The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සජිත් පණ මදිද? | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය

T

The Leader Desk

July 11, 2026 • 10:47 AM

සජිත් පණ මදිද? | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘අපේ විපක්ෂ නායකතුමා හරියට කාක බෝධිය වගේ. වඳින නිසා කපන්නත් බැහැ. කාක්කෝ ලගින නිසා නොකපත් බැහැ…
  • 70-77 සමගි පෙරමුණු ආණ්ඩු කාලේ විපක්ෂ නායක ධුරය දැරුවේ ජේ.ආර්.ය.
  •   70-77 බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව පාලන කාලය වසර දෙකකින් දීර්ඝ කරගන්න යන විට ජේ.ආර්.
  • අවසානයේ 1988 ජනාධිපතිවරණයට යූ.ඇන්.පී.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මේ කතාව ජේ.ආර්.පී. සූරියප්පෙරුම කීවේ වෙන කාටවත් නොවේ. විපක්ෂ නායක ජේ.ආර්. ජයවර්ධනටය. 70-77 සමගි පෙරමුණු ආණ්ඩු කාලේ විපක්ෂ නායක ධුරය දැරුවේ ජේ.ආර්.ය. ජේ.ආර්. ආණ්ඩුවට දැනෙන්න කිසිවක් නොකරනවා යැයි චෝදනා කළේ සේනානායකවරුන්ගේ ඔටුන්න හිමි කුමාරයා රුක්මන් සේනානායකව විපක්ෂ නායක කරන්න වලි කාපු ජිනදාස නියතපාල, ජේ.ආර්.පී. සූරියප්පෙරුම වැනි එකල තරුණ නායකයන්ය.

 

70-77 බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව පාලන කාලය වසර දෙකකින් දීර්ඝ කරගන්න යන විට ජේ.ආර්. ඊට එරෙහිව සියලු යූ.ඇන්.පී. මන්ත්‍රීවරුන්ට ආසනවලින් ඉවත් වී අතුරු මැතිවරණවලට තරග කොට පාර්ලිමේන්තුවට යමු යැයි යෝජනා කළේය. සමහර මන්ත්‍රීවරුන් කැමැති නොවීය. අවසානයේ ජේ.ආර්. තනිවම ඉවත්වී අතුරු මැතිවරණයකින් පාර්ලිමේන්තුවට තේරී පත්විය. ඒත් පාලන කාලය වසර දෙකකින් දීර්ඝ කිරීමේ බණ්ඩාරනායක මැතිනියගේ උත්සාහය නතර කරගන්න ජේ.ආර්.ට බැරි විය. මේ, ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානය ඒ ගැන කියන කතාවය. 

‘යටත් පිරිසෙයින් තාවකාලිකව හෝ කරබාගෙන සිටීමට ඔහු තීරණය කළේය. ඔහුගේ එම පරාජිත ස්වභාවය දැක පක්ෂය තුළ සිටි ඔහුගේ විවේචකයෝ එඩිතර වූහ. ‘මිනිසුන් දහසක් පිරිවරා සිටි යෝර්කයෝ මහා වංශක්කාර ආදිපාදවරයා කන්ද මුදුනට ඔවුන් මෙහෙයවීමෙන් අනතුරුව ආපසු කඳු පාමුලට ඔවුන් මෙහෙයවීය…’

 

ජේ.ආර්. මේවා ඔක්කොම ඉවසාගෙන සිටියේය. අවසානයේ ඔහු අගමැති වී ලංකාවේ පළමු විධායක ජනාධිපති විය. ජේ.ආර්.ට පණ මදි කී රුක්මන් සේනානායකලා ආණ්ඩුවට යටින් උදව් කළහ.

 

ජේ.ආර්. බලයට ආ විට විපක්ෂ නායක වූ අනුරටත් මේ චෝදනාවම එල්ල විය.

 

‘අනුර ආණ්ඩුව එක්ක ඩීල් දමලා ජේ.ආර්. තමයි අනුරව විපක්ෂ නායක කළේ…’

 FB IMG 1602207985626

 

අනුරට එහෙම චෝදනා කළේ අනුරගේ මස්සිනා විජය සහ අක්කා චන්ද්‍රිකාත්, ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ නායකයනුත්, වාමාංශික නායකයනුත්ය. අවසානයේ 1988 ජනාධිපතිවරණයට යූ.ඇන්.පී. අපේක්ෂක ප්‍රේමදාස සමග මරාගෙන මැරෙන සටනක් කළේ මැතිනිය සහ අනුරය. ආණ්ඩුව එක්ක ඩීල් දමලා කියා අනුරට චෝදනා කළ විජයගේ ගෝලයන් වූ ඔසී අබේගුණසේකරලා කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය මැතිනියගේ ඡන්ද කඩා ප්‍රේමදාසව දිනවන්න තුන්වැනි අපේක්ෂකයෙක් දමනු ලැබීය. ඒ ඔසීය.

