The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කෑම වේලටත් 'ඉක්මන්, ක්ෂණික හා පහසු' එලෙසම යොදා ගනිමු ද?

T

The Leader Desk

July 14, 2026 • 7:10 AM

කෑම වේලටත් 'ඉක්මන්, ක්ෂණික හා පහසු' එලෙසම යොදා ගනිමු ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද වන විට ශ්‍රී ලාංකික ජන සමාජය අතීතයට සාපේක්ෂව කඩිනම් ස්වභාවයක් පෙන්නුම් කරන අතර, “ඉක්මන්, ක්ෂණික හා පහසු” යන සංකල්පවලට අතීතයේ නොතිබූ ප්‍රායෝගික වටිනාකමක් හිමිව තිබේ.
  • අතීතයේ පැවති කෘෂිකාර්මික හා ග්‍රාමීය ජීවන රටාව තුළ ආහාර පිසීම සඳහා දවසෙන් වැඩි කාලයක් වෙන් කිරීමට හැකි වුවද, වර්තමාන කාර්යබහුල, නාගරික සමාජය තුළ “වෙලාවක් නැත” යන්න පොදු මැසිවිල්ලක් බවට පත්ව තිබේ.
  • කාන්තාවන් වෘත්තීයකරණය වීමත් සමඟ පවුල් ව්‍යුහය වෙනස් වී නිවසේ පිසීමට ඇති කාලය සීමා වී ඇති අතර, තරුණ හා අඩු අධ්‍යාපනික පසුබිමක් සහිත ගෘහ ඒකක වැඩි වශයෙන් මෙම පහසුව වැළඳගෙන ඇත.
  • මීට අමතරව 1970-80 දශකවල සිට ඇරඹි ගෝලීයකරණය, බටහිර විලාසිතා වැළඳගැනීම සහ සංචාරක කර්මාන්තයේ වර්ධනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ QSR (Quick Service Restaurant) සහ ක්ෂණික ආහාර වෙළඳපොළ තවදුරටත් පුළුල් වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙම කඩිනම් බව වත්මන් සමාජයේ ආහාර රටාවන් කෙරෙහි සෘජුව බලපා ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ක්ෂණික ආහාර (Fast Food) වත්මන් ආහාර සංස්කෘතියේ ප්‍රධාන තැනක් හිමි කරගෙන ඇත. අතීතයේ පැවති කෘෂිකාර්මික හා ග්‍රාමීය ජීවන රටාව තුළ ආහාර පිසීම සඳහා දවසෙන් වැඩි කාලයක් වෙන් කිරීමට හැකි වුවද, වර්තමාන කාර්යබහුල, නාගරික සමාජය තුළ “වෙලාවක් නැත” යන්න පොදු මැසිවිල්ලක් බවට පත්ව තිබේ. කාන්තාවන් වෘත්තීයකරණය වීමත් සමඟ පවුල් ව්‍යුහය වෙනස් වී නිවසේ පිසීමට ඇති කාලය සීමා වී ඇති අතර, තරුණ හා අඩු අධ්‍යාපනික පසුබිමක් සහිත ගෘහ ඒකක වැඩි වශයෙන් මෙම පහසුව වැළඳගෙන ඇත. මෙම තත්ත්වය FAFH (Food Away From Home – නිවසින් බැහැර ආහාර) පරිභෝජනය ඉහළ යාමට සෘජුවම දායක වේ.

