The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ශ්‍රී ලංකාවේ සංවර්ධන අර්බුදය, ජනතා සවිබල ගැන්වීම සහ සහභාගිත්ව ප්‍රවේශය: බිම් මට්ටමේ යථාර්ථයන් සහ විකල්ප උපායමාර්ග - මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ

T

The Leader Desk

July 11, 2026 • 9:19 AM

ශ්‍රී ලංකාවේ සංවර්ධන අර්බුදය, ජනතා සවිබල ගැන්වීම සහ සහභාගිත්ව ප්‍රවේශය: බිම් මට්ටමේ යථාර්ථයන් සහ විකල්ප උපායමාර්ග - මහාචාර්ය  ප්‍රදීප් එන්’ වීරසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව දශක තුනකට අධික කාලයක් පැවති දරුණු සිවිල් යුද්ධයකින් පසු සමාජීය හා ආර්ථික වශයෙන් සීඝ්‍ර සංවර්ධනයක් කරා ගමන් කිරීමට දැඩි උත්සාහයක නිරත විය.
  • මෙම කාලපරිච්ඡේදය මෙරට සංවර්ධන ඉතිහාසයේ වඩාත්ම තීරණාත්මක මෙන්ම අඳුරුතම සන්ධිස්ථානයක් ලෙස හඳුනාගත හැකිය.
  • එය සැබවින්ම රාජ්‍ය පාලනය, සමාජ සංවිධානය, රාජ්‍ය, සමාජ දේශපාලන ව්‍යූහ සංවර්ධන සැලසුම්කරණය සහ සන්නිවේදනයේ අසාර්ථකත්වය එකට එකතු වීමෙන් නිර්මාණය වූ බරපතළ "පද්ධතිමය අර්බුදයකි" (Systemic Crisis).
  • එම පර්යේෂණය මගින් සංවර්ධන ක්‍රියාවලියේදී සන්නිවේදනය, රාජ්‍ය පාලනය සහ ප්‍රජා සහභාගිත්වය අතර පවතින අන්‍යෝන්‍ය සම්බන්ධතාවය ඉතා ගැඹුරින් විග්‍රහ කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

පශ්චාත් යුද සමය තුළ භෞතික යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙහි දැඩි අවධානයක් යොමු වුවද, විශේෂයෙන්ම 2019 සිට 2025 දක්වා වූ කාලසීමාව තුළ රට පෙර නොවූ විරූ ගැඹුරු සහ බහුවිධ සංවර්ධන අර්බුදයකට මුහුණ දුන්නේය. මෙම කාලපරිච්ඡේදය මෙරට සංවර්ධන ඉතිහාසයේ වඩාත්ම තීරණාත්මක මෙන්ම අඳුරුතම සන්ධිස්ථානයක් ලෙස හඳුනාගත හැකිය. ආර්ථික බිඳවැටීම, විදේශ විනිමය හිඟය, දැඩි උද්ධමනය, ආහාර අනාරක්ෂිතතාවය, දේශපාලන අස්ථාවරත්වය සහ දිනෙන් දින ඉහළ ගිය සමාජ අසමානතාවන් මේ කාලයේදී සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල කිරීමට සමත් විය.


එහෙත්, මෙම සමස්ත අර්බුදය දෙස හුදෙක් ආර්ථික සංඛ්‍යාලේඛන හෝ මූල්‍ය දර්ශක මත පමණක් පදනම්ව බැලීම ප්‍රමාණවත් නොවේ. එය සැබවින්ම රාජ්‍ය පාලනය, සමාජ සංවිධානය, රාජ්‍ය, සමාජ දේශපාලන ව්‍යූහ සංවර්ධන සැලසුම්කරණය සහ සන්නිවේදනයේ අසාර්ථකත්වය එකට එකතු වීමෙන් නිර්මාණය වූ බරපතළ "පද්ධතිමය අර්බුදයකි" (Systemic Crisis). විශේෂයෙන්ම, මෙරට ක්‍රියාත්මක වූ සාම්ප්‍රදායික සංවර්ධන ක්‍රියාවලියේදී බිම් මට්ටමේ ජනතාවගේ සැබෑ හඬට සවන් නොදීම, ප්‍රජාවන් තීරණ ගැනීමේ බලධාරී ක්‍රියාවලීන්ගෙන් ක්‍රමානුකූලව ඉවත් කිරීම සහ සංවර්ධනය යන්න ඉහළ නිලධාරිවාදයේ සිට පහළට දැනුම්දෙන යාන්ත්‍රණයක් බවට පත් කිරීම මෙම අර්බුදයේ මූලිකම සහ යටිපෙළ හේතු සාධක ලෙස හඳුනාගත හැකිය.

මෙම ලිපියට පදනම් වන්නේ මා විසින් දිවයිනේ පළාත් නමයම ආවරණය වන පරිදි සිදු කරනු ලැබූ පර්යේෂණයක දත්ත පදනම් කර ගනිමින් මා විසින් ජාත්‍යන්තර පර්යේෂණ සඟරාවක් වන International Journal Research and Innovation හි පළ කල ශාස්ත්‍රීය ලේඛනයයි. එම පර්යේෂණය මගින් සංවර්ධන ක්‍රියාවලියේදී සන්නිවේදනය, රාජ්‍ය පාලනය සහ ප්‍රජා සහභාගිත්වය අතර පවතින අන්‍යෝන්‍ය සම්බන්ධතාවය ඉතා ගැඹුරින් විග්‍රහ කර ඇත. මෙම ලිපියේ මූලිකම අරමුණ වන්නේ බිම් මට්ටමේ ප්‍රජාවන්ගේ සැබෑ අත්දැකීම් සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ දෘෂ්ටිකෝණයන් එකට ඒකාබද්ධ කරමින්, ශ්‍රී ලංකාවේ සංවර්ධන මාවතේ පවතින පද්ධතිමය ගැටලුවලට සාර්ථක විසඳුම් ඉදිරිපත් කිරීමයි. විශේෂයෙන්ම "සහභාගිත්ව සන්නිවේදනය" (Participatory Communication) සහ "ජනතා සවිබල ගැන්වීම" (Community Empowerment) යන සංකල්පයන් සංවර්ධනයේ සැබෑ මධ්‍යයය වෙත ගෙන ඒම මගින්, වර්තමාන උභතෝකෝටිකයෙන් මිදී තිරසාර හා සාධාරණ සංවර්ධනයක් කරා රට මෙහෙයවිය හැක්කේ කෙසේද යන්න මෙහිදී සාකච්ඡා කෙරේ.


ශ්‍රී ලංකාවේ සංවර්ධන අර්බුදයේ බහුවිධ ස්වභාවය සහ හඳුනාගත් බාධක


ආර්ථික බිඳවැටීම සහ එහි සමාජීය සලකුණු


2022 වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික මන්දගාමිත්වය සහ බිඳවැටීම, මුළු මහත් දකුණු ආසියානු කලාපීය ඉතිහාසයේම මෑත කාලයකදී වාර්තා වූ දරුණුතම සහ ශෝචනීයම ආර්ථික අර්බුදයන්ගෙන් එකක් ලෙස ඉතිහාසගත වේ. දශක ගණනාවක් තිස්සේ එකතු වූ ව්‍යුහාත්මක ආර්ථික දෝෂ, අධික විදේශ ණය බර, විදේශ විනිමය සංචිත ශුන්‍ය තත්ත්වයට ක්ෂය වීම සහ අදූරදර්ශී මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් රටේ සමස්ත ආර්ථික පද්ධතියම බිඳ වැටුණි. මෙහි සෘජු ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන, ගෑස්, අත්‍යවශ්‍ය ඖෂධ සහ ආහාර ද්‍රව්‍යවල දරුණු හිඟයක් ඇති වූ අතර, දිනකට පැය ගණනාවක් පුරා සිදු වූ විදුලි කප්පාදුව සමස්ත ජන ජීවිතයම අඩාල කළේය.


මෙම තත්ත්වය හුදෙක් වියුක්ත ආර්ථික සංඛ්‍යාලේඛනවලට පමණක් සීමා වූවක් නොවේ. එය ජනතාව තුළ දැඩි සමාජීය ආතතියක්, දරාගත නොහැකි මානසික පීඩනයක් සහ පාලක තන්ත්‍රය කෙරෙහි දැඩි දේශපාලන අවිශ්වාසයක් වේගයෙන් වර්ධනය කිරීමට හේතු විය. භාණ්ඩ මිල අහස උසට නැගීම සහ උද්ධමනය හේතුවෙන් ජනතාවගේ සැබෑ ජීවන තත්ත්වය සහ ක්‍රය ශක්තිය (Purchasing Power) පෙර නොවූ විරූ ලෙස පහත වැටුණි.

