The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මසාරු එමොටෝගේ කෙබරය පිරිත්වලට ඈඳා ගැනීම | තාරක වරාපිටිය

T

The Leader Desk

June 29, 2026 • 10:06 AM

මසාරු එමොටෝගේ කෙබරය පිරිත්වලට ඈඳා ගැනීම | තාරක වරාපිටිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය දිනෙක අප රටේ පිළිගත් විද්වතෙකු විසින්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වැඩසටහනක් සඳහා ප්‍රකාශ කළ කාරණයකට ප්‍රතිචාර ලෙස මෙම සටහන තබමි.
  • එම ප්‍රකාශයට පදනම් වී ඇත්තේ ජපන් ජාතික මසාරු එමොටෝ විසින් 2004 වසරේ එළිදැක්වූ The Hidden Messages in Water (ජලයේ සැඟවුණු පණිවිඩ) නම් කෘතියේ සඳහන් කරුණකි.
  • එහෙත්, එම කරුණුවල කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති වීම හේතුවෙන් මසාරු එමොටෝ ව්‍යාජ විද්‍යාඥයකු ලෙස මේ වන විට විද්වත් ලෝකය හමුවේ තහවුරු වී තිබේ.
  • එකී පර්යේෂණය සිදු කළා යැයි කියන මසාරු එමොටෝගේ එම පර්යේෂණ කතාව හුදු ප්‍රබන්ධයක් මිස, ඔහු පිළිගත් පර්යේෂණයක් ඉදිරිපත් කළ තැනැත්තකු නොවන බව ඔබට මේ සම්බන්ධයෙන් සොයා බැලිය හැකි විවිධ මාධ්‍ය භාවිත කර තහවුරු කරගත හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):


එහිදී ඔහු පවසා ඇත්තේ පිරිත් සජ්ඣායනාවකට ජලයේ අණුක සැකැස්ම වෙනස් කළ හැකි බවකි. එම ප්‍රකාශයට පදනම් වී ඇත්තේ ජපන් ජාතික මසාරු එමොටෝ විසින් 2004 වසරේ එළිදැක්වූ The Hidden Messages in Water (ජලයේ සැඟවුණු පණිවිඩ) නම් කෘතියේ සඳහන් කරුණකි. එහෙත්, එම කරුණුවල කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති වීම හේතුවෙන් මසාරු එමොටෝ ව්‍යාජ විද්‍යාඥයකු ලෙස මේ වන විට විද්වත් ලෝකය හමුවේ තහවුරු වී තිබේ. එකී පර්යේෂණය සිදු කළා යැයි කියන මසාරු එමොටෝගේ එම පර්යේෂණ කතාව හුදු ප්‍රබන්ධයක් මිස, ඔහු පිළිගත් පර්යේෂණයක් ඉදිරිපත් කළ තැනැත්තකු නොවන බව ඔබට මේ සම්බන්ධයෙන් සොයා බැලිය හැකි විවිධ මාධ්‍ය භාවිත කර තහවුරු කරගත හැකිය.

 

masaru3

අපේ පෘථිවි ග්‍රහයාගේ භූගෝලීය ස්වභාවය පිළිබඳව ප්‍රමාණවත් දත්ත සහ සාක්ෂි තිබියදීත්, ඒ බව අවබෝධ කර දිය හැකි මට්ටමේ අයකු තවදුරටත් පෘථිවිය පැතලි යැයි විශ්වාස කරන්නේ නම්, එවැනි මනෝ ව්‍යාකූලත්වයක සිටින අයකුට දැනුම හා සාක්ෂිමය කරුණු ඉදිරිපත් කර පැහැදිලි කිරීම ඵලක් ඇති පිළියමක් නොවේ. යම් ප්‍රත්‍යක්ෂයක් තහවුරු කිරීමට ඕනෑ තරම් ආනුභූතික සාක්ෂි හා දැනුම තිබියදී ඒවා ප්‍රතික්ෂේප කරන්නෝ අදටත් සිටිති. අවම වශයෙන් එවැනි ප්‍රත්‍යක්ෂයකට ප්‍රතිපක්ෂ කිසිදු තහවුරුවක් පවා නොමැතිව, මිථ්‍යාවන්ට ඇබ්බැහි වූ හා යටත් වූ කොටස් නූගතුන් අතර පමණක් නොව උගත් වෘත්තිකයන් අතර පවා සිටිති. ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ නිර්මාතෘ ඒබ්‍රහම් ටී. කොවුර් වරක් නූගත් මෝඩයාගෙන් සිදුවන සමාජමය හානියට වඩා උගත් මෝඩයාගෙන් සිදුවන සමාජමය හානිය බරපතළ බව පවසා ඇත්තේ එනිසාමය.

