The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සුනඛයන්ගෙන් මිනිසුන්ට බෝවන හා බෝනොවන රෝග මොනවාද? උඩප්පුව පාසල් සිදුවීමට පසු වදනක්!

T

The Leader Desk

July 23, 2026 • 4:51 AM

සුනඛයන්ගෙන් මිනිසුන්ට බෝවන හා බෝනොවන රෝග මොනවාද? උඩප්පුව පාසල් සිදුවීමට පසු වදනක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "සුනඛයන්ගේ සමේ රෝග මිනිසුන්ට එකවර බෝවන්නේ නැහැ" - ළමා හා අසාත්මිකතා රෝග විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ කරුණු පෙන්වා දෙයි
  • එම සිසුන් රෝගී වූ බව දැනගැනීමෙන් පසු එම පන්ති කාමරයේ සිටි අනෙකුත් සිසුන් ද දෙමාපියන් පැමිණ නිවෙස් වෙත රැගෙන ගොස් ඇති බව මාධ්‍ය වාර්තාවල පළ වී තිබිණි.
  • කුෂ්ඨ රෝගයක් සහිත සුනඛයෙකු රාත්‍රී කාලයේ එම විද්‍යාලයේ පන්ති කාමරවල රැඳී සිටින බවට මීට පෙර නිරීක්ෂණය වී ඇති අතර, එය සිසුන්ට අනතුරුදායක බවට විදුහල්පතිවරයා විසින් මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වෙත දැනුම් දී තිබූ බවද එම පුවතේ සඳහන් විය.
  • Sarcoptes scabiei මගින් සුනඛයන්ට sarcoptic mange ඇති කරන අතර, මෙය මිනිසුන්ට බෝ වුවහොත් තදින් කසන රතු ලප සහ පලු ඇති කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


වීදි සුනඛයන් වඳකිරීම නෙවෙයි, එන්නත්කරණය සහ 'One Health' සංකල්පයයි එකම විසඳුම: WHO ගෝලීය ස්ථාවරය පැහැදිලි කරයි

| රීටා ජෙනට් පෙරේරා



සුනඛයන් අතර පැතිර යන කටුවා කෑම හෙවත් demodectic mange වැනි ඇතැම් රෝග කිනිතුල්ලන් හා මැක්කන් පවුලට අයත් වූ කුඩා ජීවීන් වන මයිටා වන් නිසා හටගන්නා නමුත්, එම සමේ රෝග කිසිවිටෙකත් සුනඛයන්ගෙන් මිනිසුන්ට බෝ නොවන බවත්, සුනඛයන්ගෙන් ඇතැම් මයිටා වර්ග මිනිසුන් වෙත සම්ප්‍රේෂණය විය හැකි වුවද, එම මයිටාවන්ගෙන් වැඩි දෙනෙකුට මිනිස් සිරුර මත වැඩිකල් රැඳී සිටිය නොහැකි බවත් ළමා හා අසාත්මිකතා රෝග විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා අවධාරණය කරයි.

හදිසියේ ඇති වූ කැසීමේ රෝගයක් හේතුවෙන් උඩප්පුව – කට්ටකඩුව රෝමානු කතෝලික දෙමළ විද්‍යාලයේ 7 ශ්‍රේණියේ සිසුන් පිරිසකට බාහිර ප්‍රතිකාර ලබාදී දෙමාපියන් වෙත භාරදී ඇති බවට මාධ්‍ය මඟින් පළ වූ පුවතක් සම්බන්ධයෙන් අප කළ විමසීමේදී ඒ මහතා මේ බව පැවසීය. එම සිසුන් රෝගී වූ බව දැනගැනීමෙන් පසු එම පන්ති කාමරයේ සිටි අනෙකුත් සිසුන් ද දෙමාපියන් පැමිණ නිවෙස් වෙත රැගෙන ගොස් ඇති බව මාධ්‍ය වාර්තාවල පළ වී තිබිණි. කුෂ්ඨ රෝගයක් සහිත සුනඛයෙකු රාත්‍රී කාලයේ එම විද්‍යාලයේ පන්ති කාමරවල රැඳී සිටින බවට මීට පෙර නිරීක්ෂණය වී ඇති අතර, එය සිසුන්ට අනතුරුදායක බවට විදුහල්පතිවරයා විසින් මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වෙත දැනුම් දී තිබූ බවද එම පුවතේ සඳහන් විය.