දරිද්‍රතාවයේ ව්‍යාප්තිය සහ සමාජීය අසමානතාවය


පර්යේෂණ දත්ත මගින් අනාවරණය කරන ලද වඩාත්ම කණගාටුදායක සත්‍යය වන්නේ, 2023 වසර වන විට ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 31% ක් පමණ (එනම් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක්) දරිද්‍රතා රේඛාවට පහළින් දරුණු ලෙස පීඩා විඳිමින් ජීවත් වූ බවයි. වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය නම්, මෙසේ දරිද්‍රතාවයෙන් බැටකන ජනගහනයෙන් 80% ක්ම ජීවත් වූයේ මෙරට ග්‍රාමීය සහ වතුකර ප්‍රදේශවල වීමයි.
 
food poor 260506

ග්‍රාමීය ප්‍රජාවන් මෙතරම් දරුණු ලෙස පීඩාවට පත්වීමට හේතු වූ සාධක කිහිපයක් පර්යේෂණය තුළින් අනාවරණය විය:

• වෙළඳපල ප්‍රවේශය අහිමි වීම: ග්‍රාමීය ගොවීන්ට තමන්ගේ අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබා ගැනීමට හැකි සෘජු වෙළඳපල සම්බන්ධතා නොමැති වීම සහ අතරමැදියන් (තැරැව්කරුවන්) විසින් ඔවුන්ව සූරාකෑම.
• සුළු ව්‍යාපාර බිඳවැටීම: අමුද්‍රව්‍ය මිල ඉහළ යාම සහ ඉන්ධන/විදුලි අර්බුදය හේතුවෙන් ග්‍රාමීය මට්ටමේ පැවති ස්වයං රැකියා සහ සුළු පරිමාණ ව්‍යාපාර සම්පූර්ණයෙන්ම වැසී යාම.
• ආදායම් මාර්ග අහිමි වීම: රැකියා අවස්ථා සීඝ්‍රයෙන් සීමා වීම නිසා පවුල් රැසකගේ ස්ථිර ආදායම් මාර්ග මුළුමනින්ම අහිමි වී යාම.
 
මෙම බහුමාන දරිද්‍රතාවයේ ප්‍රතිඵලයක් ලෙස ග්‍රාමීය සමාජය තුළ බරපතළ දිගුකාලීන අර්බුද රැසක් නිර්මාණය විය. විශේෂයෙන්ම පාසල් වයසේ පසුවන දරුවන් අධ්‍යාපනය අතහැර කුලී වැඩවලට යොමු වීම (School Dropouts), ළදරු සහ මාතෘ පෝෂණ හිඟය ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ නිසි ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි වීමෙන් ග්‍රාමීය සෞඛ්‍ය ගැටලු උත්සන්න වීම ඒ අතර කැපී පෙනේ.

සාම්ප්‍රදායික සංවර්ධන සැලසුම්වල ව්‍යුහාත්මක අසාර්ථකත්වය


ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ බහුතරයක් සංවර්ධන ව්‍යාපෘති අසාර්ථක වීමට හෝ ඒවායේ ප්‍රතිලාභ ජනතාවට නොලැබී යාමට මූලිකම හේතුවක් වන්නේ, ඒවා සැලසුම් කරනු ලබන්නේ බිම් මට්ටමේ සැබෑ අවශ්‍යතා හඳුනාගෙන නොව, කොළඹ කේන්ද්‍ර කරගත් ඉහළ මට්ටමේ නිලධාරීන් සහ දේශපාලනඥයන් විසින් වීමයි. මෙම ක්‍රියාවලිය "ඉහළ සිට පහළට පනවන ලද සැලසුම්කරණය" (Top-Down Planning) ලෙස හඳුන්වයි.

ප්‍රජාවගේ සැබෑ සංස්කෘතික, භූගෝලීය සහ ආර්ථික අවශ්‍යතා පිළිබඳ කිසිදු ගැඹුරු අවබෝධයකින් හෝ බාහිරින් කරන ලද අදූරදර්ශී තක්සේරු කිරීම් මත පමණක් පදනම්ව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘති බොහෝ විට සුදු අලින් (White Elephants) බවට පත් වේ.

Screenshot 2026 07 11 124704

මෙම පරතරය නිසා, ව්‍යාපෘති සඳහා විශාල මුදලක් වැය කළද, බිම් මට්ටමේ මිනිසුන්ගේ ජීවන තත්ත්වයේ කිසිදු ගුණාත්මක වෙනසක් සිදු නොවේ.

සංවර්ධන ක්‍රියාවලිය සහ සන්නිවේදනය අතර පවතින අන්තර් සම්බන්ධතාවය

සන්නිවේදනය යනු සංවර්ධනයේ මූලික මෙවලමකි

නූතන සංවර්ධන විද්‍යාවට අනුව, සංවර්ධනය යනු හුදෙක් මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම, කොන්ක්‍රීට් ගොඩනැගිලි හැදීම හෝ මහා මාර්ග කාපට් කිරීම පමණක් නොවේ. සැබෑ සංවර්ධනය යනු මිනිසුන්ගේ අදහස්, සැබෑ ජීවන අවශ්‍යතා, සංස්කෘතික වටිනාකම් සහ අනාගත අභිලාෂයන් සමඟ සමීපව බද්ධ වූ මානුෂීය ක්‍රියාවලියකි. එම නිසා, ඕනෑම සාර්ථක සංවර්ධන ක්‍රියාවලියක මූලිකම සහ වෙන් කළ නොහැකි අංගය වන්නේ "සන්නිවේදනයයි".

ඵලදායී සහ ද්විමාන (Two-way) සන්නිවේදන ක්‍රියාවලියක් හරහා සංවර්ධන ක්‍රියාවලිය තුළ පහත සඳහන් ප්‍රතිඵල අත්කර ගත හැකිය:

• ජනතාවගේ සැබෑ අවශ්‍යතා නිවැරදිව හඳුනාගැනීම: බිම් මට්ටමේ මිනිසුන් පෙළෙන සැබෑ ගැටලු මොනවාදැයි ඔවුන්ගේම වචනයෙන් වටහා ගැනීමට අවස්ථාව ලැබීම.
• ප්‍රජාවන්ගේ සක්‍රීය සහභාගිත්වය වර්ධනය කිරීම: ව්‍යාපෘති තමන්ගේම කියා සිතන මානසිකත්වයක් (Sense of Ownership) ජනතාව තුළ ඇති කිරීම. 
• රාජ්‍ය පාලනයේ පාරදෘශ්‍යභාවය (Transparency) වැඩි කිරීම: ව්‍යාපෘතිවල තොරතුරු විවෘතව පැවතීම.
• වගවීම (Accountability) තහවුරු කිරීම: නිලධාරීන් සහ දේශපාලනඥයන් මහජනතාවට වගකීමට බැඳී සිටීම.
• ප්‍රජා සවිබල ගැන්වීම (Community Empowerment) සිදු කිරීම: තමන්ගේ ගැටලුවලට තමන්ටම විසඳුම් සෙවිය හැකිය යන ස්වයං විශ්වාසය ගොඩනැගීම.

එහෙත්, ශ්‍රී ලංකාවේ පවතින ඛේදවාචකය නම්, සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී සන්නිවේදනය යන්න මූලික උපායමාර්ගික අංගයක් ලෙස නොසලකා, එය හුදෙක් ව්‍යාපෘතිය අවසානයේ පවත්වන උත්සව හෝ ප්‍රචාරණ කටයුතුවලට පමණක් සීමා වූ බාහිර හෝ "අමතර අංගයක්" (Marginal Element) ලෙස සැලකීමයි.

ඉහළ සිට පහළට යන සංවර්ධන ආකෘතියේ (Top-Down Model) අර්බුදය


ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වන ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති සියල්ලම පාහේ හැඩගැසී ඇත්තේ බටහිර පන්නයේ "Top-Down" හෙවත් ඉහළ සිට පහළට විධාන ගලායන ආකෘතියක් යටතේය. මෙහිදී සියලුම ප්‍රතිපත්තිමය තීරණ, ප්‍රතිපාදන වෙන්කිරීම් සහ ව්‍යාපෘති සැලසුම් ඉහළ මට්ටමේ පාලන තන්ත්‍රය තුළ සිදුවන අතර,( දේශපාලඥයින්, නිලධාරීන් සහ විශේෂඥයින්) ඉලක්ක ගත ප්‍රතිලාභීන්ට බිම් මට්ටමේ ප්‍රජාවන්ට සිදුවන්නේ එම තීරණ කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව නිකම්ම පිළිපැදීමට හෝ භාරගැනීමට පමණි.