8i8t7it78itmnmn

 

එවන් ඊනියා උගතුන්ට මායාමය විශ්වාස ලෝකයක මිස ස්වභාවික ලෝකය තුළ තම පුරුදු සැහැල්ලු ජීවිතය ඔහේ ගලාගෙන යාමට ඉඩ හැරිය නොහැකිය. ඇතැමෙකුට තමන්ගේ දෑස් අභිමුව පැරණි අන්ධ විශ්වාසයන් අභියෝගයට ලක්වීම දරාගත නොහැකි අතර එවැනි විශ්වාසයන් පරීක්ෂාවට ලක්වීම ඔවුන්ට ආතතියට කාරණයකි. දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව සර්ව බලධාරී දෙවි කෙනෙකු පිළිබඳව පැවති විශ්වාසයට බලවත් අභියෝගයක් නිර්මාණය වූ අයුරින්, මෑතකදී මතු වූ කොවිඩ්-19 ලෝක වසංගතය නිසා පොදු සමාජයේ පවතින විශ්වාසයන්ට ද බලවත් අභියෝගයක් නිර්මාණය විය. ඊට හේතුව මෙවන් විපතක් සිදුවන තෙක් සර්ව බලධාරී දෙවියන්ට කිසිවක් කරගත නොහැකි වීමත්, තම භක්තිමත් අනුගාමිකයන්ට පිහිටක් විය නොහැකි වීමත් නිසා සර්ව බලධාරීත්වය එයින් අහෝසි වීමයි. එවිට බැතිමතුන්ට එම හිඩැස පුරවාගෙන මේ ආතතියෙන් මිදීමට අලුත් ප්‍රබන්ධ සහ කතාන්දර අවශ්‍ය වේ.

ලෝකයේ බරපතළ ව්‍යසන මතුවූ අවස්ථාවලදී තම විශ්වාසයන්ගෙන් කිසිදු පිළිසරණක් නොමැතිව යම් ආත්මීය ව්‍යාකූලත්වයකට, ආගමික ක්ෂතිමය භ්‍රාන්තියකට පත්වන බැතිමතුන්ට තාවකාලිකව හෝ ඉන් පලා යාමට නව තාලයේ ප්‍රබන්ධ අවශ්‍ය වේ. ඒ ඉඩප්‍රස්තාව තුළින් මේ වංචනික රැවටිලිකාර කතාන්දරකරුවෝ කලඑළි බසිති. ඔවුන්ට ජන මාධ්‍ය තුළ ඒ වෙනුවෙන් විශේෂ වේදිකා ඉදිවේ. ඒ, එවන් ගජබින්න සඳහා විශාල වෙළෙඳපොළක් ඇති බැවිනි. එවැනි කතාන්දරකරුවන්ට යම්කිසි සමාජ පිළිගැනීමක් තහවුරු කර ගැනීමට අවශ්‍ය වූ විටෙක ව්‍යාජ ශාස්ත්‍රීය “ටයිටල්” මිලදී ගත හැකි ඇකඩමික ජාවාරම් තුන්වන ලෝකයේ රටවල ඇත. මීට කලකට පෙර ඉන්දියාවේ ක්‍රියාත්මක වූ, දැනට වසා දමා ඇති, එවැනි කූට ආයතනයකින් මිලදී ගත් “උපාධියක්” ඇතිව සිටි මසාරු එමොටෝ ලෝකයට නව මාදිලියක අලුත් කතාන්දරයක් ඉදිරිපත් කොට ලෝකය නොමඟ යැවීමට සමත් විය.

 masaru1

මසාරු එමොටෝ

 

masaru2The Hidden Messages in Water කෘතිය මඟින් ධනාත්මක සිතුවිලිවලට සහ යහපත් වචනවලට ජලයේ අණුක සැකැස්මට බලපෑම් කළ හැකි බවක් ඔහු කියා තිබේ. තවද එවැනි යාඥාවක් හෝ සජ්ඣායනයක් මගින් දූෂිත වූ ජලය පිරිසිදු කළ හැකි බවටත් ඔහු ප්‍රකාශ කර ඇත. මේ කතාන්දරය සපුරාම වැරදි බවට විද්‍යාඥයන් විධිමත් පරීක්ෂණයක් මගින් පෙන්වා දුන් විට, 2014 වසරේ මිය යන තුරුම ඔහු ඊට ප්‍රතිචාර නොදක්වා මගහැර ගියේය. මේ ප්‍රබන්ධය ලංකාවට ප්‍රාදුර්භූත වූයේ පිරිත් සජ්ඣායනය තුළින් ජලයේ අණුක පිළිවෙළ වෙනස් කළ හැකිය යන දේශීය සංස්කරණයකින් හා අනුවර්තනයකිනි. මසාරු එමොටෝගේ කෘතියේ පිරිත් ගැන වගක් නැතත්, බුද්ධාලම්බන ප්‍රීතිය ඉහවහා යන මේ කතාව බොහෝ බැතිමතුන්ට ආශ්වාදජනක ආරංචියක් විය.

