The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මළවුන් හැඩගන්වා තිරිහන් කිරීමේ කලාව අපේ රටටත්

T

The Leader Desk

July 17, 2026 • 7:08 AM

මළවුන් හැඩගන්වා තිරිහන් කිරීමේ කලාව අපේ රටටත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යමකුගේ මළ සිරුරක් දැකීම අසුබ නිමිත්තක් බව ජන සම්මතයයි. එමෙන්ම ඇතැමුන්ට එය එක්තරා අන්දමක පිළිකුල් සහගත අත්දැකීමක් ද විය හැක.
  • මියගිය අයෙකුට එවැනි ජීවමාන, සන්සුන්, ඇතැම් විටෙක තරුණ පෙනුමක් පවා ලබා දීම දැන් අප රටේදී ද සිදු කෙරේ.
  • ඒ පිටුපස ඇත්තේ අප කවුරුත් දන්නා සාමාන්‍ය එම්බාම්කරණය (Embalming) පමණක් නොවේ.
  • නමුත් අද වන විට එය ධනවත් පවුල්වල සාමාජිකයන්ගේ මරණ සම්බන්ධයෙන් යොදා ගන්නා බවක් ද පෙනේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එසේ වුවද යමකුගේ අවසාන ගමන සනිටුහන් වන අවමංගල්‍යයකදී, දේහය දෙස බලා අවසන් ගෞරව දැක්වීම ලොව බොහෝ සංස්කෘතීන් තුළ මුල් බැසගත් සිරිතකි. නමුත් අතීතයට සාපේක්ෂව, අන් බොහෝ දේ මෙන්ම මළ සිරුරුවල පෙනුම ද වෙනස් වී තිබේ. ඒ ඊට සුන්දරත්වයක් ද එක් කරමිනි. එම සිරුරු දකින බොහෝ දෙනෙකු පවසනුයේ “එයා නිදාගෙන ඉන්නවා වගෙයි” කියාය.

මියගිය අයෙකුට එවැනි ජීවමාන, සන්සුන්, ඇතැම් විටෙක තරුණ පෙනුමක් පවා ලබා දීම දැන් අප රටේදී ද සිදු කෙරේ. ඒ පිටුපස ඇත්තේ අප කවුරුත් දන්නා සාමාන්‍ය එම්බාම්කරණය (Embalming) පමණක් නොවේ. විශේෂයෙන් බරපතළ අනතුරුවලින් හෝ දරුණු රෝගාබාධවලින් විකෘති වූ දේහයන් පවා නැවත ජීවමාන ස්වරූපයට පත් කරන සුවිශේෂී මෘත රූපලාවණ්‍ය (Mortuary Cosmetology) කලාවක් අද වන විට ලෝකයේ මෙන්ම ලංකාවේ ද භාවිත වේ. නමුත් අද වන විට එය ධනවත් පවුල්වල සාමාජිකයන්ගේ මරණ සම්බන්ධයෙන් යොදා ගන්නා බවක් ද පෙනේ. ඒ එවැනි සේවාවක මිල ගණන් අධික බැවිනි. එහිදී බොහෝ රසායනිකයන් හා උපකරණ යොදා ගන්නා නමුත් වඩාත් වැදගත් කාර්යභාරයක් ඉටු කරන්නේ මෝචරි වැක්ස් (Mortuary Wax) සහ ටිෂූ බිල්ඩර් (Tissue Builder) ය.

mor 1

 

වැක්ස්වලින් ප්‍රතිනිර්මාණය වන මෘත ශරීරයක මුහුණේ අවයව ඇතැම් විට ඒ පුද්ගලයා මියයන විට සිටි ස්වරූපයටත් වඩා ප්‍රසන්න පෙනුමක් ගෙන දෙනු ඇත. රිය අනතුරු, ගිනි ගැනීම් හෝ වෙනත් හදිසි උපද්‍රව නිසා මුහුණේ යම් කොටසක් අහිමි වූ විට හෝ තැළුණු විට, එම අඩුව පිරවීම සාමාන්‍ය එම්බාම් රසායනික ද්‍රව්‍යවලින් පමණක් කළ නොහැක. එවැනි අවස්ථාවලදී මළවුන් හැඩගන්වන ශිල්පියාගේ සහයට එන්නේ ‘මෝචරි වැක්ස්’ හෙවත් මෘත ශරීර සඳහාම විශේෂයෙන් නිපදවූ ඉටි වර්ගයකි.