මෙම ආකෘතිය තුළ පවතින ප්‍රධානතම ව්‍යුහාත්මක ගැටලු පර්යේෂණය මගින් මනාව වර්ගීකරණය කර ඇත:

1. ජනතාවගේ සැබෑ අවශ්‍යතා නොසලකා හැරීම: ප්‍රදේශයට අනවශ්‍ය, ප්‍රජාව ඉල්ලා නොසිටි ව්‍යාපෘති බලහත්කාරයෙන් ක්‍රියාත්මක කිරීම.
2. ප්‍රජාවගේ අදහස්වලට ඉඩ නොදීම: ක්ෂේත්‍ර නිලධාරීන් හෝ ප්‍රතිපත්ති සම්පාදකයින් බිම් මට්ටමේ මිනිසුන් සමඟ කිසිදු අර්ථාන්විත හෝ සාකච්ඡාමය සංවාදයක නිරත නොවීම.
3. සංස්කෘතික පසුබිම සහ දේශීය දැනුම තේරුම් නොගැනීම: ශතවර්ෂ ගණනාවක් තිස්සේ ග්‍රාමීය සමාජය සතු දේශීය ප්‍රඥාව සහ සංස්කෘතික වටිනාකම් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීම.
4. ප්‍රාදේශීය සහ ව්‍යුහාත්මක ගැටලු නිවැරදිව හඳුනා නොගැනීම: එක් එක් පළාතට හෝ ගමකට ආවේණික වූ සුවිශේෂී භූගෝලීය සහ සමාජීය ගැටලු හඳුනා ගැනීමට අපොහොසත් වීම.
5. ව්‍යාපෘතිවලට ප්‍රජා අයිතිය (Community Ownership) නොමැති වීම: ව්‍යාපෘතිය තමන්ගේ එකක් නොවේ යන හැඟීම නිසා, රාජ්‍ය නොවන සංවිධාන හෝ රජය ඉවත් වූ සැනින් එම ව්‍යාපෘති අතහැර දැමීමට ජනතාව පෙළඹීම.
 
Sri Lanka Roads Feature 1
මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ, මිලියන ගණන් මුදල් වැය කර ව්‍යාපෘති අවසන් කර කෙටි කලක් යන්නට මත්තෙන්, ප්‍රතිලාභ ලැබූ ජනතාව නැවතත් තමන් සිටි පැරණි අසරණ දරිද්‍රතා තත්ත්වයටම ඇද වැටීමයි.

ග්‍රාමීය ප්‍රජාවන් මුහුණ දෙන සන්නිවේදන බාධක සහ සමාජ-සංස්කෘතික ගතිකයන්

සංස්කෘතික සහ ආගමික විශ්වාසයන්හි බලපෑම
 
 ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සමාජය තුළ පවතින ඇතැම් සාම්ප්‍රදායික ආකල්ප සහ ආගමික විශ්වාස ද සංවර්ධන සන්නිවේදනයට බරපතළ බාධාවක් වී ඇති බව පර්යේෂණයේදී හෙළි විය. ඇතැම් ග්‍රාමීය ප්‍රජාවන් තමන් මුහුණ දෙන අන්ත දරිද්‍රතාවය, ආර්ථික පීඩනය හෝ අසාධාරණ ජීවන තත්ත්වයන් තමන්ගේ "දෛවය" (Fate) හෝ පෙර කරන ලද "කර්මය" මත තීරණය වූ, වෙනස් කළ නොහැකි දෙයක් ලෙස අකර්මන්‍යව සලකති.

මෙවැනි පරාජිත ආකල්ප නිසා ඔවුන් සංවර්ධන ක්‍රියාවලීන්ට සක්‍රීයව, නිර්මාණශීලීව හෝ දේශපාලනිකව සහභාගී වීමට දැඩි මැලි කමක් දක්වයි. මෙම ආකල්පමය බාධාවන් සංවර්ධනයට බලපාන්නේ පහත පරිදිය:

• ස්වයං විශ්වාසය (Self-confidence) අඩුවීම: තමන්ට තමන්ගේ ජීවිතය වෙනස් කරගත හැකිය යන විශ්වාසය බිඳ වැටීම.
• ගැටලු පිළිබඳ විවෘත සංවාදයක් නොමැති වීම: පවතින සමාජ ආර්ථික ප්‍රශ්න දෛවයට බාර දී නිශ්ශබ්දව සිටීම.
• නව සහ විද්‍යාත්මක අදහස් පිළිගැනීමට ඇති අකමැත්ත: සාම්ප්‍රදායික රාමුවෙන් මිදීමට බියක් දැක්වීම.
• තීරණ ගැනීමේදී ප්‍රභූ පිරිසක් පමණක් බලවත් වීම: ගමේ සිටින සාම්ප්‍රදායික ප්‍රභූන් පිරිසක් පමණක් තීරණ ගැනීම සහ සෙසු අය නිශ්ක්‍රීය අනුගාමිකයන් වීම.
• රජය, නිලධාරීන්, දේශපාලඥයින් සහ විශේෂඥයින් පිළිබඳ විශ්වාසයක් නොමැති වීම

පවුල් ව්‍යුහයන්, ධුරාවලිය සහ සමාජීය පීඩනය


ග්‍රාමීය පවුල් සහ සමාජ ව්‍යුහය තුළ තවමත් දැඩිව පවතින පීතෘමූලික සහ ධුරාවලික (Hierarchical Structures) ස්වභාවය නිසා, සමාජයේ වඩාත්ම ගතික කොටස් වන තරුණයන් සහ කාන්තාවන්ගේ අදහස් මෙන්ම හඬ බොහෝ විට පවුල තුළ මෙන්ම සමාජය තුළ ද නොසලකා හැරේ.
 
woman 251022

විශේෂයෙන්ම ග්‍රාමීය කාන්තාවන් මුහුණ දෙන සන්නිවේදන සහ ආර්ථික සීමාවන් පර්යේෂණය මගින් පෙන්වා දෙයි:

1. ආර්ථික තීරණ ගැනීමේ අවස්ථා අවම වීම: පවුලේ හෝ ව්‍යාපාරවල මූල්‍යමය තීරණ ගැනීමේ ඒකාධිකාරය පිරිමින් සතු වීම.
2. ප්‍රජා රැස්වීම්වලදී කතා කිරීමට ඇති අවස්ථා සීමිත වීම: පොදු රැස්වීම්වලට සහභාගී වුවද, පවතින අධිපතිවාදය, සමාජීය පීඩනය සහ ලැජ්ජාව නිසා තමන්ගේ සැබෑ ප්‍රශ්න විවෘතව ප්‍රකාශ කිරීමට කාන්තාවන්ට සහ තරුණ තරුණියන්ට අවස්ථාව නොලැබීම.
3. මූල්‍ය සම්පත් පාලනය කිරීමේ බලය නොමැති වීම: ශ්‍රමයෙන් දායක වුවද, ආදායම් පාලනය තමන් සතු නොවීම.

මෙම තත්ත්වය සමස්ත ග්‍රාමීය කාන්තා සහ තරුණ පරපුරේ සමාජීය, මානසික සහ ආර්ථික සවිබල ගැන්වීම (Empowerment) මුළුමනින්ම අඩාල කිරීමට හේතු වේ.

ඩිජිටල් පරතරය (Digital Divide)


නූතන ගෝලීයකරණය තුළ ඩිජිටල් තාක්ෂණය සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණය (ICT) නව සංවර්ධන අවස්ථා රැසක් උදාකර දෙන බව සැබවි. එහෙත් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සහ නාගරික ප්‍රදේශ අතර පවතින බරපතළ "ඩිජිටල් පරතරය" හේතුවෙන් ග්‍රාමීය ජනතාවට එම තාක්ෂණික අවස්ථා ලබාගැනීමේ හැකියාව අතිශයින්ම සීමිතය.

ග්‍රාමීය ප්‍රදේශවල පවතින දුර්වල අන්තර්ජාල ප්‍රවේශය (Connectivity), ඩිජිටල් සාක්ෂරතාවය (Digital Literacy) බිම් මට්ටමින් නොමැති වීම සහ ස්මාර්ට් ජංගම දුරකථන හෝ පරිගණක වැනි තාක්ෂණික උපකරණවල මිල අධික වීම නිසා ග්‍රාමීය ජනතාව, විශේෂයෙන්ම ගොවීන් සහ සුළු ව්‍යාපාරිකයන්, නූතන ඩිජිටල් ආර්ථික ක්‍රියාවලීන්ගෙන් සහ වෙළඳපල අවස්ථාවන්ගෙන් කොන් වී පසුබැසී සිටිති.
 
දූෂණය, පාලන ගැටලු සහ පාරදෘශ්‍යභාවය නොමැති වීම
ප්‍රතිලාභීන් තේරීමේ පක්ෂග්‍රාහීත්වය සහ දේශපාලනීකරණය

සංවර්ධන ව්‍යාපෘති බිම් මට්ටමේදී අසාර්ථක වීමට බලපාන තවත් ප්‍රධානතම ආයතනික සහ ව්‍යුහාත්මක දුර්වලතාවයක් වන්නේ දූෂණය සහ පක්ෂග්‍රාහීත්වයයි. පර්යේෂණයට අනුව, විවිධ සහනාධාර හෝ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභීන් (Beneficiaries) තෝරා ගැනීමේදී විද්‍යාත්මක හෝ අවශ්‍යතා පදනම් කරගත් ක්‍රමවේදයන් වෙනුවට දේශපාලන බලපෑම්, පක්ෂපාතීත්වය ජනමත ප්‍රධානීන්ගේ සහ ප්‍රාදේශීය දේශපාලන නායකයින්ගේ අභිමතය පරිදි කටයුතු කිරීම බහුලව සිදු වේ.

