The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මත් ද්‍රව්‍ය භාවිතා කරන්නවුන් පුනරුත්ථාපනය නොකර බන්ධනාගාරගත කිරීම සමාජමය කාල බෝම්බයක් අටවා තැබීමකි – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

T

The Leader Desk

July 8, 2026 • 6:22 AM

මත් ද්‍රව්‍ය භාවිතා කරන්නවුන් පුනරුත්ථාපනය නොකර බන්ධනාගාරගත කිරීම සමාජමය කාල බෝම්බයක් අටවා තැබීමකි – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ වත්මන් බන්ධනාගාර පද්ධතිය මුහුණ දෙන දැවැන්තම අභියෝගය වන්නේ ‘මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි’ හේතුවෙන් සිරගත වන පිරිස ශීඝ්‍රයෙන් ඉහළ යාම බව අතිශයින් පැහැදිලි ය.
  • සංඛ්‍යාලේඛන දෙස බැලීමේදී, 2023 වර්ෂය වන විට ලංකාවේ බන්ධනාගාරවල උපරිම ධාරිතාව 11,000 ක් පමණ වන පසුබිමක, රැඳවියන් 28,000 ක් ඉක්මවා රඳවා තැබීමෙන් 250% කට අධික දරුණු බන්ධනාගාර තදබදයක් නිර්මාණය වී තිබේ.
  • මෙහි වඩාත්ම කනගාටුදායක තත්ත්වය නම්, ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ දත්තවලට අනුව, මෙලෙස බන්ධනාගාරගත වන පුද්ගලයන්ගෙන් 70% කට වඩා වැඩි පිරිසක් නිදහස් වීමෙන් පසු නැවතත් එම වරදටම හෝ වෙනත් අපරාධයකට පෙළඹෙමින් බන්ධනාගාරගත වීමයි.
  • එනම් හුදෙක් සිරගත කිරීම මගින් අපේක්ෂිත පුනරුත්ථාපනය හෝ වැරදි නිවැරදි කිරීම සිදු නොවන බවයි.එමෙන්ම එය අතුරු ප්‍රතිවිපාක බහුල ගැටළුවක් බව ද පෙනී යයි.
අකුරු ප්‍රමාණය (Font Size):


මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අමතරව, භාවිතය සහ ළඟ තබාගැනීම වැනි වැරදි සඳහා දඬුවම් ලැබූවන් ද විශාල වශයෙන් බන්ධනාගාරගත කර ඇත. සංඛ්‍යාලේඛන දෙස බැලීමේදී, 2023 වර්ෂය වන විට ලංකාවේ බන්ධනාගාරවල උපරිම ධාරිතාව 11,000 ක් පමණ වන පසුබිමක, රැඳවියන් 28,000 ක් ඉක්මවා රඳවා තැබීමෙන් 250% කට අධික දරුණු බන්ධනාගාර තදබදයක් නිර්මාණය වී තිබේ. මෙම සමස්ත සිරකරුවන්ගෙන් 40% කට ආසන්න ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදිකරුවන් වන අතර, 2022 වසරේදී අන්තරායකර ඖෂධ ආඥා පනත යටතේ අත්අඩංගුවට ගත් ලක්ෂයකට අධික පිරිසෙන් 60% කටත් වඩා වැඩි පිරිසක් හුදෙක් මත්ද්‍රව්‍ය භාවිතය හෝ ළඟ තබාගැනීම සම්බන්ධ වැරදිකරුවන් වීම විශේෂත්වයකි.

මෙහි වඩාත්ම කනගාටුදායක තත්ත්වය නම්, ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ දත්තවලට අනුව, මෙලෙස බන්ධනාගාරගත වන පුද්ගලයන්ගෙන් 70% කට වඩා වැඩි පිරිසක් නිදහස් වීමෙන් පසු නැවතත් එම වරදටම හෝ වෙනත් අපරාධයකට පෙළඹෙමින් බන්ධනාගාරගත වීමයි. මෙම ඉහළ පුනරාවර්තන අනුපාතයෙන් අතිශයින් පැහැදිලි වන කරුණක් තිබේ. එනම් හුදෙක් සිරගත කිරීම මගින් අපේක්ෂිත පුනරුත්ථාපනය හෝ වැරදි නිවැරදි කිරීම සිදු නොවන බවයි.එමෙන්ම එය අතුරු ප්‍රතිවිපාක බහුල ගැටළුවක් බව ද පෙනී යයි.