fast food
නාගරීකරණ ප්‍රවණතා ඉහළ යාම 2021-2032 කාලයේ ආහාර-සිල්ලර වෙළඳපොළ වර්ධනයට ප්‍රධාන ධාවකයක් වී ඇති අතර, 2025 වන විට ජංගම දුරකතන යෙදවුමක් හෝ වෙබ් අඩවියක් මඟින් තමන්ට කැමති අවන්හලකින් කැමති ආහාරයක් නිවසටම ගෙන්වා ගැනීමේ සේවා නාගරිකයන් අතරේ අතිශය ජනප්‍රිය වීමෙන් මෙම පහසු ප්‍රවේශය තහවුරු වේ. මීට අමතරව 1970-80 දශකවල සිට ඇරඹි ගෝලීයකරණය, බටහිර විලාසිතා වැළඳගැනීම සහ සංචාරක කර්මාන්තයේ වර්ධනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ QSR (Quick Service Restaurant) සහ ක්ෂණික ආහාර වෙළඳපොළ තවදුරටත් පුළුල් වී ඇත. වත්මන් පරිභෝජන ප්‍රවණතා දෙස බැලීමේදී, ක්ෂණික නූඩ්ල්ස් වෙළඳපොළ 2026-2032 කාලය තුළ 5.5% ක වාර්ෂික සංයුක්ත වර්ධන වේගයක් (CAGR) අපේක්ෂා කරන අතර, සමීක්ෂණ දත්ත පෙන්වා දෙන්නේ ලාංකිකයන්ගෙන් 42.8% ක් සතියකට අවම වශයෙන් එක් වතාවක්වත් ක්ෂණික ආහාර ගන්නා බවත්, 20% ක් දිනපතාම ඒවා පරිභෝජනය කරන බවත්ය.

මෙම සාධකවල එකතුවෙන් වර්තමානයේ ආහාර වේලක පැවති සාම්ප්‍රදායික අර්ථය මුළුමනින්ම වෙනස් වී ඇත. අතීත ජන සමාජයේ ආහාර වේල හුදෙක් කුසගින්න නිවීමෙන් එහා ගිය, “බත් හැලිය” වටා ගෙතුණු සාමූහික, ආදරණීය අත්දැකීමක් වූ අතර බත්, පරිප්පු, කොළ මැල්ලුම අන්‍යෝන්‍ය බැඳීමේ සහ සදාචාරයේ සංකේත විය. එහෙත් වත්මන් ඩිජිටල් සංස්කෘතිය තුළ එම බැඳීම් අභිබවා යාන්ත්‍රික පහසුව පෙරට පැමිණ තිබේ. එවන් ආහාර සැපයීමේ සමාගමක 2025 වසරේ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් සෙවූ වචනය ‘Rice and Curry’ වුවද, ප්‍රායෝගිකව වඩාත්ම ඇණවුම් වී ඇත්තේ බිරියානි පවා අභිබවා ගිය ෆ්‍රයිඩ් රයිස් (Fried Rice) ය. ෂෝර්ට්-ඊට්ස් අතර චිකන් චීන රෝල්ස් (Chicken Chinese Rolls) ප්‍රමුඛස්ථානය ගන්නා අතර, කොළඹ දිවයිනේ විශාලතම ආහාර ඇණවුම් කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති අතර මහනුවර සහ ගාල්ල ඊළඟ ස්ථාන ගනී. එක් පරිශීලකයෙකු එකම අවන්හලකින් වසරකට 466 වතාවක් ආහාර ඇණවුම් කර තිබීමෙන්ම ක්ෂණික ආහාර වර්තමානයේ දෛනික ජීවන රටාවේම කොටසක් වී ඇති බව මනාව පැහැදිලි වේ.

 

fired rice
කෙසේ වුවද, ලුණු, සීනි, තෙල් සහ ට්‍රාන්ස්-මේද අධික, නමුත් තන්තු සහ විටමින් අවම මෙම “හිස් කැලරි” ඇබ්බැහිය බරපතළ සෞඛ්‍ය සහ ආර්ථික අර්බුදයක් නිර්මාණය කර ඇත.හිස් කැලරි (Empty Calories) යනු ශරීරයට ශක්තිය පමණක් ලබා දෙන, එහෙත් විටමින්, ඛනිජ ලවණ, තන්තු සහ ප්‍රෝටීන් වැනි අත්‍යවශ්‍ය පෝෂක කොටස් නොමැති තරම් වන ආහාර මඟින් ශරීරයට ඇතුළු වන කැලරි ප්‍රමාණයයි. ක්ෂණික ආහාර (Fast Food) සමඟ මෙම සංකල්පය නිතරම සම්බන්ධ වන්නේ එම ආහාරවල හිස් කැලරි බහුලව අඩංගු වන බැවිනි. සෝඩා, මිල්ක් ශේක්, කෙචප් සහ අයිස්ක්‍රීම් වැනි ආහාරවල අඩංගු එකතු කරන ලද සීනි මඟින් විටමින් වර්ග කිසිවක් නොමැතිව කැලරි 100 ත් 300 ත් අතර ප්‍රමාණයක් පහසුවෙන්ම ශරීරයට එක් කරයි.

