The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සැබෑ බුදු සසුනට මොකද මේ වුණේ? මේ පොසොන් සමයේ පසුවිපරමක් කරමු | ආචාර්ය කදුරුපොකුණේ සුමංගල හිමි

T

The Leader Desk

June 29, 2026 • 9:23 AM

සැබෑ බුදු සසුනට මොකද මේ වුණේ? මේ පොසොන් සමයේ පසුවිපරමක් කරමු | ආචාර්ය කදුරුපොකුණේ සුමංගල හිමි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලාංකික ජන සමාජයට ආගමික හා සංස්කෘතික වශයෙන් ඉතා වැදගත් දිනයක් ලෙස සැලකෙන පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය අදට (29) එළඹී තිබේ.
  • 247 දී සිදුවූ බව පිළිගැනේ.
  • එහෙත්, මේ වන විට ජාතික වශයෙන් ප්‍රසිද්ධියට පත්ව ඇති අන්දමට, පොසොන් යනු ආගමික හා සංස්කෘතික වශයෙන් සැමරිය යුතු උත්සවයක් පමණක් ද යන්න අප සිතා බැලිය යුතු ය.
  • මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන ගිහි-පැවිදි බොහෝ දෙනාගේ මතය වන්නේ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා මෙබඳු සැමරුම් මහෝපකාරී වන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

අපගේ වංශ කතා මූලාශ්‍රවලට අනුව මෙම පොසොන් පොහොයට පදනම් වන මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනය ක්‍රි.පූ. 247 දී සිදුවූ බව පිළිගැනේ. එහෙත්, මේ වන විට ජාතික වශයෙන් ප්‍රසිද්ධියට පත්ව ඇති අන්දමට, පොසොන් යනු ආගමික හා සංස්කෘතික වශයෙන් සැමරිය යුතු උත්සවයක් පමණක් ද යන්න අප සිතා බැලිය යුතු ය. මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන ගිහි-පැවිදි බොහෝ දෙනාගේ මතය වන්නේ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා මෙබඳු සැමරුම් මහෝපකාරී වන බවයි. එහෙත් මෙහි ‘බුද්ධ ශාසනය’ යන වදන මඟින් හුදෙක් ශ්‍රී ලාංකික බෞද්ධ සමාජ සංස්ථාව පමණක් හුවා දැක්වෙන බව අපගේ වැටහීමයි. ‘බුදු සසුන බැබළේවා!’ යන ආශිංසනය මඟින් ද අදහස් වන්නේ බුදු දහමේ පැවැත්ම බව ඒ සම්බන්ධ විශ්ලේෂණවලදී වටහා ගැනීමට හැකි වනු ඇත.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවන පරිච්ඡේදයේ 9 වන ව්‍යවස්ථාවෙන් “ශ්‍රී ලංකා ජනරජය විසින් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දිය යුතු අතර, ඒ අනුව බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රාජ්‍යයේ වගකීම විය යුතු අතරම, 10 වන ව්‍යවස්ථාවෙන් සහ 14(1)(අ) ව්‍යවස්ථාවෙන් සියලු ආගම්වලට පිරිනමා ඇති අයිතිවාසිකම් සුරක්ෂිත කළ යුතුය” යනුවෙන් සඳහන් වේ.

 

sababudusasuna5
එහෙත් මෙහි ‘බුදු දහම’ යන වදන සෘජුවම නොයොදා ඒ වෙනුවට ‘බුද්ධාගම’ සහ ‘බුද්ධ ශාසනය’ යන වදන් යෙදීමෙන්, මූලික බුදු දහම තුළින් ඉස්මතු වන සදාචාර මාර්ගය නොව බුදු දහම ආශ්‍රයෙන් ගොඩනැඟුණු ආගමික සංස්ථාව, චාරිත්‍ර සහ ජන විශ්වාස ජාලය සුරැකීමට පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩ සැලසෙන බවට අර්ථකථනය කළ හැකිය. ඒ නූතනයේ ව්‍යවහාරික බුද්ධාගම මූලික බුදු දහම කේන්ද්‍රගත කොට නොව, එය ආශ්‍රය කොට විකාශනය වූ බව ශාස්ත්‍රීය විමර්ශනවලින් පෙනී යන බැවිනි. එහෙත්, මෙම රහස ශ්‍රී ලාංකික බෞද්ධ සමාජය වෙතට නිසි අයුරින් සම්ප්‍රේෂණය වී නොමැති බව අපගේ වැටහීමයි.