jail

මෙලෙස විධිමත් ප්‍රතිකාරයකින් තොරව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සිරගත කිරීම තුළින් සමාජයට බරපතළ අහිතකර ප්‍රතිවිපාක රැසක් උදාවේ. බන්ධනාගාරය තුළදී සුළු මත්ද්‍රව්‍ය වැරදිකරුවන් වන තරුණයන්, මහා පරිමාණ සංවිධානාත්මක අපරාධකරුවන් සහ ජාවාරම්කරුවන් සමඟ නිරායාසයෙන්ම මිශ්‍ර වන බැවින් බන්ධනාගාර පද්ධතිය “අපරාධ විශ්වවිද්‍යාල” බවට පත්වීමේ ප්‍රවණතාවක් මේ වන විටත් නිර්මාණය වෙමින් පවතී. විශේෂයෙන් විධිමත් අධ්‍යාපනයක් නොලත් එහෙත් යම් යම් කුශලතා සහිත යොවුන් පෙළ සමාජ විරෝධී මං පෙත් ඔස්සේ තම කුශලතා පුබුදුවා ගැනීමේ සුවිසල් නැඹුරුවක් පවතී.මෙය බරපතල සමාජ ඛේදවාචකයකට මුල පුරන්නකි. එහිදී ඔවුන්ට නීති විරෝධී ජාවාරම් පිළිබඳ නොවිධිමත් පුහුණුවක් සහ නව සන්නිවේදන ජාල නොමිලේම හිමිවන අතර, බන්ධනාගාරය අපරාධ වෙළඳපොළක් බවට ද පරිවර්තනය වේ.

එසේම, බන්ධනාගාර තුළ පවතින අධික තදබදය, මූලික පහසුකම් හිඟය සහ සමාජ අපකීර්තිය හේතුවෙන් රැඳවියන් දැඩි මානසික පීඩනයකට ලක්වන අතර, ඔවුහු එම පීඩනය හමුවේ යහපත් මඟට යොමුවනවා වෙනුවට, “නැවත අසුවීමෙන් වැළකී වඩාත් සූක්ෂමව අපරාධ කරන්නේ කෙසේද” යන්න පිළිබඳ උපායශීලීව සිතන්නටත් ඒ සම්බන්ධ නව උපාය මාර්ග හඳුනාගැනීමත් පෙළඹෙති.මෙම පසුබිම යටතේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සතුව පමණක් නොව, මත්ද්‍රව්‍ය ජාල සතුව ද ඉතා ශක්තිමත් බුද්ධි අංශ සහ ඔත්තු සේවා පවතින අතර, බන්ධනාගාරය ඔවුන්ට අත්දැකීම් හුවමාරු කරගන්නා, නව සාමාජිකයින් බඳවා ගන්නා සහ අනාගත සැලසුම් සකස් කරන ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත්වේ.

මේ වන විටත් මෙම අර්බුදයට ලොව දියුණු රටවල් සාර්ථක විකල්ප ක්‍රමවේද සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කර ඇත. උදාහරණයක් ලෙස, පෘතුගාලය 2001 වසරේදී හුදෙක් මත්ද්‍රව්‍ය භාවිතය අපරාධමය නොවන වරදක් (Decriminalized) බවට පත් කර, පරිශීලකයන් සිරගත කිරීම වෙනුවට විශේෂ කමිටු (Dissuasion Commissions) හරහා උපදේශනයට සහ වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු කොට තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස මත්ද්‍රව්‍ය ආශ්‍රිත මරණ 80% කින් අඩු වූ අතර, HIV ආසාදන මෙන්ම බන්ධනාගාර තදබදය ද විශාල ලෙස පහත වැටුණි. එමෙන්ම නෝර්වේ සහ නෙදර්ලන්තය වැනි රටවල් ‘Drug Courts’ (මත්ද්‍රව්‍ය උසාවි) ක්‍රමය මඟින් හුදෙක් මත්ද්‍රව්‍ය භාවිතය සඳහා සිරදඬුවම් වෙනුවට අනිවාර්ය පුනරුත්ථාපනය සහ ප්‍රජා සේවය හඳුන්වා දීමෙන් පුනරාවර්තන අනුපාතය 50% කට වඩා අඩු කරගෙන ඇත. සිංගප්පූරුව වැනි දැඩි නීති රීති ක්‍රියාත්මක කරන රටක් පවා, මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සහ පරිශීලකයා පැහැදිලිව වෙන්කර හඳුනා ගනිමින්, DRC (Drug Rehabilitation Centres) මඟින් ඇබ්බැහි වූවන් සඳහා විද්‍යාත්මක ප්‍රතිකාර ලබා දෙමින් ඔවුන් සාර්ථකව නැවත සමාජගත කිරීමට පියවර ගෙන ඇත.

