එය දශක ගණනාවක් තිස්සේ මෙරට බන්ධනාගාර පද්ධතිය ඇතුළත පිළිකාවක් මෙන් ඔඩුදුවා ඇති පාතාලයේ සහ දූෂණයේ අමිහිරි යථාර්ථය ලෝකයටම විවෘත කළ බිහිසුණු ඛේදවාචකයකි.
ජීවිත ගණනාවක් අමානුෂික ලෙස අහිමි කරමින්, තියුණු ආයුධ සහ ගිනිඅවි පවා භාවිත කරමින් මීගමුව බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක වූයේ මත්ද්‍රව්‍ය ජාවාරම කේන්ද්‍ර කරගත් කල්ලි දෙකක් අතර සැලසුම් සහගත බල අරගලයකි. මෙම සිදුවීම මගින් සමස්ත ජාතියටම යළිත් වරක් පසක් කර දුන්නේ, අපරාධකරුවන් පුනරුත්ථාපනය කිරීමට ඇති ස්ථානය අද වන විට සාමාන්‍ය සමාජයටත් වඩා භයානක ‘අපරාධ පාරාදීසයක්’ බවට පත්ව ඇති බවයි.
දඬුවම් නැතිව විඳවන අපාය

බන්ධනාගාරයක සැබෑ අරමුණ වරදකරුවන්ට දඬුවම් දීම වුවද, අද මෙරට සිරමැදිරි තුළ ගාල් කර සිටින අතිමහත් බහුතරයක් තවමත් වරදකරුවන් බවට ඔප්පු නොවූ, නඩු විභාග අපේක්ෂාවෙන් පසුවන සැකකරුවන්ය. මෑත කාලීන දත්ත අනුව මෙරට සිරගෙවල් වල ධාරිතාවය මෙන් තුන් ගුණයකින් රඳවියන් සහ සිරකරුවන් ප්‍රමාණයක් ඒවායෙහි රඳවා තිබේ.
රජයේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ පරිපාලනමය දුර්වලතා හේතුවෙන් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන අහිංසක මිනිසුන්ට පවා වසර ගණනාවක් යකඩ කූරු පිටුපස විඳවීමට සිදුවී ඇත. අපරාධකරුවන් සහ සමාජයෙන් ප්‍රතික්ෂේප වන මිනිසුන් ලෙස , මෙම ගැටලු වලට එරෙහිව හඬ නැගීමට මෙම ප්‍රජාවන්ට කිසිදු හැකියාවක් නොවෙයි.
දක්ෂ නීතිඥ සහයක් ලබා ගැනීමට හෝ සුළු ඇප මුදලක් ගෙවා ගැනීමට නොහැකිව සිරගත වන මේ මිනිසුන්ව, වෘත්තීය මට්ටමේ දැවැන්ත අපරාධකරුවන් සමග එකම සිරමැදිරියකට කොටු කිරීම බරපතල ඛේදවාචකයකි. මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ සුළු වරදක් කර ඇතුළට යන තරුණයින්, බන්ධනාගාරයෙන් පිටතට එන විට අතිදක්ෂ අපරාධකරුවන් බවට පරිවර්තනය වී සිටීමයි.
මරණය අතේ තියාගෙන නිදාගැනීම

යටත්විජිත සමයේ ඉදිවූ පැරණි ගොඩනැගිලි තුළ පවතින බන්ධනාගාරවල වර්තමාන තත්ත්වය වචනයෙන් විස්තර කළ නොහැකි තරම් අමානුෂිකය. අධික තදබදය නිසා නවක රැඳවියන්ට රාත්‍රිය පහන් කිරීමට සිදුවන්නේ හිටගෙන හෝ ගඳ ගසන වැසිකිළි කුටි අසල බිම වැතිරීගෙනය. මකුණන්, මීයන් සහ පරවියන්ගෙන් පිරුණු සිරමැදිරි තුළ ඩෙංගු වැනි බෝවන රෝග පැතිර යාම සාමාන්‍යකරණය වී ඇත.
ජලය බැස නොයන අපිරිසිදු මුළුතැන්ගෙවල්වල පිළියෙළ වන පෝෂණයෙන් තොර ආහාර වේලක් භුක්ති විඳිමින්, විශේෂයෙන්ම කාන්තා රැඳවියන් ගෙවන්නේ නිරයටත් වඩා අන්ත වූ ජීවිතයකි. හදිසි ගින්නකදී හෝ ස්වභාවික ආපදාවකදී සිරකරුවන් ආරක්ෂිතව ඉවත් කිරීමේ කිසිදු ක්‍රමවේදයක් මේ පැරණි තාප්ප ඇතුළේ දක්නට නොලැබේ.
හිරගෙදර පාතාල මූලස්ථානයක්
මෙරට පාතාලයේ අඳුරු ඉතිහාසය දෙස බැලීමේදී, අතීතයේ කප්පම් ගැනීම් වලට සීමා වූ කල්ලි අද වන විට දේශපාලන අනුග්‍රහයද සහිතව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය සහ මිනිස් ජාවාරම් දක්වා විහිදී ඇත. මෙම අපරාධකරුවන්ට බන්ධනාගාරය යනු දඬුවම් ලබන ස්ථානයක් නොව, සිය ව්‍යාපාරික ජාලයේ තවත් එක් මධ්‍යස්ථානයක් පමණි.
ප්‍රධාන බන්ධනාගාර තුළ රහසිගතව ක්‍රියාත්මක වන ජංගම දුරකථන ජාල හරහා ඔවුහු පිටත ලෝකයේ ඝාතන සහ මත්ද්‍රව්‍ය ගනුදෙනු බාධාවකින් තොරව මෙහෙයවති. ආරක්ෂක අංශ කොතරම් වැටලීම් කළද, බිත්ති තුළ සඟවා ඇති දුරකථන සහ චාජර් යළි යළිත් මතුවන්නේ බන්ධනාගාරය ඇතුළත ක්‍රියාත්මක වන ප්‍රබල සන්නිවේදන ජාලයේ තරම කියාපාමිනි.
අල්ලසට යටවූ නිල ඇඳුම

