ඊට හේතුව, වෙළෙඳපොළ මත ණය කළමනාකරණය කළ යුතු බවට දැක්වෙන මිථ්‍යා නව ලිබරල් මතවාදයේ එල්බ ගෙන ක්‍රියා කිරීම හේතුවෙනි.


*එබැවින්, වත්මන් ණය කළමනාකරණ ක්‍රමවේදයේ එකම ප්‍රතිඵලය වන්නේ, පාලනයෙන් තොරව වෙළෙඳපොළ බලවේගයන්ට නතු වී අධික ලෙස පොලී ගෙවීමට නව මුදල් මුද්‍රණය කිරීම තුළින් සුදු මුදල් ප්‍රමාණය ඉහළ යාමත්, රතු මුදල් වෙළෙඳුන් අතලොස්සක් ධනවත් කිරීමත් පමණි. එබැවින්, ණය තිරසාර භාවය යනු වත්මන් ණය කළමනාකරණයේ ව්‍යාජ ස්වරූපය වැසීම සඳහා ඉදිරිපත් කෙරෙන මිථ්‍යා මතවාදයක් පමණි.


*එසේම, රජයට අධික ලෙස මුදල් අවශ්‍ය බවත්, පොලී අනුපාත ව්‍යුහය මහ බැංකු මුදල් ප්‍රතිපත්තියට යෝග්‍ය ලෙස පාලනය කළ යුතු බවටත් මතවාදයන් මත කලින් කලට විවිධ ක්‍රමවේදයන් මත රතු මුදල් නිකුතු කිරීම් හරහා සිදු වන මූල්‍ය අක්‍රමිකතාවන් ද වත්මන් රාජ්‍ය ණය කළමනාකරණ ක්‍රියාවලියෙහි නොඅඩුව වාර්තා වී ඇත. එය හුදෙක් වත්මන් රාජ්‍ය ණය කළමනාකරණය අතීතයේ සිට මුදල් වෙළෙඳුන්ගේ ග්‍රහණයට ලක් වීමේ ප්‍රතිඵලයකි.
එබැවින්, පොදුජන ජීවන තත්ත්වය ඉහළ දැමීමට ප්‍රමාණවත් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක නොවීමට හේතුව මෙම රාජ්‍ය ණය කළමනාකරණ මිථ්‍යාව තුළින් හට ගෙන ඇති රාජ්‍ය මුදල් හිඟය මිස, ආර්ථික සම්පත් හිඟය නොවේ. මෙම මිථ්‍යා මතවාදය තුරන් කිරීමට වත්මන් දේශපාලනික නායකයන්ට නොහැකි බැවින් ඉදිරි දශකවල ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවලට අර්බුදවල ජීවත් වීමට සිදු වනු ඇත.


*එබැවින්, රාජ්‍ය මුදල්වල සැබෑ සාර්ව ආර්ථික මෙහෙවර පිළිබඳ අවබෝධයක් නොමැතිව රාජ්‍ය ණයට හෝ මුදල්වලට එරෙහි දේශපාලනික වෛරයක් ගොඩ නැගීම ජාතික අවදානමකි. ඒ වෙනුවට, දේශපාලන නායකයන් විසින් කළ යුත්තේ, රට මුහුණ දෙන රාජ්‍ය මුදල් ගැටළුව නිරාකරණය කිරීම යි. එය මුදල් නීති සම්පාදකයන්ට හෝ මූල්‍ය අපරාධ විමර්ශකයන්ට කළ හැකි කාර්යයක් නොවේ. ආර්ථිකය සහ ජන සමාජය කළමනාකරණයට දේශපාලන නායකයන්ට ඇති ප්‍රබලම අවිය වන රාජ්‍ය මුදල් අවිය හකුළා ගෙන ආර්ථික යුද්ධයන් කළ නොහැකි බව කිව යුතු නැත.


2020 දී ශ්‍රී ලංකාවට IMF ණය නොලැබුණේ ඇයි? -(පි සමරසිරි)(සටහන | පි සමරසිරි)
Psamrahu@gmail.com

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව

[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]


(වසර 35 ක් පමණ මහ බැංකු මාණ්ඩලික පංතියේ නිලධාරී, හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක, මහ බැංකු සහකාර අධිපති, මහ බැංකු මුදල් මණ්ඩල ලේකම්, නියෝජ්‍ය අධිපති, ණය තොරතුරු කාර්යාංශයේ සභාපති, ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපති, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජික, ශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 13 ක කතෘ)

(උපුටා ගැනීම ; economydiscovery - June 27, 2026)


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...