 

1989 මහ මැතිවරණයෙන් පසු විපක්ෂ නායිකාව වූ බණ්ඩාරනායක මැතිනිය ප්‍රේමදාස ආණ්ඩුව එක්ක හැප්පෙන්නේ නැහැ කියා විපක්ෂ නායක ධුරය අහිමි වුණු අනුර ඇතුළු අනුරගේ තරුණ මන්ත්‍රීවරු චෝදනා කළහ. අවසානයේ ප්‍රේමදාසට එරෙහිව දෝෂාභියෝගය ගෙන ආවේ මැතිනියය. මැතිනිය පණ මදි කියපු අනුර ඇතුළු තරුණ මන්ත්‍රීවරු නතර වුණේ යූ.ඇන්.පී.යට එකතු වෙලාය.

 

1994 විපක්ෂ නායක වූ රනිල්ටත් පණ මදි චෝදනාව ගෙන ආවේ පක්ෂයේ ගාමිණීවාදීන්ය. චන්ද්‍රිකාගේ ආණ්ඩුව යූ.ඇන්.පී. ආණ්ඩු කාලයේ හොරු අල්ලන්න අල්ලස් කොමිෂන් දමා යූ.ඇන්.පී.යේ ප්‍රබලතම ජ්‍යෙෂ්ඨ නායකයකු වූ විජයපාල මෙන්ඩිස්ට එරෙහිව දූෂණ චෝදනා ගොනුකළ විට රනිල් තමාගේ නායකත්වය යටතේ යූ.ඇන්.පී.ය පිරිසිදු යැයි පෙන්වන්න විජයපාලගේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය තහනම් කළේය. රනිල් ආණ්ඩුවට ඕනෑ දේ කරනවා යැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කීවත් රනිල් විජයපාලව යූ.ඇන්.පී.යෙන් පන්නා දැමුවේ යූ.ඇන්.පී.ය ක්ලීන් පක්ෂයක් කියා පෙන්වන්නටය. 2002 රනිල් චන්ද්‍රිකාගේ ආණ්ඩුව පෙරළා අගමැති විය. රනිල් පණ මදි කී යූ.ඇන්.පී. ජ්‍යෙෂ්ඨයෝ චන්ද්‍රිකාට එක්වූහ.

 

රනිල් අගමැති වූ විට විපක්ෂ නායක වූ මහින්දටත් ශ්‍රීලනිපයේ චන්ද්‍රිකාවාදීන් සහ එවක ශ්‍රීලනිපය සමග සන්ධාන ගහන්න සාකච්ඡා කළ ජවිපෙ මහින්දට රනිල් එක්ක ඩීල් එකක් ඇති බවත්, මහින්ද විපක්ෂ නායක රෝල් එක හරියට කරන්නේ නැති බවත් කියමින් චෝදනා කළේය. මහින්දව විපක්ෂ නායක කළේ රනිල් නිසා මහින්ද පාර්ලිමේන්තුවේ රනිල්ගේ කොන්ත්‍රාත් කරනවා යැයි චන්ද්‍රිකාවාදීහු සහ ජවිපෙ ප්‍රසිද්ධියේ කීහ. ඒත් අන්තිමේ මහින්ද, රනිල් පරාජය කොට අගමැති වී ජනාධිපති විය.

 

‘එදා ජේ.ආර්.ට, අනුරට, මැතිනියට, රනිල්ට, මහින්දට කී කතාවම සජිත්ටත් කියනවා නේද…?’

 

ranil

 

2020 සජිත් විපක්ෂ නායක වූ විට සජිත් පණ මදි කියන කතාව පටන් ගත්තේ විපක්ෂ නායකකම තමන්ට අහිමි වීමේ වේදනාවෙන් සිටි රනිල් සහ එකල රනිල්ගේ සගයන් වූ අනුර ඇතුළු ජවිපෙ නායකයන්ය.

 

‘සජිත්ට ගෝඨා එක්ක ඩීල් එකක් තියෙනවා…’ 

එදා රනිල්වාදීන් සහ අනුරලා කීවේ එහෙමය. හැබැයි අරගලයට කලින් ‘ගෝඨා ගෝ හෝම්’ කියන්න ජනාධිපති මන්දිරයට මහජන ගංගාවක් එක්ක ගියේ සජිත්ය. ගෝඨා, සජිත්ට අගමැතිකම භාරගන්න කී විට අගමැතිකම භාරගන්න නම් මාස 6ක අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ගෝඨා ගෙදර යායුතු යැයි කොන්දේසි ඉදිරිපත් කළේ සජිත්ය. සජිත් එසේ කොන්දේසි ඉදිරිපත් කරද්දී කිසිදු කොන්දේසියකින් තොරව පස්සෙ දොරෙන් ගිහින් ගෝඨාගෙන් අගමැතිකම භාරගත්තේ සජිත්-ගෝඨා ඩීල් එකක් තියෙනවා කී රනිල්ය. 