 

dr ajith amarasinghe 11

විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

නමුත් විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා පෙන්වා දෙන ආකාරයට මිනිසුන්ට බෝ විය හැකි ප්‍රධාන වර්ග දෙක වන්නේ Sarcoptes scabiei සහ Cheyletiella යි. Sarcoptes scabiei මගින් සුනඛයන්ට sarcoptic mange ඇති කරන අතර, මෙය මිනිසුන්ට බෝ වුවහොත් තදින් කසන රතු ලප සහ පලු ඇති කරයි. නමුත් මෙම මයිටාවන්ට මිනිස් සිරුර මත ප්‍රජනනය විය නොහැක. එබැවින් සුනඛයාට නිසි ප්‍රතිකාර කිරීමෙන් පසු සති කිහිපයකින් මිනිසාගේ රෝග ලක්ෂණ ඉබේම නැතිවී යයි. Cheyletiella මගින් walking dandruff ඇති කරන අතර, මිනිසුන්ට සුළු කැසීමක් සහ සමේ කොරපොතු ස්වභාවයක් ඇති කළ හැකි අතර එය ද දිගින් දිගටම පවතින තත්ත්වයක් නොවන අතර සත්ත්වයාට ප්‍රතිකාර කිරීමෙන් පසු සුව වේ.

ryr55675676tyhghg

 

මේ අතර සුනඛයන්ගෙන් මිනිසුන්ට බෝ නොවන මයිටාවන් ද සිටී. Demodex වර්ගය demodectic mange ඇති කරන අතර එය රෝම කූප අතර ජීවත් වන බැවින් මිනිසුන්ට බලපෑමක් නැත, බලපාන්නේ සුනඛයන්ට පමණි. Otodectes හෙවත් කන් මයිටාවන් මිනිසුන්ට බෝවීම ඉතා කලාතුරකින් සිදුවන අතර, කන ඇතුළට ගියහොත් තාවකාලික කැසීමක් ඇතිවිය හැකි වුව ද ඔවුන්ට ද සම මත ජීවත් විය නොහැකි නිසා එය ද ඉබේම සුව වේ.

මෙම බොහෝ මයිටාවන් මිනිසුන්ට බෝවන්නේ ආසාදිත සුනඛයෙකු සෘජුවම සමට ස්පර්ශ වීමෙන් හෝ උන් නිදාගන්නා පැරණි රෙදි, සෝෆා සහ පීරන පනා භාවිතයෙන් බව අනාවරණය වී තිබේ. ඔවුන් බෝවුවහොත් විශේෂයෙන් රාත්‍රී කාලයට වැඩිවන තද කැසීමක්, සුනඛයා ඇල්ලූ අත්, බඩ හෝ පපුව ප්‍රදේශයේ රතු පැහැති ලප හෝ පලු ඇතිවීම දක්නට ලැබේ. නමුත් මෙහිදී මිනිසුන්ට වැළඳෙන සාමාන්‍ය හොරි හෙවත් scabies මෙන් සම යට පාරවල් හෝ කැළැල් නොසෑදීම මෙහි විශේෂ ලක්ෂණයකි.

 

Replacement1

මෙවැනි තත්ත්වයකදී කළ යුතු වැදගත්ම දෙය වන්නේ පළමුව සුනඛයාට ප්‍රතිකාර කිරීමයි. පශු වෛද්‍යවරයා විසින් ඖෂධීය ෂැම්පු, මුඛයෙන් බොන පෙති හෝ සම මත ගාන ඖෂධ ලබාදෙනු ඇති අතර, රෝග මූලාශ්‍රයට ප්‍රතිකාර කළ පසු මයිටා වන් වඳවී යයි. ඒ සමඟම ඇඳ ඇතිරිලි සහ සෙල්ලම් බඩු උණු වතුරෙන් සෝදා හොඳින් වේලා ගැනීමත්, සෝෆා සහ කාපට් වැකියුම් කිරීමත් අත්‍යවශ්‍ය වේ. ලප පැතිරේ නම්, අධික ලෙස කසන්නේ නම්, සැරව දමා ඇත්නම් හෝ සති 1-2 කින් අඩු වන්නේ නැත්නම් පමණක් වෛද්‍යවරයෙකු හමුවිය යුතුය. මක් නිසා ද යත් එය වැඩිදුර නිරීක්ෂණය කළ යුතු තත්ත්වයක් බැවිනි.

මේ අතර අපගේ ගෘහස්ථ පරිසරයන්හි වෙසෙන දූවිලි මැක්කා හෙවත් dust mite සුනඛයන්ගේ සිරුරුවල ජීවත් වන මයිටාවකු යන මතය වැරදි බවත්, ඔවුන් අප ජීවත් වන පරිසරයේ අඳුරු තෙත් ස්වභාවය මත බෝ වන අතර එම තත්ත්වය පාලනය කිරීමෙන් සහ ඔවුන් බෝ වී ඇති ප්‍රදේශ හිරු එළියට නිරාවරණය කිරීමෙන් දූවිලි මැක්කාගෙන් සිදුවන ආසාත්මිකතා වළකා ගත හැකි බවත් විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.

