මේ පුවත පිළිබඳව, එවැනි දරුවෙකුගේ පියෙකු ලෙස දැනෙන සතුට අකුරු කළ නොහැකි තරම් ය.

එහෙත් මේ පිටුපස ඇති අමිහිරි කතාව නොලියා බැරිය. මගේ දරුවා හිරු, උපතේදී ඇතිවු සංකූලතාවයක් නිසා ශරීරයේ හරි අඩක් අකර්මන්‍ය (Hemiplegia - complete loss of motor function (paralysis) on one side of the body) වු දරුවෙකි. ඔහු බණ්ඩාරවෙල ධර්මපාල විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු අතර, අ.පො.ස (සා.පෙළ) විභාගයට , ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුවේ හඳුනා ගත් Differently Abled දරුවෙකු ලෙස ඉදිරිපත්ව, විභාගය සමත්ව, උසස් පෙළ තාක්ෂණ විෂය ධාරවෙන් 2023 ට නියමිත විභාගය 2024 ජනවාරි මුහුණ දී ඉන් සමත්ව 2024/07/04 දින විශ්ව විද්‍යාලයීය ප්‍රවේශ අයදුම් පත පිරවීමේදී තාක්ෂණවේද ආබාධිත දරුවන් බඳවා ගැනීම සඳහා ඉඩක් අයදුම් පත්‍රයේ නැති බව දැන, එවකට විශ්ව විද්‍යාලයීය ප්‍රතිපාදන කොමිසමේ සභාපති වු මගේද ගුරුවරයෙක් වු ජේයෂ්ට මහාචාර්ය සම්පත් අමරතුංග මහතාට කතා කරනු ලදුව, ඔහු විසින් සොයා බලා මා හට දැන්වුයේ 2013 ආරම්භ කළ තාක්ෂන විෂය ධාරාවෙන් 2015 සිට ආබාධිත දරුවන් විශ්ව විද්‍යාලවලට බඳවා නොගෙන ඇත්තේ අයදුම් පත්‍රයේ වු දෝෂයක් බැවින් අලුත් කොටුවක් සඳහන් කොට හරි ලකුණක් යොදා එවන ලෙසත් මෙවර මේ දරුවා රැගෙන, ඊළඟ වසරේ සිට අනෙක් ආබාධිත දරුවන් බඳවා ගැනීමට අවශ්‍ය තීරණ ඊළඟ කොමිෂන් සභාවේදි ගන්නා බවත් ය.

එහෙත් නව ආණ්ඩුව පත්වීමත් සමඟ විශ්ව විද්‍යාලයීය ප්‍රතිපාදන කොමිසම නිහඬ ව සිටිද්දී මේ පිළිබඳ අභියාචනයක් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමතිණිය ලෙස පත් වු හරිණි අමරසූරිය මෙනවියට 2024/11/27 යොමු කරන ලදුව, ඇය එම ඉල්ලීම සමන්ත විද්‍යාරත්න සහෝදරයා හා එක්ව පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවට යොමු කළත් ප්‍රතිපලයක් නොවිණි. කොටින්ම විශ්ව විද්‍යාලයීය ප්‍රතිපාදන කොමිසම එම ඉල්ලීම නොසලකා හරින ලදි.
අනතුරුව විධිමත් අභියාචනයක් 2025/04/07 දින නව රජය පත් කළ විශ්ව විද්‍යාලයීය ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජේයෂ්ට මහාචාර්ය කපිල සෙනෙවිරත්න වෙත යොමු කළත් ඔහු ඊට අඩු තරමින් පිළිතුරක්වත් නොදි මුණිවත රැකීය. බලා සිට බැරි තැන තොරතුරු දැනගැනීමේ පණත ප්‍රකාරව විධිමත් ඉල්ලීමක් 2025/05/16 දින කොමිසමේ සභාපතිවරයාට යොමු කරනු ලදුව 2025/08/04 ඔහු දැන්වූයේ එය අතීතයේ සිදුවු වරදක් බැවින් හිරු විශ්ව විද්‍යාලයට බඳවා ගත නොහැකි බවය.