මෙය සාමාන්‍ය ඉටි මෙන් තද නැත. මිනිස් සිරුරේ උෂ්ණත්වයට සහ ස්වභාවයට ගැළපෙන පරිදි නම්‍යශීලී වන ලෙස මෙය සකසා ඇත. ශිල්පියා විසින් තැළුණු හෝ අහිමි වූ නාසය, කම්මුල්, නළල හෝ මතුපිට සමේ ගැඹුරු තුවාල මෝචරි වැක්ස් ආධාරයෙන් මූර්ති ශිල්පියෙකු මෙන් සියුම්ව ප්‍රතිනිර්මාණය කරනු ලබයි. ඉන්පසුව ඒ මත විශේෂිත මෝචරි මේකප් (Mortuary Makeup) ගැල්වීමෙන්, කෘත්‍රිමව සකස් කළ කොටස සහ සැබෑ සම අතර වෙනස සම්පූර්ණයෙන්ම මකා දැමිය හැකිය. පසුගිය සමයේ මුහුණට හෝ හිසට වෙඩි වැදී මියගිය බව පැවසුණු ඉංග්‍රීසි පුවත්පතක ප්‍රකට ජන මාධ්‍යවේදියකුගේ දේහයේ මුහුණ සහ හිස “නිරුපද්‍රිත” ලෙස තිබීම එකල බොහෝ දෙනකුගේ කතාබහට ලක් විය. ඒ මෝචරි වැක්ස් “හාස්කම්” පිළිබඳව බොහෝ දෙනකු නොදැන සිටි බැවිනි.ජීවිතයේ අවසාන භාගයේ අතිශයින් වැහැරුණු ස්වභාවයක් පළ කළ ඇතැමුන් ගේ මෘත දේහ අතිශය “සජීවීමත්” ලෙස සකස් ව තිබීමේ විස්මය ඇතැම් විට ඔබ ද අත්දැක තිබෙන්නට පුළුවන.

mor 2

 

දීර්ඝ කාලීන රෝගාබාධ, පිළිකා හෝ දැඩි විජලනය නිසා මියයන පුද්ගලයන්ගේ මුහුණේ මස්පිඩු සහ පටක හැකිලී, ඇස් සහ කම්මුල් ඇතුළට ගිලා බැසීම සාමාන්‍ය ලක්ෂණයකි. මරණයෙන් පසු සෛලවල ඇති ජල ප්‍රතිශතය වේගයෙන් අඩු වීම නිසා මුහුණට මලානික සහ බියකරු අප්‍රසන්න පෙනුමක් එකතු වේ.

මේ සඳහා භාවිත වන නවීනතම විසඳුම වන්නේ ‘ටිෂූ බිල්ඩර්’ (Tissue Builder) ය. මෙය දියරමය රසායනයක් වන අතර, සිරුරේ පටක හැකිලී පවතින ස්ථානවලට (විශේෂයෙන් කම්මුල්, ඇස් වටා සහ තොල්වලට) සිරින්ජයක් මාර්ගයෙන් එන්නත් කරනු ලබයි. මෙම දියරය පටක තුළට ගිය පසු එහි ඇති ශරීර තරල සමඟ ප්‍රතික්‍රියා කර ජෙලි වර්ගයක් බවට පත්වෙමින් ඝන වේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඇතුළට ගිලා බැසුණු කම්මුල් සහ තොල් නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වී, මියගිය පුද්ගලයා ජීවත්ව සිටියදී සිටි පෙනුමම (Plump effect) සිරුරට ලැබෙයි. ඇතැම් විට මේ පෙනුම ඒ තැනැත්තා රෝගී වීමට පෙර තිබූ පෙනුම ද විය හැක. “අනේ මෙයා ඉස්සර හිටියා වගේමයි,” එවැනි මෘත දේහ දකින්නවුන් පවසන කතාව බොරුවක් නොවේ.

 

mor 3

සැබැවින්ම මෙය හුදෙක් මළ සිරුරක් අලංකාර කිරීමක්ම පමණක් නොවේ. තම ආදරණීයයා අවසන් වරට දකින්නට එන ඥාතීන්ගේ සහ මිතුරන්ගේ මනසට මෙය විශාල මනෝවිද්‍යාත්මක සහනයක් (Grief Relief) ගෙන දෙයි. අනතුරකට ලක්ව විකෘති වූ මුහුණක් දැකීමෙන් ඇතිවන කම්පනය වෙනුවට තම සමීපතමයා සන්සුන්ව නිදා සිටින ආදරණීය රූපයක් මතකයේ ඉතිරි කර ගැනීමට මෙම තාක්ෂණය උපකාරී වේ.

තාක්ෂණයේ සහ වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ, එම්බාම්කරණය යනු මෘත ශරීරයක් නරක් නොවී තබා ගැනීමටත් එහා ගිය, මියගිය අයට උපරිම ගෞරවය දෙන සියුම් කලාවක් බවට අද වන විට පත්ව තිබේ. මේ වන විට අප රටේ ප්‍රමුඛතම අවමංගල්‍යායතන කිහිපයකට පමණක් සීමා වූ මෙම නව තාක්ෂණය සහ කලාව නුදුරේ දීම රට පුරා ව්‍යාප්ත වනු නිසැක ය. ඒ අනුව මෙය මෘත ශරීරයක් දැකීම අසුභ දර්ශනයක්ය යන ජන සම්මතයට පවා අභියෝගයක් වනු නියතය.

renuka damayanthi(සටහන | ඒ.ජී රේණුකා දමයන්ති)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...