බන්ධනාගාරයක් ඇතුළත මෙතරම් අරාජිකත්වයක් රජයන්නේ කෙසේද? එහි සැබෑ පිළිතුර ඇත්තේ පද්ධතිය භාරව සිටින නිලධාරීන්ගේ හැසිරීම තුළය. අඩු වැටුප් සහ සේවා පීඩනය පිළිබඳව නිදහසට කරුණු ඉදිරිපත් කළද, සැබෑ යථාර්ථය වන්නේ බන්ධනාගාර නිලධාරීන්ගෙන් සැලකිය යුතු පිරිසක් පාතාල කල්ලිවලින් සහ ධනවත් සිරකරුවන්ගෙන් ලැබෙන දැවැන්ත අල්ලස්, වරදාන සහ වරප්‍රසාද මත සුඛෝපභෝගී ජීවිත ගත කරන බවයි.
කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයෙන් පළා යාමට දරන උත්සාහයන් පිටුපස රුපියල් කෝටි ගණනින් හුවමාරු වන අල්ලස් කුමන්ත්‍රණ ඇති බව රහස්‍ය නොවේ. වැටලීම්වලට හසුවන දූෂිත නිලධාරීන් කෙටි කාලයකින් යළිත් සේවයට පැමිණීම හරහා මෙම පද්ධතියේ පවතින දණ්ඩමුක්තිය සහ දූෂණයේ ගැඹුර මනාව පැහැදිලි වේ.
ලේ කඳුළින් ලියැවුණු අතීතය
මීගමුව ඛේදවාචකය යනු මෙම පුපුරනසුලු පද්ධතියේ එක් ප්‍රතිඵලයක් පමණි. 1983 වැලිකඩ අමානුෂික ඝාතන මාලාවේ සිට, 2012 වැලිකඩ සන්නද්ධ ගැටුම සහ මෑතකාලීන මහර සහ අනුරාධපුර බන්ධනාගාර කැරලි දක්වා දිවෙන ලේ වැකුණු ඉතිහාසයක් අපට ඇත. අධික තදබදය, මානුෂීය පහසුකම් අහිමි කිරීම සහ නිලධාරීන්ගේ මර්දනකාරී මෙන්ම අමානුෂික හැසිරීම් සෑම විටම අවසන් වී ඇත්තේ සිරකරුවන්ගේ මෙන්ම නිලධාරීන්ද ජීවිතවලින් වන්දි ගෙවන දැවැන්ත ඛේදවාචකයන්ගෙනි.
වහා කළ යුතු ශල්‍යකර්මය

බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම යනු තවත් ගොඩනැගිලි කිහිපයක් ඉදිකිරීම හෝ කමිටු වාර්තා ගොඩගැසීම නොවේ. මෙහිදී යථාර්ථවාදීව කළ යුතු ප්‍රධානතම කාර්යය වන්නේ සමස්ත බන්ධනාගාර නිලධාරී යාන්ත්‍රණය සම්බන්ධයෙන්ම මුළු රටම ආවරණය වන පරිදි දැවැන්ත විමර්ශනයක් කඩිනමින් දියත් කිරීමයි.
සෑම නිලධාරියෙකුගේම බැංකු ගිණුම්, වත්කම් සහ ඔවුන්ගේ බාහිර සම්බන්ධතා පිළිබඳව පුළුල් බුද්ධි වාර්තා සකස් කිරීම අත්‍යවශ්‍ය වේ. දූෂිත නිලධාරීන් නීතියේ රැහැනට කොටු නොකරන තාක් කල්, මොන යම් තාක්ෂණයක් ගෙන ආවද පාතාලයේ රහසිගත ගනුදෙනු නැවැත්විය නොහැක.
සිරකරුවෙකු යනු සමාජයෙන් වෙන් කළ යුත්තෙකු මිස, මානව අයිතිවාසිකම් අහිමි කළ යුතු සතෙකු නොවේ. නීතියේ ප්‍රමාදයන් වහා වළක්වා, දණ්ඩනය වෙනුවට සැබෑ පුනරුත්ථාපනයක් හඳුන්වා දිය යුතුය. එසේ නොමැතිව පවතින කුණු වූ පද්ධතියම තවදුරටත් නඩත්තු කරන්නේ නම්, අනාගතයේදී මීගමුවටත් වඩා දරුණු ලේ වැගිරීම් බන්ධනාගාර තාප්ප ඇතුළෙන් අසන්නට ලැබීම කිසිවෙකුටත් වැළැක්විය නොහැකි වනු ඇත.
(lankalokaya.lk | චමිඳු නිසල් ද සිල්වා)