එමෙන්ම, බර්ගර් බන්, පීසා බේස් සහ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් සැකසීමට ගන්නා පිරිපහදු කළ පිටි (Refined flour) වල තන්තු අඩංගු නොවන බැවින්, ඒවා පරිභෝජනය කළ ද ඉක්මනින් බඩගිනි ඇති වේ. මීට අමතරව, ඩීප් ෆ්‍රයිඩ් චිකන්, නගට්ස් සහ ෆ්‍රයිස් වැනි ආහාරවල අඩංගු අහිතකර මේදය හේතුවෙන් ට්‍රාන්ස් ෆැට් සහ සැචුරේටඩ් ෆැට් ශරීරයට එකතු වන අතර, එහිදී පෝෂණයකින් තොරව අධික කැලරි ප්‍රමාණයක් ලැබේ. චීස්, සෝස් සහ සීසනින් පවුඩර් වැනි රසකාරකවල ලුණු බහුල බැවින් ශරීරයේ සෝඩියම් මට්ටම ඉහළ ගොස් වතුර රඳවාගැනීම සහ රුධිර පීඩනය වැඩි වීම සිදු වේ. නවතම සමීක්ෂණ දත්ත පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ වැඩිහිටි දියවැඩියා ව්‍යාප්තිය 23.0% දක්වා ඉහළ ගොස් ඇති බවයි. මෙය පෙර ඇස්තමේන්තුගත (8%-15%) අගයන්ට වඩා බෙහෙවින් වැඩි මෙන්ම සමස්ත ආසියාවේම ඉහළම අගයකි. විශේෂයෙන්ම බස්නාහිර පළාතේ මෙම අගය 27.8% ක් වන අතර, ඉන් 37.1% ක්ම තමන්ට රෝගය ඇති බව හඳුනානොගත් අය වෙති.

burger
වඩාත්ම කනගාටුදායක තත්ත්වය නම් සාමාන්‍ය ශරීර බර (BMI) ඇති පුද්ගලයන්ගෙන් 21% කට දියවැඩියාව වැළඳී තිබීම සහ රෝහල් දත්ත අනුව තරුණ දියවැඩියා (Young Onset Diabetes – YOD) රෝගීන්ගෙන් 34.3% ක්ම දෙවන වර්ගයේ (Type 2) දියවැඩියාවෙන් පෙළීමයි. ඔවුන්ගේ මධ්‍ය HbA1c අගය 9.8% ක් වැනි ඉතා දුර්වල මට්ටමක පවතී. මීට අමතරව වැඩිහිටියන් අතර තරබාරුව 9% ක් සහ මධ්‍යම තරබාරුව 26% ක් වන අතර කාන්තාවන් අතර මධ්‍යම තරබාරුව 36.3% කි. පෝෂණ රටාව අතින් ලාංකිකයන්ගෙන් 70% ක් ධාන්‍ය වර්ග නිර්දේශිත උපරිමයට වඩා ගන්නා මුත්, එළවළු නිර්දේශ සපුරන්නේ 11.6% කි. පලතුරු නිර්දේශ සපුරන්නේ 2.1% ක් පමණක් වන අතර 60% ක් කිසිදු පලතුරක් පරිභෝජනය නොකරති. ආර්ථික වශයෙන් බලන කල, රුපියල් 300ක බර්ගර් එකක් දිනකට දෙවරක් බැගින් මාසයක් පරිභෝජනය කළහොත් රුපියල් 18,000කට වඩා වැය වන අතර, දිගුකාලීන ලෙඩ රෝග සඳහා වන වෛද්‍ය වියදම් සමඟ එය 7-8 ගුණයකින් ඉහළ යයි.