සූත්‍ර හා පිරිත් යනු පාලි භාෂාවෙන් සජ්ඣායනය කරන ආචාරධාර්මික දේශනාවන්ය. එමෙන්ම බෞද්ධ ත්‍රිපිටකයේ පිරිත් කියා වෙනම කොටසක් ඇත. අප රටේ පාලි භාෂාවෙන් සජ්ඣායනය වනුයේ සූත්‍ර පිටකයෙන් දේශීය වශයෙන් තෝරා ගත් යම් යම් කොටස් පමණි. බුදුහිමියන් විසින් හෝ වෙනත් උගත් හිමිනමක විසින් හෝ මෙහි ගුප්ත බලයක් ඇතැයි පවසා නැත. මෙහි ප්‍රාතිහාර්යාත්මක බලයක් ඇති බවට ද පවසා නැත. ඒවායේ ඇත්තේ චිත්ත දමනයෙන් යුතුව පිළිපැදිය යුතු සදාචාරාත්මක අංග පමණි. එනිසා මෙවැනි සජ්ඣායනාවලට අද්භූත බලයක් ඇතැයි විශ්වාස කිරීම යනු ගුප්ත දේවල්වලට තිබෙන අපේ ජානගත අතීත ආශාව හා ඇබ්බැහිය පිළිබිඹු වීමකි. ප්‍රාග් ඓතිහාසික යුගයේ මිනිසා ස්වභාවික විපත් ඇතුළු සියලු අසීරුතා අභිමුව අසරණ වූ විට ඒවායින් ගැලවීමට නොපෙනෙන බලවේගයක ආශ්චර්යාත්මක පිහිටක් ප්‍රාර්ථනා කළේය. පුනරුද යුගයේ සිට මනුෂ්‍ය වර්ගයා මේ බියෙන් හා නොදැනුමෙන් අත්මිදෙමින්, විචාරශීලීව ප්‍රගතිය හා ශිෂ්ටත්වය කරා එළැඹෙමින් සිටී. නමුත් මිනිසා තුළ පවත්නා සහජ මිථ්‍යා ලෝලීත්වය නිසා මේවා ලොවින් තුරන් කිරීමට ද නොහැකිය.

අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ඇති සියලු පදාර්ථ ඝන, ද්‍රව, වායු සහ ප්ලාස්මා යන අවස්ථාවල පවතින බව අපි දනිමු. එම පදාර්ථ ස්වරූප පවතින උෂ්ණත්වය හා පීඩන තත්ත්වය අනුව එකී අවස්ථා පසුකරයි. ඝන තත්ත්වයේ පවතින යකඩ වැනි තද ලෝහයක් පවා ඉහළ උෂ්ණත්වයකදී ද්‍රව බවට පත්වේ. සාමාන්‍ය වායුගෝලීය උෂ්ණත්වයේදී ද්‍රව තත්ත්වයේ තිබෙන ජලය සෙන්ටිග්‍රේඩ් අංශක 0ට ආසන්න වනවිට අයිස් බවට ඝනීභවනය වේ. එලෙසම ජලය සෙන්ටිග්‍රේඩ් අංශක 100ට ආසන්න උෂ්ණත්වයකදී වාෂ්ප බවට පත්වේ. උෂ්ණත්වය හා පීඩන තත්ත්වය අනුව ජලයේ අවස්ථා පරිණාමය ඒ ආකාර වේ. ජලයේ අණු-අණු අතර අණුක බන්ධන ස්වරූපය උෂ්ණත්වය හා පීඩන තත්ත්වය අනුව වෙනස් වන්නේ ඒ ආකාරයෙනි.

 

i888977
ශබ්ද තරංගයක ගතිගුණ විස්තර කරන්නේ ඒ තරංගයේ සංඛ්‍යාතය, තරංග ආයාමය සහ තාරතාව ආදී ලක්ෂණ අනුවයි. ශබ්ද තරංගවලින් ජලයේ අණුක සැකැස්ම වෙනස් කිරීමට යම් සජ්ඣායනාවකට හැකියාව ලැබෙන්නේ ඒ ශබ්ද තරංගවල මේ කී ගුණාංග වෙනස් කිරීමෙන්ද? නවීන විද්‍යාවට අපේ ලෝකයේ සිදුවන බොහෝ දේවල් විග්‍රහ කිරීමට හැකියාව ඇත. එමෙන්ම විද්‍යාව තුළ ඉදිරිපත් කරන න්‍යායන් හා ආකෘති සතුව ඊට අදාළ පැහැදිලි කිරීම් ඇත. එහෙත් මසාරු එමොටෝ හට පවා තමන් එළිදැක්වූ ප්‍රබන්ධයට එවැනි පිළිගත හැකි පැහැදිලි කිරීමක් ඉදිරිපත් කළ නොහැකි විය. අප රටේ විද්වත් ගිහි පැවිදි පිරිස් ඔහුගේ එම ව්‍යාජ මතවාදයට බුදු දහම මූට්ටු කිරීම එක්කෝ මෝඩකම මුල් කොට සිදු කර ගත් පටලැවිල්ලකි; නැතහොත් කපටිකමට කරන්නකි. සමහර විට ඒ දෙකම මුල් කොට මෙබඳු ව්‍යාජ ප්‍රබන්ධ සත්‍ය සේ සමාජගත කරන්නට වෙර දරනවා වීමට ද බැරි නැත.

tharaka warapitiya(සටහන | තාරක වරාපිටිය)
ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ ලේකම්


උපුටා ගැනීම - vinivida.lk

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...