මෙහි ප්‍රතිඵලයක් ලෙස:

• සැබෑ ලෙසම අන්ත අසරණ වූ, ආර්ථිකව මායිම්ගත වූ සහ අවශ්‍යතා ඇති පවුල්වලට ව්‍යාපෘතිවල ප්‍රතිලාභ නොලැබී යයි.
• සමාජය තුළ දේශපාලන පක්ෂග්‍රාහීත්වය සහ එකිනෙකා කෙරෙහි වෛරය, ක්‍රෝධය වර්ධනය වේ.
• රාජ්‍ය යාන්ත්‍රණය සහ සංවර්ධන නිලධාරීන් කෙරෙහි ජනතාව තුළ පවතින විශ්වාසය මුළුමනින්ම බිඳ වැටේ.
• සමස්ත සංවර්ධන ක්‍රියාවලියම සදාචාරාත්මකව සහ ප්‍රායෝගිකව දූෂිත එකක් බවට පත් වේ.

තොරතුරු සන්නිවේදන සහ පාරදෘශ්‍යභාවය අහිමි වීම
 
money 250531
ව්‍යාපෘතිවල මුදල් භාවිතය, ප්‍රතිපාදන වෙන් කිරීම්, තීරණ ගන්නා ආකාරය සහ ඒවායේ සැබෑ ප්‍රගතිය (Progress) පිළිබඳ කිසිදු නිල තොරතුරක් මහජනතාවට විවෘතව ලබා නොදීම ශ්‍රී ලංකාවේ පවතින බරපතළම පාලන ගැටලුවකි. ව්‍යාපෘති අධීක්ෂණය (Monitoring) බොහෝ විට ඉහළ නිලධාරීන් සතුටු කරන ව්‍යාජ ලිඛිත වාර්තාවලට පමණක් සීමා වන අතර, එහිදී ප්‍රතිලාභීන්ගේ සැබෑ මැදිහත්වීමක් සිදු නොවේ.

නූතන මාධ්‍ය සහ සන්නිවේදන වේදිකා මේ සඳහා නිසි ලෙස භාවිත නොකිරීම නිසා:

1. ජනතාවට ප්‍රගතිය පිළිබඳ අවබෝධයක් නැත: තමන්ගේ ප්‍රදේශයේ සිදුවන සංවර්ධන කටයුතු සඳහා කොපමණ මුදලක් වැය වන්නේදැයි ජනතාව නොදනී.
2. දූෂණය හඳුනාගැනීමට අපහසුය: තොරතුරු රහසිගතව තබා ගැනීම නිසා මූල්‍ය වංචා සහ දූෂණ සොයාගැනීමට මහජනතාවට ඇති ඉඩකඩ අහිමි වේ.
3. වගවීම සම්පූර්ණයෙන්ම අඩුවේ: නිලධාරීන් ජනතාවට වගකීමට බැඳී නොසිටින තත්ත්වයක් නිර්මාණය වේ.

රාජ්‍ය නොවන සංවිධාන (NGOs) සහ සිවිල් සමාජයේ (CSOs) භූමිකාව


රජයේ සාම්ප්‍රදායික නිලධාරිවාදී සහ ඉහළ සිට පහළට යන සංවර්ධන ආකෘතියේ පවතින හිඩැස් පියවීම සඳහා මෙරට ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සමාජ සංවිධාන බිම් මට්ටමේදී සුවිශේෂී සහ ප්‍රශංසනීය කාර්යභාරයක් ඉටු කර ඇත.

 සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සහ ප්‍රජා සවිබල ගැන්වීම

දීර්ඝ ඉතිහාසයක් ඇති සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය, ග්‍රාමීය ප්‍රජාවන් ආත්මීය සහ භෞතික වශයෙන් සවිබල ගැන්වීම සඳහා ආදර්ශමත් සන්නිවේදන සහ සංවර්ධන ආකෘතියක් භාවිත කරයි. ඔවුන් හුදෙක් ආධාර දීම වෙනුවට ජනතාවගේ සක්‍රීය සහභාගිත්වය (Community Participation) පෙරදැරි කරගෙන ක්‍රියාත්මක වේ.

සර්වෝදය ව්‍යාපාරය ප්‍රධාන වශයෙන් පහත සඳහන් ක්ෂේත්‍රවල සේවය කරයි:


• ස්වයං රැකියා පුහුණුව: ග්‍රාමීය තරුණ තරුණියන්ට ප්‍රායෝගික වෘත්තීය දැනුම ලබා දීම.
• කුඩා ණය වැඩසටහන් (Micro-credit): බැංකු පහසුකම් නොමැති අය සඳහා සහනදායී මූල්‍ය ප්‍රතිපාදන සැපයීම.
• සෞඛ්‍ය සහ ප්‍රජා අධ්‍යාපන වැඩසටහන්: බිම් මට්ටමේ සනීපාරක්ෂාව සහ මූලික අධ්‍යාපනය නංවාලීම.
• කාන්තා සවිබල ගැන්වීම: කාන්තාවන් නායකත්ව භූමිකාවලට පුහුණු කිරීම.

පර්යේෂණයට අනුව, සර්වෝදය වැනි සිවිල් සංවිධානවල පවතින සුවිශේෂී වැදගත්කම සහ සාර්ථකත්වය සඳහා සාධක 4ක් බලපායි:

Screenshot 2026 07 11 133242
එබැවින්, රජය සහ මෙම රාජ්‍ය නොවන සංවිධාන අතර ශක්තිමත් සහ අනෝන්‍ය සහයෝගීතාවයක් (State-NGO Cooperation) ඇති කිරීම තුළින් ජාතික මට්ටමේ සම්පත් සහ බිම් මට්ටමේ විශේෂඥ දැනුම සහ අත්දැකීම් මැනවින් හුවමාරු කර ගත හැකිය.

මූල්‍ය සාක්ෂරතාවය (Financial Literacy) සහ ග්‍රාමීය ණය උගුල්
ක්ෂුද්‍ර මූල්‍ය (Microfinance) ව්‍යසනය
 
ග්‍රාමීය සමාජය අද වන විට මුහුණ දෙන දරුණුතම ආර්ථික සහ සමාජයීය ඛේදවාචකයක් වන්නේ ඔවුන් පාලනයකින් තොරව ක්‍රියාත්මක වන ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුල්වල (Microfinance Debt Traps) සිරවීමයි. බොහෝ ග්‍රාමීය පවුල්, විශේෂයෙන්ම කාන්තාවන්, ඉතා පහසුවෙන් ලබාගත හැකි මෙවැනි ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගන්නේ කිසිදු මූල්‍ය කළමනාකරණ දැනුමක් නොමැතිවය.
මෙම පර්යේෂණ මගින් ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රියාවලියේ පවතින බිහිසුණු ප්‍රතිඵල දාමයක් අනාවරණය කරයි:

1. ණය මුදල් අනිසි ලෙස භාවිත වීම: ලබාගන්නා ණය මුදල් කිසිදු ආදායම් උත්පාදනය වන ව්‍යාපාරයක ආයෝජනය නොකර, එදිනෙදා ආහාර පාන සහ දෛනික පරිභෝජන වියදම් සඳහා යොදා ගැනීම.
2. ආදායම් උත්පාදනය නොවීම: ස්ථිර ආදායම් මාර්ගයක් අලුතින් නිර්මාණය නොවීම.
3. ණය ආපසු ගෙවීමට නොහැකි වීම: අධික පොලී අනුපාත හමුවේ වාරික ගෙවීමට අපොහොසත් වීම.
4. ණය උගුල්වල දරුණු ලෙස සිරවීම: එකී ණය වාරික ගෙවීම සඳහා තවත් ආයතනයකින් නැවත ණය ගැනීම නිසා අවසානයේ පවුල් පිටින් අන්ත අසරණ භාවයට පත් වීම.

 මූල්‍ය අධ්‍යාපනයේ සහ සන්නිවේදනයේ දැඩි අවශ්‍යතාව
 
 
Loan
 
මෙම ණය උගුල්වලින් ග්‍රාමීය ප්‍රජාව මුදවාගෙන ඔවුන් මූල්‍යමය වශයෙන් ස්වාධීන කිරීමට නම්, සන්නිවේදන උපායමාර්ග භාවිත කරමින් ඔවුන්ට ක්‍රමානුකූල "මූල්‍ය අධ්‍යාපනයක්" (Financial Education) ලබා දීම අත්‍යවශ්‍ය වේ.