මෙම අර්බුදයට විසඳුම වන්නේ ක්ෂණික ආහාර සහමුලින්ම තහනම් කිරීම නොව, “මධ්‍යම ප්‍රතිපදාව” මත පිහිටා එය නිසි ලෙස කළමනාකරණය කිරීමයි. ගැටලුව ඇත්තේ ආහාරවලට වඩා අප හුරු වී සිටින “ක්ෂණික ජීවන රටාව” තුළ බැවින්, ප්‍රායෝගික උපාය මාර්ග 5ක් ඔස්සේ ජීවන රටාව හැඩගස්වා ගත හැක. පළමුව, 80/20 නීතිය ක්‍රියාත්මක කරමින් ආහාර වේල්වලින් 80% ක් නිවසේ ගුණදායක ආහාර ද, 20% ක් බාහිර ආහාර ද වශයෙන් සමබර කරගත හැක; දත්ත අනුව ශ්‍රී ලංකාවේ කාන්තාවන් 82% ක් අවම ආහාර විවිධත්වය (MDD-W) සපුරන බැවින් මෙය නිවසේදී පහසුවෙන් කළ හැක.

දෙවනුව, දිනකට ග්‍රෑම් 170.9ක් වැනි අඩු මට්ටමක පවතින ශ්‍රී ලංකාවේ දෛනික එළවළු පරිභෝජනය ඉහළ නැංවීම සඳහා විනාඩි 15කින් සකස් කළ හැකි පරිප්පු, තැම්බූ බිත්තර සහ සලාද වැනි “ගෙදර හැදූ ක්ෂණික ආහාර” වලට හුරු විය යුතුය. තෙවනුව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිර්දේශයන්ට අනුකූලව බාහිර ආහාර ගැනීම සතියකට 1-2 වතාවකට සීමා කර, තෙලෙන් බැදපු ආහාර වෙනුවට තැම්බූ/ග්‍රිල් කළ ආහාර සහ දැනට වැඩිම ඉල්ලුමක් ඇති අයිස්ඩ් කොෆි (Iced Coffee) වැනි පාන වෙනුවට සීනි අඩු විකල්ප හෝ වතුර සහ තැඹිලි තෝරාගත යුතුය. සිව්වනුව, කාලය හිඟකමට පිළියමක් ලෙස සතියකට දින 1-2ක් වෙන් කර ආහාර කල්තියා සැලසුම් කර සූදානම් කරගන්නා ‘Meal Prep’ සංස්කෘතියක් ඇති කරගත යුතුය. පස්වනුව, තරුණයන් අතර දියවැඩියා අවදානම 34.3% ක් වී ඇති බරපතළ වටපිටාවක, කුඩා කල සිටම දරුවන්ට නිවසේ පිළියෙල වන ස්වභාවික ආහාරවලට හුරු කරවීම අත්‍යවශ්‍ය වේ.

village food 260514

නාගරීකරණය සමඟ ආහාර සංස්කෘතිය වෙනස් වීම ස්වභාවික වුවද, කාලය ඉතිරි කරගැනීම සහ විවිධ රසයන් විඳීම වෙනුවෙන් අපගේ දිගුකාලීන සෞඛ්‍යය උකසට තැබීම ඥානාන්විත නොවේ. අපට නැවත අතීතයට යා නොහැකි වුවත්, අපේ මුතුන්මිත්තන් අනුගමනය කළ “සමබර, විවිධ සහ නිවසේ පිසූ” ආහාර පුරුදුවල වටිනාකම නූතන කාර්යබහුල ලෝකයට ද එකලෙසම ගැලපේ. සෞඛ්‍යය, පෝෂණය සහ ආර්ථිකය යන ත්‍රිවිධ අංශයෙන්ම ජයගත හැකි හොඳම විකල්පය වන්නේ නිවසේදීම පිරිසිදුව පිළියෙල කරගන්නා ආහාර වේලයි. ක්ෂණික ආහාර යනු අපගේ සතුරෙකු නොවන අතර, සැබෑ සතුරා වන්නේ අප සතු අනවබෝධයයි. එබැවින්, දැනුවත්ව නිවැරදි ආහාර තෝරාගැනීම, සීමාව හඳුනා ගැනීම සහ නිවසේ ආහාරයට ප්‍රමුඛතාව ලබා දීම තුළින් මෙම “ක්ෂණික” යුගයේ වුවද අපට සෞඛ්‍ය සම්න්න සහ නිරෝගී ජීවිතයක් අත්පත් කරගත හැකිය.


Renuka Damayanthi
(සටහන | ඒ.ජී රේණුකා දමයන්ති)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...