ඒ අතරේ ජලභීතිකා එන්නත ලබා නොදුන් සුනඛයෙකු සිසුන් අතර ගැවසීම හා සිසුන් ඒ සත්ත්වයා අත පත ගෑම යම් අවදානම් සහගත තත්ත්වයකි. නමුත් ඉහත උඩප්පුව – කට්ටකඩුව රෝමානු කතෝලික දෙමළ විද්‍යාලයේ සිදුවීම සම්බන්ධයෙන් එවන් සිදුවීමක් වාර්තා වී නැත. එමෙන්ම, සුනඛයෙකු නිසා මිනිසුන්ට කුෂ්ඨ රෝග ක්ෂණිකව බෝ නොවන අතර මිනිසුන් අතර ව්‍යාප්ත වීම ඉතා දුර්ලභ බව ද ඒ මහතා අවධාරණය කරයි.

 

c45y4545454y45y6yg
නමුත් දැනට පවතින දැඩි උෂ්ණත්වය මුල්කොට ගෙන වියළි දේශගුණයක් පවතින ප්‍රදේශවල දරුවන් තුළ දහදිය කුෂ්ඨ sweat rash මතුවීමේ හැකියාවක් පවතින අතර, ඒවා බෝ නොවන මුත් වැඩි දෙනෙකු අතර එකවර හටගැනීම මත බෝවීමක් ලෙස පෙනී යා හැකි බවද ඒ මහතා සඳහන් කරයි.නමුදු ඒ සම්බන්ධ නිශ්චිත නිගමනයකට පැමිණිය හැක්කේ රෝගී පරීක්ෂාවකින් පසුව බව ද ඔහු අවධාරණය කරයි.

මේ අතර සුනඛයන්ගෙන් මිනිසුන්ට බෝවන zoonotic රෝග වැළැක්වීම සහ පාලනය කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ WHO ස්ථාවරය ද ඉතා පැහැදිලි සහ විද්‍යාත්මක පදනමක් මත ගොඩනැගුණු එකකි. WHO විසින් කිසිදු අවස්ථාවක සුනඛයන් පිටුදැකීම රෝග පාලන ක්‍රමයක් ලෙස නිර්දේශ කර හෝ අනුබල දී නොමැත. ඊට වෙනුවට ඔවුන් අවධාරණය කරන්නේ “එක් සෞඛ්‍යයක්” – One Health සංකල්පයයි. ඒ අනුව මිනිසා, සතුන් සහ පරිසරය යන තුනම එකිනෙකට බැඳී පවතින බැවින්, සතුන්ගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීම තුළින්ම මිනිස් සෞඛ්‍යය සුරක්ෂිත කළ යුතු බවයි. ඒ අනුව වීදි සුනඛ ගහණය පාලනය කිරීම පිණිස ඔවුන් නිරාහාරව තැබිය යුතු බවක් අඟවමින් සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගිය දිනයෙක මතු කළ අදහස හුදු ගෝත්‍රීය මට්ටම නොඉක්මවන්නක් බව පෙනී යයි.

සුනඛයන්ගෙන් මිනිසුන්ට බෝවිය හැකි ප්‍රධාන zoonotic රෝග කිහිපයක් WHO විසින් හඳුනාගෙන ඇත. ඉන් වඩාත් භයානක වන්නේ ජලභීතිකාවයි. මිනිසුන්ට වැළඳෙන ජලභීතිකා අවස්ථාවලින් 99% කටම හේතුව ආසාදිත සුනඛයන්ගේ සපාකෑම් සහ සූරාකෑම් වන අතර, රෝග ලක්ෂණ මතු වූ පසු එය 100% ක් මාරාන්තික වේ. ඊට අමතරව සුනඛයන්ගේ අන්ත්‍රවල සිටින Echinococcus නම් පරපෝෂිතයාගේ බිත්තර මලපහ සමඟ පිටවී ආහාර ජලය දූෂණය වීමෙන් මිනිස් අක්මාව හා පෙනහළුවල cyst හටගන්නා hydatid රෝගය, ආසාදිත සුනඛ මුත්‍රා මගින් පරිසරයට එකතු වන බැක්ටීරියාවක් මගින් තුවාල හා ශ්ලේෂ්මල පටල හරහා ශරීරගත වන leptospirosis හෙවත් මී උණ, සහ සුනඛ බඩවැල් පණුවන්ගේ බිත්තර, විශේෂයෙන් කුඩා දරුවන්ට බෝවීමෙන් ඇතිවන toxocariasis වැනි රෝග ද ප්‍රධාන zoonotic තර්ජන ලෙස සැලකේ.නමුදු මේවා අතිශයින් විරල තත්වයන් බව ද පැවසෙයි.