ප්‍රජාවන්ට පහත සඳහන් කරුණු පිළිබඳව ප්‍රායෝගික පුහුණුව සහ දැනුවත් කිරීම් අඛණ්ඩව ලබා දිය යුතුය:
• ක්‍රමානුකූල ඉතිරිකිරීම (Savings): අනාගත ආපදාවන් සඳහා මුදල් ඉතිරි කරන ආකාරය.
• නිවැරදි ආයෝජනය (Investment): ඵලදායී ක්ෂේත්‍රයන්හි මුදල් යෙදවීම.
• ප්‍රායෝගික ව්‍යාපාර කළමනාකරණය: කුඩා පරිමාණ ව්‍යාපාරයක ලාභ අලාභ ගණනය කරන ආකාරය.
• ණයවල ඵලදායී භාවිතය: ණය ගත යුත්තේ පරිභෝජනයට නොව නිෂ්පාදනයට පමණක් බව වටහා දීම.
• වෙළඳපල ගතිකයන් පිළිබඳ අවබෝධය: මිල උච්චාවචනයන් පිළිබඳව දැනුවත් කිරීම.

සාකල්‍ය (Holistic) සෞඛ්‍ය, පෝෂණය සහ මානසික සෞඛ්‍ය ගැටලු

සංවර්ධනය යන්න හුදෙක් භෞතික සම්පත් මත පමණක් තක්සේරු නොකර, මිනිසාගේ කායික සහ මානසික සුවතාවය ද ඊට අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතුය යන සාකල්‍ය (Holistic) ප්‍රවේශය මෙම අධ්‍යයනය තුළ දැඩිව අවධාරණය කරයි.
 
පෝෂණ ඌණතාවය සහ එහි දිගුකාලීන බලපෑම

වත්මන් ආර්ථික පීඩනය හමුවේ අඩු ආදායම්ලාභී සහ ග්‍රාමීය පවුල්වලට පෝෂණවත් හා සමබර ආහාර වේලක් (Balanced Diet) ලබා ගැනීමට ඇති හැකියාව මුළුමනින්ම අහිමි වී ඇත. මෙම තත්ත්වය රටේ අනාගත පරපුර වන දරුවන් කෙරෙහි ඉතා අහිතකර ලෙස බලපායි.

දරුවන්ගේ පෝෂණ හිඟය නිසා බලපෑමට ලක්වන ප්‍රධාන ක්ෂේත්‍ර තුනක් පර්යේෂණය පෙන්වා දෙයි:
• කායික වර්ධනය අඩාල වීම (Stunting and Wasting): දරුවන්ගේ නිසි ශාරීරික වර්ධනයක් සිදු නොවීම.
• අධ්‍යාපන කාර්යසාධනය (Academic Performance) පහත වැටීම: මන්දපෝෂණය නිසා දරුවන්ගේ ධාරණ ශක්තිය සහ ඉගෙනීමේ හැකියාව දුර්වල වීම.
• සමස්ත ශාරීරික සෞඛ්‍යය පිරිහීම: ලෙඩ රෝගවලට ගොදුරු වීමේ ප්‍රවණතාව ඉහළ යාම.

මෙය දිගුකාලීනව රටේ මානව ප්‍රාග්ධනය (Human Capital) සංවර්ධනය අඩාල කරන බරපතළ තත්ත්වයකි.
 
මානසික සෞඛ්‍ය (Mental Health) අර්බුදය සහ සමාජ අපහාසය
 
depression gq 7aug18 istock b

දරාගත නොහැකි ආර්ථික පීඩනය, අවසානයක් නොමැති ණය බර සහ හදිසියේ රැකියා , ආදායම් මාර්ග අහිමි වීම නිසා මෙරට ග්‍රාමීය ජනගහනයෙන් විශාල ප්‍රතිශතයක් දරුණු ලෙස මානසික ආතතියට (Stress and Depression) ගොදුරු වී සිටිති. එහෙත්, ශ්‍රී ලාංකීය ග්‍රාමීය සමාජ සන්දර්භය තුළ මානසික සෞඛ්‍යය පිළිබඳ පවතින්නේ ඉතාම පසුගාමී ආකල්පයකි.

ග්‍රාමීය ප්‍රදේශවල පවතින ප්‍රධාන ගැටලු තුනකි:

1. මානසික සෞඛ්‍ය සේවා අතිශයින්ම සීමිත වීම: ගම්බද රෝහල්වල උපදෙස් දීමේ (Counseling) හෝ මනෝ වෛද්‍ය පහසුකම් නොමැති වීම.
2. විවෘත සංවාදයක් නොමැති වීම: මානසික ලෙඩ රෝග හෝ ආතතිය පිළිබඳව පවුල තුළ හෝ සමාජය තුළ කතා කිරීමට බියක් දැක්වීම.
3. සමාජ අපහාසය (Social Stigma): මානසික සෞඛ්‍ය සායනයකින් සහාය ලබාගන්නා පුද්ගලයින් දෙස සමාජය වැරදි සහ අපහාසාත්මක දෘෂ්ටියකින් බැලීම නිසා මිනිසුන් රහසින් පීඩා විඳීම.
එබැවින්, ප්‍රජා මාධ්‍ය සහ සන්නිවේදන උපායමාර්ග භාවිත කරමින් සෞඛ්‍ය සම්පන්න ජීවන රටා සහ මානසික සෞඛ්‍ය පිළිබඳ විවෘත අධ්‍යාපනයක් බිම් මට්ටමට ලබා දීම අත්‍යවශ්‍ය වේ.
 
ජනතා සවිබල ගැන්වීමේ න්‍යායාත්මක පදනම් සහ සන්නිවේදනයේ භූමිකාව

සංවර්ධන අර්බුදයෙන් මිදීම සඳහා යෝජනා කරනු ලබන විකල්ප මාර්ග තේරුම් ගැනීමට නම්, "ජනතා සවිබල ගැන්වීම" (People Empowerment) පිළිබඳ පවතින ප්‍රමුඛ පෙළේ න්‍යායාත්මක ප්‍රවේශයන් තුනක් (03) අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍ය වේ.
 
පවුලෝ ෆ්‍රෙයර් විමුක්ති අධ්‍යාපන න්‍යාය (Paulo Freire: Pedagogy of the Oppressed)

බ්‍රසීලියානු අධ්‍යාපනඥ පවුලෝ ෆ්‍රෙයර්ගේ මෙම න්‍යාය පෙන්වා දෙන්නේ, සමාජයක පීඩාවට පත් ජනතාව (The Oppressed) ඉන් මුදවා ගැනීමට නම්, ඔවුන්ට තමන් ජීවත් වන වටපිටාව සහ තමන්ව පීඩාවට පත් කර ඇති ව්‍යුහාත්මක සාධක පිළිබඳව "විවේචනාත්මක අවබෝධයක්" (Critical Consciousness / Conscientization) ලබා දිය යුතු බවයි.
 
ෆ්‍රෙයර්ගේ න්‍යායේ මූලික ලක්ෂණ:

• මිනිසුන් යනු අධ්‍යාපනයේ හෝ සංවර්ධනයේ  "නිශ්ක්‍රීය ලබන්නන්" (Passive Receivers) නොවිය යුතුය.
• ඔවුන් බලධාරීන් සමඟ මෙන්ම තමන් අතර ද සමාන අයිතිවාසිකම් සහිතව "සංවාදයේ" (Dialogue) නිරත වෙමින් නව දැනුම ස්වයංව නිර්මාණය කළ යුතුය.
• සමාජයේ පවතින අසාධාරණතා සහ දූෂණය පිළිබඳව විවේචනාත්මකව ප්‍රශ්න කිරීමට ඔවුන්ට හැකියාව තිබිය යුතුය.
 
සන්නිවේදනයේ භූමිකාව

ෆ්‍රෙයර්ගේ ප්‍රවේශයට අනුව සන්නිවේදනය යනු හුදෙක් ඉහළ සිට පහළට තොරතුරු හෝ නියෝග සම්ප්‍රේෂණ කිරීම (Information Dumping) නොවේ. එය ජනතාව අතර සම මට්ටමේ සංවාදයක් ගොඩනැගීමයි. මෙම "සංවාදාත්මක සන්නිවේදනය" (Dialogic Communication) හරහා ජනතාව තමන්ගේ සැබෑ ගැටලු ස්වයංව හඳුනාගෙන, ඒවාට හේතු විද්‍යාත්මකව තේරුම් ගෙන, අවසානයේ එකමුතුව සාමූහික විසඳුම් සොයා ගැනීමට පෙළඹෙති.
 
උදාහරණයක් ලෙස: ග්‍රාමීය කාන්තාවන් මුහුණ දෙන ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලුව පිළිබඳව වැඩමුළුවක් පවත්වන විට, ඉහළ නිලධාරියෙකු පැමිණ ඔවුන්ට හුදෙක් උපදෙස් හෝ නියෝග ලබා දීම වෙනුවට, කාන්තාවන්ට තමන්ගේ පෞද්ගලික අත්දැකීම් සහ දුක්ගැනවිලි විවෘතව සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දීම සැබෑ ෆ්‍රෙයර්වාදී සංවාදාත්මක ප්‍රවේශයකි.
  