බුද්ධ ශාසනය යන්නෙහි සැබෑ අරුත මේ වන විට ජන සම්මතව පවතින බෞද්ධාගමික සංස්ථා ව්‍යුහය නොවන බව වටහා ගැනීමට ගැඹුරු දහම් කරුණු වෙත යා යුතු නොවේ. එය කුඩා දරුවන්ට පවා කටපාඩමින් කිව හැකි ‘සබ්බ පාපස්ස අකරණං’ ගාථාවෙන්ම ඊට පිළිතුරු සපයා ගත හැකි ය. “සබ්බ පාපස්ස අකරණං, කුසලස්ස උපසම්පදා – සචිත්තපරියෝදපනං, ඒතං බුද්ධාන සාසනං” යන්නෙන් ප්‍රකාශ වන්නේ සියලු අකුසල් නොකිරීම, කුසල් ප්‍රගුණ කිරීම සහ තමන්ගේ සිත පිරිසිදු කර ගැනීම සියලු බුදුවරුන්ගේ පොදු අනුශාසනාව සහ ධර්මයේ සාරය වන බවයි. මෙම ප්‍රකාශනය ධම්මපදයේ බුද්ධ වග්ගයට අයත් ධම්මපද 183 ගාථාවෙන් මෙන්ම දීඝ නිකායේ මහාපදාන සූත්‍රයේ ද ඇතුළත් වේ.

97oui

 

මුල්කාලීන ඉන්දියාවේ බෞද්ධයන් අතර “යේ ධම්මා හේතුප්පභවා, තේසං හේතුං තථාගතෝ ආහ, තේසඤ්ච යෝ නිරෝධෝ, ඒවං වාදී මහාසමණෝ” යන ගාථාව මෙන්ම චිරප්‍රසිද්ධ සාරධර්ම ප්‍රකාශනයක් වූයේ ද මෙම ගාථාවයි. ලෝකයේ පවතින සෑම දුකක්ම හෝ ප්‍රතිඵලයක්ම අහම්බෙන් සිදුවන්නක් නොවේ. ඒ සෑම දෙයකටම හේතුවක් ඇත. එම හේතුව නැති කිරීමෙන් ප්‍රතිඵලය නැති කර දැමිය හැකිය යන්න මෙහි මූලික අදහසයි. බුදුදහමේ හරය වන හේතු-ඵල දහම මෙයින් ඉතා කෙටියෙන් පැහැදිලි කෙරේ. “යේ ධම්මා හේතුප්පභවා” යනු බුදුදහමේ මූලික ඉගැන්වීමක් වන පටිච්චසමුප්පාද ධර්මය හේතු-ඵල දහම ඉතා කෙටියෙන් සාරාංශ කර දක්වන, බෞද්ධ ඉතිහාසයේ අතිශය වැදගත් පාලි ගාථාවකි. ධර්ම ග්‍රන්ථවලට පමණක් සීමා නොවූ මෙම දහම් සාරය, අතීත බෞද්ධ ජනතාවගේ ප්‍රායෝගික ජීවිතය හා බද්ධ වී තිබූ ආකාරය සනාථ කරන වැදගත් පුරාවිද්‍යාත්මක සාක්ෂි රැසක් බටහිර ඉන්දියාවෙන් හමුවී තිබේ.

sis

ලුතිනන් කර්නල් ඩබ්ලියු. එච්. සයික්ස්

 

මෙම පුරාවිද්‍යාත්මක සාක්ෂිය ප්‍රථම වරට අනාවරණය කරගනු ලැබුවේ 1856 වර්ෂයේදී ලුතිනන් කර්නල් ඩබ්ලියු. එච්. සයික්ස් මහතා විසිනි. 1856 වසරේදී සයික්ස් මහතා (Lieut.-Col. W.H. Sykes) විසින් රාජකීය ආසියාතික සමිතියේ සඟරාවට (Journal of the Royal Asiatic Society) ඉදිරිපත් කරන ලද “On the Miniature Chaityas and Inscriptions of the Buddhist Religious Dogma, found in the ruins of the Temple of Sárnáth, near Benares” නම් සුප්‍රසිද්ධ ඓතිහාසික පර්යේෂණ පත්‍රිකාව මඟින් මේ පිළිබඳව ලෝකයටම කරුණු හෙළිදරව් කරන ලදී.

 

v567b5uuttffxdsffgdrrsgf
බටහිර ඉන්දියාවේ සුප්‍රසිද්ධ අජන්තා සහ එල්ලෝරා ලෙන් ආශ්‍රිතව බැතිමතුන් විසින් පුණ්‍යකර්මයක් ලෙස පූජා කරන ලද කුඩා වොටිව් ස්තූප හෙවත් චෛත්‍යයන් රැසක් සොයාගෙන ඇති අතර, බුදුදහමේ මූලික සාරය නිරූපණය කරමින් “යේ ධම්මා හේතුප්පභවා” යන ගාථාව එහි කොටා තිබිණි. බෞද්ධ ඉතිහාසයේ අතිශය වැදගත් පාලි ගාථාවක් වන මෙය පුරාණ ඉන්දියාවේ මෙන්ම ලංකාවේ ද බෞද්ධ ස්තූප, මැටි පුවරු සහ ධාතු ගර්භයන් තුළ මෙම “යේ ධම්මා” ගාථාව බහුලව කොටා තිබී හමු වී ඇත. අද බොහෝ දෙනෙකුට නොවැටහුණ ද පැරැන්නන් මෙයට සැලකුවේ බුදුදහමේ මූලික හරය රැගත් “ධර්ම ශරීරය” ලෙසයි. ‘සබ්බ පාපස්ස අකරණං’ ගාථාව ද මෙලෙසින්ම එම කුඩා ස්තූපවල පාදම් මත කොටා තිබීම මෙහි ඇති සුවිශේෂී කරුණයි.