එදා රාජපක්ෂ පවුල රනිල්ව අගමැති කොට ජනාධිපති කළේ නාමල්ව ඊළඟ නායකයා කරන්න බාධාව වූ සජිත්ව ඉවර කරන්නටය. රනිල් ජනාධිපති වී 2024 ජනාධිපතිවරණයට ආවේ අනුරව දිනවා සජිත් ඉවර කරන්නටය. අද සජිත්ට පණ මදි කියන්නේ එදා අනුරව දිනවන්න වැඩ කළ රනිල්වාදීන්ය.

 

‘ඊළඟ ජනාධිපතිවරණය වමයි දකුණයි අතර සටනක්…’

 

‘ඒ සටනට නායකත්වය දෙන්නේ රනිල් සහ අනුර…’

 

‘ඊළඟ ජනාධිපතිවරණයේදී සජිත් කෙනෙක් හොයාගන්නවත් නැති වෙයි…’

 

‘රනිල් සජිත්ව කුඩුපට්ටම් කරලා සමගි ජන බලවේගය යූ.ඇන්.පී.යට බද්ධ කරයි…’

 

රනිල් ජනාධිපති වූ අලුත රනිල්වාදීන් සහ අනුරවාදීන් විග්‍රහ, විශ්ලේෂණ කළේ ඔහොමය.

 

අන්තිමේදී සටන පැවැතියේ අනුර සහ සජිත් අතරය. රනිල් මැද්දට පැනලා අනුරව දිනෙව්වේ සජිත්ව ඉවර කරන්නටය.

 

‘අනුරව දිනවලා සජිත් පණ මදි කියන්නේ 2024 අනුරව පරද්දන්න සජිත්ව දිනවන්න තිබුණානේ…?’

 

aragalaya 260709

 

සජිත්වාදීන් අද අහන්නේ ඔය ප්‍රශ්නයය. අද සජිත් පණ මදි කියලා ලොකුවට කියන්නේ අනුරව දිනවන්න ජනාධිපතිවරණයට ආ රනිල්ය. ඊළඟට අරගලය වෙලාවේ සජිත් අගමැති වීම වළක්වන්න රනිල්ට සහාය පළකළ අභියෝගය භාරගත්තා යැයි කී ශ්‍රීලනිපයය. රනිල් පරදින බව දැන දැන 2024 ජනාධිපතිවරණයේ සජිත් පරද්දන්න රනිල්ට වැඩ කළේ ඔවුන්ය.

 

එදා රාජපක්ෂවරු රනිල්ව වැඩ බලන ජනාධිපති ලෙස පත් කළ වෙලාවේ රනිල් අගමැති ධුරයෙන් ඉවත් කොට සියලු පක්ෂවලට පිළිගත හැකි අගමැතිවරයෙක් පත්කොට සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදමු කියා මේ ශ්‍රීලනිප ඇමැතිවරු සිය ඇමැති ධුරවලින් ඉවත් වූවා නම් අද අනුර ජනාධිපති පුටුවේ නැත.

 

ඊළඟට සජිත් ආවොත් නාමල්ට චාන්ස් එකක් නැති වෙයි කියලා ගණන් හදලා රනිල්ව ජනාධිපති කළ රාජපක්ෂ පවුලය.

 

Vote

ලංකාවේ ජනාධිපති වෙන්න වගේම විපක්ෂ නායක වෙන්නත් වාසනාව තියෙන්න ඕනාය. ජනාධිපති වෙන්නේ 50%ක ඡන්ද ප්‍රතිශතයක් ගෙනය. විපක්ෂ නායක වෙන්නේ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන හිමි විපක්ෂයේ නායකයාය. විපක්ෂයට නායකත්වය දෙන්න ජනතාව තෝරාගෙන තියෙන්නේ ඒ නායකයාවය. ඒ නායකයාව දිරවන්නේ නැතිව විපක්ෂ නායකයා පණ මදියි කිය කියා යාමෙන් ආණ්ඩුව දුර්වල වෙන්නේ නැත. ආණ්ඩුව තව තවත් ශක්තිමත් වේ. අවසානයේ ආණ්ඩුව අර්බුදයකට ගිය විට ආණ්ඩුව බේරාගන්න ඉස්සෙල්ලාම දුවන්නේ විපක්ෂ නායක පණ මදි කී කට්ටියමය.

 

(සටහන | උපුල් ජෝශප් ප්‍රනාන්දු)
Creative Content Consultant

උපුටා ගැනීම - mawratanews



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...