අමත්‍ය සෙන්ගේ හැකියාවන්ගේ න්‍යාය (Amartya Sen: Capability Approach)

නොබෙල් ලාභී ආර්ථික විද්‍යාඥ අමත්‍ය සෙන් පෙන්වා දෙන්නේ, සැබෑ සංවර්ධනය යනු රටක දළ දේශීය වර්ධනය (GDP) වර්ධනය පමණක් නොව, එම රටේ ජීවත් වන සාමාන්‍ය ජනතාවගේ "හැකියාවන්" (Capabilities) සහ ඔවුන් සතු සැබෑ "නිදහස" (Freedom) පුළුල් කිරීම බවයි.
 
ජනතාවට තමන් කැමති, තමන්ට අභිමානයක් ගෙන දෙන ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය මූලික නිදහස, ස්වාධීන තීරණ ගැනීමේ හැකියාව සහ විවිධ සමාජ ආර්ථික අවස්ථා වෙත ප්‍රවේශය ලබා දීම සංවර්ධනයේ එකම අරමුණ විය යුතුය.

අමර්ත්‍යා සෙන්ට අනුව, දරිද්‍රතාවය (Poverty) යනු හුදෙක් මුදල් හෝ ආදායම් හිඟකම පමණක් නොවේ. එය බහුවිධ සහ බහුමාන (Multidimensional) හිඟකමකි:
             
Screenshot 2026 07 11 134130
සන්නිවේදනයේ භූමිකාව


සන්නිවේදන කුසලතා වලින් ජනතාව බලගැන්වීම මඟින් ඔවුන්ගේ සක්‍රීය සහභාගීත්වය ඉහළ නැංවිය හැකිය.මෙහිදී සන්නිවේදනය විසින් ජනතාවට අත්‍යවශ්‍ය නිල තොරතුරු නිවැරදි වේලාවට ලබා දෙයි, නව ආර්ථික අවස්ථා පිළිබඳව ඔවුන්ව දැනුවත් කරයි, ඔවුන්ගේ මූලික මානව හිමිකම් පිළිබඳ අවබෝධය වර්ධනය කරයි සහ රාජ්‍ය පාලනය තුළ ඔවුන්ගේ දේශපාලන සහභාගිත්වය සක්‍රීයව ඉහළ නංවයි. සන්නිවේදන හැකියාවන් වර්ධනය වේ.
 
ප්‍රායෝගික උදාහරණ:  * ග්‍රාමීය ගොවීන්ට අතරමැදියන්ගෙන් තොරව තමන්ගේ ජංගම දුරකථන වෙත සෘජු වෙළඳපල මිල ගණන් පිළිබඳ SMS සේවාවන් ලබා දීම ; ග්‍රාමීය කාන්තාවන්ට ප්‍රායෝගික සෞඛ්‍ය සහ පෝෂණ තොරතුරු සන්නිවේදනය කිරීම ; තරුණ පරපුරට ගෝලීය රැකියා අවස්ථා සඳහා ඩිජිටල් අධ්‍යාපනය සහ තාක්ෂණික කුසලතා ලබා දීම;  සංවර්ධන ප්‍රතිලාභීන් තම ගැටළු, විකල්ප විසඳුම්, සැලසුම් සහ නිරීක්ෂණ ඉදිරිපත් කිරීමේ සන්නිවේදන හැකියාවක් ලබා ගැනීම.
මෙම සියලු සන්නිවේදන ක්‍රියාවන් මිනිසුන්ගේ සැබෑ "හැකියාවන්" වර්ධනය කරමින් ඔවුන්ව සවිබල ගන්වයි.
 
සහභාගිත්ව සන්නිවේදන න්‍යාය (Participatory Communication Theory)

සහභාගිත්ව සන්නිවේදන න්‍යාය මගින් දැඩිව අවධාරණය කරනු ලබන්නේ, සංවර්ධන ක්‍රියාවලියක සාර්ථකත්වය රඳා පවතින්නේ බිම් මට්ටමේ ජනතාව එහි සක්‍රීය සහ සැබෑ කොටස්කරුවන් බවට පත්වන ප්‍රමාණය මත පමණක් බවයි. මෙම න්‍යායට අනුව ජනතාව යනු බාහිරින් දෙන ප්‍රතිලාභ නිකම්ම බලා සිට ලබාගන්නා "ප්‍රතිලාභීන්" (Passive Beneficiaries) පමණක් නොවේ; ඔවුන් ව්‍යාපෘතියේ ආරම්භයේ සිට අවසානය දක්වා සමස්ත තීරණ ගැනීමේ සහ ක්‍රියාත්මක කිරීමේ, අධීක්ෂණයේ සහ ඇගයීමේ  ක්‍රියාවලියේ සැබෑ "කොටස්කරුවන්" (Partners) පාර්ශවකරුවන් ලෙස කත්‍රීයව සහභාගී විය යුතුය.

සහභාගිත්ව සන්නිවේදන න්‍යායේ ප්‍රධානතම සන්ධිස්ථාන පහක් පර්යේෂණය හඳුනා ගනී:

1. අර්ථාන්විත සංවාදය (Dialogue): නිලධාරීන් සහ ප්‍රජාව අතර පවතින ද්විමාන අඛණ්ඩ සන්නිවේදනය.
2. පූර්ණ සහභාගිත්වය (Participation): සෑම තීරණයකදීම ජනමතයට ඉඩ දීම.
3. ප්‍රජා අයිතිය (Community Ownership): ව්‍යාපෘතිය තමන්ගේ එකක් ලෙස රැකබලා ගැනීම.
4. බලය සමානව බෙදාගැනීම (Power Sharing): නිලධාරිවාදී ඒකාධිකාරයෙන් මිදී තීරණ ගැනීමේ බලය බිම් මට්ටමට විමධ්‍යගත කිරීම.
5. දේශීය ඥානයට සහ සංස්කෘතියට ගරු කිරීම (Respect for Local Knowledge): ගැමි ප්‍රඥාව අවතක්සේරු නොකිරීම.
 
සහභාගිත්ව සන්නිවේදනය: ශ්‍රී ලංකාව සඳහා විකල්ප සහ ප්‍රයෝගික විසඳුමක්

වත්මන් සංවර්ධන අර්බුදයෙන් මිදීම සඳහා සාම්ප්‍රදායික ආකෘතිවලින් බැහැර වූ, සන්නිවේදනය කේන්ද්‍ර කරගත් ප්‍රායෝගික විසඳුම් කිහිපයක් පර්යේෂණ දත්ත ඇසුරින් යෝජනා කෙරේ.
 
ප්‍රජාව සංවර්ධනයේ මධ්‍යය වෙත ගෙන ඒම

සංවර්ධන ව්‍යාපෘතියක් සාර්ථක සහ තිරසාර වීමට නම්, ප්‍රජාව (Community) එහි පර්යන්තයේ තබනු වෙනුවට සමස්ත ක්‍රියාවලියේ සැබෑ මධ්‍යය (Center) වෙත ගෙන ආ යුතුය.
 
ඒ සඳහා පහත සඳහන් ප්‍රතිසංස්කරණ ව්‍යුහාත්මකව සිදු කළ යුතුය:
• සැලසුම් කිරීමේදී ජනතාව සම්බන්ධ කර ගැනීම: ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පෙර ගමේ ප්‍රජාව සමඟ එක්ව අවශ්‍යතා විශ්ලේෂණය කිරීම (Participatory Rural Appraisal - PRA).
• තීරණ ගැනීමේදී ප්‍රජා අදහස් ලබා ගැනීම: බාහිර නිලධාරීන්ගේ අභිමතයට වඩා ගමේ පොදු ජනමතයට ප්‍රමුඛතාවය දීම.
• නිවැරදි ප්‍රතිපෝෂණ පද්ධති (Feedback Systems) ඇති කිරීම: ව්‍යාපෘතියේ අඩුපාඩු සහ සිදුවන දූෂණ පිළිබඳව ජනතාවට ක්ෂණිකව ඉහළ බලධාරීන්ට පැමිණිලි කිරීමට ඩිජිටල් හෝ භෞතික මාර්ග සැකසීම.
• ව්‍යාපෘති ඇගයීමේදී (Evaluation) සෘජු ප්‍රජා සහභාගීත්වය ලබා ගැනීම: ව්‍යාපෘතිය අවසානයේ එයින් සැබෑ සෙතක් වුණේ දැයි තක්සේරු කිරීමේ බලය ජනතාවට දීම.
 
පෙර පැවති "ගැමිදිරිය" වැනි ව්‍යාපෘති මගින් තීරණ ගැනීමේ බලය යම් දුරකට ප්‍රජාවට ලබා දීමට උත්සාහ කළද, බිම් මට්ටමේ පැවති දුර්වල සන්නිවේදන කුසලතා සහ අභ්‍යන්තර සමාජ ගැටලු නිසා එහි සාර්ථකත්වය සීමිත විය. එබැවින් ප්‍රජාවට බියෙන් තොරව අදහස් ප්‍රකාශ කිරීමට නිදහස් වේදිකාවන් නිර්මාණය කළ යුතුය.
 