sababudusasuna2මෙම ඓතිහාසික සොයාගැනීම තුළින් වැදගත් කරුණු තුනක් ප්‍රධාන වශයෙන් තහවුරු වෙයි. පළමුවැන්න නම්, මෙම නිර්මල දහම් කරුණු ත්‍රිපිටක ග්‍රන්ථවලට පමණක් සීමා නොවී, ලංකාවේ පාලි ත්‍රිපිටකයේ සඳහන් වන ගාථාවක්ම ඉන්දියාවේ සාමාන්‍ය බැතිමතුන්ගේ ප්‍රායෝගික වන්දනාමාන කටයුතු සඳහා ද බහුලව භාවිත වී ඇති බවයි. දෙවනුව, අතීත ඉන්දියාවේ අක්ෂර භාවිතයක් නොතිබූ බවට ඇතැමුන් ඉදිරිපත් කරන මතය මුළුමනින්ම වැරදි බව මෙයින් ඔප්පු වන අතර, ක්‍රිස්තු පූර්ව යුගයේ සිටම බ්‍රාහ්මී අක්ෂර උපයෝගී කරගනිමින් ශිලා ලිපිවල දහම් කරුණු ලේඛනගත කර තිබූ බවට මෙය කදිම නිදසුනකි. තෙවනුව, බුදුදහම ථේරවාද සහ මහායාන වශයෙන් සම්ප්‍රදායන්ට බෙදීමට පෙර සිටම “සියලු පව් දුරලීම, කුසල් වැඩීම සහ සිත පිරිසිදු කිරීම” යන මූලික හරය මුළු භාරතය පුරාම එක හා සමානව පැතිරී තිබූ පොදු ඉගැන්වීමක් බව මෙයින් පැහැදිලි වෙයි. නමුත් වෙසක්, පොසොන් ආදී සැමරුම් අති මහත් උත්කර්ශයට නංවා ඇති වර්තමානයේ බුදු දහමේ එම සැබෑ දාර්ශනික හරය අබල දුබල කොට දැමීම අතිශය බරපතල තත්ත්වයකි.

අවසාන වශයෙන්, බුදු දහමේ මූලික හරය හා සබැඳි මෙවන් පාඨ බුදු පිළිමයකට යටින් හෝ කුඩා ස්තූපයක සටහන් කර තිබීමෙන් හැඟවෙන්නේ බුදුදහමේ සමස්ත පණිවිඩයම මෙම පේළි හතර තුළ අන්තර්ගත වන බව එකල සමාජයේ ජීවත් වූ මිනිසුන් දැඩිව විශ්වාස කොට ග්‍රහණය කරගෙන සිටි බවයි.

sababudusasuna4
එම නිසා, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය හුදෙක් පොත්පත්වලට පමණක් සීමා නොවී, මිනිසුන්ගේ එදිනෙදා ජීවිතය සහ සංස්කෘතිය සමඟ සමීපව පැවති බව සහතික කරන ජීවමාන පුරාවිද්‍යා සාක්ෂියක් ලෙස මෙම සොයාගැනීම ඉතිහාසය තුළ අතිශය වැදගත් තැනක් ගනියි. එවන් පසුබිමක් යටතේ මේ වන විට ශ්‍රී ලාංකික බෞද්ධ උත්සව සැමරුම් මුල් කොට ගත් සංස්කෘතිකාංග; බුදු දහමට අනුව කිවහොත් ආමිසය කුළු ගැන්වෙන අතරේ බුදු දහමේ මූලික හරය වන චිත්ත දමනය මුල් කොට ගත් සදාචාර මාර්ගය අතිශය අවාසනාවන්ත ලෙස පසු ගැන්වීම පිළිබඳව අප මේ පොසොන් සමයේ වත් ගැඹුරින් සිතා බලා එම තත්ත්වය දුරලනු පිණිස අප්‍රමාදීව කටයුතු කළ යුතු ය.

sumangala himi(සටහන | ආචාර්ය කදුරුපොකුණේ සුමංගල හිමි)

උපුටා ගැනීම - vinivida.lk

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...