අනතුරුව මට කළ හැකි කිසිවක් ඉතිරිව නොතිබු තැන අතිගරු අනුර දිසානායක ජනාධිපතිවරයාට විවෘත සංදේශයක් සමාජ මාධ්‍ය ඔස්සේ යොමු කළෙමි. කුඩා කළ සිට හිරුව දන්නා ඔහුත්, මුණිවත රැකීය. එදා කිසිවෙක් මගේ ආබාධිත හිරුට, ඉගිළෙන්න පියාපත් දෙන්නට ඉදිරිපත් නොවිණි.
මේ පණිවුඩය සමාජ මාධ්‍යවල දුටු මා මිත්‍ර ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම සහොදරයා මුලින්ම කතා කොට අපි නඩුවකට යමු යැයි යෝජනා කළත්, 1996 දි, ප්‍රථම පෙළ උපාධියක් තිබියදි , මා ජවිපෙට සම්බන්ධ බව දක්වා කථිකාචාර්යවරයෙක් ලෙස බඳවා නොගෙන, දෙවන පෙළ උපාධිදාරීන් හත් දෙනෙක් කැළණිය විශ්ව විද්‍යාලයට බඳවා ගැනීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය නඩුව මතක් වී නිහඬව සිටියෙමි.
එහෙත් කණිෂ්ක චාමින්ද ජයලත් හා නදීශා චන්ද්‍රසේන සහෝදර සහෝදරියන්ගේ පෙළඹවීමෙන් හා ශතයකවත් වැය බරක් මට නොතබා තම කාලය හා මුදල් නිර්ලෝභිව වැය කරමින් ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම සහෝදරයා 2025/09/17 දින ශ්‍රි ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට SC/FR/200-2025 ලෙස ආබාධිත දරුවන්ගේ අධ්‍යාපන අයිතිය හා ආබාධිත දරුවන්ට ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයික අධ්‍යාපනයේදී ඉගැන්වීමේ, ඉගෙනීමේ හා ඇගැයීමේ ජාතික ප්‍රතිපත්තියක් (National Policy of Teaching , Learning & Assessing for Differently Abled Students) සම්පාදනය කරන ලෙස, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයටත්, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවටත් හා විශ්ව විද්‍යාලයීය ප්‍රතිපාදන කොමිසමටත් නියෝග කරන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලදුව, ආබාධිත දරුවෙක් ලෙස හිරුගේ මූලික අයිතිවාසිකමක් පැහැදිලිවම කඩවී ඇති බව පෙනෙන බැවින් 2026/02/18 දින මෙම නඩුව විමසීමට ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේය.
නඩුව විමසන අතරතුරේදී විනිසුරුවරුන් විමසා සිටියේ එවැනි දරුවන් දැන් බඳවා ගන්නේද යන්නයි. ඔවුන් අධිකරණයට දැනුම් දුන්නේ මේ නඩුව නිසා එසේ කරන බවයි. අවසන නුදුරේදීම තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිතය.

නඩු තීන්දුව ප්‍රකාශ වීමට කෙටි කාලයක් ඉතිරිව ඇති අල්ලපනල්ලේ මාධ්‍ය සංදර්ශන සහිතව වුවත් ආබාධිත දුවා දරුවන්ට සහන සැලසීම අගනේය. ඒහෙත් ඔවුන් වෙනුවෙන් ඉගැන්වීමේ , ඉගෙනීමේ හා ඇගැයීමේ ජාතික ප්‍රතිපත්තියක් සකස් කොට හා එය ක්‍රියාත්මක කොට මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වූවේ නම්, එය මීටත් වඩා අගනේය.
| ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජයලත් අත්තනායක,
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයය.
2026/07/12