ප්‍රජා මාධ්‍යවල (Community Media) සුවිශේෂී භූමිකාව

ශ්‍රී ලංකාවේ ප්‍රජා ගුවන් විදුලි සේවා (Community Radio), ප්‍රාදේශීය සමාජ මාධ්‍ය ජාල, ග්‍රාමීය සන්නිවේදන වැඩමුළු සහ නිතිපතා පවත්වන ප්‍රජා රැස්වීම් බිම් මට්ටමේ සන්නිවේදනය ශක්තිමත් කිරීමට ඇති ප්‍රබලම මෙවලම් වේ.

ප්‍රජා මාධ්‍ය සතු සුවිශේෂී ශක්තීන් පහක් පර්යේෂණය පෙන්වා දෙයි:

1. නිදහස් අදහස් හුවමාරුව: ජනතාවට කිසිදු දේශපාලන බලපෑමකින් තොරව අදහස් ප්‍රකාශ කිරීමට හැකි වීම.
2. ප්‍රාදේශීය ගැටලු සාකච්ඡා කිරීම: ජාතික මාධ්‍යවලින් මගහැරෙන ගමේ සැබෑ ප්‍රශ්න කරළියට ගෙන ඒම.
3. නව සහ විද්‍යාත්මක දැනුම ලබා ගැනීම: කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය සහ මූල්‍ය පිළිබඳ දැනුම දේශීය භාෂාවෙන් සරලව ලබා දීම.
4. ප්‍රජා ක්‍රියාකාරීත්වය (Community Action) වර්ධනය කිරීම: පොදු අරමුණු වෙනුවෙන් ගමේ මිනිසුන්ව එකමුතු කිරීම.
5. සංවර්ධන ගැටළු හඳුනා ගැනීම, විශ්ලේෂණය, සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය, ඇගයුම සහ නැවත සැකසීමට ප්‍රතිලාභියාට සත්‍රීයව සහභාගී වීමට වේදිකාවක් සකසා දීම.

මෙය සන්නිවේදනයේ එන ප්‍රසිද්ධ සංකල්පයක් වන "Voice to the Voiceless" (හඬක් නොමැති ජනයාට හඬක් ලබා දීම) යන සිද්ධාන්තය සැබවින්ම සාක්ෂාත් කිරීමකි.
 
ඩිජිටල් සන්නිවේදන තාක්ෂණය (ICT) ප්‍රායෝගිකව භාවිත කිරීම

ග්‍රාමීය ඩිජිටල් පරතරය අවම කරමින් ජංගම දුරකථන සහ නූතන තොරතුරු තාක්ෂණය බිම් මට්ටමේ ආර්ථිකය නැංවීමට ඵලදායී ලෙස යොදාගත හැකිය.
 
Screenshot 2026 07 11 140145

ශ්‍රී ලංකාවේ ජනතා සවිබල ගැන්වීමේ පවතින ප්‍රධාන අභියෝග

පර්යේෂණ දත්තයන්ට අනුව, ශ්‍රී ලංකාවේ බිම් මට්ටමේ ජනතා සවිබල ගැන්වීමක් (People Empowerment) සහ සහභාගිත්ව සන්නිවේදනයක් ස්ථාපිත කිරීමේදී මුහුණ දීමට සිදුවන ප්‍රධානතම ව්‍යුහාත්මක අභියෝග ගණනාවකි.
 
1. දැඩි දේශපාලන බලපෑම් සහ මැදිහත්වීම්: ඕනෑම ස්වාධීන ප්‍රජා ව්‍යාපෘතියක් දේශපාලනීකරණය කිරීමට ප්‍රාදේශීය දේශපාලනඥයන් උත්සාහ කිරීම.
2. රාජ්‍ය ආයතන තුළ මුල්බැසගෙන ඇති දූෂණය: ප්‍රතිපාදන අවභාවිතය සහ වගවීමක් නොමැතිකම.
3. නොවිසඳුණු ග්‍රාමීය ඩිජිටල් පරතරය: තාක්ෂණික යටිතල පහසුකම් ගම්බද ප්‍රදේශවල තවමත් අවම මට්ටමක පැවතීම. (Digital Divide)
4. ප්‍රජාව තුළ ප්‍රායෝගික මූල්‍ය සාක්ෂරතාවය නොමැති වීම: මූල්‍ය කළමනාකරණය පිළිබඳ නොදැනුවත්කම.
5. කාන්තාවන් සහ තරුණ පරපුරේ අවම සමාජ සහභාගිත්වය: පවතින සංස්කෘතික, පවුල් සහ බලයේ බලපෑම්.
6. බිම් මට්ටමේ පවතින ප්‍රජා සංවිධාන අකර්මන්‍ය සහ දුර්වල වීම: ග්‍රාමීය සමිති සමාගම් ස්වාධීනව ක්‍රියාත්මක වීමට අපොහොසත් වීම.
7. බරපතළ තොරතුරු අසමානතාවය (Information Asymmetry): නිල තොරතුරු ඉහළ නිලධාරීන් සහ ප්‍රභූන් සන්තකයේ පමණක් රඳවාගෙන සාමාන්‍ය ජනතාවගෙන් සැඟවීම.
8. බල ධූරාවලිය සහ බල අසාමාන්‍ය තාවය

තිරසාර සහ සියල්ලන් ඇතුළත් කරගත් සංවර්ධනයක් සඳහා ප්‍රතිපත්තිමය යෝජනා

ශ්‍රී ලංකාව වර්තමාන සංවර්ධන උභතෝකෝටිකයෙන් මුදවාගෙන සැබෑ තිරසාර (Sustainable) සහ සියල්ලන් ඇතුළත් කරගත් (Inclusive) සංවර්ධනයක් කරා මෙහෙයවීම සඳහා පර්යේෂණ සොයාගැනීම් පදනම් කරගත් ප්‍රතිපත්තිමය යෝජනා පහත දැක්වේ:

බිම් මට්ටමේ සන්නිවේදන සහ නායකත්ව කුසලතා සංවර්ධනය කිරීම

ජනතාවට තීරණ ගැනීමට බලය දුන්නද, ඔවුන් සතු සන්නිවේදන හැකියාවන් දුර්වල නම් එයින් පලක් නොවේ. එබැවින් ග්‍රාමීය ප්‍රජාවන්, විශේෂයෙන්ම කාන්තාවන් සහ තරුණයන් ඉලක්ක කර ගනිමින් ක්‍රමානුකූල පුහුණු වැඩසටහන් රජය සහ සිවිල් සංවිධාන මැදිහත් වී දියත් කළ යුතුය.

එම පුහුණු මගින් පහත සඳහන් කුසලතා වර්ධනය කළ යුතුය:

• ප්‍රජා සංවාද කුසලතා (Dialogue Skills): බලධාරීන් සමඟ බියෙන් තොරව තර්කානුකූලව අදහස් හුවමාරු කිරීමේ හැකියාව.
• ප්‍රජා නායකත්ව කුසලතා (Leadership Skills): ගම මෙහෙයවිය හැකි නව තරුණ සහ කාන්තා නායකත්වයක් බිහිකිරීම.
• ප්‍රායෝගික ගැටලු විසඳීමේ හැකියාව (Problem Solving): ගමේ ප්‍රශ්නවලට බාහිරින් කෙනෙක් එනතුරු නොසිට සාමූහිකව විසඳුම් සෙවීම.
• කණ්ඩායම් ක්‍රියාකාරීත්වය (Teamwork): කුල, ආගම්, සංස්කෘතික, ප්‍රභූ- නිර්ප්‍රභූ හෝ දේශපාලන භේදවලින් තොරව පොදු අරමුණු වෙනුවෙන් එකට වැඩ කිරීම.

පාරදෘශ්‍ය පාලනය (Transparent Governance) නීතිගත කිරීම
 
corrption 260414
රාජ්‍ය පාලනය සහ සංවර්ධන ව්‍යාපෘති තුළ පවතින දූෂණය මුලිනුපුටා දැමීමට නම් සන්නිවේදනය සහ මාධ්‍ය ව්‍යාපෘතිවල සැබෑ "මුරබල්ලෙකු" (Watchdog) ලෙස ක්‍රියා කළ යුතුය.
සෑම රාජ්‍ය සහ ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘතියකම පහත සඳහන් තොරතුරු, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම (RTI) යටතේ ජනතාවට විවෘතව සහ අනිවාර්යයෙන්ම ලබා දිය යුතුය:

1. සම්පූර්ණ මූල්‍ය සහ මුදල් භාවිතය: ව්‍යාපෘතියේ එක් එක් අදියර සඳහා වැය වූ සැබෑ පිරිවැය.
2. තීරණ ගත් ආකාරය සහ හේතු: ප්‍රතිලාභීන් තෝරාගත් නිර්ණායක සහ සැලසුම් අනුමත කළ ආකාරය.
3. ප්‍රගති වාර්තා (Progress Reports): ව්‍යාපෘතියේ වර්තමාන තත්ත්වය පිළිබඳ සත්‍ය වාර්තා ජනතාවට විවෘතව ප්‍රජා පුවරු හෝ වෙබ් අඩවි හරහා ප්‍රදර්ශනය කිරීම.
4. ගවේෂණාත්මක ජනමාධ්‍යෙව්දය සඳහා පහසුකම් සැලසීම

 රාජ්‍ය, රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සමාජ සහයෝගීතාවය ශක්තිමත් කිරීම

රජය (Government), රාජ්‍ය නොවන සංවිධාන (NGOs), සිවිල් සමාජ සංවිධාන (CSOs) සහ බිම් මට්ටමේ ප්‍රජා සංවිධාන සියල්ලම එකිනෙකා සමඟ තරඟ කිරීම හෝ සැකයෙන් බැලීම නතර කර, පොදු ජාතික සංවර්ධන අරමුණක් වෙනුවෙන් ජාලගත වී (Networking) එකට එක්ව වැඩ කළ යුතුය.