 

drug adited
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පෙන්වා දෙන පරිදි මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම සාපරාධී චර්යාවක් නොව, එය “නිදන්ගත මොළයේ රෝගයක්” (Chronic Brain Disease) කි. රෝගයකට දඬුවම් දීමෙන් එය සුව කළ නොහැකි බැවින්, ශ්‍රී ලංකාව තුළ ද විද්‍යාත්මක පුනරුත්ථාපන වැඩපිළිවෙළක අවශ්‍යතාව දැඩිව පවතී. මේ සඳහා ස්ථාපිත කරන මධ්‍යස්ථාන සතුව විෂහරණය (Detoxification) සහ මෙතඩෝන් (Methadone) හෝ බුප්‍රෙනෝෆින් (Buprenorphine) වැනි ඖෂධීය උපකාරක ප්‍රතිකාර (MAT) ඇතුළත් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමවේද තිබිය යුතු ය. මීට අමතරව, සංජානන චර්යාත්මක චිකිත්සාව (CBT), සමූහ හා පවුල් උපදේශන වැනි මනෝ-සමාජීය ප්‍රතිකාර මෙන්ම, රැඳවියා නිදහස් වූ පසු ස්වාධීනව ජීවත් වීම සඳහා වෘත්තීය සහ රැකියා පුහුණුව ලබා දීම අත්‍යවශ්‍ය වේ. ප්‍රතිකාර ලබා සමාජගත කිරීමෙන් පසුව ද, ඔවුන් නැවතත් එම පරිසරයටම වැටී ඇබ්බැහි වීම වැළැක්වීම සඳහා අවම වශයෙන් වසර 2-3 ක කාලයක් අඛණ්ඩව පසු විපරම් (Follow-up) කිරීමේ ක්‍රමවේදයක් ද පැවතිය යුතු ය.

මේ දිනවල පවා අප වෙත සන්නිවේදනය වන අන්දමට බන්ධනාගාර තුළ විවිධ අපරාධකරුවන් අතර පවත්නා බාහිරව පෙනෙන ගැටුම් (විසංවාදී බව) සමාජයට නිරාවරණය වුවද, ඔවුන් අතර රහසින් සිදුවන ජාලගත වීම්, දැනුම හුවමාරුව සහ සැලසුම් සැකසීම් වැනි “සුසංවාදී වීම්” නිහඬවම සිදුවේ. මෙහි භයානක ප්‍රතිඵලය වන්නේ එමඟින් සමාජයට වඩාත් සංවිධානාත්මක, දරුණු මත්ද්‍රව්‍ය ජාවාරමක් සහ අපරාධ රැල්ලක් දායාද වීමයි.

MnIcawdyh1LsCcqm 3

මේ අනුව, මත්ද්‍රව්‍ය භාවිතා කරන්නවුන් පුනරුත්ථාපනය නොකර බන්ධනාගාරගත කිරීම යනු සමාජය තුළ කාල බෝම්බයක් අටවා තැබීමකි. බොහෝ දෙනකු නොදන්නා මුත් ලංකාවේ එක් බන්ධනාගාර රැඳවියෙකු නඩත්තු කිරීමට වසරකට රුපියල් 300,000 කට වඩා විශාල මුදලක් වැය වන අතර, විද්‍යාත්මක පුනරුත්ථාපනය සඳහා වැය වන පිරිවැය ඊට වඩා අඩු ය. එමෙන්ම එය ඉහළ ප්‍රතිලාභ සහිත කාරියකි. නමුත් ඒ සම්බන්ධ නිසි අවබෝධයක් බලධාරීන් තුළ ඇති බවක් නොපෙනේ.

 එබැවින්, අන්තරායකර ඖෂධ ආඥා පනත වහාම සංශෝධනය කර, භාවිතය සහ ජාවාරම අතර පැහැදිලි නීතිමය වෙනසක් ඇති කිරීම අත්‍යාවශ්‍ය වේ. එමෙන්ම මත්ද්‍රව්‍ය භාවිතා කරන්නවුන් උදෙසා බන්ධනාගාරවලින් බැහැරව ප්‍රජා මූලික මට්ටමින් පුනරුත්ථාපන මධ්‍යස්ථාන පුළුල් කිරීමත් අත්‍යවශ්‍ය වේ. විද්‍යාත්මක පුනරුත්ථාපනය යනු හුදෙක් රජයේ වියදමක් නොව, අනාගත අපරාධ රැල්ල, සෞඛ්‍ය පිරිවැය සහ මානව සම්පත් විනාශය වළක්වාලන ඉතා වැදගත් උපායමාර්ගික සමාජීය ආයෝජනයකි.

Rumi Ruban

| විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්
Dr. Rumi Ruben
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රධාන විශේෂඥ මනෝ වෛද්‍ය

උපුටා ගැනීම - vinivida.lk
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...