Bentley 1229 x 899 1229x899

 

මෙම ජල භීතිකා පාලනය සඳහා WHO හි ප්‍රධානතම විද්‍යාත්මක නිර්දේශය වන්නේ සුනඛයන් මහා පරිමාණයෙන් එන්නත් කිරීමයි. යම් ප්‍රදේශයක සිටින මුළු සුනඛ ගහනයෙන් අවම වශයෙන් 70% කට ජලභීතිකා එන්නත ලබා දීමෙන් එම ප්‍රදේශයේ මිනිසුන් අතර ජලභීතිකාව සම්ප්‍රේෂණය වීම සම්පූර්ණයෙන්ම නතර කළ හැකි බව WHO විද්‍යාත්මකව අවධාරණය කරයි. එමෙන්ම සුනඛයන් විනාශ කිරීමට වඩා එන්නත්කරණය බෙහෙවින් සාර්ථක, ලාභදායී සහ තිරසාර ක්‍රමය බව පර්යේෂණවලින් තහවුරු වී ඇත. මේ මත පදනම්ව WHO, ලෝක සත්ත්ව සෞඛ්‍ය සංවිධානය – WOAH සහ ආහාර හා කෘෂිකර්ම සංවිධානය – FAO එක්ව “Zero by Thirty” හෙවත් 2030 වන විට සුනඛයන්ගෙන් බෝවන ජලභීතිකා මරණ බිංදුවට අඩු කිරීමේ ගෝලීය ඉලක්කය දියත් කර ඇත.

මීට අමතරව WHO මගින් වගකීම් සහගත සුරතල් හිමිකාරිත්වය දැඩිව අවධාරණය කරයි. නිවෙස්වල ඇති කරන සුනඛයන්ට නියමිත කාලයට එන්නත් ලබා දීම, නිසි කාල පරතරයන්හිදී පණු නාශක ඖෂධ ලබා දීම, සහ වීදි සුනඛ ගහනය පාලනය සඳහා මානුෂීය ක්‍රමවේදයක් වන වන්ධ්‍යාකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙයට ඇතුළත් වේ. රෝගයක් බෝවීම වැළැක්වීමට වඩා, රෝගයේ ප්‍රභවය වන සත්ත්ව ගහනය නිරෝගීව තබා ගැනීම වඩා ඵලදායී බව මෙහිදී ඔවුන්ගේ තර්කයයි.

image 491bbc3181

 

එමෙන්ම සුනඛ සපා කෑමක් සිදුවූ පසු ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද WHO පැහැදිලි මාර්ගෝපදේශ ලබා දී ඇත. සතෙකු සපා කෑ හෝ සූරා කෑ වහාම තුවාලය ගලා යන ජලයෙන් සහ සබන් යොදා අවම වශයෙන් විනාඩි 15 ක් හොඳින් සේදීම සහ කිසිදු ප්‍රමාදයකින් තොරව ළඟම ඇති රජයේ රෝහල වෙත ගොස් පශ්චාත්-නිරාවරණ ජලභීතිකා මර්දන එන්නත – PEP ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. සමස්තයක් ලෙස ගත් කල, WHO හි පණිවිඩය වන්නේ සුනඛයන් තුරන් කිරීම නොව, ඔවුන් එන්නත් කිරීම, වන්ධ්‍යාකරණය කිරීම සහ නිසි සෞඛ්‍ය කළමනාකරණයක් තුළින් මිනිසා සහ සත්ත්වයා යන දෙපාර්ශ්වයේම සෞඛ්‍යය ආරක්ෂා කිරීම බවයි.

එමෙන්ම මේ සියලු තත්ත්වයන් යටතේ මිනිස් ශිෂ්ටාචාරයටත් පෙර සිට පැවත එන මිනිසා – සුනඛ සබඳතාවය මුල් කොට මිනිසාට ඇතිවන සුළු අහිතකර බලපෑම්වලට වඩා ඉන් ඇතිවන අතිශය වාසිදායක තත්ත්වයන් බෙහෙවින් වැඩි බව මේ වන විට ගෝලීය නිරීක්ෂණවලින් තහවුරු වී ඇති බව ද අවසන් වශයෙන් කිව යුතු ය.

Reeta Jenet Perera(සටහන | රීටා ජෙනට් පෙරේරා)
නිදහස් මාධ්‍යවේදිනී
madampagereetajenet@gmail.com

උපුටා ගැනීම -vinivida.lk

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...