මෙම සහයෝගීතාවය තුළින්:
• සම්පත් හුවමාරුව: රජයේ මූල්‍ය ප්‍රතිපාදන සහ සිවිල් සංවිධාන සතු බිම් මට්ටමේ භෞතික සම්පත් එකට එකතු කළ හැකිය.
• විශේෂඥ දැනුම ලබා ගැනීම: සිවිල් සංවිධාන සතු සහභාගිත්ව සංවර්ධන ප්‍රායෝගික දැනුම රාජ්‍ය නිලධාරීන්ට ලබාගත හැකිය.
• තිරසාර සංවර්ධනයක් ගොඩනැගීම: ව්‍යාපෘති අතරමඟ නතර නොවී අඛණ්ඩව ඉදිරියටම පවත්වාගෙන යා හැකිය.
• ඩිජිටල් වෙළඳපල සහ නව තාක්ෂණික ප්‍රවේශයන් ලබා දීම
•ග්‍රාමීය දරිද්‍රතාවය පිටුදැකීම සඳහා ගොවීන්ට, ධීවරයන්ට සහ සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට නූතන වෙළඳපල සහ තාක්ෂණික ප්‍රවේශයන් සෘජුවම ලබා දිය යුතුය.
• සෘජු වෙළඳපල සම්බන්ධතා: අතරමැදි තැරැව්කාර සූරාකෑම මුළුමනින්ම නැති කරමින්, නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා සෘජුවම යා කරන භෞතික සහ සන්නිවේදන ජාල නිර්මාණය කිරීම.
• ඩිජිටල් වෙළඳපල (E-commerce Platforms): ග්‍රාමීය නිෂ්පාදන ජාත්‍යන්තර සහ ජාතික මට්ටමින් අලෙවි කිරීමට හැකි ඩිජිටල් වෙළඳපල වේදිකාවන් සකස් කර දීම.
• නව තාක්ෂණික උපකරණ: කෘෂිකාර්මික සහ වෘත්තීය කටයුතු සඳහා කාර්යක්ෂමතාව ඉහළ නැංවිය හැකි නවීන තාක්ෂණික මෙවලම් සහන මිලට ලබා දීම.
• ප්‍රායෝගික ව්‍යාපාරික පුහුණුව: නිෂ්පාදනය ඇසුරුම්කරණය (Packaging), සන්නාමකරණය (Branding) සහ ගනුදෙනුකරුවන් සමඟ සන්නිවේදනය කරන ආකාරය පිළිබඳව ක්‍රමානුකූල පුහුණුවක් ලබා දීම.
 
ප්‍රජා ගුවන්විදුලි සහ ප්‍රජා රූපවාහිනී මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම
 
10
ප්‍රජා හිමිකාරීත්වය සහ සෘජු ප්‍රජා සහභාගීත්වය සහිත ස්වාධීන ප්‍රජා ගුවන් විදුලි සහ රූපවාහිනී මධ්‍යස්ථානය බැගින් අවම වශයෙන් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම ස්ථාපනය කල යුතුය. මෙම මධ්‍යස්ථාන තොරතුරු තාක්ෂණය සහ පැරණි සන්නිවේදන මෙවලම් සමඟ අන්තර්ග්‍රහණය විය යුතුය. (Integrated) මෙම මධ්‍යස්ථාන වල ප්‍රධානතම භූමිකාව වන්නේ සංවර්ධන ප්‍රතිලාභීන්ට සක්‍රීයව සංවර්ධන ව්‍යාපෘති සඳහා සහභාගී වීමට පහසුකම් සැලසීම සහ ගවේෂණාත්මක ජනමාධ්‍යකරණයේ නිරත වීමයි.

නිගමනය

ශ්‍රී ලංකාව මුහුණ දුන් සහ වර්තමානයේද මුහුණ දෙමින් සිටින දරුණු සංවර්ධන අර්බුදය යනු හුදෙක් මුදල් හිඟකම හෝ ආර්ථික කළමනාකරණයේ දුර්වලතාවය නිසා පමණක් හටගත්තක් නොවේ. එය සැබවින්ම මෙරට දීර්ඝ කාලයක් තිස්සේ මුල්බැසගෙන පවතින රාජ්‍ය පාලනය, අසමාන සමාජ ව්‍යුහයන් සහ ප්‍රජා සහභාගිත්වයෙන් තොර සන්නිවේදනයේ බරපතළ පද්ධතිමය අර්බුදයකි. පැරණි "ඉහළ සිට පහළට යන විධානකාරී සංවර්ධන ආකෘතිය" (Top-Down Model), ආයතනික දූෂණය, ප්‍රතිලාභීන් දේශපාලනීකරණය කිරීම, බිම් මට්ටමේ ප්‍රජා සහභාගිත්වය මුළුමනින්ම නොසලකා හැරීම සහ සන්නිවේදන දුර්වලතාවයන් මෙම සමස්ත අර්බුදය තවදුරටත් ව්‍යුහාත්මකව ගැඹුරු කිරීමට සෘජුවම දායක වී ඇත.
 
එබැවින්, ශ්‍රී ලංකාවට වර්තමානයේ වඩාත්ම අත්‍යවශ්‍ය වන්නේ සාම්ප්‍රදායික භෞතික යටිතල පහසුකම් කේන්ද්‍ර කරගත් පැරණි ප්‍රවේශයන්ගෙන් මුළුමනින්ම මිදී, බිම් මට්ටමේ සාමාන්‍ය මිනිසුන්ගේ සැබෑ හඬට ගෞරවයෙන් සවන් දෙන, සමස්ත ප්‍රජාවන් තීරණ ගැනීමේ මූලික ක්‍රියාවලීන්ට සක්‍රීයව සම්බන්ධ කරගන්නා සහ ද්විමාන සන්නිවේදනය සංවර්ධනයේ සැබෑ මධ්‍යය වෙත ගෙන එන නව "ජනතා කේන්ද්‍රීය සංවර්ධන ප්‍රවේශයකි".

පවුලෝ ෆ්‍රෙයර්, අමර්ත්‍යා සෙන් වැනි ලෝක පූජිත න්‍යායවේදීන් පෙන්වා දුන් පරිදි, සහභාගිත්ව සන්නිවේදනය (Participatory Communication), ප්‍රජා මාධ්‍යවල සක්‍රීය දායකත්වය, ඩිජිටල් තාක්ෂණය නිවැරදිව භාවිත කිරීම, මූල්‍ය සාක්ෂරතාවය වර්ධනය කිරීම සහ පාරදෘශ්‍ය පාලනය එකට ඒකාබද්ධ වූ විට පමණක් රටක් ලෙස අපේක්ෂා කරන සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී සහ තිරසාර සංවර්ධනයක් ගොඩනැගිය හැකිය.

අවසාන වශයෙන් වටහා ගත යුතු සත්‍යය නම්, සැබෑ සංවර්ධනය (Development) යනු බලධාරීන් විසින් ජනතාව වෙනුවෙන් ඉහළ සිට පහළට දානයක් හෝ ප්‍රදානයක් ලෙස කරන බාහිර දෙයක් නොවන බවයි. එය බිම් මට්ටමේ සමස්ත ජනතාවගේම සන්නිවේදන හැකියාවන් සහ නිදහස පුළුල් කරමින්, ඔවුන්ගේ උපරිම සහභාගිත්වය ඇතිව, ජනතාව සමඟ එකට එක්ව ගොඩනගනු ලබන පරිවර්තනීය මෙන්ම මානුෂීය ක්‍රියාවලියකි.
 
  
pradeep N weerasingha
(සටහන | මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ)
ජනමාධ්‍ය අධ්‍යයන අංශය – කොළඹ විශ්වවිද්‍යාලය
pnweera@yahoo.com

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ශ්‍රී ලංකාවේ සංවර්ධන අර්බුදය, ජනතා සවිබල ගැන්වීම සහ සහභාගිත්ව ප්‍රවේශය: බිම් මට්ටමේ යථාර්ථයන් සහ විකල්ප උපායමාර්ග - මහාචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ | The Leader